Friday, 30 June 2023

"පැමිණිලිම හාර ලක්ෂයක් ලැබිලා!" - මුදල් අමාත්‍යංශයේ "වැඩ බැරි ටාසන්ලා" උදම් අනති..!

-දි අයිලන්ඩ් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.30, ප.ව.8.20) ‘අස්වැසුම’ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව සම්බන්ධයෙන් බදාදා (28) සවස් වන විට ආසන්න වශයෙන් අභියාචනා ලක්ෂ 4ක් ලැබී ඇති බව මුදල් අමාත්‍යංශය ඊයේ(29) නිවේදනය කළේය.

මුදල් අමාත්‍යංශයට අනුව ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව සම්බන්ධයෙන් අභියාචනා 383,232ක් සහ විරෝධතා 5,045ක් ඉදිරිපත් කර ඇත.

ෂෙහාන් සේමසිංහ මුදල් රාජ්‍ය අමාත්‍යාකාරයා ජුනි 25 දින නිවේදනය කළේ, රට පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීම කඩිනම් කරන ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවයි.

අගතියට පත් ජනතාවට ජූලි 10 වැනි දාට පෙර අභියාචනා ඉදිරිපත් කළ හැකි යයි සේමසිංහ රාජ්‍ය අමාත්‍යකාරයා ඊයේ(29) සහතික විය. ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ දී මාධ්‍ය අමතමින් සේමසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ විවිධ උසි ගැන්වීම් කරන පාර්ශ්වවලට හසු නොවන ලෙසයි.

ලැබී ඇති අභියාචනා සහ විරෝධතා අගැයීමට ලක් කර, ප්‍රතිලාභීන්ගේ අවසන් නාම ලේඛනය දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ප්‍රකාශයට පත් කරන බව ද ඔහු සඳහන් කළේය.

තව දුරටත් අසාධාරණයක් සිදු වුවහොත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ඊට මැදිහත් වන බව ද ඔහු පැවසීය.

මේ අතර, ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ‘අස්වැසුම’ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය රජය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්, අපේක්ෂකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලියේ යම් අඩුපාඩු ඇත් නම් කඩිනමින් විසඳන බවට සහතික වන බවත්, ඒ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවත්ය.

සතියේ දිනවල පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා ‘1924’ යන දුරකථන අංකයෙන් අස්වැසුම වැඩසටහන පිළිබඳ වැඩි දුර විමසීම් කිරීමට මහජනතාවට පුළුවන.

- 2023 ජුනි 30 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, “Govt. receives 400,000 complaints about Aswesuma” නම් ප්‍රවෘත්තිය සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment