Wednesday, 26 July 2023

රනිල්ගේ කටට එන පොරොන්දු සහ 'ඇම්නේසියා' රෝගයෙන් පෙළෙන ලංකාවේ දේශපාලකයින් සහ සමහරක් ජනතාව..!

-ශාන්ත ජයරත්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.27, පෙ.ව.1.50) ඇම්නේසියා නැමැති රෝගය සරලව හැඳින් වුවහොත් එහි තේරුම "මතකය නැති වීමයි" (Amnesiac syndrome causes memory loss). අතීතය අමතක වීම රිට්‍රොග්‍රේඩ් ඇම්නේසියා (Retrograde Amnesia) යනුවෙන් හඳුන්වන අතර මෙම රෝගය මට මතක් වූයේ ජුලි 23 වන දා  මාධ්‍යයේ ප්‍රචාරය වූ ප්‍රවෘත්තියක් දැකීමෙන් අනතුරුවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මක් ගැන කළ සාකච්ඡාව ප්‍රවෘත්ති විකාශයක ප්‍රචාරය වනු දැක මා එය ඉතා  උවමනාවෙන් නැරඹුවේ ඔහු මෙවර අපේ හේමරතන ස්වාමීන් වහන්සේට පොරොන්දු වන්නේ කුමක්ද කියා අසා දැන ගැනීම සඳහා  ය. එහි වාර්තාව සඳහා පිවිසෙන්න. https://presidentsoffice.gov.lk/index.php/2023/07/23/a-special.committee-appointed-to-implement-the-maha-viharaya-development-plan/

එම සාකච්ඡා මේසයේ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේ , ආගමික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක , සහ ආගමික  කටයුතු අමාත්‍යාංශ ලේකම් මා මිත්‍ර සෝමරත්න විදානපතිරන සහ තවත් දන්නා කියන නිළධාරීන් රාශියක් අසුන් ගෙන සිටිනවා දුටිමි. මෙම ලිපියේ  අරමුණ ඔවුන්ට අගතියක් කිරීමට නොව ලංකාවේ බහුලව දේශපාලකයින් සහ සමහරක් ජනයාට වැලඳි ඇති එහෙත් ඔවුන් හඳුනාගෙන නැති 'රිට්‍රොග්‍රේඩ් ඇම්නේසියා' රෝගය ගැන යමක් ඔබට සඳහන් කිරීමටයි. එම රෝගය ගැන වැඩි විස්තර දැන ගැනීමට පිවිසෙන්න. https://my.clevelandclinic.org/health/diseases/21455-amnesia

"මමයි පුරාවිද්‍යා චක්‍රවර්ති"

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා එම සාකච්ඡාවේදී අනුරාධපුරයට ජාත්‍යන්තර මට්ටමේ බෞද්ධ විශ්වවිද්‍යාලයක් හදන බව ස්වාමීන් වහන්සේට පොරොන්දු විය. ඊට අමතරව විශාල බෞද්ධ කෞතුකාගාරයක් හදන බවත් ප්‍රකාශ කළ අතර තවත් ව්‍යාපෘති රාශියක් ගැන ඔහු දීර්ඝ විස්තරයක් කරමින් , රාජ්‍ය නිළධාරීන් ඔහු ඉදිරියේ ලිලිපුට්ටන් කරමින් "මමයි පුරාවිද්‍යා චක්‍රවර්ති" ලෙස රඟන විලාශය දැකීමෙන් මීට පෙර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මා මිත්‍ර මහාචාර්ය මනතුංග ඉදිරියේ පෑ වික්‍රමය මතක් විය. (මනතුංග මහතා නම්බු පිටින් පසුව ඉල්ලා අස්විය) අවසානයේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ නිළධාරීන්ට විශාල උපදෙස් මාලාවක් ලබා දී ආගමික කටයුතු ලේකම් වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කළේය. එහි වැඩ සිටි අපේ හේමරතන ස්වාමීන් වහන්සේත් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය බවක්ද දුටිමි. එහෙත් කනගාටුව උන්වහන්සේගේ හැසිරීමෙන් පෙනී ගියේ  රනිල් වික්‍රමසිංහ 2017 ජනවාරි 29 වන දා එවකට යහපාලන රජයේ අගමැති හැටියට අනුරාධපුරයේ නිරීක්ෂණ චාරිකාවට පැමිණ  උන් වහන්සේට ඔවැනිම පොරොන්දුවක් දී කමිටුවක් ද පත් කළ බව උන්වහන්සේට අමතක වී ඇති ස්වරූපයකි. 2017 රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ දේවල් පිළිබඳ මෙම වාර්තා වල තොරතුරු ඇත.

