දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව හර්ෂ ද සිල්වාට ප්‍රශ්න තුනක්...!
-ශාන්ත ජයරත්න අසයි
(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.29, ප.ව.3.35) දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව මහබැංකු අධිපති වරයා විසින් ඊයේ (ජුනි 28) කැබිනට් මණ්ඩලය වෙත කල ඉදිරිපත් කිරීම (PowerPoint Presentation) මා වෙත ලැබුණි. සවස් වන විට ආරංචි වූයේ මුදල් ඇමැති හැටියට ජනාධිපති වරයා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් ඒකමතිකව අනුමත කල බවය. ආණ්ඩු පක්ෂ කණ්ඩායම සඳහා ද මහ බැංකු අධිපති වරයා විසින් එවැනිම ඉදිරිපත් කිරීමක් ඊයේ රාත්‍රියේ කල බව දැන ගන්නට ලැබුණි. විරුද්ධ පක්ෂ මන්ත්‍රී කණ්ඩායමකටද අධිපති වරයා ණය ප්‍රශස්තකරණය සම්බන්ධව ඉදිරිපත් කිරීමක් කල බවද ආරංචියි . එම හමුවට මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද සහභාගි වූ බව ප්‍රකාශ විය.
කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව අදාළ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන සැලැස්ම අද සහ හෙට (ජුනි 29 සහ 30) පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් පසු ජුලි මස 1 සහ 2 යන දින දෙක පාර්ලිමේන්තුවේ වාද කොට සම්මත කරගැනීමට නියමිත වන අතර බොහෝ දුරට බාදාවකින් තොරව වැඩි ඡන්දයෙන් එය සම්මත වනු ඇත. එහෙත් , පුරවැසියන් දැන ගත යුතු කරුණු කිහිපයක් ඇත.
මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශ අනුව ඔහු දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව කිසියම් ධනාත්මක තැනක සිටින බවක් පේන්නට තිබුණි. ඔහු ප්‍රකාශ කල අන්දමට අද දින මහ බැංකු අධිපති වරයා සහ මුදල් අමාත්‍යාංශ නිළධාරීන් මුදල් කාරක සභාව ඉදිරියට කැඳවා ඇත. මුදල් කාරක සභා සභාපති වරයා හැටියට රටේ ජනයා වෙනුවෙන් පහත ප්‍රශ්න අදාළ නිළධාරීන් ගෙන් විමසා සැක දුරු කර දීම ඔහුගේ වගකීමක් වනු ඇත.
1.වැනි ප්‍රශ්නය;
යෝජිත දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්ම අනුව 2022 දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 128% ක පවතින දේශීය ණය තොගය (Debt Stock ) 2032 වන විට 95% දක්වා අඩු කරන ක්‍රමවේදය/දත්ත සටහන කුමක්ද?
ණය තිරසර බව (Public Debt Sustainability) ඇති කර ගැනීමට නම් 2032 දී රජයේ ණය (Public Debt) දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 95% දක්වා අඩු කර ගත යුතුය. දල වශයෙන් වසර 10 ක් තුල 33% කින් ණය බර අඩු කර ගැනීම අවශ්‍යය ය.
මහබැංකු අධිපති වරයාගේ PowerPoint ඉදිරිපත් කිරීමේ යෝජිත ප්‍රතිව්‍යුහගත කරන සැලැස්ම අනුව (DDO Design:slide 28&29) භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර සඳහා ණය කල්පිරීමේ කාලය දීර්ඝ කිරීම (Maturity Extension) සහ කූපන් ගෙවීම් ගැලපීම් (Coupon Adjustments) වැනි තෝරා ගැනීම් 02 ක් හැරෙන්නට ණය කපා හැරීමක් (Haircut ) යෝජනා නොකරයි. මෙම ක්‍රියාවලිය තුල බැංකු සතු භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර ඉවත් කිරීම අගය කල හැක. එහි SLDBs සහ FCBUs හි USD ණය සඳහා තෝරා ගැනීම් තුනක් ඇති අතර ඉන් එකක් සඳහා පමණක් 30% ක මූනත අගය කපාහැරීමක් (Haircut ) යෝජනා කලත් එයද අනිවාර්ය නැත.
බැලූ බැල්මට යෝජිත ණය ප්‍රශස්තකරණ තෝරා ගැනීම් (Options) තුලින් ණය බරේ (Debt Burden) එතරම් සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් නොකරන හෙයින්, වාර්ෂිකව එය කුමන ප්‍රමාණයකින්, කුමන ප්‍රතිශතයකින්, අඩුවන්නේ ද යන්න අපැහැදිලි ය. මහබැංකු අධිපති වරයා යම් වගු සහ ප්‍රස්ථාර කිහිපයක් ඉදිරිපත් කොට ඇති අතර පැහැදිලි කිරීමේදී ඔහු කෙසේ එම රූප රාමු විස්තර කලේද යන්න නොදනිමි.
ඒ අනුව, කාරක සභාව විසින් මහ බැංකු නිළධාරීන්ගෙන් විමසිය යුත්තේ මෙම ඉලක්ක ගත ප්‍රශස්තකරණය සාර්ථක කරගැනීම සඳහා කුමන විචල්‍යන් (Variables) ස්ථාවරව පැවතිය යුතු ද? ඒවා ඒ අයුරින් තබාගැනීමට යොදා ගන්නා ක්‍රමවේද මොනවාද යන්න සැක හැර දැන ගැනීමය.
