Tuesday, 11 July 2023

කතාව නම් 'ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්'; ඒත් දුප්පත් පාසැලක් බඹර ප්‍රහාර නිසා වහන්න වෙලා..!

-අනුරාධපුරයේ තිසර සමල් වාර්තාකරයි

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.11, ප.ව.7.00) බලධාරීන් කෘතිම බුද්ධිය ගැන පාසැල් දරුවන්ට උගන්වන බව කීව ද බඹර අවදානමට ලක්වීම නිසා වනජීවීයෙන් මාස කීපයක් පුරා පිහිට පැතූවද, විසඳුමක් නොලැබීමෙන් පසුගිය සතියේ  දින 04 ක් වසා දැමූ  මැදවච්චිය, රඹෑව සංගිලිකනදරාව විද්‍යාලය නැවත වසා දැමීමේ තත්වයක් මතුව ඇතැයි වාර්ථා වේ.

අනුරාධපුර අධ්‍යාපන  කළාපයට අයත්, රඹෑව අධ්‍යාපන  කොට්ඨාශයේ සංගිලිකනදරාව විද්‍යාලයේ තෙමහල් පන්ති කාමර  ගොඩනැගිල්ලක පැවති විශාල බඹර වද (බඹර කූඩ)  05 ක් හා සියඹලා ගසක පැවති විශාල  බඹර වදයක් හේතුවෙන් මෙලස පසුගිය 04 වැනි දින පෙරවරුවේ එම පාසල වසා දමා ඇත්තේ නැවත දැනුම් දෙනතුරුය. ඒ පවතින අධික සුළඟ මෙන්ම උකුසු හා පරවි ප්‍රහාරයන් හමුවේ බඹරුන් ඇවිස්සී පාසල් දරුවන්ට බඹරුන් ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පැවතීම  හේතුවෙනි.

1 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා දරුවන් 610 ක් අධ්‍යාපන ලබන හා ගුරුභවතුන් 45 ක් අධ්‍යාපනය ලබා දෙන  විද්‍යාලයක් වන සංගිලිකනදරාව විද්‍යාලයේ සිසු දරුදැරියන් හා ගුරුභවතුන් බඹර ප්‍රහාරයකට ලක්වීමේ අවදානමක් පවතින බැවින් මෙම බඹර වද ඉවත් කර දෙන ලෙස මාස ගණනකට පෙර සිටම අවස්ථා කීපයකදීම රඹෑව සංගිලිකනදරාව විද්‍යාලයේ විදුහල්පතිතුමිය වන  ඩී.එම්.එන්. කේ.දිසානායක මහත්මිය විසින් ලිඛිතව හා වාචිකව වනජීවී දෙපාර්තමේන්තුව, රඹෑව ප්‍රාදේශීය සභාව හා ප්‍රාදේශීය ලේකම්කාර්යාලය ඇතුළු ආයතන මෙන්ම නිළධාරීන් දැනුවත් කර ඇතත් අද (11) පස්වරුව වන තෙක් අදාළ ආයතන හරහා  වනජීවී නිළධාරීන් විසින් එම බඹර වද ඉවත් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් පවතින අවදානම ඉහළයාම මත අධ්‍යාපන බළධාරීන් දැනුවත්  කර පසුගිය 04 වැනි දින පෙරවරු  11.00  සිට පසුගිය  07.00 වැනි දින දක්වා දින දක්වා පාසල වසා දැමීමට පාසල් බළධාරීන් කටයුතු කර තිබිණි.

දෙමාපියන්ගේ අඳෝනාව..

පාසල වසා තිබූ  කාළය තුළද බඹර වද ඉවත් කිරීමට අදාළ ආයතන දැනුවත් කළද ඵලක් නොවූ බව දෙමාපියන් පවසා සිටින අතර, පුද්ගලිකව බඹර වද ඉවත් කරන පිරිස් එක් වදයක් ඉවත් කිරීමට රුපියල් 6000 ක මුදලක් ලබා ගන්නා බවත්, බඹර වද 06 ක් ඉවත් කිරීමට රුපියල් 36000 ක මුදලක් වැය වන බවත්, එවැනි ආර්ථික ශක්තියක් තමන්ට නොමැති බවත් දෙමාපියෝ පවසති. එවැනි පසුබිමක එක් දරුවකුගේ පියකු විසින් භූමිතෙල් බඹර වද වටේට ඉස බඹරුන් පන්නා දැමීමට උත්සාහ කළ ද, ඒ අවස්ථාවේ බඹරුන් භූමිතෙල් සැරට ගිය නමුත් නැවත වද කරා පැමිණීම හේතුවෙන් එම ක්‍රමයද අසාර්ථක වූ බව පැවසීය. අනතුරුව දෙමාපියන් එක්ව බඹර වද අසල දුම් ගසා බඹරුන් පන්නා වද කඩා දැමීමට කටයුතු කළ බවද දෙමාපියෝ පවසති.

ගිය බඹරු නැවත ඇවිත්...

ඒ අනුව දින 04 ක් වසා දැමුණු පාසල නැවත අධ්‍යාපන කටයුතු සඳහා විවෘත කර ඇත්තේ ඊයේ (10) දින වන නමුත්, නැවතත් බඹරුන් පෙර සේම බඹර වද 03 ක් ගොඩනැගිල්ලකත්, පාසලේ බෝධියෙහි තවත් විශාල බඹර වදයකුත් සාදා ඇත.

හදිසියේ හෝ පාසල් කාලය තුළ මෙම බඹර වද ඇවිස්සී බඹර ප්‍රහාරයක් සිදු වුවහොත් තම දරුවන්ගේ ජීවිත අනතුරකට පත් වීමේ අවදානමක් පවතින බව දෙමාපියෝ පවසති. මේ සම්බන්ධව නැවත නැවතත් වනජීවී කාර්යාලය දැනුවත් කළ ද ඵලක් නොවූ බව දෙමාපියෝ පවසති. අද (11) දිනද දෙමාපියන් පිරිසක්  සවස් යාමේ නැවත පැමිණි බඹරුන් එළවීමට දුම් ගැසීමට සූදානම් වෙති.

වනජීවී නිළධාරීන් පැමිණ සුරක්ෂිතව මෙම බඹරුන් රැගෙන ගොස් රක්ෂිතයකට මුදා හැරීම සාර්ථක ක්‍රමය වූවත් වනජීවී නිළධාරීන් ඒ සඳහා කටයුතු නොකිරීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුද අඩාල වන බව දෙමාපියෝ පවසති.

විදුහල්පතිනියගේ අඳෝනාව..

මේ සම්බන්ධයෙන් අප මැදවච්චිය සංගිලිකනදරාව විද්‍යාලයේ විදුහල්පතිනි ඩී. එම්. එන්. කේ. දිසානායක මහත්මියගෙන් විමසීමක් කළ අතර ඒ මහත්මිය කියා සිටියේ,

"පාසලේ ගොඩනැගිල්ලක හා ගසක විශාල බඹර වද පැවතුණා, පහුගිය දින වල බඹරු ඇවිස්සිලා හිටියා, ඒ නිසා අවදානම් සහිතව ළමයි තියාගෙන පාසලේ වැඩ කටයුතු කරන්න බෑ, ඒ නිසා කළාප කාර්යාලය හා කොට්ඨාශ කාර්යාලය දැනුවත් කරලා පාසල දින 04 ක් වසා දැම්මා. පාසල වසා දැමුනත් ගුරුභවතුන් පාසලට පැමිණියා. දරුවන්ට අධ්‍යාපන කටයුතු පමණයි සිදු වුණේ නැත්තේ. මේ අවදානම ගැන මම ලිඛිතව හා වාචිකව අදාළ ආයතන දැනුවත් කළා . නමුත් වනජීවී  එකෙන් මේ වන තුරු පාසලට ආවේ නෑ, දෙමාපියෝ තමයි පහුගිය දවස් ටිකේ දුම් ගහලා මේ බඹරු ඉවත් කරලා, වද කඩා දැම්මේ. ඊට පස්සේ ඊයේ 10 වැනිදා නැවත පාසල විවෘත කළා අධ්‍යාපන කටයුතු වලට, නමුත් නැවතත් තෙමහල් පන්ති කාමරයක බඹර වද 03 කුත්, බෝධියෙහි බඹර වදයකුත් ලෙස බඹරුන් වද 04 ක් හදලා තියෙනවා. ආයෙත් දැන් අවදානමක් ඇති වෙලා තියෙනවා. මම අවුරුදු 05 ක් වෙනවා මෙම පාසලට ඇවිත්, කාලෙන් කාලෙට මේ බඹරු වද හදනවා,  මම මේ ගැන නිතරම වනජීවියට කියනවා . හැබැයි එක දවසක්වත් මේ පාසලට වනජීවියෙන් ඇවිත් මේ බඹර වද ඉවත් කරලා නෑ. දෙමාපියෝ තමයි ඉවත් කිරීම් කරන්නේ. මම අදත් වනජීවියට කථා කළා. තාම නම් ආ‌වේ නෑ, මේ තත්වයත් එක්ක බයයි ළමයි පාසල තුළ තියාගන්න" යැයි පැවසුවා ය.

අපිට වැඩ ගොඩක් තියෙනවා..

අනතුරුව අප මේ සම්බන්ධයෙන් අනුරාධපුර වනජීවි කාර්යාලයෙන් විමසීමක් කිරීම සඳහා එම කාර්යාල‌යේ දුරකථන අංක 025 2235058 වෙත ඇමතුම් කීපයක්  ලබා ගත් අතර, ඒ  සෑම අවස්ථාවකම  අනුරාධපුර කළාප භාර වනජීවී අධ්‍යක්ෂකවරයා රැස්වීමක බව පැවසීය. අනතුරුව ලබා ගත් ඇමතුමකට එහි නිළධාරියකු උස් ස්වරයෙන් කියා සිටියේ, "අධ්‍යක්ෂවරයා රැස්වීමක, රැස්වීම් එකක් නෙමෙයි දවසට තියෙන්නේ, අපිට වැඩ ගොඩක් තියෙනවා" යනුවෙනි. ඔහුගේ නම හා තනතුර කුමක්දැයි විමසූ විට ඔහු දුරකථනය විසන්ධි කළ අතර, නැවත ඇමතුමක් ගත් අවස්ථාවේ වෙනත් නිළධාරියකු ඇමතුම ලබා ගත් අතර, පෙර උස් ස්වරයෙන් ඇමතූ නිළධාරියා නැවත සම්බන්ධ කර දෙන ලෙස ඉල්ලා සිටි විට ඔහු කාර්යාලයෙන් පිටට ගිය බව පැවසීය. ඒ නිළධාරියාගේ නම හා තනතුර විමසූ විට තමා එය නොදන්නා බවද දුරකථන ඇමතුම ගත් නිළධාරියා පැවසීය. අනතුරුව දුරකථන ඇමතුම ලබා ගෙන සිටන නිළධාරියා කවුදැයි අප විමසූ විට ඔහු ක්ෂණිකව දුරකථනය එම කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක රංජිත් ධර්මබන්දු යන නිළධාරියකු වෙත යොමු කරනු ලැබීය. ඒ මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී කියා සිටියේ මේ ගැන සොයා බලා පිළිතුරක් ලබා දෙන බවයි. ඒ අනුව ඔහුගේ ජංගම දුරකථන අංකය ද අප ලබා ගෙන ඔහුට නැවත ඇමතුමක් ලබා ගෙන විමසීමේදී කියා සිටියේ, "මේ දැන් යනවා අපේ කට්ටියක් ඒ පාසලට, දැන් ඉන්නේ රඹෑවේ, අද මේ බඹර වද ඉවත් කරලා දෙනවා" යනුවෙනි.

වාර්තාව

තිසර සමල් අනුරාධපුරය

No comments:

Post a Comment