Wednesday, 26 July 2023

පලස්තීන ජාතිකයන් දහස් ගණනක් ඝාතනය කළ අන්තවාදී නෙතන්යාහු ඊශ්‍රායල් රාජ්‍යය විනාශ කිරීම අරඹයි..! නෙතන්යාහුගෙන් රට බේරා ගැනීමට ජනතාව කඳවුරු බඳිති..!

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.26, ප.ව.11.30) "බෙන්ජමින් නෙතන්යාහු කියන්නේ බොරුකාරයෙක්" හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසි, ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාට පැවසුවේ ඊශ්‍රායල් අගමැතිවරයා පිළිබඳ සඳහන් කරමිනි. "ඔබට ඔහුව අප්‍රසන්නයි. එහෙත් මට ඔහු සමඟ දිනපතා ගණුදෙනු කරන්න සිදුවෙනවා" යැයි ඇමරිකානු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේ ය. මේ සංවාද ඇති වූයේ වසර  2011 නොවැම්බරයේ පැවති G 20 සමුළුවේදී ය. මෙය ඇමරිකානු සහ ප්‍රංශ ජනාධිපතිවරුන් දෙදෙනා අතර ඇතිවූ පෞද්ගලික සුහද කථාබහකි.

බෙන්ජමින් නෙතන්යාහු කියන්නේ බොරුකාරයෙක්…

එහෙත් එය ලෝකයම දැන ගත්තේ ප්‍රංශ ජනාධිපතිවරයාගේ මයික්‍රෆෝනය හදිසියේ ක්‍රියාත්මකවීම හේතුවෙනි. එය ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පිළිබඳ සැබෑ ස්වරූපය ලොවට හෙළිවූ අවස්ථාවකි. පලස්තීන ප්‍රශ්නය පිළිබඳ සාමකාමී විසඳුමකට සූදානම් නොමැති අන්තවාදී නෙතන්යාහු යනු ලෝකයටම වාතයකි! එහෙත් ඊශ්‍රායල් ජනතාවගේ බහුතර කැමැත්ත ඇති බැවින් ඔහු සමඟ ගණුදෙනු කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට සිදු විය.

ඇමරිකාව මැදිහත්වූ "ඔස්ලෝ ගිවිසුම"...

ඊශ්‍රායලයේ ප්‍රධාන ආධාරකරු සහ ආරක්ෂකයා වන්නේ ඇමරිකාවයි. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යම් සාමයක් එකඟතාවක් ඇති කර ගැනීමට ද ඇමරිකාව දශක ගණනාවක් පුරා මැදිහත්වී තිබේ. පලස්තීන විමුක්ති සංවිධානය (PLO) සහ ඊශ්‍රායලය අතර වසර 1993 දී ඇමරිකාවේ ධවල මන්දිරයේ දී අත්සන් තැබූ "ඔස්ලෝ ගිවිසුම" මේ මැදිහත්වීමේ එක් ප්‍රතිඵලයකි. ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ නිරීක්ෂණය යටතේ ඊශ්‍රායල් අගමැති Yitzhak Rabin සහ PLO නායක යසර් අර්පත් මේ ගිවිසුමට අත්සන් කළහ. මේ ගිවිසුම හරහා ඊශ්‍රායලය සහ PLO එකිනෙකාව නිළ වශයෙන් පිළිගනු ලැබීය. එයට අමතරව ඊශ්‍රායල් පලස්තීන ගැටුමට ද්වි-රාජ්‍ය විසඳුම (two States solution) සඳහා පදනම නිර්මාණය විය.

ගිවිසුමට අත්සන් කිරීමේ වරදට ඊශ්‍රායල් අගමැති ඝාතනය කරයි..

