Tuesday, 11 July 2023

කොපමණ අපරාධ කළත් මහජන මුදලින් වැජඹෙන අළුගෝසුවා..!

-DailyFT කතුවැකියක් සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.11, ප.ව.7.30) 2022 ජූලි මාසයේ දී එවක සිටි ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිකාරයා තම පාලනයට එරෙහි දීප ව්‍යාප්ත විරෝධතා හමුවේ රාත්‍රියේ හොරෙකු මෙන් රටින් පලා ගිය වැදගත් සිදු වීම්වල පළමු සංවත්සරය සනිටුහන් වන්නේ මෙම සතියේය.

එම සිදු වීම්වලින් වසරකට පසු, ශ්‍රී ලංකා කතා පොතේ නව පිටුවක් - පාලන ක්‍රමයේ ක්‍රමානුකූල වෙනසක්, මානව හිමිකම් කඩ කිරීම් ඇතුළු දූෂණ සහ අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් වග වීමක් ඇතුළත් නව පිටුවක්  පිළිබඳ සියලු බලාපොරොත්තු බොඳ වී ගොස් ඇත.

ගෝටාබය රාජපක්ෂ තම පවුල පදිංචිව සිටින එක්සත් ජනපදය බලා ආරක්ෂිතව යාමට අපොහොසත් වීමෙන් පසු මාස කිහිපයක් රටෙන් රටට පැන පැන සිට 2022 සැප්තැම්බර් මාසයේ දී නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.

ගෝටාගේ පෙර අපරාධ ගැන විභාගයක් නෑ...

රටේ ආර්ථිකය බිඳ දැමූ ඔහුගේ ආර්ථික අපරාධ, යුද අපරාධ හෝ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සහ හමුදාවට ආයුධ සපයා “ජරාව කෑම” ඇතුළු ඔහුගේ පෙර අපරාධ සඳහා කිසිදු වග වීමේ ක්‍රියාවලියකට ඔහු එතැන් සිට මුහුණ දී නැත.

ආර්ථිකය හසුරුවා ගැනීමේ නොහැකියාව නිසා ඔහු ජනතාවට ඇති කළ දුක් වේදනාවලට අමතරව, ගෝටාබය පාලනය බොහෝ පුද්ගලයින්ට මහත් පුද්ගලික හානි සිදු කළේය.

ශානිව හිතා මතා ඝාතනය කරන්න හැදුවා..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ව්‍යාජ චෝදනා මත මාස 11 ක් සිර ගතව සිටි අතර පසුව අභියාචනාධිකරණය විසින් එය “ගොතපු කතාවක්” ලෙස හඳුන්වනු ලැබිණ. ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සුපිරි රහස් පරීක්ෂකයා වන අබේසේකර, කෝවිඩ්-19 වැළඳී සිර ගතව සිටිය දී ජීවිතයට තර්ජනයක් වන හෘදයාබාධයකට මුහුණ දුන්නේය. ඔහුගේ නීතීඥයින්ට, ක්‍රියාකාරීන්ට සහ විදේශීය ආණ්ඩුවලට ඔහුට මූලික සෞඛ්‍ය සේවා සැපයීම සඳහා බලපෑම් කිරීමට සිදු විය. මෙය රාජපක්ෂ සිදු කළ අපරාධ රැසක් හෙළි කර චෝදනා එල්ල කළ එම පොලිස් නිලධාරියා හිතාමතා ඝාතනය කිරීමට ගත් උත්සාහයකි.

උමතු උදහසට ගොදුරු වූ සීඅයිඩී නිලධාරීන් සිය ගණනක්..

සීඅයිඩීයට අනුයුක්තව සිටි තවත් පොලිස් නිලධාරීන් සිය ගණනක් ස්ථාන මාරුවීම්, හිරිහැර කිරීම් සහ වෙනස්කම්වලට ලක් වූයේ තම රාජකාරිය හරියාකාරව කළ එකම වරදටය. නීතීඥයන්, ක්‍රියාකාරිකයන්, කවියන්, මාධ්‍යවේදීන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය සේවකයන් සහ තවත් බොහෝ පිරිසක් එම වසර දෙක තුළ මුදා හැරුණු රාජපක්ෂගේ උමතු උදහසට ගොදුරු වූහ.