https://www.ft.lk/article/594705/PM-assures-to-implement-development-projects-in-Anuradhapura-safeguarding-the-heritage-sites

https://news.lk/news/politics/item/17373-prime-minister-seeks-comprehensive-plan-for-secred-anuradhapura

එවක, උන් වහන්සේ රුවන්වැලි සෑ අධිපති ධූරය ඉසුලූ අතර අපවත් වූ පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේ අටමස්ථානාධිපතිව වැඩ සිටියහ. මෙවර 2023 ජුලි 23 වන දා රනිල් වික්‍රමසිංහ රටේ අනුප්‍රාප්තික ජනාධිපති වරයා හැටියට ගොස් නැවත එම පොරොන්දු පත්‍රයම හේමරතන ස්වාමීන් වහන්සේ ඉදිරියේ විරාජමානව ප්‍රකාශ කරණු දුටු විට මට සිහිවූයේ මේ සියල්ලන්ටම රිට්‍රොග්‍රේඩ් ඇම්නේසියා (Retrograde Amnesia ) රෝගය වැළඳී තිබෙන බවකි. මන්ද ඔවුන් සියළු දෙනාටම ඊට පෙර රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම මෙවැනිම පොරොන්දුවක් ලබා දුන් බව හැසිරීමෙන් හෝ ප්‍රකාශනයෙන් දකින්නට නොලැබීම යි.

මේවා කාට කියන්න ද?  

මෙවර රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා අලුතින් බෞද්ධ විශ්වවිද්‍යාලයක් ඇති කරන බව කියයි. පුරා විද්‍යා කැණීම් ගැන සඳහන් කරයි. අනුරාධපුරයෙන් පටන්ගෙන දිඹුලාගල දක්වා කැණීම් ගැන සඳහන් කරයි. කෙසේ වෙතත්, මේ වන විටත් 1969 ආරම්භ කළ භික්ෂූ විශ්වවිද්‍යාලයක් අනුරාධපුරයේ තිබෙන බවක් ඔහු නොදනී. එහි ඉගෙනුම ලබන ස්වාමීන් වහන්සේට අනෙකුත් විශ්වවිද්‍යාල වල සිසුන්ට මෙන්ම දහසකුත් එකක්  දුෂ්කරතා තිබෙන බව ඔහු හෝ එහි සිටින ස්වාමීන් වහන්සේ නොදනී. කෙසේ වෙතත් ජනාධිපති කියන්නේ අලුතෙන් තවත් බෞද්ධ  විශ්වවිද්‍යාලයක් ඇති කරන බවයි . මේවා කාට කියන්න ද?

කෝ මේවා සෑදීමට මුදල් ?

2023 පළමු කාර්තුවේ රජයේ මුලු ආදායමෙන් ණය පොලී ගෙවූ විට අනෙකුත් කටයුතු සඳහා  ඉතිරි වූයේ රුපියල් බිලියන 1 ක් බව මාගේ පසුගිය ලිපියේ සඳහන් කොට තිබුණා ඔබට මතක ඇති. එහෙත් , ජනාධිපති වරයා ස්වාමීන් වහන්සේ හමුවන සෑම අවස්ථාවකම බෞද්ධ විශ්වවිද්‍යාලයක් පොරොන්දු වෙයි. කෝ මේවා සෑදීමට මුදල් ?

මහනුවර දී දුන් පොරොන්දු..

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා 2023 මැයි මස 23 වන දා අස්ගිරි මල්වතු මහානායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමට ගියේ ය. එහිදී, ඔහු ස්වාමීන් වහන්සේට පොරොන්දු වූයේ ජාත්‍යන්තර මට්ටමේ ථේරවාද බෞද්ධ විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට වහාම කටයුතු කරන බවකි. ඔහුගේ ජපාන සංචාරයේදී ඒ සම්බන්ධව සාකච්ඡා කරන බවත් වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය. තෙල්දෙනිය පල්ලෙ කැලේ මේ වන විටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගන්නා බෞද්ධ අධ්‍යාපන විශ්වවිද්‍යාල මට්ටමේ ආයතනයක් ඇත. ජනාධිපති වරයා නුවර දී ලබා දුන් පොරොන්දු දැන ගැනීම සඳහා සඳහා පිවිසෙන්න. https://www.sundayobserver.lk/2023/05/21/news/president-proposes-setting-maha-vihara-university

