Saturday, 22 July 2023

දේශීය මූල්‍ය වෙළෙඳපොළේ අසාමාන්‍ය හැසිරීමක්..! ආණ්ඩුවට රුපියල් නැතිවීමේ අනතුරක්..! ඉස්සර වගේ සල්ලි අච්චුගහන්නත් බැරිනම් ආණ්ඩුව කුමක් කරයිද?

-ශාන්ත ජයරත්න අනතුරු අඟවයි

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.22, ප.ව.10.00) මහ බැංකු අධිපති වරයා මෙන්ම රජය ප්‍රකාශ කළේ ආර්ථිකය හරි මාර්ගයට ගැනීමට නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බවකි. ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට ඇත. එහි දී සේවක අර්ථසාධක අරමුදල මත සම්පූර්ණ බර පටවා වාණිජ බැංකු, සහ ප්‍රාථමික ගැණුම්කරුවන් ඉන් නිදහස් කොට ඇත . ඊට අවශ්‍ය අණ පනත් සකස් කොට මේ වන විට පාර්ලිමේන්තු අනුමැතියද ලබාගෙන අවසන් ය.

සේවක අර්ථසාධක අරමුදලේ ලක්ෂ 24 ක් වන වැඩ කරන කම්කරු සාමාජිකයන්ට හඬක් නොමැත. එහෙත් බැංකු හිමියන්ට සහ පෞද්ගලික ආයෝජකයන්ට විශාල ධන බලයක් තිබීම තුල රජය ඔවුන් සමග හැප්පෙන්නට යන්නේ නැත. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරන්නේ බැංකු සහ ප්‍රාථමික ගැණුම්කරුවන් මෙන්ම පෞද්ගලික ආයෝජකයන් මේ අවස්ථාවේ ආරක්ෂා කරගත යුතු බවයි. කුමක් සඳහා ද? ඔවුන් රජය කෙරෙහී අනුකම්පා කොට අර්බුදයෙන් ගැලවීමට උපකාර කරාවි කියා ඔහු විශ්වාස කරන නිසාද? එය එසේ නොවන බව පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණ යි.

ඔබ ඔබෙන්ම ප්‍රශ්න කොට බලන්න...

රජය සහ මහබැංකු අධිපති වරයා අදටත් ප්‍රකාශ කරන්නේ මේ වන විට රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබෙන බවයි. පැවති තත්ත්වයට වඩා උද්ධමනය ඉහළ යාමේ වේගය අඩු වී ඇත. එහෙත් වෙළඳපොළේ බඩු මිල අඩු වී, ඔබගේ ජීවන තත්වයේ ඉහළ ගොස් ඇති බවක් ඔබට දැනෙනවා ද? ඔබගේ ප්‍රවාහන ගාස්තු , සෞඛ්‍ය වියදම් අඩු වී තිබෙනවා ද? ඔබ රුපියල් 100කට වෙනදා ගත් බඩු මල්ලට වඩා වැඩි බඩු ප්‍රමාණයක් මිල දී ගැනීමට අද ඔබට හැකි වී තිබෙනවා ද ? එසේ හැකි වී ඇත්නම් උද්ධමනය අඩු වී ඇත කියා සිතිය හැක. ඔබ ඔබෙන්ම ප්‍රශ්න කොට බලන්න. රට අර්බුදයෙන් ගොඩ එන බවක් ඔබට දැනෙනවා ද බලන්න.

බැංකු විශාල අර්බුදයක..