එහෙත් "ඔස්ලෝ ගිවිසුම" සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම අන්තවාදීහූ විරෝධය දැක්වූහ. එම ගිවිසුමට අත්සන් කිරීමේ වරදට ඊශ්‍රායල් අගමැති Yitzhak Rabinට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය. වසර 1995 නොවැම්බර් 4 වන දින ටෙලිවිව් නුවර "ඔස්ලෝ ගිවිසුම" සඳහා සහය දක්වන රැලියක් අමතමින් සිටියදී ඔහු ඊශ්‍රායල් අන්තවාදියෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්විය. කම්කරු පක්ෂය නියෝජනය කළ කෘතහස්ත දේශපාලනඥයකු වූ Yitzhak Rabin වසර1974-77 කාලයේදී ඊශ්‍රායල් අගමැතිවරයා වශයෙන් කටයුතු කළේ ය.

පලස්තීනය සමඟ සාමකාමී එකඟතාවක් ඇති කර ගැනීම,  සමාජ සුබසාධනය, කම්කරු අයිතිවාසිකම්, මානව හිමිකම් වෙනුවෙන් කැපවී කටයුතු කළ කම්කරු පක්ෂය වසර 2000 පමණ වන විට ඊශ්‍රායල් දේශපාලන භූමියෙන් අතුගා දැමීමට නෙතන්යාහු වර්ගයේ වර්ගවාදී,  අන්තවාදී පලස්තීන විරෝධී දේශපාලන ප්‍රවාහය සමත් විය.

නීති විරෝධී යුදෙව් ජනාවාස පිළිබඳ ඔබාමාගේ විරෝධය…

වසර 2008 දී බැරක් ඔබාමා ඇමරිකාවේ ජනාධිපතිධූරයට පත් වන්නේ මේ පරිසර තුළය. ඔහු සිය මැතිවරණ වේදිකාවේ පොරොන්දු වූ ආකාරයට පලස්තීන ගැටුම් සාමකාමීව විසඳීමට මැදිහත් විය. වසර 2009 දී ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවැති පළමු සාකච්ඡාවේදීම ඔබාමා දැඩිව කියා සිටියේ නෙතන්යාහුගේ ආණ්ඩුව පලස්තීන භූමියේ, ක්‍රියාත්මක කරමින් සිටින නීති විරෝධී යුදෙව් ජනාවාස ඇති කිරීමේ වැඩ පිළිවෙල වහාම නතර කළ යුතු බවයි. පසුගිය වසර අට පුරාම ජෝර්ජ් ඩබ් බුෂ්ගේ ආණ්ඩුව නෙතන්යාහුගේ වර්ගවාදී වැඩපිළිවෙළට සහයෝගය ලබාදුන්න ද තවදුරටත් එය නොලැබෙන බව ජනාධිපති ඔබාමා පැහැදිලිව සංඥා කළේ ය.

පූර්ව 1967 සටන් විරාම රේඛා මත පදනම් වූ ද්වි-රාජ්‍ය විසඳුම …

ඔහු වසර 2011 මැයි මාසයේදී,  ඊශ්‍රායලය පූර්ව 1967 සටන් විරාම රේඛා මත පදනම් වූ ද්වි-රාජ්‍ය විසඳුමක් ඇති කර ගත යුතු බවට යෝජනා කළේ ය.  හරිත රේඛාව හෙවත්  1967 සටන් විරාම රේඛාව යනු 1948 අරාබි-ඊශ්‍රායල යුද්ධයෙන් පසුව ඊශ්‍රායලයේ හමුදාවන් සහ එහි අසල්වැසියන් (ඊජිප්තුව, ජෝර්දානය, ලෙබනනය සහ සිරියාව) අතර 1949 සටන් විරාම ගිවිසුම්වල දක්වා ඇති මායිම් රේඛාවයි. එය වසර 1967 "දින හයේ යුද්ධය" දක්වා ඊශ්‍රායල රාජ්‍යයේ දේශසීමා ලෙස පැවතියේ ය.  

1948 යුද්ධය අවසන් වූයේ ඊශ්‍රායල හමුදා විසින් ඓතිහාසික පලස්තීන භූමියෙන් සියයට 78ක් පමණ අත්පත් කර ගනිමිනි. ඉතිරි භූමි ප්‍රදේශ  ඊජිප්තුවේ සහ ජෝර්දානයේ පරිපාලනය යටතට පත් විය. වසර 1967 "දින හයේ යුද්ධයේ" දී ඊශ්‍රායලය සමස්ත ඓතිහාසික පලස්තීනය මෙන්ම ඊජිප්තුවෙන් සහ සිරියාවෙන් අමතර භූමි ප්‍රදේශ ද අත්පත් කර ගත්තේ ය.

ඔබාමාගේ යෝජනාවට නෙතන්යාහු සහ වර්ගවාදීහු වියරු වැටෙති…

ජනාධිපති ඔබාමාගේ යෝජනාව වූයේ ඊශ්‍රායලය "දින හයේ යුද්ධයේ" දී අත්පත් කරගත් භූමිය අත්හැර දැමිය යුතු බවයි. ජනාධිපති ඔබාමාගේ මේ යෝජනාව පිළිබඳව අගමැති නෙතන්යාහු ඇතුළු ඊශ්‍රායල අන්තවාදීහු වියරු වැටුනහ. ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය ද ඔබාමාගේ ඊශ්‍රායල් ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කළේ ය. ඔහුට "තම්බියා" යැයි අපහාස කළේ ය. ජනාධිපති ඔබාමාගේ මේ යෝජනාව හේතුවෙන් ඩිමොක්‍රැටික් පක්ෂය වසර 2011 නොවැම්බර් මාසයේ පැවැති මැතිවරණයේදී කොන්ග්‍රස් ආසන ගණනාවක් (යුදෙව් ජාතික ඡන්දදායකයන් සැළකිය යුතු සංඛ්‍යාවක් සිටින) පරාජය විය. වසර 2012 ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොමනි ද ජනාධිපති ඔබාමා ඊශ්‍රායලය පාවා දී ඇති බවට චෝදනා කළේ ය. එහෙත් බැරක් ඔබාමා තම යෝජනාව අද දක්වා සංශෝධනය  කළේ හෝ ඉල්ලා අස්කර ගත්තේ නැත.  

ට්‍රම්ප්, නෙතන්යාහු සමඟ එකට සිට ගනියි…

එහෙත් වසර 2016 දී ජනාධිපතිධූරයට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, අගමැති නෙතන්යාහුගේ පලස්තීන විරෝධී  වර්ගවාදී වැඩපිළිවෙළ සමඟ සිට ගත්තේ ය. එයට උපරිම සහයෝගය ලබාදුන්නේ ය. ඇමරිකානු තානාපති කාර්යාලය පළමුවරට මතභේදයට ලක්ව තිබෙන ජෙරුසලමට ගෙන ගියේ ය. නෙතන්යාහුගේ ආණ්ඩුව සිය නීති විරෝධී ජනාවාස ඉදිකිරීම් වැඩ පිළිවෙල සීඝ්‍රයෙන් ඉදිරියට ගෙන ගියේ ය. පලස්තීන ජනතාවගේ නිවාස බලහත්කාරයෙන් විනාශ කළේ ය. පලස්තීන ජනතාව ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කළේ ය.

නෙතන්යාහු අගමැතිව සිටි කාලයේ පලස්තීන වැසියන් 3500ක් ඝාතනය කරයි…

ඊශ්‍රායල මානව හිමිකම් සංවිධානයක් වන B'Tselem හි වාර්තාවන්ට අනුව, නෙතන්යාහු අගමැතිව සිටි වසර 2009 සිට අද කාලයේ දී  බටහිර ඉවුරේ ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් සහ ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් හේතුවෙන්  පලස්තීන ජාතිකයන් 3,500 අධික පිරිසක් ඝාතනය විය. ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිත අහිමි වූ පලස්තීන ජාතිකයන් අතරින් 799 ක් ළමුන් වන අතර කාන්තාවන් 342 කි.

අන්ත දක්ෂිණාංශික නව ආණ්ඩුව …

බෙන්ජමින් නෙතන්යාහු  ඔහුගේ ලිකුඩ් පක්ෂය, අන්ත දක්ෂිණාංශික සියොන්වාදී කොටස් සහ අන්තවාදී -ඕතඩොක්ස් පක්ෂ එක් කර ගනිමින් ඊශ්‍රායල් ඉතිහාසයේ වඩාත්ම අන්තවාදී ආණ්ඩුව පසුගිය වසරේ දෙසැම්බර් 29 වන දා පිහිටුවීය.  මේ අන්ත දක්ෂිණාංශික, වර්ගවාදී සභාග ආණ්ඩුව Likud, United Torah Judaism, Shas, Religious Zionist Party, Otzma Yehudit සහ Noam යන පක්ෂ හයකින් සමන්විත වන අතර ඒ හරහා හයවන වරටත් ඊශ්‍රායලයේ අගමැති ලෙස බෙන්ජමින් නෙතන්යාහු බලයට පත් විය.

