Sunday, 30 July 2023

පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් 52 ක් රාජපක්ෂලා හැර යති..!

-මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.30, ප.ව.11.30) බැසිල් රාජපක්ෂ කෙතරම් වළිකෑව ද පාර්ලිමේන්තුවේ සිටින පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් 52 ක් රාජපක්ෂලා හැරපියා රනිල් වික්‍රමසිංහගේ යූඇන්පිය සමග හෝ යූඇන්පිය සහ තවත් පක්ෂ එක්වී හදන පෙරමුණකට එක්වනු ඇතැයි රාජපක්ෂලා හැරපියා යන කණ්ඩායමේ ප්‍රධානියෙකු ලංකා ඊ නිව්ස් සමග පැවසීය.

දැනට තම කණ්ඩායමේ ස්ථිර වශයෙන්ම 32 ක් සිටින බවත් තවත් 20 දෙනෙකු සමග මේ දිනවල සාකච්ඡා කරමින් සිටින අතර ඉන් 10 දෙනෙකුද තමන් සමග එක්වන බව ස්ථිර කර ඇතැයි ඔහු පැවසීය. අනෙක් දස දෙනා සහ තවත් අය සමග ද සාකච්ඡා පැවැත්වෙන බව ඔහු කී අතර පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට ආ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 124 ක් බවද ඔහු පැවසීය.

මෙසේ තමන්ට රාජපක්ෂලා හැර පියා ගොස් දේශපාලනය කිරීමට සිදුව ඇත්තේ රාජපක්ෂලා සමග දේශපාලන අනාගතයක් නොමැති බවත් රාජපක්ෂලා සමග දේශපාලනයේ නිරත වුවහොත් ඒ කිසිවෙකුට ගමේ චන්ද එකක්වක් නොලැබෙන බවට 100% විස්වාස යැයි ද ඔහු පැවසීය. තම කණ්ඩායම දැනට ජනාධිපති රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුව තුල සහාය දෙන බව ඔහු වැඩිදුරටත් කීය.

ඉහත කී රාජපක්ෂලා හැරපියා යන මන්ත්‍රී කණ්ඩායම කියන අන්දමට ඔවුන් ද සහාය දෙන්නේ බැසිල්ගේ පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම සහාය දෙන රනිල් වික්‍රමසිංහටම ය. එසේ නොමැතිව විපක්ෂයට සහාය දීමක් සිදු නොවේ. ඒ අනුව මේ කියන කණ්ඩායමේ  දේශපාලන ක්‍රියාමාර්ගවල වෙනසක් සිදුවනවානම් සිදුවනු ඇත්තේ ඉදිරි ඡන්දයක දී මිස පාර්ලිමේන්තුව තුල නොවේ. ඒ අනුව වත්මන් ආණ්ඩුව දැනට  ගෙන යන ජනතා විරෝධී, ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියා සියල්ලටම මේ කණ්ඩායමද සහාය දෙනු ඇත.

රනිල් වික්‍රමසිංහට සමීප ආරංචි මාර්ග පවසන්නේ ලබන 2024 වසරේ මුල් කාර්තුවේ දී හෝ සිංහල දෙමළ අලුත් අවුරුද්ද පසුවනවාත් සමග හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීමට වික්‍රමසිංහ කටයුතු කරමින් සිටින බවයි. එය ඔහුගේ ඉන්දීය සංචාරයෙන් පසුව ගන්නා ලද තීරණයක් බවද පැවසේ.

-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි

No comments:

Post a Comment