දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක දෙවැනි අදියරයකට යෑම වයිමාටවත් වළක්වන්න බෑ..!
-ශාන්ත ජයරත්න විග්‍රහ කරයි
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.20, ප.ව.10.30) මේ දිනවල රජයේ පාර්ශවය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට අවශ්‍ය මූලික කටයුතු ලහියේ කරමින් සිටින බව පෙනේ. මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම පදනම් වන්නේ මූලික ඉලක්ක තුනක් සාක්ෂාත් කරගැනීම සඳහා යි.
2. රජයේ දල මූල්‍ය අවශ්‍යතාව 34.6% (2022) සිට 13% (2027) දක්වා පහළට ගෙන ඒම,
3. විදේශීය ණය ගෙවීම දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 9.4% (2022) සිට 4.5% (2027) අඩු කර ගැනීම.
මෙම ඉලක්ක එකක් හෝ කිහිපයක් අදාළ කාලය ඇතුලත සපුරා ගැනීමට අපොහොසත් වුවහොත් රජයට දෙවන ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යෑම වැලැක්විය නොහැක. එසේ දෙවන ප්‍රතිව්‍යුහගත කිරීම් වලට යාමට සිදුවූ රටවල් අතරින් ග්‍රෙනෙඩාව ලංකාවේ තත්ත්වයට ඉතා සමානය.
ලංකාවට සමාන වූ ග්‍රෙනෙඩාව...
ග්‍රෙනෙඩා රජය පළමු වරට 2004-06 කාල වකවානුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට ගියද (Pre-emptive default) එය ප්‍රමාණවත් නොවීය . පසුව 2013-15 නැවත දෙවන වරටත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යෑමට ඔවුන්ට සිදුවිය. ලංකාවේ රජය කළාක් මෙන් පළමු වටයේදී ඔවුන් ණය කපා හැරීමකට නොගිය අතර ණය ගෙවීමේ කාලය දික් කිරීමට අමතරව කූපන් ගාස්තුව (Coupon Clipping) අඩු කළේ ය. ණය තිරසර භාවය ඇති කර ගැනීමට එය ප්‍රමාණවත් නොවුන තැන ග්‍රෙනෙඩා රජය දෙවන ප්‍රතිව්‍යුහගත කිරීමකට යන අතර එහිදී 50% කට ආසන්න ණය කපා හැරීමකට යෑමට ඔවුන්ට සිදුවිය. මේ පිළිබඳ තොරතුරු දැන ගැනීමට පිවිසෙන්න : https://www.imf.org/-/media/Files/Publications/WP/2017/wp17171.ashx
රජයේ 2022 සහ 2023 පළමු කාර්තුවේ කාර්ය සාධනය පිරික්ෂීමේදි පෙනී යන්නේ රජය ඉහත ඉලක්ක (1-3) සපුරා ගන්නා දිශාවට වඩා රටේ ආර්ථිකය මෙහෙයවා ඇත්තේ තවත් අගාධයකට ගෙන යන දිශාවකට ය. ඒ අනුව 2025-2026 වන විට දෙවන ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමකට යෑමේ වැඩි සම්භාවිතාවක් ඇත යන්න මාගේ පෞද්ගලික නිගමනයයි.
පසුගිය දා මුදල් අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ 2023 මධ්‍ය කාලීන මූල්‍ය වාර්තාව ඉදිරිපත් කොට තිබුණි. (MID-YEAR FISCAL POSITION REPORT-2023). ඒ අනුව 2023 පළමු මාස හතරේ (ජනවාරි-අප්‍රේල්) අයවැය හිඟය රුපියල් බිලියන -824.2 ක් ලෙස දක්වා ඇත. එය 2022 පළමු මාස හතරේ අයවැය හිඟයට වඩා (හිඟය බිලියන -524.1) රුපියල් බිලියන 300 ක වැඩි වීමකි. https://www.treasury.gov.lk/api/file/c53ea3ac-0e34-49ae-bf66-b549a2da30c0
2023 සැප්තැම්බර් මාසයෙන් පසු ඉතා අර්බුදකාරී වේ...
2023 අයවැය ලේඛනයේ දක්වා ඇති අන්දමට රජයේ 2023 වර්ෂයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 3,408 ක් වන අතර අපේක්ෂිත අයවැය හිඟය රුපියල් බිලියන 2,404 කි. පළමු මාස හතරට හිඟය බිලියන 824 ක් නම්, වර්ෂ අවසානයේ එය අපේක්ෂිත මට්ටමට වඩා 10%-20% අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැක.
2023 පළමු මාස හතරේ පුනරාවර්තන වියදම රුපියල් බිලියන 1,484.98 ක් වන විට 2022 එම කාලසීමාවේදි එය රුපියල් බිලියන 1,016.81 කි. ඒ අනුව 2022 ට වඩා 2023 රජයේ පුනරාවර්තන වියදම රුපියල් බිලියන 468.17 කින් ඉහළ ගොස් ඇත.
