Sunday, 23 July 2023

ලෝකයේ කොහේවත් නැති ලංකාවේ මන්ත්‍රී සවුදම...!

-ලංකා බ්‍රීෆ් වාර්තාවකි

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.23, ප.ව.9.45) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ දළ වැටුප රුපියල් 4,16 , 852 පමණ වේ. සියලු අඩු කිරීම් වලට පසුව ඔවුහු රුපියල් 3,22,658 ක වැටුපකට හිමිකම් කියති.

එසේ නමුත් ඔවුන්ට මහජන මුදලින් සපයන නිවසකට ගෙවන්නේ රැපියල් 1000ක් පමණි.

කොළඹ නගරයේ ආරක්ෂිත පරිසරයක පිහිටි සුවපහසු  මෙම නිවාස  සඳහා ජලය විදුලිය සැපයෙන්නේ නොමිලයේය. විදුලි කප්පාදුවකදී වුවද අඛණ්ඩ විදුලි සැපයුම ලැබේ. නිවාස සඳහා ආරක්ෂා සේවයක් ද ඇත. එසේම නිවාස නඩත්තුව මෙන්ම කසළ කළමනාකරණය ද මහජන මුදලින්ම  කරනු ලැබේ.

එවැනි පරිසරයක එවැනි පහසුකම් සහිත එවැනි නිවසක අද මාසික කුලිය අවම වශයෙන් රුපියල් 40,000 – 50,000 ක් තරම් විය හැකිය.

මෙම මාදිවෙල මන්ත්‍රී නිවාස සංකිර්ණයේ  නිල නිවාස 120ක් ඇත.  ඉන් 111ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහාය. ඉතිරි නිවාස 9 මාදිවෙල නිවාස සංකීර්ණය සඳහා පහසුකම් සපයන ආයතන සඳහා සඳහා දී තිබේ.

රජයේ සේවකයෙකු ආණ්ඩුවේ නිල නිවාසයක් ලබා ගැනීමේ දී තම වැටුපෙන් 10% ක මුදලක් නිවාස කුලිය ලෙස ගෙවිය යුතුය . එසේ නම් ජනතා සේවකයින් යැයි  කියන මංත්‍රී පිරිස ද මූලික වැටුප වූ රුපියල් 54,285 ක මුදලින් අවම වශයෙන් 5428.50 ක් නිවාස කුලී ලෙස ගෙවිය යුතුය.

මෙරට දේශපාලන පංතියට ඇත්තේ වෙනම නීතියකි. පාර්ලිමේන්තු කෑම ගජ ලාබයට ය. වාහන තීරුබදු රහිතව ය. අවශ්‍ය නම් පොලිස් ආරක්ෂාවද ලැබේ.

එක් කාර්තුවකට රුපියල් 87, 500 බැගින් වසරකට රුපියල් තුන්ලක්ෂ පනස් දහසක නිදහස් තැපැල් පහසුකම් ද මංත්‍රීවරයකුට හෝ මංත්‍රීවරියකට ලැබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වැටුපට අමතරව පාර්ලිමේන්තු රැස්වීමකට සහභාගීත්වය වෙනුවෙන් එක් දිනක් සඳහා රුපියල් 2,500 ක රැස්වීම් දීමනාවකට ද , පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල පැවැත්වෙන කාරක සභා සඳහා සහභාගී වීම වෙනුවෙන් දිනකට රුපියල් 2500 ක දීමනාවකට ද හිමිකම් කියයි.

2023 ජුනි මාසය සඳහා දින 11ක් මෙසේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත් වූ අතර දිනකට රුපියල් 2,500 බැගින් රුපියල් 27,500 ක අමතර දීමනාවක් ඔවුන්ට ලැබිණි.

තේරී පත්වුණු දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර සඳහා වැයවන තෙල් ලීටර් ප්‍රමාණය අනුව ඉන්ධන දීමනාවක් ද, ස්ථාවර හා ජංගම දුරකථන සඳහා රුපියල් පනස්දාහක 50,000 ක දීමනාවක් ද ඔවුන්ට ලැබේ.

වසර පහක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් ලබාගත හැකි මෙරට එකම රැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයයි. මන්ත්‍රීවරයකු හෝ මංත්‍රීවරියක හදිසි අනතුරකින් හෝ ත්‍රස්ත ක්‍රියාවකින් මියගියහොත් පවුලේ අයට ලක්ෂ 50 ක රක්ෂණ ආවරණයක් හිමිය.

මේ සියල්ලටම අමතරව තීරුබදු රහිතව ලැබෙන සුඛෝපභෝගී වාහනය විකුණා බහුතරයක් මංත්‍රීවරු ලක්ෂ 30-40ත් අතර මුදලක් උපයා ගනිති.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංකීර්ණය ඉදිකරන ලද්දේ 1994 වර්ෂයේ දී ය.

2020, 2021 සහ 2022 වර්ෂවල මෙම නිවාස සංකීර්ණය නඩත්තු කිරීම සඳහා රුපියල් 72 ලක්ෂ 73 දහස් 781ක් වැය කර ඇති බව පාර්ලිමේන්තුව විසින් දන්වා ඇත. මෙම වියදම ගොස් ඇත්තේ නිවාස නඩත්තු කිරීම, අලුත්වැඩියා කිරීම හා තීන්ත ආලේප කිරීම සඳහාය.

2020 වසරේ නිවාස 65ක් සඳහා රුපියල් 35න් ලක්ෂ 9,798 ක්ද, 2021 වසරේ නිවාස 64ක් සඳහා රුපියල් 25න් ලක්ෂ 65,675 ක්ද, 2022 වසරේ නිවාස 58ක් සඳහා රුපියල් 11 ලක්ෂ 98,308 ක්ද වැය කොට ඇත.

ලොව බොහෝ රටවල පාර්ලිමේන්තු මංත්‍රීනට මෙවැනි වරදාන  නොමැත. මංත්‍රීකම සංවර්ධිත රටවල වරප්‍රසාදයක් නොවේ.

මංත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ලබා දීම ආරම්භ කරන ලද්දේ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන විසිනි.

මෙම දූෂිත වරදාන ක්‍රමය උඩුයටිකරු කරවන බවට මෙරට කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශණයට ඇතුලත් කර නැත.

(චම්පිකා මුතුකුඩ විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ලබා ගත් තොරතුරු මත පදනම්ව https://rtisrilanka.lk/ ලියන ලද ලිපියක කරුණූ  උපයෝගී කර ගන්නා ලදී)

-ලංකා බ්‍රීෆ් වාර්තාවකි

No comments:

Post a Comment