Thursday, 13 July 2023

වසර 5 ක් තුල රටට ලාභ සහ බදු ලෙස රුපියල් බිලියන 50 ක් ලබා දෙන රජයට අයත් ලිට්‍රෝ සමාගම ඉන්දියානු සමාගමකට විකුණා දැමීමේ ජාතික අපරාධයට එරෙහිව පෙරට එන්න..!   

-'ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව' ජාතියෙන් ඉල්ලයි..!

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.13, ප.ව.10.00) වසර 5 ක් තුල ජාතික ආර්ථිකයට ලාභ සහ බදු වශයෙන් රුපියල් බිලියන 50 ක් ලබා දෙන වාර්ෂිකව රුපියල් බිලියන 75 ක පිරිවැටුමක් ඇති, ආර්ථිකයේ මර්මස්ථාන රැක ගැනීමේ ජාතික මෙහෙවරක යෙදෙන, වසර 150 ප්‍රෞඩ ඉතිහාසයක් ඇති, රාජ්‍ය සමාගමක් වන ලිට්‍රෝ ගෑස් සමාගම ඉන්දියානු පුද්ගලික සමාගමකට විකුණා දැමීමට වික්කමසිංහ ජනාධිපතිකාරයා ප්‍රමුඛ රට බංකොලොත් කළ රාජපක්ෂ රෙජීමය සූදානම් වේ. ඊට එරෙහිව 'ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව' පෙළගැහෙමින් සිටිති. 'ප්‍රතිව්‍යුහගත කිරීම' නම් ව්‍යාජ නමකට මුවාවී සිදුකිරීමට යන 'රන් බිජුලන කිකිළිය' විකුණාදැමීමේ මහා ජාතික අපරාධය නොකරන ලෙස ඉල්ලා, ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව විසින් බොහෝ දෙනෙකුට පිටපත් සහිතව ජනාධිපතිවරයාට යවන ලද ලිපියක් පහත දැක්වේ.    

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ
අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ
13/07/2023

ලිට්රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත නොකළ යුත්තේ ඇයි?

ගරු ජනාධිපතිතුමා වෙත,

ලිට්රෝ ගෑස් ලංකා සමාගම දැනට ලංකා රක්ෂණ සංස්ථාව යටතේ ඇති මුදල් අමාත්‍යාංශය මගින් පාලනය වන වසර 150 ක් පමණ ප්‍රෞඩ ඉතිහාසයක් ඇති දේශීය සමාගමකි.

ලංකා ගෑස් ලෙස ආරම්භ වුණු මෙම සමාගම ලාංකීය පාරිභෝගිකයාගේ LP ගෑස් අවශ්‍යතාවය වෙනුවෙන් ඉතා දීර්ඝ කාලයක සිට තම සේවාව සපයයි. ජාත්‍යන්තර Shell සමාගම යටතේ වසර 15 ක ජාත්‍යන්තර අත්දැකීමකින් පසුව නැවතත් ලිට්රෝ සමාගම පූර්ණ රාජ්‍ය ව්‍යවසායකත්ව සමාගමක් බවට පත්විය.

ආර්ථිකයේ මර්මස්ථාන සඳහා ගෑස් සැපයීමේ ප්‍රමුඛයා..

වර්තමානයේ දී වත්මන් රජය  ලංකා රජය සතු තෝරාගත් ආයතනයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ආර්ථික  ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් ඒ යටතේ ලිට්රෝ ගෑස් ලංකා සමාගමද ඒ සඳහා ලැයිස්තුගත කොට ඇති බව අප දනිමු. ලිට්රෝ ගෑස් සමාගමේ ව්‍යුහය සහ එහි සමාජ ආර්ථික ප්‍රතිලාභ සලකා බැලීමේදී වර්තමානයේ ලාභ උපයන අප සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම කාලෝචිත නොවන බවත් ඒ තුළින් රජය බලාපොරොත්තු වන සමාජ ආර්ථික ප්‍රතිලාභ ලඟා කර ගත නොහැකි බව  පෙන්වා දීමට අප සංවිධානය තීරණය කර ඇත.

