දිව්‍ය විමානයෙන් මෝඩිව බිමට බැස්සවූ මුස්ලිම් මාධ්‍යවේදිනිය සබ්‍රිනා සිද්දිකි..! ඒකාධිපතියන් විවේචනය කරන විට බයියන් අඬන්නේ ඇයි..?
-ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.29, ප.ව.4.20) පසුගිය දා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි ඇමරිකාවේ රාජ්‍ය සංචාරයක නිරත වූ අතර එය දැඩි ජාත්‍යන්තර අවධානයට ලක්වූ සිදුවීමක් විය. චීන බල ව්‍යාප්තියට එරෙහිව ඇමරිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය එක් පෙරමුණකට ඇති බැවින් මේ සංචාරය ජාත්‍යන්තර භූ දේශපාලනයේ වැදගත් අවස්ථාවක් බව බොහෝ ජාත්‍යන්තර පුවත්සේවා වාර්තා කර තිබිණි.
අගමැති මෝඩි වික්ෂිත කළ ප්‍රශ්නය…
දෙරටේ රාජ්‍ය නායක හමුව පසුගිය බ්‍රහස්පතින්දා (22) ධවල මන්දිරයේ පැවැති අතර ඉන් පසුව ඒකාබද්ධ මධ්‍ය හමුවක් පැවැත්විණි. එහිදී කීර්තිමත් The Wall Street Journal පුවත්පතේ වාර්තාකාරිනය වන සබ්‍රිනා සිද්දිකි (Sabrina Siddiqui) ඉන්දීය අගමැතිවරයාට ප්‍රශ්නයක් යොමු කළාය. "මානව හිමිකම් සංවිධාන ගණනාවක් ඔබේ ආණ්ඩුව සුළු ජාතිකයන්ට වෙනස්කොට සළකන බවත් විවේචකයන් නිහඬ කිරීමට කටයුතු කරන බවත් පෙන්වා දෙනවා. මුස්ලිම් ජාතිකයන් ඇතුළු අනෙකුත් සුළු ජාතිකයන් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, භාෂණයේ නිදහස තහවුරු කිරීමටත් ඔබ සහ ඔබේ ආණ්ඩුව ගන්නා පියවර මොනවා ද" යන්න ඇගේ ප්‍රශ්නය විය. අගමැති මෝඩි එම ප්‍රශ්නයෙන් වික්ෂිප්ත වූ අයුරු දක්නට ලැබිණි. එහෙත් මෙය රාජ්‍ය නායකයෙකු යොමු කරන සාමාන්‍ය වර්ගයේ ප්‍රශ්නයකි. අදාළ ප්‍රශ්නය ඉදිරියේ මෝඩි අපහසුතාවයට පත් වූයේ ඔහු ඉන්දියාවේ දී මාධ්‍යවේදීන්ට සම්මුඛ නොවන බැවිනි. ජනකාන්තවාදී, වර්ගවාදී නායකයෙකු වන මෝඩි සිටින්නේ මාධ්‍ය බුබුලක් තුළය. එහි ඔහු "හින්දු දේවත්වයට" පත්ව සිටියි. සබ්‍රිනා සිද්දිකි, මෝදිව මහ පොළවට වැඩැම්මුවේ ය.
මයික් නොඅල්ලන මධ්‍යවේදීන්..
"ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් තුළ, කුලය, ආගම, වයස හෝ ඕනෑම ආකාරයක භූගෝලීය පිහිටීමක් මත වෙනස්ව සැළකීමක් නැත" යැයි අගමැති මෝඩි පරිවර්තකයෙකු හරහා පිළිතුරු දුන්නේ ය. සබ්‍රිනාට එම ප්‍රශ්නය මතු කිරීමට මෙන්ම අගමැති මෝඩිට එයට පිළිතුරු දීමට හෝ නොදීමට අයිතියක් තිබේ. එය ප්‍රජාතන්ත්‍රවායේ පදනමයි. යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ මාධ්‍යවේදීහු ලංකාවේ ඉන්දියාවේ මෙන් මයික් නොඅල්ලති. ඔවුහු වලංගු සහ විවේචනාත්මක ප්‍රශ්න අසති. සබ්‍රිනා සිද්දිකිගේ ප්‍රශ්නයට ශක්තිමත් පදනමක් තිබේ.