සමූහ මිනීවළවල්...

ගෝටාබය රාජපක්ෂට දරුණු අපරාධ චෝදනා එල්ල වන්නේ එල්ටීටීඊයට එරෙහි සිවිල් යුද්ධය සම්බන්ධයෙන් පමණක් නොවේ. සිංහල තරුණයින්ගේ 1987-89 දකුණේ කැරැල්ලේ ඔහුගේ සමූහ ඝාතන භූමිකාව පිළිබඳ සාක්ෂි දැන් වැඩි වැඩියෙන් මතු වෙමින් තිබේ.

1989 දී ලේ වැකි කැරැල්ලක් පැවැති ප්‍රදේශයක ඔහු හමුදා නිලධාරියකුව සිට ඇත. ඒ ප්‍රදේශ‍යෙන් සොයා ගත් සමූහ මිනී වළවල් පිළිබඳ පරීක්ෂණවලට ඔහු ජනාධිපතිකාරයා ලෙස සිටිය දී බාධා කළ ආකාරය පසු ගිය දා ජාත්‍යන්තර මාධ්‍ය විසින් හෙළිදරව් කර තිබුණි.

ගෝටාබය කැරලි මර්දන මෙහෙයුම් ගණනාවක් සිදු කරමින් මාතලේ ප්‍රදේශයේ හමුදාව භාරව සිටි කාලයට මාතලෙන් හමු වූ සමූහ මිනීවළ අනුරූප වේ. අද වන තුරුත් විපතට පත් වූවන් හඳුනා ගෙන වින්දිතයන්ගේ සිරුරු කොටස් ඔවුන්ගේ පවුල්වලට භාර දීමට කටයුතු කර නොමැත.

කොපමණ අපරාධ කළත් මහජනතාවගේ වියදමින් ජීවත් වෙනවා...

ඉහත කී සහගහන අපරාධ ‌කොතෙක් තිබුණත් ගෝටාබය රාජපක්ෂ අද මහජනතාවගේ වියදමින් ජීවත් වෙන නිදහස් මිනිසෙකි. [ඔහු සේම අමු අමුවේ මිනිස් ඝාතනවලට වගකිව යුතු] වත්මන් ජනාධිපතිකාරයා විසින් ඔහුට දේශපාලන රැකවරණය ලබා දී ඇති අතර, රාජපක්ෂගේ වින්දිතයින්ට ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියෙන් යුක්තිය ඉටු නොවන බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබේ.

එකී යථාර්ථය තුළ බලාපොරොත්තු විය හැකි අවම දෙය නම්, කිසිසේත්ම උචිත නොවන පුද්ගලයෙකු රටේ ඉහළම තනතුරට තෝරා යැවීමෙන් කළ වැරැද්ද ශ්‍රී ලංකා ඡන්දදායකයින් නැවත සිදු නොකරනු ඇත යන්නයි.

අරගලය පිළිබඳ මතකය බිඳ වැටී, ඒ අරගලයේ අභිලාෂය අමතක වී මේ දිවයිනට මෙතරම් කාලකණ්ණිකමක් හා විනාශයක් අත්පත් කර දුන් පුද්ගලයන්ම බලතලවල රැඳී සිටින විට, අපට සිහිපත් කළ හැක්කේ ශ්‍රී ලංකාවට නව ආරම්භයක් සඳහා එවැනි බලාපොරොත්තුවක් පැවැති ඒ ක්ෂනික මොහොත පමණි.

- 2023 ජුලි 7 වන දින DailyFT වෙබ් අඩවියේ පළ වූ, “Gotabaya and continued impunity” නම් කතු වැකිය සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment