"ඔප්පු කරන්න හොරකම් කරනවාද මේ රටේ මිනිස්සු?" - චාමර සම්පත්ගේ ෆුල් එක (Video)
අනුරාධපුරයේ තිසර සමල් වාර්තා කරයි
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.19, ප.ව.11.00) එප්පාවල පිහිටි ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ කටයුත්තක් සඳහා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පැමිණි අවස්ථාවේ එම ආයතනයේ වංචා දූෂණ කටයුතු සම්බන්ධයෙන් සේවකයින් පිරිසක් හෙළිදරව්වක් සිදු කිරීමට යාමේදී ඇති වූ උණුසුම් තත්වයකදී එහි සේවකයකු විසින් අදාළ වංචා දූෂණ සිදු කළ බවට චෝදනා කරමින් විධායක නිළධාරියකුට අමාත්‍යයවරයා ඉදිරියේම පෙරේදා (17) පහර දෙනු ලැබීය.
කෙසේ නමුත් පහර දීමට කළ උත්සාහයෙන් එම විධායක නිළධාරියාගේ කමිසය ඉරී ගොස් තිබිණි. එම ස්ථානයේ රැඳී සිටි පොලිස් නිළධාරීන් විසින් අදාළ සේවකයා හා විධායක නිළධාරියා එම ස්ථානයෙන් ඉවත් කර අදාළ ගැටුම සමථයකට පත් කිරීමට උත්සහ කරනු ලැබීය. පහරකෑමට ලක්වූ ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ සැපයුම් නිළධාරීවරයා තමාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.
ලංකා පොස්පේට් රාජ්‍ය සමාගම කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය යටතේ පවතින අතර, කර්මාන්ත රාජ්‍ය අමාත්‍යයවරයා වන චාමර සම්පත් පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක පෙරේදා නිරත වූයේ තෙවැනි වරට ය.
පොස්පේට් සමාගම වෙත පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා පිළිගැනීමෙන් අනතුරුව තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි. අනතුරුව අමාත්‍යවරයා නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළ අතර, එහිදී සේවකයින් පෙන්වා දුන්නේ ආයතනයට අවශ්‍යය නොවන වර්ගයේ ඇඹරුම් යන්ත්‍ර අමතර කොටසක් (ගියර් බොක්ස් එකක්) ගෙන්වීමෙන් ආයතනයට රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදුව ඇති බවයි. අදාළ අමතර කොටස භාවිතයට ගත නොහැකි අතර නැවත මාරු කිරීමට ද කටයුතු කර නැති බව ද ඔවුහු අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.
අදාළ අමතර කොටස ඇණවුම් කළ නිළධාරියා වන සැපයුම් නිළධාරියා එම ස්ථානයට ගෙන්වන ලෙස එහිදී අමාත්‍යයවරයා පැවසීය.
ඒ අනුව පොස්පේට් සමාගමේ සැපයුම් නිළධාරිවරයා එම ස්ථානයට පැමිණි අතර, අමාත්‍යයවරයා එම නිළධාරියාගෙන් විමසා සිටියේ , "වැඩක් කරන්න බැරි නම් මොකටද ගෙන ආවේ? ඇයි මේකට සල්ලි ගෙව්වේ? මේකට වගකීමක් ගන්න පුලුවන්ද?" කියා ය.
"නිකං බබා වෙන්න එපා"
එහිදී සැපයුම් නිළදාරියා පිළිතුරු දෙමින් "ඇනවුම් කරපු එක තමයි ගෙනල්ලා තියෙන්නේ, පස්සේ තමා දන්නේ මේක වෙනස් කියලා. මවු සමාගමෙන් මේක ඇනවුම් කළේ, මේක මෙහෙට ආවට පස්සේ තමයි දන්නේ සීරියල් නම්බරය වෙනස් කියලා. මට මේකේ වගකීමක් ගන්න බෑ" යැයි පැවසීය.
"මේකට චීනයට සම්පූර්ණයෙන් ගෙවලා ගෙනත් තියෙන්නේ, ඒ අයට ගෙනියන්න කිව්වට ගෙනියන්නේ නෑ" යැයි එහිදී පොස්පේට් සමාගමේ සභාපතිවරිය වන සන්ධ්‍යා අඹන්වල අමාත්‍යයවරයාට පැවසුවාය.
එවිට ඇමතිවරයා කෝප වෙමින්, "නිකං බබා වෙන්න එපා. මේ මිනිහගේ වැඩ තහනම් කරලා දාන්න. මෙතන්ට ඒ.එස්.පී ගෙන ආවේත්, ඕ.අයි.සී ගෙන ආවේත්, ගැහුවොත් මුං ගහලා එළවන්න. මං ඩී.අයි.ජීටත් එන්න කිව්වා, මුංගේ පැමිණිල්ලක්වත් භාර ගන්න එපා. පට්ට හොරු 04 දෙනෙක් ඉන්නවා මේකේ. මේක හයි කරන්න බෑ කියනවා නම් ඉංජිනේරුවා, මේ තමුන්ගේ අම්මා -අප්පාගේ බූදලයක් නෙමෙයිනේ ලක්ෂ 50 ක්, මේක දීලා ආපහු සල්ලි අරන් දෙන්න. පර්චස් කළේ ඔයා නේ." යි පැවසීය.
"ඔප්පු කරන්න හොරකම් කරනවාද මේ රටේ මිනිස්සු?"
එහිදී සැපයුම් නිළධාරීවරයා කියා සිටියේ, "ටෙන්ඩර් මණ්ඩලයේ තීරණයට අනුවයි මම මේ මිලදී ගැනීම සිදු කළේ, " කියා ය.
එහිදී සේවකයෝ පිරිසක් "ආයතනයේ අල්පෙනිත්තේ ඉඳන් හොරා කාලා ඉන්නේ" යනුවෙන් පැවසූහ.
"සභාපතිවරු, ඇමතිවරු, ටෙන්ඩර් මණ්ඩලය මාරු වෙනවා, මේ ආයතනය තමුන්නාන්සේලාගේ, අපේ නෙමෙයි, ඔයා කවුද කියලා මේ ආයතනය දන්නවා. තමුසේට විරුද්ධව සී.අයි.ඩීයට පැමිණිලි කරලා තියෙන්නේ, අල්ලස් එකට පැමිණිලි කරලා තියෙන්නේ. මුංගේ ගෙවල් වල ගිහින් පරික්ෂා කරන්න ඕන, අනං මනං ටෝක් දාන්න එපා, මෙතන මීඩියා ඉන්න නිසා. කණ පැලෙන්න එකක් ගහනවා, මිනිස්සු හිටියත්, නිළධාරියෙක් වුණාම හොරකම් කරන්න පුලුවන් ලැජ්ජා වෙන්න බෑ" යි ඇමැති චාමර සම්පත් පැවසීය.
"ඇමතිතුමා නෙමෙයි කවුරු කීවත් මම මේ ආයතනයෙන් සත පහක්වත් වංචා කරලා නෑ, පුලුවන් නම් ඔප්පු කරලා පෙන්වන්න." යි සැපයුම් නිලධාරියා කීය.
"ඔප්පු කරන්න හොරකම් කරනවාද මේ රටේ මිනිස්සු" යැයි ඇමතිවරයා එහිදී උස්හඬින් පැවසීය.
ප්‍රමිතියෙන් තොර "මේ බෑග් කන්නද?"
අනතුරුව අමාත්‍යයවරයා ආයතනයට ගෙන්වා ඇති ප්‍රමිතියෙන් තොර බව පවසන බෑග් තොගයක් අසලට ගොස් "මේ බෑග් කන්නද?" යැයි අදාළ නිළධාරියාගෙන් විමසා සිටියේ ය. "මේ සතියේම මෙයාගේ වැඩ තහනම් කරලා මෙයා යවන්න. එකක් බෑග්, එකක් අර ගියර් බොක්ස් එක. මේකේ ගේට්ටු ගානේ ඇවිල්ලා, පැමිණිලි දැම්මොත් ඒ.එස්.පී මහත්තයා බලා ගන්න. සේවකයෝ ගහලා එළවයි. යන්නම තමයි මේ කියන්නේ. තව තුන් දෙනෙක් ඉන්නවා."
"මේ බෑග් ගෙනල්ලා තියෙන්නේ 140 ට, මැඩම් ගෙන ආවා 100 ට" යැයි සේවකයියෝ එහිදී පැවසූහ.
අමාත්‍යවරයා කියා සිටියේ "සමස්ථ සේවකයෝ 400 ක් විතර වැඩ කරන තැනක. 04 දෙනෙක් තමයි මේකෙන් කන්නේ. ඕවට කථා කරන්න පුලුවන් මෙතන මීඩියා ඉන්නවා. මං ඕක වෙනම ඔයාට කථා කරන්නම්."
එහිදී සැපයුම් නිළදාරියා "ඇමතිතුමා විතරක් කථා කරලා හරියන්නේ නෑ, අපිටත් කථා කරන්න අවස්ථාවක් දෙන්න" යැයි පැවසීය.
ඇමතිවරයාට එවිට කියා සිටියේ "හොරුන්ට මොකටද අවස්ථාව දෙන්නේ. මේ සේවකයෝනේ කියන්නේ, මං නෙමෙයිනේ කියන්නේ.ඔය ගොල්ලෝ කියන්නකෝ" යැයි සේවකයන්ට පැවසීය.
එවිට එක්වරම සේවකයකු විසින් අදාළ සැපයුම් නිළධාරිවරයාගේ කමිසයෙන් ඇද පහරදීමට උත්සාහ කළ අතර, එම පහරදීම පොලිස් නිළධාරීන් මැදිහත්ව වලක්වනු ලැබීය.
කෙසේ වෙතත් අදාළ නිළධාරීවරයාගේ කමිසය ඉරි ගිය අයුරු දැක ගත හැකි විය. එහිදී උණුසුම් තත්වයක් ඇති විය.
එහිදී කමිසය ඉරී ගිය සැපයුම් නිළධාරීවරයා කියා සිටියේ "මේවා සැලසුම් කරපු ඒවා. මේවා ගෙව්වේ මම නෙමෙයිනේ" යනුවෙනි.
රුපියල් 3000 ක් වටින ඇණේ බුෂ් එක ගත්තේ රුපියල් 78000 කට...
එවිට ඇමතිවරයා කියා සිටියේ, "සේවකයෝ කුපිත වෙලා ඉන්නේ. මම නෙමෙයි මේවා කියන්නේ. ඔයා වැරදි නැත්නම් මේවා මෙච්චර ඇවිස්සෙන්‌නේ නෑ.මේ රටේ මිනිස්සු වැඩියෙන්ම බනින්නේ දේශපාලඥයොන්ටනේ, අපේනේ ගෙවල් ගිණි තිබ්බේ. දැන් මේක වෙනස් වෙන්න වෙනවා. මේක හදාගන්න බැරි වෙනවා." යනුවෙනි.
"රුපියල් 3000 ඇණේ බුෂ් එක රුපියල් 78000 ට ගෙන ආවේ මෙයාලා" යනුවෙන් එහිදී සේවකයෝ නැවත අමාත්‍යයවරයාට ඇණ කීපයක් පෙන්වමින් පැවසූහ. "වැඩ තහනම් කරලා විතරක් මදි, මේ මුදල් අය කර ගන්න" යැයි සේවකයෝ කීහ.
"ප්‍රමිතියෙන් තොරව පොස්පේට් ටොන් ගණනක් වන විට නිෂ්පාදනය කරලා තියෙනවා ගබඩා වල , මේවාට සම්බන්ධ නිළදාරීන් නිදැල්ලේ. මේවාට වගකියන්න වෙලා තියෙන්නේ සමස්ථ සේවකයින්ට" යැයි සේවකයෝ වැඩිදුරටත් පැවසූහ.
"ඉස්සර බැන්නේ දේශපාලඥයොන්ට. අපේ ගෙවල් වලටනේ ගිනි තිබ්බේ." -ඇමැති චාමර සම්පත්
අනතුරුව අමාත්‍යයරවයා සමස්ථ සේවක හමුවක් කැඳවා ඔවුන් ආමන්ත්‍රණය කරනු ලැබීය.