රජයේ පළමු මාස හතරේ ආදායම බිලියන 820 ක් වන විට අදාළ කාලය සඳහා ණය පොලී ගෙවීම් රුපියල් බිලියන 818.9 ක් වී ඇත. එය 2022 එම කාලය තුල බිලියන 426.7 කි. රජයේ මාස හතරේ ආදායම යාන්තමින් ණය පොලී ගෙවීමට පමණක් ප්‍රමාණවත් වී ඇත. අනෙකුත් කටයුතු පවත්වා ගැනීම සඳහා පළමු මාස හතර තුල දේශීයව රුපියල් බිලියන 6,045.9 ක් ණය ගෙන ඇත. 2022 එම කාලසීමාවේදි දේශීය ණය ලබාගෙන තිබෙන්නේ රුපියල් බිලියන 3,564.5 කි. 2023 පළමු මාස හතර තුල දේශීය ණය ගැනීම 2022 එම කාල සීමාවට වඩා 41% ක වැඩි වීමකි. මේ සියළු දත්ත පිරික්සීමේදි පෙනී යන පොදු කරුණ නම් ආණ්ඩුවේ ඇත්තෝ කුමක් කීවද 2023 සැප්තැම්බර් මාසයෙන් පසු කාලය ඉතා අර්බුදකාරී වනු ඇති බවකි. මන්ද ඉන් පසු විදේශීය ණය ගෙවීමට සිදුවන නිසාය.
බදු බදු බදු බදු...
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඔවුන්ගේ 2023 පළමු මාස හයේ බදු ආදායම 2022 ට සාපේක්ෂව 92.5% ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කරයි.
https://www.ft.lk/top-story/1H-tax-revenue-nearly-doubles-to-Rs-697-b/26-750744
එය එසේ නොවන්නේ නම් අප පුදුම විය යුතුය. මන්ද , 2023 බදු අනුපාතයන් විශාල වශයෙන් ඉහළ දැමීමත් , නව බදු කිහිපයක් හදුන්වා දීමත් හේතුවෙන් අනිවාර්යයෙන්ම බදු ආදායම ඉහළ යනු ඇත. එහෙත් මෙම බදු ආදායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට ලබා දී තිබෙන බදු ආදායම් ඉලක්ක හා සමපාත වෙනවාද ? කොහෙත්ම නැත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුව 2023 පළමු මාස හයේ වැට් (VAT) බදු ආදායම රුපියල් බිලියන 230.6 කි. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව අනුව 2023 වර්ෂය සඳහා VAT බද්දෙන් පමණක් රුපියල් බිලියන 796 ක් එකතු කරගත යුතුය. ඒසේ නම් ඉදිරි මාස හයේදී තවත් රුපියල් බිලියන 566 ක් එකතු කරගත යුතු වන අතර කෙසේ වත් පවතින තත්ත්වයන් තුල නැවත වැට් බදු වැඩි නොකොට දී ඇති ඉලක්කය සැපිරිය හැකිද? දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කෝපා කමිටුවේදි සහ ආංශික අධීක්ෂණ කමිටුවේදී ප්‍රකාශ කළ කරුණු වලට අනුව එම ඉලක්ක වලට යෑම එතරම් පහසු නොවනු ඇත.
"වයිමාට"වත් කළ නොහැක...
එමෙන්ම සමාගම් සහ සමාගම් නොවන බදු (Corporate & Non-Corporate Income Tax) ආදායම පළමු මාස හයේ රුපියල් බිලියන 243.8 ක් එකතු කරගෙන ඇත . ඒ වගේම පුද්ගලික ආදායම් බදු ලෙස තවත් රුපියල් බිලියන 70 ක් එකතු කරගෙන ඇත (එකතුව බිලියන 313.8). ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2023 වර්ෂය සඳහා ලබා දී තිබෙන ඉලක්කය වී ඇත්තේ රුපියල් බිලියන 895 කි. මේ වන විට ලබා ඇති ආදායම සහ මූල්‍ය අරමුදලේ ඉලක්ක සසඳා බැලීමේදී ඉදිරි මාස හයේදී තවත් රුපියල් බිලියන 582 එකතු කර ගැනීම "වයිමාට"වත් කළ නොහැක. එයට හේතුව බොහෝ සමාගම් වසා දැමීමත් , බදු ගෙවිය හැකි පිරිස් රට හැර යාමත් නිසාය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව 2023 පළමු මාස හයේ සූදු සහ ඔට්ටු බදු ආදායම 2022 ට සාපේක්ෂව රුපියල් බිලියන 468 කින් පහළ ගොස් ඇත. ඒ වගේම කොටස් වෙළෙඳපොළේ ගණුදෙනු මත වූ බදු 2022 පළමු මාස හයට සාපේක්ෂව 2023 එම කාල සීමාවේදී රුපියල් බිලියන 1303 කින්ද, ප්‍රාග්ධන බදු ආදායම (Capital Gains Tax) රුපියල් බිලියන 60 කින්ද පහළ ගොස් ඇත.
