නොවිසඳුණු ශෝඛාන්තය..! ශ්‍රී ලංකාවේ සමූහ මිනීවළවල් හා අසාර්ථක කැනීම්..!
-සංවිධාන 5 කින් වාර්තාවක් නිකුත් කරයි
(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.22, ප.ව.11.00) "මාතලේ සමුහ මිනීවල ගැන කතාව අහපුවහම අපි හිතුවා මරලා දාපු මගේ මල්ලි ඇතුළු අනිත් හැම දෙනාටම මොකක් හරි සාධාරණයක් වෙයි කියලා. අඩුම ගානේ මොකද වුනේ කියලා වත් දැන ගන්න ලැබෙයි කියල. අපේ අම්මා තවම ජීවත් වෙනවා ඒ මල්ලි නැති වීම විඳ දරා ගෙන. අපිත් ගිහින් පොලිසියට ප්‍රකාශ දුන්නා අපේ මල්ලිලා මේ සමුහ මිනිවලේ මරා දාලා ඇති කියලා, ඒ ගැන සාධාරණ පරීක්ෂණයක් කෙරෙයි කියලා හිතලා. ඒත් දැන් අවුරුදු ගානක් ගෙවිලා ගිහිල්ලත් කිසිම පරීක්ෂණයක් නැහැ. ඔක්කොම යටගහලා. ඒ දවස්වල මේ ගැන උනන්දුවෙන් ක්‍රියා කරපු මාධ්‍ය වගේම දේශපාලන පක්ෂත් ඒවා අමතක කරලා. සමහරු මේ මරා දාපු අයගේ පින්තුර ඒ ගොල්ලන්ගේ දේශපාලන වාසියට පාවිච්චි කරනව මිසක් ඒ අයට යුක්තියක් ඉටු කරන්න අඛණ්ඩ අරගලයක් ගෙනියන්නේ නැහැ. මාතලේ ඝාතන වලට දායක වුනු හුඟ දෙනෙක් රටේ ලොකු තැන්වලටත් ඇවිත් හොඳට ඉන්නවා. ඒත් අමානුෂිකව මරා දාපු අය පොලවට යට කරලා හංගන්න හදනකොට මාතලේ මිනිවලෙන් ඒ කතන්දර මතු වුනත් ආයෙමත් ඒක වහලා දාලා ඒ හැම එකක්ම අමතක කරලා. මරා දාපු උදවියගේ ළඟම අයට විතරයි ඒ දුක වේදනාව. මාතලේ සමූහ මිනීවල කියලා විශේෂයක් නැහැ, අනික් අපරාධ වලට වගේම තමයි, මේ රටේදී යුක්තිය ඉටු වෙනවා කියන එක හුදු බලාපොරොත්තුවක් විතරයි."
- 1989 දී අතුරුදහන් වූ ආනන්ද ඉඩමේගමගේ සොයුරු බන්දුල ඉඩමේගම 2023 මැයි 3 දී පැවැති සම්මුඛ සාකච්ඡාවක දී
සමූහ මිනීවළවල් හාරා පරීක්ෂණ පැවැත්වීමේදී අසාර්ථකත්වයේ රටාවක්...
අතීතය සම්බන්ධයෙන් පියවර ගැනීමට බරපතල ලෙස උනනන්දුවක් දක්වන්නේ නම් ශ්‍රී ලංකා රජය සමූහ මිනීවළවල් කැනීමේ සිය පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර නීරීක්ෂකයන් ගෙන්වා ගැනීමට කැපවී ක්‍රියා කළ යුතු බව දිවයින පුරා අතුරුදහන් තැනැත්තන්ගේ ඥාතීන් සමඟ කටයුතු කරන සිවිල් සමාජ කණ්ඩායම් පහක් ප්‍රකාශ කරයි. මෙම කණ්ඩායම්, පවුල්වල ඉරණම පිළිබඳව වාර්තා චිත්‍රපටයක් ද එළිදක්වමින්, ලංකාවේ සමූහ මිනීවළවල් හාරා පරීක්ෂණ පැවැත්වීමේ සංස්ථාපිත අසාර්ථකත්වයේ රටාවක් විස්තර කෙරෙන ඒකාබද්ධ වාර්තාවක් ද එළිදක්වා ඇත.
සමූහ මිනීවළවල් සිය ගණනකින් 20 ක් පමණයි..
මේ ඒකාබද්ධ වාර්තාවෙන් විභාග කෙරෙන්නේ විවිධ වකවානුවල ගැටුම්වලින් ඇතිවූ සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරයට අදාළ කාරණා යි. අනාවරණය නොවූ දස දහස් සංඛ්‍යාත සිරුරු දිවයින පුරා සමූහ මිනීවළවල්වල මිහිදන් කර තිබේ. 1983 සහ 2009 අතර සිදුවූ බලහත්කාර අතුරුදහන් කිරීම්වල දස දහස් සංඛ්‍යාත වින්දිතයන්ගේ සිරුරු රැගත් සමූහ මිනීවළවල් දහස් ගණනක් නොවෙතොත්, නිශ්චිත වශයෙන්ම සිය ගණනක් ශ්‍රී ලංකා දෙරණ පුරා විසිරී පවතී. මේ තාක් දුරට කැනීම් සිදුකර ඇත්තේ විස්සක් පමණ වූ සොච්චම් සංඛ්‍යාවකය. පසුගිය දශක තුන තුලදී ඒ සමූහ මිනීවළවල් විස්සක් පමණ තරමක් දුරට ගොඩ දමා තිබුනත්, කිසිදු කුටුම්භයකට තම සමීපතමයන්ගේ ශේෂයන් භාරදී නැත.
බාධා කළ හැටි..
ශ්‍රී ලංකාවේ කොමිෂන් සභා අනේකයක් අතුරින් එකකවත් විෂය පථයට සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් සොයා බැලීම ඇතුලත් වූයේ නැත. ඒ වෙනුවට සිදුවූයේ, සත්‍යය හෙළි කරගැනීම සඳහා ගන්නා ලද උත්සාහයන්ට බාධා පැමිණවීමයි.
මහේස්ත්‍රාත්වරුන් සහ වෝහාරික විශේෂඥයන් හිටිඅඩියේ මාරු කර යවන ලදී, උසාවි නියෝග ක්‍රියාත්මක කිරීම පොලිසිය විසින් පමා කරන ලදී, මිනීවළවල් ඇති ස්ථානවලට ඥාතීන්ට සහ නීතිඥයන්ට ප්‍රවේශවීමේ ඉඩකඩ අහුරා ලන ලදී, ජීවතුන් අතර සිටින සාක්ෂිකරුවන් සොයා ගැනීමට කිසිදු උත්සාහයක් නොදරන ලදී, පූර්ව මරණ දත්ත කිසිවක් රැස් කර නොගන්නා ලදී, යමකු අධිකරණය විසින් වරදකරු ලෙස තීන්දු කරන ලද අතිශය දුර්ලභ අවස්ථාවලදී පවා සිදුවූයේ ඔවුන්ට සමාවක් දීමයි. එය දේශපාලන අධිෂ්ඨානයක් නැති කමත්, නොසරිලන නීති රාමුවක්, සංගත ප්‍රතිපත්තියක් නැතිකමක් සහ සම්පත් හිඟකමත් පිළිබඳ අන්දරයකි.
අතුරුදහන්වුවන්ගේ ඥාතීන්ට නම් එය නොවිසඳුණු ශෝඛාන්තයක් පිළිබඳ කතාවකි දුකට පත් වුවෝ පණ පිටින් කඹුරා සිය ප්‍රියාදරයන් නොදැකම මියෑදෙන්නෝ ය. මේ තාක් කැනීම් බොහොමයක් සිදු කිරීමට බලධාරීන්ට සිද්ධ වී ඇත්තේ ඉදිකිරීම් කටයුතුවලදී සමූහ මිනීවලවල් පිහිටි ස්ථාන අහම්බෙන් හෙළිවූ විටදී ය. එසේත් නැතිනම්, 1999 දී යාපනයේ දිස්ත්‍රික්කයේ චෙම්මනි හි දී සිදු වූ ආකාරයට ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් දෙන ලද තොරතුරු පදනම් කරගෙන ය. සිදුකරන ලද කැනීම්වල පවා තිබූ අඩුපාඩු මෙම වාර්තාවෙන් විශ්ලේෂණය කෙරේ.
මන්නාරමේ සහ මාතලේ මිනීවළවල් වලින් හෙළි වූ සත්‍යය..
2013 දී මල සිරුරු 155 ක් ගොඩගත් මාතලේත්, 2013 දී හා 2018 දී ස්ථාන දෙකක පිලිවෙලින් සිරුරු 81 ක් හා සිරුරු 318 ක් (දරුවන් 28 ක්ද ඇතුළුව) ගොඩගත් මන්නාරමේත් අත්දැකීම් ගැන විශේෂයෙන් අවධානය යොමුකෙරේ. මානව හිමිකම් හා සංවර්ධනය සඳහා වන මධ්‍යස්ථානය, අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සහ සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය දන්නා තවත් කැනීම් පිළිබඳව මේ වාර්තාවේ ඇමුණුමේ ඇත
මේ වාර්තාවේ කර්තෘත්වය දරන සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට කරන ප්‍රධාන නිර්දේශ 7 ක් ද වාර්තාවේ අඩංගු ය.
සම්පූර්ණ වාර්තාව සිංහලෙන් පහත දිගුවේ දැක්වේ

No comments:
Post a Comment