කාශ්මීරයේ මුස්ලිම් ජනතාව මර්දනය..
මෝදිගේ හින්දු අන්තවාදී භාරතීය ජනතා පක්ෂය (BJP), සහ Rashtriya Swayamsevak Sangh (RSS) ෆැසිස්ට් සංවිධානය බලයට පත්වීමෙන් පසුව මුස්ලිම් ඇතුළු සුළු ජාතිකයන්, සුළු ආගමික කොටස් මර්දනය කරමින් ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරන බවට ප්‍රසිද්ධය. විශේෂයෙන් කාශ්මීරයේ මුස්ලිම් ජනතාව මුහුණදී සිටින්නේ ඉතා අවාසනාවන්ත තත්ත්වයකටය. ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සිය වාර්තා මගින් කිහිපවිටක්ම කරුණු ඉදිරිපත් කළේ ය. "UN expert demands immediate end to crackdown on Kashmir human rights defenders" නමින් නිකුත් කළ නවතම නිවේදනයට මෙතැනින් පිවිසිය හැකිය.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මෝඩි ආණ්ඩුවේ මර්දනය ගැන…
මෝඩිගේ පාලනය යටතේ ඉන්දියාවේ මාධ්‍ය සහ භාෂණයේ නිදහස සීමාවෙමින් පවතින බවට චෝදනා එල්ල වෙයි. ඇමරිකා-ඉන්දියා ද්වි පාර්ශවීය සාකච්ඡාවට දින දෙකකට පෙර "Biden and Modi must address grave human rights concerns during summit" නමින් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මෝඩි ආණ්ඩුව දිගින් දිගටම සිදු කරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ දැඩි අවධානය යොමු කරන ලෙස ඉල්ලීමක් කරයි. එම නිවේදනයට මෙතැනින් පිවිසිය හැකිය.
ජනාධිපති බයිඩන්ට කොන්ග්‍රස් සභිකයන් 75 දෙනෙකුගෙන් ලිපියක්…
මෝඩිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය අතරේ ඩිමොක්‍රටික් කොන්ග්‍රස් සභිකයන් හැත්තෑපස් දෙනෙකු ජනාධිපති බයිඩන්ට ලිපියක් යොමු කරමින් බලකර සිටියේ ඉන්දියාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ප්‍රශ්න පිළිබඳ ඉන්දීය අගමැතිවරයා සමඟ සාකච්ඡා කරන ලෙසය. එම ලිපියට මෙතැනින් පිවිසිය හැකිය. https://www.vanhollen.senate.gov/imo/media/doc/van_hollen_jayapal_letter_to_biden_on_pm_modi_visit.pdf
එබැවින් සබ්‍රිනා මතු කළේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී, සදාචාරාත්මක ලෝකයම මතු කරන වැදගත් සහ වලංගු ප්‍රශ්නයකි.
"හින්දු දෙවියන්ගෙන්" ප්‍රශ්න ඇසීමේ පාපය…
මාධ්‍ය නිදහස පවතින ලෝකයේ ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මාධ්‍යවේදියෙකු මතු කරන ප්‍රශ්නයක් තර්ජනයක්, අපහාසයක් මෙන්ම තම පෞරුෂත්වයට සිදුවන හානියක් වශයෙන් දකින්නේ නැත. මාධ්‍ය හමු, සම්මුබ සාකච්ඡාහිදී මධ්‍යවේදීන් සහ දේශපාලනඥයන් අතර වචන හුවමාරු සහ උණුසුම් සංවාද ඇති වුවද ඒවා අදාළ අවස්ථාවට සීමාවෙයි. එහෙත් ඒකාධිපති නායකයෝ මෙන්ම ඔවුන්ගේ ෆැසිස්ට් ආධාරකරුවෝ ඒවා නොඉවසති. අගමැති මෝදිගෙන් ප්‍රශ්න ඇසීම නිසා සබ්‍රිනා සිද්දිකිට එවැනි අවාසනාවන්ත තත්ත්වයකට මුහුණදීමට සිදුවිය. තම "හින්දු දෙවියන්ගෙන්" ප්‍රශ්න කිරීමට අයිතිය ඇත්තේ කවරෙකුට දැයි ඔවුහු කෝපයට පත්වී සිටිති. "හින්දු පුරුෂ රත්නයක්" ගෙන් ප්‍රශ්න කිරීමට කාන්තාවකට හැකි ද? විශේෂයෙන්ම මුස්ලිම් සම්භවයක් සහිත කාන්තාවකට?
BJP/RSS ෆැසිස්ට්වාදීන්ගේ සයිබර් ප්‍රහාර..
සබ්‍රීනා ඉන්දියාවේදී මේ ප්‍රශ්නය ඇසුවේ නම් මෝදිගේ BJP/RSS ෆැසිස්ට් බලකාය ඇගේ නිවස ගිණිතබා, අඩි හයක් යට යවා අවසානය. වාසනාවකට සබ්‍රීනා ඇමරිකාවේ ජීවත් වන බැවින් ඇයට තම ශාරීරික හානියක් කිරීමට BJP/RSS ෆැසිස්ට්වාදීන්ට තවම හැකිවී නැත. එහෙත් ඒ වෙනුවට පළමු පැයේ සිට ඇයට සමාජ ජාලා සහ අන්තර් ජාලය ඔස්සේ BJP/RSS ෆැසිස්ට්වාදීහු ප්‍රහාර එල්ල කළහ. කාන්තාවක් වශයෙන් ඇයට අපහාස, තර්ජන කළහ. ඇගේ ආගමට සහ පවුලේ සාමාජිකයන්ට අවලාද, චෝදනා නැඟූහ. ඉන්දියාවේ මානව හිමිකම් උල්ලංඝනය සිදුනොවන බවට සුරංගනා කථා ගෙතූහ.
සබ්‍රිනා සිද්දිකි වෙනුවෙන් ධවල මන්දිරය ඉදිරියට…
අවසානයේ, පසුගිය සඳුදා (26) ධවල මන්දිර බලධාරීහු මේ අන්තර් ජාල ප්‍රහාරයට එරෙහිව මැදිහත් වූහ. ඇමරිකානු ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් Karine Jean-Pierre කියා සිටියේ සබ්‍රිනා සිද්දිකි ඉලක්ක කර ගනිමින් සිදුවන බිය ගැන්වීමේ හෝ හිරිහැර කිරීමේ ඕනෑම උත්සාහයක් බයිඩන් පාලනය හෙළා දකින බවයි.
"අපි මාධ්‍ය නිදහස වෙනුවෙන් කැපවී සිටිමු. පසුගිය දා ඒකාබද්ධ මාධ්‍ය හමුව පැවැත්වූයේ ඒ වෙනුවෙනි" යැයි ඇය අවධාරණය කළාය. සබ්‍රිනා සිද්දිකි ඉලක්ක කර ගනිමින් සිදුවන අන්තර් ජාල ප්‍රහාර සදාචාර විරෝධී සහ කිසිසේත් පිළිගත නොහැකි අතර එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට පටහැනි යැයි ඇමරිකානු ජාතික ආරක්ෂක සභාවේ ප්‍රකාශක John Kirby පැවසීය.
"මෝදිගේ ප්‍රජාතන්ත්‍රවාදී" වැඩ කිඩ..
සබ්‍රිනා සිද්දිකි සිද්ධියෙන් මෝදිගේ BJP/RSS ෆැසිස්ට් බලකාය ජාත්‍යන්තරයට නිරාවරණය විය. ඒ ගැන අපි ඔවුන්ට ස්තූතිවන්තවෙමු. කීර්තිමත් The Wall Street Journal පුවත්පතේ වාර්තාකාරිනය වන සබ්‍රිනා සිද්දිකිට මේ අයුරින් සැළකුවේ නම් ඉන්දීය මාධ්‍යවේදීන්ට සහ මුස්ලිම් ඇතුළු සුළු ජන කොටස්වලට සළකන "මෝදිගේ ප්‍රජාතන්ත්‍රවාදී" ක්‍රමවේදය පිළිබඳ අටුවාටීකා අනවශ්‍යය.