එසේනම්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වාර්තා ගත බදු ආදායමක් උපයා ගත්තේ යැයි ප්‍රකාශ කරන්නේ වැට් බදු ආදායම සහ සමාගම් බදු වල යම් වැඩි වීමක් සිදුව ඇති නිසා විය හැක. එසේත් නැත්නම් 2022 ට සාපේක්ෂව ඒවායේ එකතුව සැලකිය යුතු ලෙස ඉහළ යාම නිසා විය හැක. එහෙත් , ඔවුන්ගේ කාර්‍යකෂමතාවය තීරණය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2023 වර්ෂයට ලබා දී ඇති ඉලක්ක සපුරාලන්නේ නම් පමණි. මන්ද ඒ මත පදනම්ව ණය තිරසර වීම හෝ නොවීම තීරණය වන නිසාය.
රේගු සහ සුරාබදු ආදායම් ඉලක්කයට ඇවිත් නෑ..
මීට අමතරව රේගු සහ සුරාබදු ආදායම් ඉලක්ක ද අපේක්ෂිත මට්ටමට ලඟා වී නොමැත. රේගු දෙපාර්තමේන්තුවේ 2023 අයවැය ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1,220 කි. එහෙත් පළමු මාස හතර තුල උපයා ඇත්තේ බිලියන 268 කි. එය අපේක්ෂිත ආදායමින් 21.9% කි. එමෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවේ 2023 ආදායම් ඉලක්කය රුපියල් බිලියන 557 ක් ලෙස දක්වා තිබුණද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එය රුපියල් බිලියන 526 ක් දක්වා පහත දමා ඇත. සුරාබදු දෙපාර්තමේන්තුව පළමු මාස හතරේ මත්පැන් සහ දුම්කොළ බදු ලෙස උපයා ඇති ආදායම රුපියල් බිලියන 58 ක් වන අතර එය අපේක්ෂිත ආදායමේ ප්‍රතිශතයක් ලෙස 11.0% කි. මේ සියළු ක්ෂේත්‍ර වල බදු ආදායම (දේශීය ආදායම් , රේගුව , සුරාබදු ) රුපියල් බිලියන 743 ක් ලෙස මුදල් අමාත්‍යාංශ මධ්‍ය කාලීන මූල්‍ය වාර්තාවේ වගු අංක 2.3 , පිටුව 15 දක්වා ඇත. මෙය 2023 වර්ෂය සඳහා අපේක්ෂිත බදු ආදායම වන රුපියල් බිලියන 3,130න් ආසන්න වශයෙන් 24% වැනි ඉතා අඩු ප්‍රතිශතයකි. ඉදිරි මාස හයේදී තවත් මෙය තුන්ගුණයකින් වැඩි කළ හැකි ද?
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම දෙවන අදියරකට යෑම වළක්වන්න බෑ...
මෙහිදී කිවයුතු වැදගත් කාරණයක් වන්නේ රජය විසින් සපයා ඇති ආදායම් වියදම් දත්ත අනුව ලංකාවේ ණය තිරසර භාවය ඇති කිරීම සඳහා (Debt Sustainability) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පුරෝකථන සහ මග පෙන්වීම් ලබා දී ඇත. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවේ රජය වෙත ලබා දී ඇති ඉහත මූලික ඉලක්ක තුන (1-3) මත පදනම්ව ඒ ඒ වර්ෂ සඳහා සඳහා අවශ්‍ය කාර්ය සාධන සපුරා ගත යුතු ය. එසේ නොවුන හොත් , දැනට යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම දෙවන අදියරකට යෑම වැලැක්විය නොහැක. එවන් අවස්ථාවක් පැන නැගුණහොත් බැංකු සහ මූල්‍ය ආයතන දෙසට හැරීම හැර රජයට වෙනත් විකල්පයක් ඉතිරිව නැති බව කිව යුතු ය. මෙවැනි අවස්ථාවක රජය විසින් කල යුත්තේ නිවැරැදි දත්ත හා තොරතුරු ලබා දීමත් පුරසාරම් දොඩමින් කාලය ගත නොකොට රජයේ ආදායම් වැඩි කරගැනීමේ තිරසර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමත්, වියදම් පාලනය කරගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් විශේෂයෙන්ම සිදුවන ප්‍රසම්පාදන දූෂණ සහ අක්‍රමිකතා වලක්වා ගැනීමට කටයුතු කිරීම ය. එහෙත් එවැනි සූදානමක් හෝ වැඩපිළිවෙළක් රජය සතුව නොමැති බව ඔවුන්ගේම වාර්තා වලින් තහවුරු කිරීම කෙතරම් නම් අරුමයක් ද? රට වැසියාගේ අභාග්‍ය එයම නොවේද ? මේ පවතින දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් නොකොට මේ දුෂ්ඨ චක්‍රයෙන් ගැලවීමට නොහැකි බව රටේ ජනයාට පසක් වන්නේ කවදා ද?
-ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
https://www.lankaenews.com/category/102

No comments:
Post a Comment