එහිදී අදහස් දැක්වූ චාමර සම්පත් අමාත්‍යයවරයා කියා සිටියේ, "මං එන්න කලින් බෑග් අරන් තියෙන්නේ 140 ට , දැන් රුපියල් 40-50 ක් අඩුවෙන් ගන්නේ, මේ සියල්ල සිදු වුණේ මම එන්න කලින්, ඇණයක බුෂ් එකක් 80 000 කට අරන් තියෙනවා. තව මැෂින් එකක් ගෙනත් තියෙනවා ලක්ෂ ගණනකට. මේවා එක එක්කෙනාට දරා ගන්න බැරි වෙලා තියෙනවා. මේ ආයතනය මගේ එකක්වත් සභාපතිතුමියගේ එකක්වත් නෙමෙයි. මේක මේ ගමේ ජනතාවගේ එකක්, මේක ආරක්ෂා කිරීමේ වගකීම සේවකයින්ට තියෙනවා. පිටස්තරින් ඇවිත් මේකේ ඉහළ තනතුරු වල වැජඹිලා හම්බකරන් කන්න බෑ. ඒ ගොල්ලනට වැටුපක් දෙනවා, දීමනා දෙනවා. එතනින් එහාට මොනවාද ආයී. 04 දෙනෙක් එකතු වෙලා මේ ආයතනය පාලනය කරන්න දෙන්නේ නෑ. හැමෝම දැනගත්තා අද මේකේ තත්වය. දිගින් දිගටම හොරෙක් කියලා අහගන්නවාට වඩා හොඳයි අස්වීම දීලා යන එක. ඉස්සර බැන්නේ දේශපාලඥයොන්ට. අපේ ගෙවල් වලටනේ ගිනි තිබ්බේ. දැන් ඇස් පනා පිට පේනවා කවුද හොරකම් කරන්නේ කියලා. දිගින් දිගටම මේවා සිද්ධ වුණ නිසයි ආයතන මේ තත්වයට පත් වුණේ. මම සහ සභාපතිතුමිය ආවට පස්සේ තමයි මේ පිබිදීම ඇති වුණේ. මේ ආයතන වැටෙන්න දෙන්න බෑ. අපි බලන්නේ පුලුවන් තරම් මේවා දියුණු කරන්න. වැඩ කරන්න බැරි අය ඉන්නවා නම් අයින් කරන්න කියලා සභාපතිතුමියගෙන් ඉල්ලනවා. සේවක මහතුන්ගෙන් මම ඉල්ලීමක් කරනවා ඔය ගොල්ල නීතිය අතට ගන්න එපා. නීතියට අනුව ඉදිරියේදී පරීක්ෂණ සිදු කරයි. පොස්පේට් එක වැටෙන්න නොදී අපි ආරක්ෂා කර ගන්න ඕන.එක්කෝ මේවාට සම්බන්ධ 04 දෙනා ඉවත් වෙලා යන්න ඕන, නම්බුකාර විදිහට නැත්නම් අපි අයින් කරනවා. මම සභාපතිතුමියට කියනවා මොන වෘත්තීය සමිතිය කථා කළත්, මොන දේශපාලඥයෝ කථා කළත්, මේ අය කරලා තියෙන දේවල් ගැන පරීක්ෂණ කරන්න. පරීක්ෂණ කරනකල් වැඩ තහනම් කරන්න. නිවැරදි කරුවෝ නම් නැවත රැකියාව ලැබෙයි." යැයි පැවසීය.
අදාළ සිදු වීමට මුහුණ දුන් ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ සැපයුම් නිළධාරී අශෝක අබේසිරි විසින් ඊයේ (17) පස්වරුවේ තමාට පොස්පේට් ආයතනය තුළදී කර්මාන්ත රාජ්‍යය අමාත්‍යවරයා ඉදිරියේදී සේවකයකු විසින් පහරදීමක් කළ බවට එප්පාවල පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද සිදු කර ඇත.
"සභාපතිවරියගේ වංචා දූෂණ වහගන්න අපිට චෝදනා කරනවා" -පහර කෑ අශෝක අබේසිරි
අදාළ පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,
"අද දවසේ අපේ ආයතනයේ විෂය භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ චාරිකාවක් තිබුණා. එතුමාගේ නිරීක්ෂණය අතරතුරදී මා ඇතුළු කීපදෙනකුට චෝදනා කරමින් මේ ආයතනයේ වංචා දූෂණ සිද්ධ වෙනවා ඒවායේ වගකීම භාර ගන්න කියලා. මම කිව්වා සෘජු වගකීමක් භාර ගන්න බෑ, වංචා දූෂණ සිදු වෙලා තියෙනවා නම් විධිමත් පරීක්ෂණයක් සිදු කර ඔප්පු කරන්න කියලා. සේවකයෝ කිව්ව පලියට ඒවා පිළිගන්න බෑ. ඒවායේ සම්පූර්ණ වාර්ථාවක් ගන්න කියලා. නමුත් ඇමතිවරයා කිව්වා මිනිස්සු කියන නිසා මට පිළිගන්න වෙනවා කියලා. අද දවසේ අපි කීපදෙනෙකුට පහර දෙන්න හා හූ කියන්න ලෑස්ති කරලා තිබුණා ආයතනයේ සභාපතිවරිය ඇතුළු පාලන අධිකාරිය. ඒ නිසා මම එතනට සහභාගී වුණේ නෑ, නමුත් ඇමතිවරයාගේ කැඳවීම අනුව මම එතැනට ගියා, ඇමතිවරයා ඊට පස්සේ කිව්වා ගහලා පන්නන්න මුංට කියලා. අපි රජයේ මුදල් අවභාවිතයක් කරලා තියෙනවා නම් අමාත්‍යංශ මට්ටමින් විගණනයක් කරලා නීතී මාර්ගයෙන් කටයුතු කරන්න ඕනෑ. ප්‍රසම්පාදන කටයුතු කරන්නේ මම වුණාට මට තනියම ප්‍රසම්පාදන කටයුතු කරන්න බෑ, අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා, ප්‍රසම්පාදන කමිටුවක් තියෙනවා, තාක්ෂණ ඇගයීම් කමිටුවක් තියෙනවා. ඔවුන් දෙන නිර්දේශ අනුවයි මම කටයුතු කරන්නේ. මට තනි බලයක් නෑ, තනි බලයක් තියෙන දෙයක්වත් මම වංචා කරලා නෑ. කරලා තියෙනවා නම් විමර්ශණයක් කරලා කටයුතු කරන්න ඕනෑ. එහෙම නැතිව ඇමතිවරයා ඉදිරියේ, පොලිස් නිළධාරීන් ඉදිරියේ මට ප්‍රහාරයක් එල්ල කළා, එහි වගකීම සභාපතිවරිය, ඇමතිතුමා, අධ්‍යක්ෂ මණ්ඩලය භාර ගන්න ඕනෑ, ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ මේ වැඩේ කළේ, ඒ අයගේ වංචා දූෂණ වහගන්න කරපු වැඩක්. මගේ වංචාවක් ඔප්පු කලොත් මම ආයතනයෙන් ඉල්ලා අස්වෙනවා. ඇමතිවරයා කියනවා ඔප්පු කරන්න දෙයක් නෑ මිනිස්සු කියනවා කියලා. සේවකයෝ කීප දෙනෙක් මීට සති කීපයකට කලින් මෙහෙයුම් කළමණාකාරුට ගහන්න ආවා, ඒ පිළිබඳවත් පොලීසියේ පැමිණිල්ලක් දාලා තියෙනවා. ඒ වගේම සභාපතිතුමිය ඇතුළු පිරිසක් මෙහෙයවපු වැඩක් මේක. ඇමතිවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක්වත් භාර ගන්න එපා කියලා පොලීසියට කිව්වා. පොලීසියෙන් ගහන එක බේරුවේ. එප්පාවල පොලීසියට මම පැමිණිල්ලක් කළා, ඒ අය ඇමතිවරයා පැමිණිලි භාර ගන්න එපා කිව්වත් පැමිණිල්ල භාර ගත්තා.පොලීසිය රාජකාරිය කළා. පහරදීමක් සම්බන්ධව පැමිණිලි කළා, මම මේ සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. ආයතනය පාර්ශවයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරෙයි කියලා මම විශ්වාස කරන්‌නේ නෑ, මම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. සභාපතිවරියගේ වංචා දූෂණ වහගන්න අපිට චෝදනා කරනවා. මට කරන චෝදනා සම්බන්ධයෙන් මම නිසි ලෙස රාජකාරී සිදු කර තිබෙනවා" යැයි පැවසීය.
මෙම අවස්ථාවට ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ සභාපතිනී සන්ධ්‍යා අඹන්වල ඇතුළු ආයතනයේ විධායක නිළධාරීන් හා සේවකයන්, අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී ඒ.ඩී සෙනවිරත්න, එප්පාවල වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍ර.පෝ.පා ජයතිලක, එප්පාවල පොලිස් ස්ථානයේ අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති ජයම්පති ඇතුළු පොලිස් නිළධාරීන්ද සහභාගී වී සිටියහ.
-තිසර සමල් -අනුරාධපුරය
සම්පූර්ණ වීඩියෝව පහතින්

No comments:
Post a Comment