මලිත්ට ගහනවිට චංචලා හඬන්නේ ඇයි?
අපි ඩොනල්ඩ් ට්‍රම්ප්, පුටීන්, එර්දෝගන්, නරේන්ද්‍ර මෝඩි, ෂි ජින්පින්, ඉරාන අයතුල්ලා ඇතුළු වර්ගවාදී, ජාතිවාදී ෆැසිස්ට් නායකයන් විවේචනය කරන විට අපේ 69 ලක්ෂයේ ගව පට්ටිය කුලප්පු වන්නේ ඇයි? අපේ බයියෝ වියරු වැටෙන්නේ ඇයි? ඒ සඳහා වන හේතුව ඉතා පැහැදිලි ය. අපේ බයියෝ පෙනී සිටින්නේ ඉහත නායකයන්ගේ වර්ගවාදී, ජාතිවාදී ෆැසිස්ට් වැඩපිළිවෙළ වෙනුවෙනි. ඔවුන්ගේ බයි ලෝකයේ වීරයන් වන්නේ රාජපක්ෂ පවුල ඇතුළු මේ ෆැසිස්ට් නායකයෝ ය. රාජපක්ෂ දේශපාලනයේ පදනම වන්නේ සිංහල බෞද්ධ වර්ගවාදය, ආගම්වාදය, ජාතිවාදයයි.
රාජපක්ෂ බයියන්ගේ ෆැසිස්ට් වීරයෝ…
ඔවුහු මානව හිමිකම්, මාධ්‍ය නිදහස, කාන්තා නිදහස ඇතුළු සියළු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් "බටහිර කුමන්ත්‍රණ" ලෙස දකිති. රාජපක්ෂ දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී සංවාද, කථිකා, විවාද නැත. ඇත්තේ ෆැසිස්ට් ප්‍රහාර පමණි. රාජපක්ෂලා සරණ ගොස් සිටින බයියෝ ඩොනල්ඩ් ට්‍රම්ප්, පුටීන්, එර්දෝගන්, නරේන්ද්‍ර මෝඩි, ෂි ජින්පින්, ඉරාන අයතුල්ලාට විසිල් ගැසීම පුදුමයක් නොවෙයි. රාජපක්ෂ බයියන්ගේ "තම්බින්නට කෙළවීමේ" අවශ්‍යතාව සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්, නරේන්ද්‍ර මෝඩි අපූරු වීරයන්ය. ප්‍රජාතන්ත්‍රවාදය විනාශකර ෆැසිස්ට් පාලනයක් ගෙනයෑම සඳහා පුටීන් සහ ඉරාන අයතුල්ලාලා කදිම ආදර්ශන්ය. බටහිර විරෝධී ක්‍රමන්ත්‍රණ සඳහා පුටීන්, එර්දෝගන් සහ ෂි ජින්පින්ලා බයි වීරයෝ වෙති.
බයියන්ට ප්‍රජාතන්ත්‍රවාදය ඇලජික්…
රාජපක්ෂ රෙජීමය පවත්වාගෙන ගියේ පුටීන්, එර්දෝගන්, ඉරාන අයතුල්ලාගේ ෆැසිස්ට් ක්‍රමයටය. දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පලිගත්තේ ය. ඔවුන්ට බොරු චෝදනා ඉදිරිපත් කර සිරගත කළේ ය. අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කළේ ය. තමන්ට අවශ්‍ය අධිකරණ තීන්දු ලබා ගැනීමට අගවිනිසුරුන් පවා ඉවත් කළේ ය. මාධ්‍ය මර්දනය කළේ ය. රෙජීමය විවේචනය කළ, දූෂණ හෙළි කළ මාධ්‍යවේදීන් ඝාතනය කළේ ය. මේ ලැයිස්තු දිගුය. එබැවින් රාජපක්ෂලාට වන්දනාමාන කරන බයි හමුදාව ෆැසිස්ට්වාදීන්ට විසිල් නොගසා ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ රාජ්‍ය නායකයන්ට විසිල් ගසයි ද?
රටින් පලා ගිය කටින් පුටින්..
69 ලක්ෂයේ බයි ගවපට්ටිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කළේ පුටීන් වර්ගයේ ඒකාධිපති නායකයෙකු බිහි කර ගැනීම වෙනුවෙනි. හිට්ලර් වර්ගයේ ෆැසිස්ට් නාසි නායකයෙක් වෙනුවෙනි. එහෙත් අවසානයේ පුටීන් "කටින් පුටින් වී" රටෙන් ද පලා ගියේ ය. එහෙත් බයියන්ගේ පුටීන් ආදරයේ අඩුවක් වී නැත. මෙයට මාස දහසයකට පුටීන් යුක්රේනය ආක්‍රමණය කරන විට බයියෝ බල්ටි ගසා විසිල් ගැසූහ. යුක්රේනයේ බටහිර හිතවාදී ප්‍රතිපත්ති රුසියාවට තර්ජනයක් යුක්රේන ආක්‍රමණය සාධාරණ බව බයියෝ පැවසූහ. එම තර්කයට අනුව ඉන්දියාව අපේ ගුවන් සීමාව ආක්‍රමණය කිරීම සාධාරණය. චීන කොළණියක් වී ඇති අපේ රට හෙට ඉන්දීය හමුදා ආක්‍රමණය කළහොත් එය ද ඉතා සාධාරණය.
මාස දහසයකට පෙර යුක්රේන ආක්‍රමණය ගැන අපකී දෑ
රුසියාවට යුක්රේනයෙන් එල්ල වන තර්ජන පට්ට පල් බොරුවක් බවත් පුටීන් යුක්රේනය ආක්‍රමණය කළේ වසර 1939 සැප්තැම්බරයේ දී හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කළ ආකාරයට බව එදා "පුටීන් යන්නේ කොයි පාරේ, මිනීමරු හිට්ලර් ගිය පාරේ...!" ලිපියෙන් https://www.lankaenews.com/news/13201 අපි පෙන්වා දුන්නෙමු. මාස දහසයකට පසු ඒ බව සනාථ වී තිබේ. යුක්රේන ආක්‍රමණය වැරදි තීරණයක් බවත්, නැගෙනහිර යුක්රේනයේ ඩොන්බස් ප්‍රදේශයේ පිහිටා තිබෙන රුසියානු හිතවාදී ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් ප්‍රදේශවලට යුක්රේන හමුදාවන්ගෙන් තර්ජන නොතිබුණ බවත්, ඔවුන් එම ප්‍රදේශවලට ප්‍රහාර එල්ල නොකළ බවත්, යුක්රේනයේ නාසිවාදයක් නොපවතින බවත්, මේ ආක්‍රමණය සිදුවූයේ දූෂිත රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ සහ පුටීන්ගේ Oligarchy ව්‍යාපාරික පංතියේ අවශ්‍යතාවයට බවත් පුටීන්ගේ සමීපතම හිතවතෙකු වශයෙන් සැළකෙන Wagner Group කුලී හමුදාවේ නායක යෙව්ජෙනි ප්‍රිගෝශින් (Yevgeny Prigozhin) පසුගිය සෙනසුරාදා (24) ප්‍රකාශ කළේ ය.
ප්‍රිගෝශින්ගේ කැරුල්ල පසුපස සිටියේ කවුද ?
යෙව්ජෙනි ප්‍රිගෝශින්ගේ කැරැල්ලෙන් සලිත වී අප පුටීන්ගේ බලය ගැන නොදන්නා බවට පාරම්බාන බයියන්ට කීමට ඇත්තේ අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙසට ය. අප පසුගිය ලිපියෙන් පෙන්වාදුන් පරිදි ප්‍රිගෝශින්ගේ කැරැල්ල පරාජයවීම කාලය පිළිබඳ ප්‍රශ්නයක්ම පමණි. එහෙත් ඒ කැරැල්ල වැදගත් වන්නේ වසර විසිතුනක පුටීන්ගේ දේශපාලන ආධිපත්‍යයට එල්ල වූ ප්‍රථම අභියෝගය නිසාය. මේ අභියෝගය නිසා අද හෙට පුටීන්ගේ ආධිපත්‍යය බිඳ වැටෙන්නේ නැත. එහෙත් එහි ඉරිතැලීම් දැනටමත් ප්‍රදර්ශනය වෙයි. යෙව්ජෙනි ප්‍රිගෝශින්ට රුසියාවේ අගනුවර වන මොස්කව්වලට සැතපුම් සියයක් ආසන්නයට තම භටයන් මෙහෙයවීමට හැකි වුයේ කෙසේ ද? ඒ සඳහා ඇතැම් හමුදා නිළධාරීන්ගේ ඔහුට සහය ලැබුණා ද? ඔහුට රොස්තොව්හි පිහිටි රුසියාවේ දකුණු හමුදා දිස්ත්‍රික්කයේ මූලස්ථානය අත්පත් කර ගැනීමට හැකි වූයේ කෙසේ ද? වැනි ප්‍රශ්න දැන් කරළියට පැමිණෙමින් තිබේ.
Wagner Group යනු රුසියානු රජයේ කුලී හමුදාව බව පුටීන් පිලිගනියි..
පුටීන් අද වෙඩි වැදුන කොටියෙකු මෙනි. හතර වටේටම තර්ජනය කරමින් තමන්ගේ බිඳ වැටුණු "අයෝමය නායකත්ව" ප්‍රතිරූපය ගොඩ නැඟීමට උත්සාහ ගනියි. යුක්රේනයේ සිවිල් වැසියන් ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාර එල්ල කරයි. තමා සැඟවී නොසිටින බව ඇඟවීමට රටපුරා සංචාරය කරයි. ඒ අතර මෙතෙක් සඟවා ගෙන සිටි රාජ්‍ය රහස් පවා හෙළි කරයි. මෙතෙක් කාලයක් රුසියාව නිළ වශයෙන් ප්‍රකාශ කළේ යුධ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා එල්ල වූ Wagner Group කුලී හමුදාව සමඟ තම සම්බන්ධයක් නොමැති බවයි. එහෙත් පසුගිය අඟහරුවාදා (27) ජනාධිපති පුටීන් ප්‍රකාශ කළේ වසර 2022 මැයි සිට 2023 මැයි දක්වා පමණක් රුසියානු ආණ්ඩුව රූබල් බිලියන 86ක් (ඇ.ඩොලර් බිලියනයක්) Wagner Group කුලී හමුදාවට ගෙවා ඇති බවයි. ඒ අනුව රුසියානු රජය නිළ වශයෙන් කුලී හමුදාවක් පවත්වා ගෙන යන බව දැන් පිළිගෙන තිබේ.
හිට්ලර්ගේ සහ මුසලෝනිගේ ඉරණම…
පුටීන්ට වඩා බලවත් ෆැසිස්ට් ඒකාධිපතියෝ ලෝකයේ රජ කළහ. සමස්ත යුරෝපයෙන් අඩකටත් වඩා අත්පත් කරගෙන සිටි ඇඩොල්ෆ් හිට්ලර්ට අවසානයේ සියදිවි නසා ගැනීමට සිදුවිය. ෆැසිස්ට්වාදයේ නිර්මාතෘ බෙනීටෝ මුසලෝනිව මරා දැමූවේ බල්ලෙක් මෙනි. මේ ලැයිස්තුව බොහෝ දිගු බව පමණක් මේ මොහොතේ සඳහන් කරමු.
-ආනුභාවනන්ද
anubhawananda1@gmail.com
https://www.lankaenews.com/category/33

No comments:
Post a Comment