"පලස්තීන ජාතියක් නැත" ඊශ්‍රායල් නව මුදල් ඇමති…

නව ඊශ්‍රායල ආණ්ඩුවේ මුදල් අමාත්‍ය Bezalel Smotrich පසුගිය මාර්තු මාසයේ පැරිසියේ දේශනයක් පවත්වමින්  පලස්තීන ජනතාවක් නොමැති බව අවධාරණය කළේ පලස්තීන සංකල්පය කෘතිම ගොඩනැගූවක් බව පවසමිනි. "පලස්තීන ජාතියක් කියා දෙයක් නැත. පලස්තීන ඉතිහාසයක් නැත. පලස්තීන භාෂාවක් නැත” යැයි ඔහු පැවසීය.

අන්ත දක්ෂිනාංශික Religious Zionist පක්ෂයේ නායක Bezalel Smotrich ඊශ්‍රායලයේ නව මුදල් අමාත්‍යවරයා මෙන්ම බටහිර ඉවුර පාලනය කිරීමේ වගකීම දරණ බලධාරියා ය. Smotrich යනු යුදෙව් ජාතිවාදියෙක්, සමලිංගික භීතිකාවෙන් පෙලෙන්නෙක් වශයෙන් කුප්‍රකටය.  ඔහු පලස්තීන භූමියේ  නීතිවිරෝධී යුදෙව් ජනාවාස ගොඩනැගීමේ ප්‍රබල ආධාරකරුවෙකි.

අධිකරණයෙන් දඬුවම් ලැබූ නව ඇමැතිවරු..

අල්ට්‍රා ඕතඩොක්ස් ෂාස් පක්ෂයේ නායක ආර්යේ ඩෙරි අභ්‍යන්තර සහ සෞඛ්‍ය ඇමතිවරයා ය.  බදු වංචාවක් සම්බන්ධයෙන් ඩෙරීට පසුගිය ජනවාරි මාසයේදී අත්හිටවූ සිරදඬුවමක් හිමිවිය.

අන්ත දක්ෂිණාංශික Otzma Yehudit පක්ෂයේ නායක Itamar Ben-Gvir නෙතන්යාහුගේ ජාතික ආරක්ෂක අමාත්‍යවරයාය. ඔහු මෙයට පෙර ඊශ්‍රායලයේ ජාතිවාදය ඇවිස්සීම සහ ත්‍රස්තවාදී සංවිධානයකට සහාය දීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකි.

අගමැති නෙතන්යාහුට එරෙහි අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් නඩු තුනක්…

මේ නෙතන්යාහුගේ කුප්‍රකට කැබිනට් කිහිපදෙනෙකුගේ පැටිකිරිය පමණි. ඔහුගේ කැබිනට් මණ්ඩලයේ අති බහුතරය මෙවැනි අන්තවාදී, වර්ගවාදී, ආගම්වාදී  උම්මත්තකයන්ය. නෙතන්යාහු මෙන්ම ඔහුගේ කැබිනට් මණ්ඩලයේ බහුතරයක් අධිකරණයෙන් දඬුවම් ලැබූවන් සහ දැනටත් අධිකරණය ඉදිරියේ නඩු විභාග වන චූදිතයන්ය. අගමැති නෙතන්යාහුට එරෙහි අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් නඩු තුනක් දැනට විභාග වෙමින් පවතියි!

ඊශ්‍රායල් ශ්‍රේෂ්ඨාධිකරණය විනාශ කිරීම..

එබැවින් පලස්තීන ජාතිකයන් මර්දනය කරන අතර ඊශ්‍රායල අධිකරණය විනාශ කිරීම නෙතන්යාහුගේ නව ආණ්ඩුවේ අංක එකේ ප්‍රමුඛතාවය බවට පත්ව තිබේ. කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩුව ගනු ලබන මහජන විරෝධී තීරණ වෙනස් කිරීමට මෙතෙක් ඊශ්‍රායල් ශ්‍රේෂ්ඨාධිකරණයට තිබූ බලතල ඉවත් කිරීමට නව නීතියක් හඳුන්වා දීමට නෙතන්යාහුගේ ආණ්ඩුව යෝජනා කළේ ය. පාර්ලිමේන්තු තීරණවලට අභියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති හැකියාව සීමා කිරීමේ සිට විනිසුරුවරුන් තෝරා ගන්නා ආකාරය වෙනස් කිරීම දක්වා අධිකරණයේ බලතල සීමා කිරීම අරමුණු කරගත් පුළුල් වෙනස්කම් සඳහා ප්‍රතිසංස්කරණ  නව ආණ්ඩුව යෝජනා කරයි. ජනතාව අතරින් තේරී පත් නොවූ විනිසුරුවරුන්ට ජනතාවගේ නියෝජිතයන් පාර්ලිමේන්තුවේ දී ගනු ලබන තීරණ වෙනස් කිරීමේ බලයක් නොමැති බව නෙතන්යාහු සහ ඔහුගේ ගෝලබාලයෝ පෙන්වා දෙති.

අධිකරණ ස්වාධීනත්වය විනාශ කිරීමට එරෙහිව මාස හයක් පුරා විරෝධතා…

මේ ප්‍රතිසංස්කරණවලට  එරෙහිව ඊශ්‍රායල් ජනතාව මාස හයක් පුරා විරෝධය දක්වති. විරෝධතාකරුවන් පොදුවේ ප්‍රතිසංස්කරණය දකින්නේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයන්ට ලක්ව සිටින නෙතන්යාහු සහ ඔහුගේ හවුල්කරුවන්, අධිකරණය තම අණසකට යටත්කර ගැනීමට ගන්නා උත්සාහයක් වශයෙනි. එමෙන්ම තම බලය ආරක්ෂා කිරීමට ගන්නා උපාය මාර්ගයක් ලෙසයි.

සංවරණ සහ තුලන පවත්නා ගෙන යෑමේ අභියෝගය..

ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැති ඊශ්‍රායලයේ, සංවරණ සහ තුලන (checks and balances) පවත්වා ගෙන යෑම සඳහා  අධිකරණය තීරණාත්මක අධීක්ෂණ භූමිකාවක් ඉටු කරයි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම තීරණාත්මකය. එහෙත් නෙතන්යාහු ආණ්ඩුවේ නව යෝජනා හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටෙන බව එරට විපක්ෂය ඇතුළු පොදු ජනතාව අවධානය කරති. පසුගිය මාස හයක කාලය පුරා ඊශ්‍රායල් ජනතාව වීදි බැස මේ ඒකාධිපති යෝජනාවන්ට විරෝධතාව දක්වන්නේ එහි තිබෙන බියකරු ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වරූපය හේතුවෙනි.

හමුදා නායකයන්ගේ විරෝධය …

ඊශ්‍රායල් සමාජයේ ප්‍රධාන භූමිකාවක් නිරූපනය කරන හිටපු සහ වර්තමාන  හමුදා නායකයෝ සියයකට අධික පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය බිඳ දමන යෝජනා ක්‍රියාත්මක නොකරන ලෙසට නෙතන්යාහු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළහ. විදේශ සේවයේ නිරත රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන්, රටේ ප්‍රමුඛ වෘත්තීයවේදීන්, සිවිල් සමාජය ඇතුළු සමස්ත සමාජයම මේ යෝජනා පාර්ලිමේන්තුවේ සම්මත නොකරන ලෙසට දැඩිව ඉල්ලා සිටියහ.

නෙතන්යාහු විරෝධතා නොතකා අධිකරණය විනාශ කිරීම ආරම්භ කරයි…

එහෙත් නෙතන්යාහුගේ වර්ගවාදී ඒකාධිපති ආණ්ඩුව එම ඉල්ලීම් කිසිවක් මායිම් නොකර පසුගිය සඳුදා (24) මේ යෝජනාහි පළමු  කොටස ඊශ්‍රායල් පාර්ලිමේන්තුවේදී සම්මත කළේ ය. විපක්ෂය අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන යෝජනාවට විරෝධය දක්වමින් ඡන්ද විමසීම වර්ජනය කළේ ය.

ඊශ්‍රායල ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමක්…

ඡන්ද විමසීමෙන් පසු විපක්ෂ නායක යායර් ලපිඩ් පැවසුවේ “මෙය කනගාටුදායක දවසක්. මෙය නෙතන්යාහු ආණ්ඩුවේ ජයග්‍රහණයක් නොවේ. එය ඊශ්‍රායල ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමක්" යනුවෙනි. ඊශ්‍රායල් පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රී සංඛ්‍යාව 126ක් වන අතර අදාළ යෝජනාව 64-0 කින්, එනම් ඉතාම සරළ වැඩි ඡන්දයෙන් සම්මත විය. ඡන්දයෙන් පසුව, සැලැස්මේ නිර්මාතෘ අධිකරණ අමාත්‍ය යාරිව් ලෙවින් පැවසුවේ, අධිකරණය ප්‍රතිසංස්කරණය කිරීමේ “වැදගත් ඓතිහාසික ක්‍රියාවලියක පළමු පියවර” පාර්ලිමේන්තුව විසින් ගෙන ඇති බවයි.

සිදුවන හානිය සහ සමාජ බලපෑම පිළිබඳව  කිසිවෙකුට අනාවැකි කිව නොහැක…

එහෙත් බිම් මට්ටමේ විරෝධතා ව්‍යාපාර මෙහෙයවන පොදු ජනතාව මේ ඡන්ද විමසීම හෙළා දකිමින්, නෙතන්යාහුගේ අන්තවාදී ආණ්ඩුව මිලියන ගණන් ඊශ්‍රායල් පුරවැසියන් ඔවුන්ගේ අන්තවාදී  මතවාදය තුළ හිර කිරීමේ  අධිෂ්ඨානය මනාව ප්‍රදර්ශනය කර ඇති බව පෙන්වා දෙති. අදාළ නීති සම්පාදනය කිරීමෙන් පසු සිදුවන හානිය සහ සමාජ බලපෑම පිළිබඳව  කිසිවෙකුට අනාවැකි කිව නොහැකි බව ඔවුහු කියා සිටිති.

නෙතන්යාහුට උඩ ගෙඩි දුන් ඇමරිකාව …

ඊශ්‍රාලයේ ප්‍රධාන ආධාරකරුවා වන ඇමරිකාවද මේ යෝජනාව පිළිබඳ දැඩි කනස්සල්ල ප්‍රකාශ කළේ ය. ඊශ්‍රායල් ඉතිහාසයේ බිහිවූ වඩාත්ම අන්තවාදී ආණ්ඩුව දැන් නිර්මාණය වී ඇති බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා පැවසීය. එහෙත් නෙතන්යාහුගේ අන්තවාදී වර්ගවාදී ක්‍රියාමාර්ග දශක කිහිපයක් පුරා නිහඬව අනුමත කළ ඇමරිකාව ද මේ විනාශයට වගකිව යුතුය. රාජතාන්ත්‍රික මට්ටමින් යම් රහස් විරෝධයන් දැක්වුවද ප්‍රසිද්ධියේ  නෙතන්යාහුගේ අන්තවාදී වර්ගවාදී ක්‍රියාමාර්ග හෙළා දැකීමට ඇමරිකාව අදටත් මැලිකමක් දක්වයි (යම් විරෝධයක් දැක් වූයේ ජනාධිපති ඔබාමා පමණි). මැද පෙරදිග බල දේශපාලන සාධක සැළකිල්ලට ගෙන ඇමරිකාව තමන්ට සහයෝගය ලබාදෙන බව දන්නා නෙතන්යාහු ඕනෑම පිස්සුවක් නැටීමට බිය නොවෙයි.

"ඊශ්‍රායලය නෙතන්යාහුගෙන් බේරා ගනිමු"

එහෙත් අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කිරීමේ නෙතන්යාහු ආණ්ඩුවේ උත්සාහයට එරෙහි ජනතා අරගලය අවසන්ව නැත. ඊශ්‍රායලය නෙතන්යාහුගෙන් බේරා ගැනීම සඳහා ජනතාව අඛණ්ඩව වීදි බැස සටන්කරමින් සිටිති. ඔවුහු මේ මොහොතේ ද "අපි ඒකාධිපතියෙකුට යටත් නොවෙමු", "ප්‍රජාතන්ත්‍රවාදය හෝ අරගලය" සහ "ඊශ්‍රායලය නෙතන්යාහුගෙන් බේරා ගනිමු " වැනි සටන් පාඨ කියමින් අරගල කරති.

ලබ්බට තැබූ අත පුහුලටත්…

නෙතන්යාහුගේ අන්තවාදී, වර්ගවාදී, ආගම්වාදී ඒකාධිපති ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කිරීමෙන් නවතින්නේ නැත. සමරිසි අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් විනාශ කිරීමට ද ඔවුහු සූදානමින් සිටිති. ඒ පිළිබඳ දැනටමත් කටමැත දොඩවති. ලබ්බට තැබූ අත පුහුලටත් තබනවා නිසැකය.

යක්ෂයා නිවසමට පැමිණීම…

පලස්තීන ජනතාව මර්දනය කිරීමට, ඔවුන්ගේ මානව අයිතිවාසිකම් විනාශ කිරීමට, ඔවුන්ගේ නිවාස විනාශ කිරීමට මෙන්ම පලස්තීන ජනතාවට එරෙහි සකලවිධ මර්දනයන් වෙනුවෙන් නෙතන්යාහු ඇතුළු ඊශ්‍රායලය අන්තවාදී, වර්ගවාදීන්ට විසිල් ගැසූ ඊශ්‍රායල් ජනතාව සොයා යක්ෂයා දැන් නිවසටම පැමිණ සිටියි.

"අනුන්ගේ නිදහස ගැන උනන්දු නොවන තැනැත්තා තමන්ගේ නිදහස ද වළලා ගනු ඇත" -කුට්ටමනී..

අදින් දශක හතරකට පෙර වැලිකඩ බන්ධනාගාරයේදී ඇස් ගලවා කුරිරු වධබන්ධයන්ට ලක් කර මරා දැමූ සෙල්වරාජා යෝගෙන්ද්‍රන් හෙවත් කුට්ටමනීගේ ප්‍රකාශයකින් මේ ලිපිය අවසන් කරමු.

"අපි ජාතිවාදී නොවෙමු , සිංහල ජනයාගේ අයිතිය උදුරා නොගනිමු. අපි අපේ සටනේදී ඔවුන්ව ආදරයෙන් සිහිපත් කරමු , ඔවුන්ගේ සාධාරණ සටන් වලදී අපගේ සහය පලකරමු.

එලෙසම අපගේ විමුක්ති සටනටද සිංහල ජනයා සහය දිය යුතුය. අනුන්ගේ නිදහස ගැන උනන්දු නොවන තැනැත්තා තමන්ගේ නිදහසද වලලා ගනු ඇත.

අපට අත් වූ ඉරණම සිංහල ජනයාටද අනාගතයේ අත්වනු ඇත. එදාට අලිමංකඩ වධ කඳවුර හම්බන්තොටට ගෙනයනු ඇත. ගුරුනගර් වධ කඳවුර කුරුණෑගලට ගෙනියනු ඇත".

කුට්ටමනී පැවසූ ආකාරයට අනුන්ගේ නිදහස ගැන උනන්දු නොවන තැනැත්තා තමන්ගේ නිදහස ද වළලා ගනු ඇත. එය සදාතනික සත්‍යයකි. එයට දේශසීමා නැත. එය ඊශ්‍රායල් ජනතාව අප හමුවේ නැවත ඔප්පු කර තිබේ..!

-ආනුභාවනන්ද

anubhawananda1@gmail.com

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

No comments:

Post a Comment