මහබැංකු ප්‍රතිපත්ති පොලී නිත්‍ය තැන්පතු අනුපාතය (SDFR)15.50%  සිට 11% දක්වා පදනම් ඒකක 450 කින් දෙවරකදී දැනට සති දෙකකට පමණ පෙර අඩු කළේ ය. ඒ වගේම නිත්‍ය ණය පොලී අනුපාතයද (SLFR )16.50% සිට 12% දක්වා තැන්පතු පොලියට සාපේක්ෂව අඩු කිරීමට මහබැංකුව කටයුතු කළේ ය. එවැනි අඩු වීමකදී මූල්‍ය වෙළෙඳපොළේ  සාමාන්‍යයෙන් සිදු වන්නේ බැංකු සහ මූල්‍ය ආයතන ඊට අනුරූපීව ඔබගේ තැන්පතු සහ ණය පොලිය සඳහා අවශ්‍ය අඩු වැඩි කිරීම් සිදු කිරීමයි. එහෙත් රටේ වාණිජ බැංකු විසින්  මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අඩු කිරීමට සාපේක්ෂව ඔබගේ තැන්පතු සඳහා ගෙවන පොලිය සුළු වශයෙන් අඩු කලත් ඔබ ලබා ගන්නා ණය සඳහා පොලී අඩු කොට තිබෙනවා ද ? පෞද්ගලික මූල්‍ය ආයතන ලීසිං, කල්බදු ණය පොලී අඩු කොට තිබෙනවා ද ? මේ කිසිවක් සිදු වී නැත. එයට හේතුව මූල්‍ය වෙළඳපොළේ තිබෙන දැඩි අවිනිශ්චිත භාවය යි. බැංකු වල තිබෙන 13%-14% අක්‍රීය ණය (NPL ) නිසා බැංකු විශාල අර්බුදයක සිටින නිසයි.

ඩොලරය රු. 390 ට යනවා..

පසුගිය දිනවල ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වන බවට රජය පැත්තෙන් මහා ඝෝරනාඩුවක් ඇසෙන්නට විය . එහෙත් දැන් ඒ පිළිබඳ වැඩි කතා බහක් නැත්තේ නැවත රුපියල අවප්‍රමාණය වෙමින් පවතින නිසා විය හැක. එක දිගට ඩොලරය නැවත ඉහළ යන අතර ඉහළ යෑමේ වේගය තවත් සීඝ්‍ර වීමට ඊයේ ඉවත් කළ ආනයන සීමා (HS Code 300 කට අදාල භාණ්ඩ) හේතු වනු ඇත. ෆිච් රේටින් ආයතනය කලින් ප්‍රකාශ කළ අන්දමට මෙය බොහෝ විට වසර අග වන විට ඩොලරයේ වටිනාකම රුපියල් 390/- මට්ටමට ලඟා වනු ඇත.

මහබැංකුව සුපුරුදු පරිදි ව්‍යාජ ගණන් හිලව්..

දැඩි ලෙස සීමා යොදා ආර්ථිකය සංකෝචනය කිරීම තුල උද්ධමන වර්ධන වේගය  සීඝ්‍රයෙන් අඩුවීමට ලක් විය. ඒ ගැන සමහරුන් උදම් ඇනුවාට සාර්ව ආර්ථිකයේ සැබෑ හෙලුව පසුගිය දා නිකුත් වූ මුදල් අමාත්‍යාංශයේ 2023 මධ්‍ය වාර්ෂික මූල්‍ය වාර්තාව හොඳින්  පෙන්වා දී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන සමාලෝචනයේදි අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ණය තිරසර විශ්ලේෂණය (Debt Sustainability Analysis) සංශෝධනය කිරීමට ඉඩ ඇත. භාණ්ඩාගාරය සහ මහබැංකුව සුපුරුදු පරිදි ව්‍යාජ ආදායම් ඉලක්ක සපයා ඇති බව ඔවුන්ට මේ වන විටත් බොහෝ විට වැටහී තිබෙන්නට පිළිවන.

රජයට විකිණීම සහ ණය ගැනීම හැර වෙනත් විකල්පයක් නෑ..

දැනට දින කිහිපයකට පෙර නිකුත් වූ මුදල් අමාත්‍යාංශ මධ්‍ය වාර්ෂික මූල්‍ය වාර්තාව අනුව 2023 ජනවාරි-මාර්තු පළමු කාර්තුවේ  ආර්ථිකයේ කඩාවැටීම -11.5% ක් ලෙස දක්වා ඇත. (Key Economic Indicators: pp.vii). කර්මාන්ත අපනයන කඩාවැටීම -23.4% කි. ජනවාරි-අප්‍රේල් මාස හතරේ රජයේ ආදායම සහ වියදම අතර පරතරය (අයවැය ) රුපියල් බිලියන -824 කි. එම කාල සීමාවේ රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 820 කි. ඉන් ණය පොලී ගෙවීමට පමණක් රුපියල් බිලියන 818.96 (819) වැය කොට ඇත. ඒ අනුව රට ගෙන යාමට භාණ්ඩාගාරයට ඉතිරි වී ඇත්තේ රුපියල් බිලියන 1 කි. (Table 2.1:Summary of the Budget from January to April 2023, pp.14) එසේනම් ඔබේ වැටුප් සහ අනෙකුත් වියදම් රජය දැරුවේ කෙසේද ? සති පතා නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් ණය මගින් ඔබගේ වැටුප් ගෙවීම සහ එදිනෙදා වියදම් පියවා ගෙන ඇත. මේවා කවදා හෝ ඔබටම ගෙවීමට සිදුවන බව ද අවබෝධ කරගත යුතු ය. රජයේ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4,979 සිට 13,979 දක්වා බිලියන 9000 කින් වැඩි කරගැනීමට ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව අනුමත විය. මේ අනුව බලන විට මෙම රජයට විකිණීම සහ ණය ගැනීම හැර වෙනත් විකල්පයක් තිබෙනවා ද ?

රජයේ මැති ඇමැති වරුන් සහ එජාප නායක කාරකාදීන් මේ දිනවල ප්‍රකාශ කරන්නේ  රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයාට හැර අන් කිසිවෙකුට මෙවැනි ප්‍රාතිහාර්යක් කළ නොහැකි බවයි. එය සත්‍යකි. එයට හොඳම පිළිතුර සපයා තිබෙන්නේ ඔහුගේම මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කල 2023 මධ්‍ය වාර්ෂික වාර්තාවයි. කනගාටුවට කරුණ, සමහර දේශපාලකයින්ට සහ ඔවුන් වටා අන්ධ භක්තියෙන් රොක් වී සිටින යම් අවබෝධයක් තිබෙන පිරිස් වලට පවා රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු පක්ෂය රට ගෙන යන දිශාව කුමක්ද කියා නොතේරීමයි

මූල්‍ය වෙළෙඳපොළේ අසාමාන්‍ය හැසිරීමක්..

ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළ මේ දිනවල තරමක අසාමාන්‍ය හැසිරීමක් (Unusual Behaviour ) පෙන්නුම් කරයි. ඒ සම්බන්ධව එතරම් කතා බහක් ලංකාවේ සිදුවෙන බවක් පේන්නට නොමැති වීම පුදුම සහගත ය.

මහ බැංකුව විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ජූලි 01 වන දා නිල වශයෙන් නිවේදනය කිරීමත් සමග භාණ්ඩාගාර බිල්පත් සහ මූල්‍ය වෙළෙඳපොළ ඉතා ඉහළ ප්‍රතිචාරයක් දැක්විය. විශේෂයෙන්ම භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත විශාල වශයෙන් අඩුවීමට පටන් ගත්තේ ය. මහ බැංකු අධිපති වරයා සහ රටේ මුදල් රාජ්‍ය ඇමැති වරු දෙකට්ටුව මාධ්‍යට පැමිණ බොහෝ ධනාත්මකව අදහස් පල කළේ ය. එහෙත් , අවබෝධයක් ඇති පිරිස් රටේ සිදු වෙන්නේ කුමක් ද කියා දැනගෙන සිටියේ ය. කෙසේ වෙතත් , ඔබගේ අවබෝධය සඳහා කරුණු කිහිපයක් මෙම ලිපිය මගින් පෙන්වා දීමට කැමැත්තෙමි.

ඔබගේ අවබෝධය සඳහා කරුණු කිහිපයක්..

2023 ජුනි 27 වන දා නිකුත් කළ දින 91 කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් පොලිය 23% ක් ද, දින 182 පොලිය 19.49 ක්ද, දින 364 පොලිය 16.99% ලෙසද තීරණය විය. මෙය ඉතා ඉහළ අගයක් වීම හේතුවෙන් රජය රුපියල් බිලියන 130 ක ණය ලබා ගැනීම සඳහා  ලංසු කැඳවූවත්  වෙන්දේසියෙන් ලබා ගත්තේ බිලියන 55.45 ක වැනි අඩු ණය ප්‍රමාණයකි. මෙසේ බිල්පත් පොලිය ඉහළ යාමට හේතුව  ඒ වන විට පැවති මහබැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත 15.50%-16.50% වැනි ඉහළ අගයක් ගැනීමත්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව නිල වශයෙන් පැහැදිලි කිරීමක් ඒ වන විට සිදුවී නොතිබීමයි.

කෙසේ වෙතත්, ජූලි මාසයේ 01 වන දින දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිල වශයෙන් නිවේදනය කිරීමෙන් පසු එළැඹි පළමු භාණ්ඩාගාර බිල්පත් නිකුතුව පැවති ජුලි 05 වන දින භාණ්ඩාගාර බිල්පත් පොලිය එකවර විශාල ලෙස පහළ යෑම පිළිබඳ සියළු දෙනා කතා කිරීමට පටන් ගත්තේ ය. රජය පාර්ශවය ප්‍රකාශ කළේ රජය කෙරෙහි වෙළඳපොළ විශ්වාසය ඉහළ යමින් පවතින බවකි.

එහිදී, දින 91 කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් පොලිය තීරණය වූයේ 17.79% ක් ලෙසයි. පෙර නිකුතුව පොලිය 23% ක් ව පැවතියේ ය. එමෙන්ම දින 182 පොලිය 15.93% දක්වා ද දින 364 බිල්පත් පොලිය 13.86% දක්වා ද සැලකිය යුතු ලෙස පහළ ගියේය. භාණ්ඩාගාරය රුපියල් බිලියන 140 ක් ලබා ගැනීම සඳහා ලංසු කැඳවා තිබූ අතර රුපියල් බිලියන 252.52 සඳහා ලංසු (Bids Received) ලැබී තිබුණි. රජය බලාපොරොත්තු වූ සම්පූර්ණ ණය මුදලම (බිලියන 140) එදින  ලබා ගැනීමට කටයුතු කළේ පොලී අනුපාත අඩු වීම  සැලකිල්ලට ගෙනයි.

භාණ්ඩාගාර බිල්පත් පොලිය අසාමාන්‍ය ලෙස ඉහළට..

එහෙත් , එම තත්ත්වය පැවතියේ ඉතා කෙටි කාලය කි. 2023 ජූලි 12 වන දින භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සිදුවිය . එහිදී දින 91 බිල්පත් සඳහා පොලිය 19.08% ක් දක්වා ඉහළ ගියේය . ඒ වගේම , දින 182 බිල්පත් පොලිය 16.95% දක්වාද, දින 364 බිල්පත් පොලිය 14.04% දක්වා ද වැඩි විය. මහබැංකුව රුපියල් බිලියන 160 ලබා ගැනීමට ලංසු කැඳවූ අතර ගැණුම්කරුවන් බිලියන 194.89 සඳහා ලංසු ඉදිරිපත් කළේ ය.  පොලිය ඉහළ යාම හේතුවෙන් රජය ලබා ගත්තේ රුපියල් බිලියන 99.66 කි.

පසුගිය ජූලි 19 දිනත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවතිණි. එහිදී  තවදුරටත් බිල්පත් පොලිය ඉහළ ගියේය. දින 91 න් කල්පිරෙන බිල්පත් සඳහා 19.99% ක් ද, දින 182 සඳහා 17.77% ක් ද, දින 364 සඳහා 14.35% ක්ද ලෙස භාණ්ඩාගාර බිල්පත් පොලිය අසාමාන්‍ය ලෙස ඉහළ ගියේය. මේ අනුව රජය බලාපොරොත්තු වූ ණය මුදල ලබා ගැනීමට මහබැංකුවට නොහැකි විය . රජයට රුපියල් බිලියන 160 ක අවශ්‍යතාවය තිබුණි. බිලියන 220.72 සඳහා ලංසු ලැබුණත් රජය ලබා ගත්තේ රුපියල් බිලියන 63.69 කි. හේතුව, ගැණුම්කරුවන් මෙවර ද ඉතා ඉහළ පොලියක් බලාපොරොත්තු වීමයි.

මෙය මූල්‍ය අනතුරක පෙර නිමිත්තකි..

මෙම සියළු නිකුතු පිළිබඳ සලකා බැලීමේදී එක දිගට පොලී අනුපාත ඉහළ යමින් පවතින බව ඔබට නිරීක්ෂණය වනු ඇති. මෙසේ පොලී අනුපාත දිගින් දිගටම  ඉහළ යාම කිසියම් මූල්‍ය අනතුරක පෙර නිමිති කියා පායි. ඒ අන් කිසිවක් නොව රජය පවත්වා ගෙන යාම සඳහා එදිනෙදා වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් රජයට නොලැබීමේ අනතුරයි. එය හොඳින් දන්නා ප්‍රාථමික ගැණුම්කරුවන් ඉතා ඉහළ පොලී අනුපාත ඉදිරිපත් කිරීමත් ඔවුන්ගේ ආයෝජන සඳහා පවතින ඉහළ අවදානම හේතුවෙන් ඔවුන් අනිවාර්යයෙන්ම වැඩි පොලියක් ඉල්ලා සිටීමත් මෙයට හේතුව යි.

අවසානයේ සිදුවිය හැක්කේ කුමක්ද ?

එසේ නම්, අවසානයේ සිදුවිය හැක්කේ කුමක්ද ? පැවති මහබැංකු පනත අනුව අවසාන තුරුම්පුව හැටියට මහබැංකුවට සල්ලි අච්චු ගැසීමට හැකියාව තිබුණි. එහෙත් පෙරෙයිදා සම්මත වූ නව මහබැංකු පනත අනුව එයද කළ නොහැකිය. ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක් කොන්දේසියක් වන්නේ මහබැංකුව මුදල් අච්චුගැසීම නොකළ යුතු බව යි. එම නිසා රජයට ඇත්තේ සීමිත තෝරා ගැනීම් කිහිපය කි.

විදේශීය ණය ලබා ගැනීමට නොහැකි වීම තුල රජයට මුලුමනින්ම දේශීය ණය මත යැපීමට සිදුවී ඇත . එහෙත් ඒ සඳහා වැය කිරීමට සිදුව ඇති පිරිවැය ඉතා සීඝ්‍රයෙන් ඉහළ යන බව පෙනේ. මේ තත්ත්වය තුල රජයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම/ප්‍රශස්තකරණය කෙතරම් දුරට සාර්ථක වේද යන්න සැක සහිත ය. මාගේ පෞද්ගලික අදහස නම් දෙවන ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට (DDR 2nd Round) යෑම පිළිබඳ සාකච්ඡාවක් බොහෝ විට සැප්තැම්බර් සිදුවීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනයේදි සලකා බැලීමට ඉඩ ඇත.

පවතින තත්ත්වය විශ්ලේෂණය කරමින් පසුගිය දා ෆිච් රේටින් ආයතනය ලංකාවේ දේශීය මූල්‍ය පද්ධතිය ද්‍රවශීලතා අර්බුදයකට පත් විය හැකි බව තක්සේරු කොට වර්ගීකරණ අගයන් (Ratings) CC සිට C මට්ටමට පහත හෙලීමට කටයුතු කළේ ය. බොහෝ විට ප්‍රාථමික ගැණුම්කරුවන් විසින් මෙම තත්ත්වය සලකා බලා ද්‍රවශීලතා අවදානම් ගාස්තුවක් (Liquidity Risk Premium) තම පොලියට එකතු කිරීම මෙසේ අනුපාත ඉහළ යාමට තවත් එක් හේතුවක් විය හැක.

https://www.fitchratings.com/research/sovereigns/fitch-downgrades-sri-lanka-long-term-local-currency-idr-to-c-05-07-2023

රජය දේශීය ණය ගෙවීමත් නතර කරයිද?

විදේශීය ණය ගෙවීම පැහැර හරින බව 2022 අප්‍රේල් 12 වන නිවේදනය කළාක් මෙන් මහබැංකු අධිපති වරයා මාධ්‍ය සාකච්ඡාවක් තබා ලබන ජනවාරි මාසයේ යම් දිනෙක  "රජය දේශීය ණය ගෙවීම තාවකාලිකව නවතා දැමීමට තීරණය කොට ඇත"  කියා නිවේදනය කරයිද ? එසේත් නැත්නම් , " ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය අනුව රජයේ දල මූල්‍ය අවශ්‍යතාව (Gross Financing Need (GFN )) 95% දක්වා ලඟාවීමට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන වටයක අවශ්‍යතාවයක් පැන නැගී ඇත " කියා කීමට සිදුවෙයිද ? කනට ඇසීමට අකමැති අමිහිරි ප්‍රවෘත්තියක් වුවත් එය එසේ නෙවෙයි කියා සිතීමට තරම් දත්ත සහ තොරතුරු අප ඉදිරියේ නොමැත.

ශාන්ත ජයරත්න

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102

No comments:

Post a Comment