ලිට්රෝ ගෑස් ලංකා සමාගම ජනතාවගේ සාමාන්‍ය ආහාර පිසීම සඳහා පමණක් මැදිහත් වුණු සමාගමක් නොවේ. දේශීය ආර්ථිකයට ඉතා දැවැන්ත ආර්ථික සහයෝගීතාවයක් ලබාදෙන සංචාරක හෝටල් කර්මාන්තය, සෙරමික් සහ ටයිල් කර්මාන්තය, රබර් සහ ප්ලාස්ටික් කර්මාන්තය, බිස්කට් සහ බේකරි කර්මාන්තය, පමණක් නොව ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍ර ටද ප්‍රබල දායකත්වය දෙන සමාගමකි. තවද ආරෝග්‍යශාලා සහ ආදාහනාගාර යන සේවාවන් සඳහා ද අප සමාගම අනිවාර්ය සේවාවන් සපයයි. ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ආරක්ෂක අංශ සඳහා ලබා දෙන සේවාව ඉතා ප්‍රබලය. සමස්තයක් ලෙස ගත් කල ලාංකීය ආර්ථිකයේ මර්මස්ථාන සඳහා එල් පී ගෑස් සැපයීමේ ප්‍රමුඛයා වන්නේ ලිට්රෝ ගෑස් ලංකා සමාගමයි. මෙම සමාගම පුද්ගලික අංශයට ලබා දීම මගින් සිදු කරනු ලබන්නේ ලාංකීය පාරිභෝගිකයා සහ ආර්ථිකය ඉතා අවදානම් තත්ත්වයකට පත් කරලීමයි. එවැන්නක් සිදුවුවහොත් පුද්ගලික අංශයේ තීරණ මත රටෙහි බලශක්ති ක්ෂේත්‍රය ප්‍රබල අවදානමකට ලක්විය හැක. යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීම් තුළින් එවැනි ජාතික අපේක්ෂාවන් ඉටු වීමක් බලාපොරොත්තු විය හැකිද?

2020 - 2022 වර්ෂවලදී අප සමාගමට රුපියල් කෝටි දහසකට අධික මූල්‍ය පාඩුවක් දැරීමට සිදුවූයේ ජාත්‍යන්තර මිලටත් වඩා අඩුවෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයාට ගෑස් ලබා දීම නිසාය. ඉතා අසීරු සමයක පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය වෙනුවෙන් රාජ්‍ය සමාගමක් ලෙස අප එය විඳ දරා ගත්තෙමු. උක්ත ප්‍රතිව්‍යුහගත කරනය තුළින් එවැන්නක් බලාපොරොත්තු වීම කිසිසේත් කළ නොහැක. එවැනි අපහසු තත්ත්වයක දී ලිට්රෝ සමාගම ශ්‍රී ලාංකීය කර්මාන්තකරුවා සහ පාරිභෝගිකයා ආරක්ෂාකර ගත්තෙමු.යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීම් තුළින් එවැන්නක් නොවනු ඇත.

මිලියන 7 ක පාරිභෝගිකයන් අසරණ කිරීමක්..

ලිට්රෝ ගෑස් ලංකා සමාගම මේ වන විට ගෑස් සිලින්ඩර මිලියන හතක (7 Million) පමණ ප්‍රමාණයක් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත ලබාදී ඇත. LP ගෑස් ලබාදීමට අමතරව ඒවා ප්‍රතිසංස්කරණය කිරීම, නැවත අළුත්වැඩියා කිරීම නොමිලේ සිදු කරනු ලබයි. යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීම් තුළින් එවැනි නොමිලේ සේවාවක් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට හිමිවන්නේ නැත. එය පුද්ගලික අංශයට ලබා දීමෙන් පසු ඉහත මිලියන හතක ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් ඉතා අසරණ තත්ත්වයට පත් වන්නේය.

වසර 5 ක් තුල රුපියල් බිලියන 50 ක් ලාභ සහ බදු ලෙස දුන්නා..

වර්තමාන ආර්ථික අවපාතය ට පෙර එනම් 2015-2020 කාලය තුල ලිට්රෝ ගෑස් ලංකා සමාගම රාජ්‍ය භාණ්ඩාගාරය සඳහා ලාභ සහ බදු වශයෙන් රුපියල් බිලියන 50ක පමණ දේශීය ආර්ථිකයට දායාද කළ සමාගමකි. එම වකවානුවේදී දේශීය පාරිභෝගිකයා සහ කර්මාන්තකරුවා සඳහා ඉතා සහන පදනම මත ගෑස් ලබාදුන් ලිට්රෝ ගෑස් ලංකා සමාගම කාර්යක්ෂම සහ ඵලදායි සමාගමක් ලෙස ලබාදුන් සේවාව අතිවිශිෂ්ට ය. රාජ්‍ය භාණ්ඩාගාරයට ඉමහත් ශක්තිමත් වන මෙවැනි සමාගමක් ප්‍රතිව්‍යුහගතකරන්නේ කුමන අරමුණින්ද?

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ලාංකීය වෙළදපොළ තුළ ගෑස් අර්බුදය ඇතිවූ අවස්ථාවේදී තරඟකාරී ගෑස් සමාගම මාස තුනක් පමණ තම මෙහෙයුම් නතර කරන ලදී, එම අවස්ථාවේ ජාතික ගෑස් සැපයුම්කරුවා ලෙස වෙළඳපොල, පාරිභෝගිකයා සහ කර්මාන්තකරුවා ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වූයේ ලිට්රෝ ගෑස් ලංකා සමාගමයි. ජාතික ආපදා තත්ත්වයකදී දේශීය පාරිභෝගිකයා වෙනුවෙන් පෙනී සිටින ලිට්‍රෝ ගෑස් සමාගම   ප්‍රතිව්‍යුහගතකර ජාතික වගකීම පුද්ගලික අංශයට පවරා දීම කළ යුතුද?

2022 ලෝක බැංකු විසින් එවකට පැවති ආර්ථික අවපාතය තුළින් අප ව්‍යාපාරය ශක්තිමත් කරගැනීමට ලබා දුන් මුදල අප ආයතනය පූර්ණ විනිවද භාවයෙන් හා කාර්යක්ෂමතාවයෙන් යුතුව ප්‍රයෝජනයට ගැනීම ඔවුන්ගේ ඇගයීමට හා පැසසුමට ලක්වූ කරුණකි. රුපියල් බිලියන 26 ක් පමණ, එම ණය මුදල මාස තුනක් ඇතුළත නැවත රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙවා දැමීමට අප සමාගමට හැකිවිය. එවැනි කාර්යක්ෂම සහ ඵලදායි ආයතනයක් පුද්ගලිකකරණයට  පත් කිරීම තුළින් ලාංකීය ජනතාව උදා කර ගනු ලබන්නේ කිනම් සංවර්ධන මාවතක් ද?

ලිට්රෝ සමාගම පුද්ගලික අංශයට දීම ජාතික අපරාධයක්...

මසකට රුපියල් බිලියන 6 කට සහ වාර්ෂිකව රුපියල් බිලියන 75 කට වඩා වැඩි  පිරිවැටුමක් සහිත ඉතා දැවැන්ත සමාගමක් වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම තම මෙහෙයුම් සඳහා යොදාගනු ලබන්නේ දෙසීයකට (200) ආසන්න කුඩා  මිනිස් ශ්‍රම බලකායක් ය. රටට, භාණ්ඩාගාරයට සහ රජයට බරක් නොමැති මෙවැනි කාර්යක්ෂම සහ ඵලදායි ආයතනයක් පුද්ගලික අංශයට පවරා දීම අදූරදර්ශී සහ කාලෝචිත නොවන ක්‍රියාමාර්ගයකි.