මේ පිළිබඳ තොරතුරු මහ බැංකු අධිපති වරයා හෝ මුදල් අමාත්‍යාංශ ලේකම් වරයා සතුව තිබිය යුතුය. එවැනි තොරතුරු නොදැන කාරක සභාව මෙය අනුමත කල හොත් කිසියම් ප්‍රශ්නයකදී ඔවුනට ඒ සඳහා වගවීමට සිදුවනු ඇත.
2.වැනි ප්‍රශ්නය;
2022 වර්ෂය අග වන විට 34.6% ක් වන දල මූල්‍ය අවශ්‍යතාව (Gross Financing Needs ) 2027 වන විට 13% දක්වා අඩු කරගන්නේ කෙසේද?
2023 සිට 2028 දක්වා රජය විසින් IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, විවිධ ද්වීපාර්ශවීය සහ වෙනත් මූල්‍ය ආයතන සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මගින් ඩොලර් බිලියන 20 ක නව ණය ලබා ගැනීමට රජය බලාපොරොත්තු වන බව IMF වැඩසටහනේ දී තිබෙන 06 වන වගුව (පිටුව 46) නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි. මෙම කාල සීමාවට අදාළ විදේශීය ණය ගෙවීම සඳහා ඩොලර් බිලියන 27.8 ක් අවශ්‍ය වන අතර , ඉන් ඩොලර් බිලියන 14 ක ණය කපා හැරීමක් සඳහා ණය හිමියන් එකඟ කරවා ගත යුතුය. එය සාර්ථක වුවහොත් ගෙවීමට ඉතිරි වන්නේ ඩොලර් බිලියන 13.8 කි.
එවැනි තත්ත්වයක් තුල, 2027 වන විට තවත් අලුත් ඩොලර් බිලියන 20 ක් ණය තොගයට එකතු වන තත්ත්වයක් තුල 2027 වන විට 13% ක් වන ඉලක්කය සපුරා ගන්නේ කෙසේද යන්න සංඛ්‍යා දත්ත සහිතව විසඳාගැනීම කාරක සභාවේ වගකීමක් වන්නේය.
3.වැනි ප්‍රශ්නය;
සේවක අර්ථසාධක අරමුදල සහ වෙනත් අරමුදල් යෝජිත ප්‍රශස්තකරණයට එකඟ නොවන්නේ නම්, 30% ක බද්දකට යටත් කිරීම සාධාරණ ද?
අධිපති වරයාගේ ඉදිරිපත් කිරීම අනුව ණය ප්‍රශස්තකරණයකට එකඟ නොවන්නේ නම් දැනට පවතින 14% ක ආදායම් බද්ද 30% දක්වා වැඩි කිරීමට නියමිත ය. ආරම්භයේ ප්‍රකාශ කලේ ස්වේච්ඡා ණය ප්‍රශස්තකරණය කට (Voluntary Optimization) යන බව උවත් එය එසේ නොවන බව දැන් පැහැදිලි ය. මෙම 30% ක බද්ද හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලට විය හැකි බලපෑම සුළු පටු නොවේ. මන්ද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පූර්ණ බර EPF /ETF ඇතුළු අරමුදල් වෙත පටවා ඇත. මේ සම්බන්ධව මුදල් කාරක සභාවේ ස්ථාවරය කුමක්ද යන්න පැහැදිලි කිරීම වැදගත් වන්නේ ය.
යෝජිත දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන සම්බන්ධව මහබැංකු අධිපති වරයා විසින් කල ඉදිරිපත් කිරීම (Presentation) විමසා බැලීමේදී මා තුල ඇති වන සැකය නම් රජය හදිසි බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කොට, විශේෂ පාර්ලිමේන්තු සැසියක් පවත්වා මේ සියල්ල මෙතරම් කඩි මුඩියේ සිදු කරන්නේ මන්ද යන්නයි. යම් සංවේදී තොරතුරු වචන අතර සඟවා තිබෙන බවට සැකයක් ද ඇති කිරීමට අධිපති වරයාගේ ඉදිරිපත් කිරීමේ සටහන තුල කිසියම් ආකාරයක උත්සාහයක් ගෙන තිබෙනවා ද ?
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ එය කෙතරම් ප්‍රවේශමෙන් කල යුතු ද ඒ සම්බන්ධව සියළු පාර්ශව සමග පවත්වා ගත යුතු යහපත් සන්නිවේදනයේ වැදගත් කම යනාදිය පිළිබඳ ලංකාවේ IMF සාකච්ඡා කණ්ඩායම් ප්‍රධානි පීටර් බෘවර් (Peter Bruer) මෑතක කල වෙබිනා (Webinar) වීඩියෝව මෙම දිගුවෙන් බලන්න. https://www.suerf.org/webinars/2363/sovereign-domestic-debt-restructuring-handle-with-care
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හෝ ප්‍රශස්තකරණය ඉතා ප්‍රවේශමෙන් කල යුතු ශල්‍යකර්මයක් බව සියළු දෙනා අවබෝධ කරගැනීම වටී. කිසියම් බල නහරයක් වැරදීමකින් හෝ කැපී ගියහොත් අභ්‍යන්තර ලේ ගැලීමක් සිදුවීමකින් මරණය පවා සිදුවීම නොවැළැක්විය හැකිය.
-ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
https://www.lankaenews.com/category/102

No comments:
Post a Comment