ලිට්රෝ සමාගම ආයතනීය මෙන්ම පාරිභෝගිකයින්ගේද සුභ සිද්ධිය උදෙසා හඳුන්වා දුන් මිල සූත්‍රය මගින් ජාත්‍යන්තර මිලට සාපේක්ෂව ගෑස් ලබා දීමට වර්තමානයේ දී කටයුතු සිදු කරනු ලබයි. උක්ත කරුණේ  ප්‍රතිලාභය ලෙස ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,910/- සිට වර්තමානයේදී රුපියල් 2,982/- දක්වා මිල පහත දමමින්, නොකඩවා ගෑස් සැපයීම සිදු කිරීම තුලින් ජාතික සමාගමක් වන ලිට්රෝ ගෑස් සමාගම ශක්තිමත් වීම ද සිදුවී ඇත. පුද්ගලික සමාගමක් වන ලාෆ් සමාගම පාරිභෝගිකයන් හට එම ජනතා සහන ලබා නොදී ලිට්රෝ ගෑස් සමාගමේ ගෘහස්ත සිලින්ඩරයක මිලට වඩා රුපියල් 712/- කට ආසන්න වැඩි මුදලකට ගෑස් අලෙවි කරනු ලබයි.ඉන් පෙනී යනු ලබන්නේ රාජ්‍ය සමාගමකට වැඩි ජනතා සහන ලබා දිය හැකි බවයි.

අපි විරුද්ධයි, ඒ වෙනුවෙන් සටන් කරනවා..!

රාජ්‍ය භාණ්ඩාගාරයට ශක්තියක් ලබා දිය හැකි, ශ්‍රී ලාංකීය ජනතාවගේ සුබසාධනය සඳහා මූල්‍ය උත්පාදනයන් කළ හැකි, දේශීය  ව්‍යාපාරයන්ගේ අනිවාර්ය බලශක්ති සැපයුම්කරුවා වන, ලාංකීය විදේශ වෙළඳාමට සහ දේශීය ඩොලර් සංචිතය සඳහා ඍජු බලපෑමක් කළ හැකි මෙවැනි ජාතික සම්පතක් ප්‍රතිව්‍යුහගත කිරීම සමස්ත ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සේවකයින් වන අප තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු. දේශිය පාරිභෝගිකයාගේ එදිනෙදා ආහාර පිසීමේ ඇති අයිතිය පුද්ගලික අංශ වෙත පවරා දීමට අප දැඩිව විරුද්ධ වන්නෙමු. ඒ සඳහා පෙළ ගැසෙන්නෙමු.

ගරු ජනාධිපතිතුමනි, මේ පිළිබඳ ඔබගේ අවධානය යොමුකොට අප සංවිධානයේ  ඉල්ලීම පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

ස්තුතියි

අත්සන් කෙළේ

සභාපති, ලේකම්, භාණ්ඩාගාරික

ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව.





පිටපත්
1- ගරු අග්‍රාමාත්‍ය තුමා
2- ගරු විපක්ෂ නායක- සජිත් ප්‍රේමදාස මැතිතුමා
3- සමන් ඒකනායක මහතා, ජනාධිපති ලේකම්
4- මහින්ද සිරිවර්ධන මහතා, ලේකම් , මුදල් අමාත්‍යාංශය
5- සාගල රත්නායක මහතා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී
6- ගරු ජාතික ජනබලවේග පක්ෂ නායක, අනුරකුමාර දිසානායක මැතිතුමා
7- ගරු එක්සත් ජනරජ පෙරමුණ පක්ෂ නායක, පාඨලී චම්පික රණවක මැතිතුමා
8- ගරු පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක,උදය ගම්මන්පිල මැතිතුමා
9- ගරු විපක්ෂ ප්‍රධාන සංවිධායක, ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා
10- ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, කබීර් හෂීම් මැතිතුමා
11- ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී,හර්ෂ දි සිල්වා මැතිතුමා
12- ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, විමල් වීරවංශ මැතිතුමා
13- ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, චරිත හේරත් මැතිතුමා
14- ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජයන්ත සමරවීර මැතිතුමා
15- ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, එස් එම් මරික්කාර් මැතිතුමා
16- ගරු ලේකම්, ජනතා විමුක්ති පෙරමුණ,ටිල්වින් සිල්වා මහතා
17- වසන්ත සමරසිංහ මහතා
18- සුනිල් හදුන්නෙත්ති මහතා
19- මුදිත පීරිස් මහතා, සභාපති , ලිට්රෝ ගෑස් ලංකා සමාගම 

No comments:

Post a Comment