නුවරට සහ අනුරාධපුරයට ජාත්‍යන්තර මට්ටමේ බෞද්ධ විශ්වවිද්‍යාල දෙකක් අලුතෙන් ලබා දීමට ජනාධිපති සූදානම් වෙයි. හෝමාගම පිහිටා තිබෙන පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය? ජාතික විශ්වවිද්‍යාල වල තිබෙන බෞද්ධ හා පාලි අධ්‍යයන දෙපාර්තමේන්තු? බෞද්ධ හා පාලි පස්චාත් උපාධි අධ්‍යාපන ආයතනය? මේ ආයතන සියල්ල මේ වන විටත් පැවැත්වෙන ආයතන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා නොදන්නවා ද? ලංකාවේ පාලි, සහ බෞද්ධ අධ්‍යාපන ආයතන වල අඩුවක් තිබෙනවා කියා ජනාධිපති වරයා හිතනවා වන්නට පිළිවන. එසේත් නැත්නම් ලංකාවේ මිනිසුන්ට වෙනත් දේ උගන්වා වැඩක් වන්නේ නැහැ කියා ඔහු හිතනවා වන්නටද පිළිවන.

සොල්හයිම් දුන් ලණුව..

මීට අමතරව ලෝකයේ එකම දේශගුණික විපර්‍යාස අධ්‍යයන ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය (International Climate Change University ) ලංකාවේ ගොඩනගන බව ඔහු මීට පෙර  ඊජිප්තුවේ පැවති COP 27 දේශගුණික විපර්‍යාස සමුළුවේදී ප්‍රකාශ කළේය. නෝර්වේ ජාතික එරික් සොල්හයිම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශගුණික විපර්‍යාස උපදේශක වරයා ය. එය ඔහු විසින් ජනාධිපතිට දුන් ලනුවක් විය හැක. COP 27 කතාව සඳහා  https://www.presidentsoffice.gov.lk/index.php/2022/11/08/developing-countries-are-the-worst-affected-by-rising-emissions-from-the-industrialized-world-and-must-be-compensated-president-ranil-wickremesinghe-emphasizes-at-cop-27/

කටට එන පොරොන්දු ලබා දීම...

අලුතෙන් විශ්වවිද්‍යාල හැදුවාට ඉගැන්වීමට ආචාර්ය මහාචාර්යවරුන් කොහෙන් හොයන්න ද? මේ ආර්ථික අර්බුදය හමුවේ විශ්වවිද්‍යාල ගුරුවරුන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ විශ්වවිද්‍යාල නිළධාරීන් 663 දෙනෙකු නිල වශයෙන් ඉල්ලා අස්වී විදේශ ගත වී ඇති අතර තවත් විශ්වවිද්‍යාල ගුරුවරුන් 255 දෙනෙකු නොදන්වා සේවය හැරගොස් තිබෙන බව අධ්‍යාපන ඇමැති වරයා හරිනි අමරසූරිය මන්ත්‍රී වරියගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී  ප්‍රකාශ කළේ ය. එම තොරතුරු සඳහා පිවිසෙන්න . https://www.dailymirror.lk/print/front_page/255-university-dons-153-non-academic-staffers-vacate-posts-Minister/238-263671

2015 සිට සොයන මුත් විගණකාධිපතිටත් සොයා ගැනීමට නොහැකි රු. ට්‍රිලියන 06 ක්..

ලංකාවේ දේශපාලකයින් සෑම විටම යම් පාර්ශවයකගේ සහයෝගය ලබා ගැනීමට කටට එන පොරොන්දු ලබා දීම ඔවුන්ගේ ආවේනික ස්වභාවය යි. පොරොන්දු ඉටු කළ ද නොකළද ඔවුන්ට ඒ සම්බන්ධව වගවීමක් (Accountability ) නැත. එසේ තිබුනේ නම් විගණකාධිපති වරයා පසුගිය දා ජනාධිපති ඉදිරියේ තියාගෙනම ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යාංශය රුපියල් ට්‍රිලියන 08 ක් ව්‍යාපෘති ණය හැටියට රජයේ ගිණුමේ දක්වා තිබුණත් , භූමියේ තිබෙන වත්කම් වල වටිනාකම රුපියල් ට්‍රිලියන 02 ක් බවයි . 2015 සිට සොයන මුත් ඉතිරි ට්‍රිලියන 06 ට අයිති වත්කම් ලංකාවේ භූමිය තුල සොයාගැනීමට නොමැති බව විගණකාධිපති වරයා සියල්ලන් ඉදිරියේ ප්‍රකාශ කළේ ය. ඒවාට කුමක් වන්නට ඇත්ද ? එහෙත් ලංකාවේ කිසිවෙක් ඒ ගැන වැඩි කතා බහක් නැත්තේ ඇම්නේසියා නිසාද ?

දෙමළ නායකයන්ට නම් ඇම්නේසියා නැහැ වගේ...

පසුගිය දා සුපුරුදු පරිදි ඉන්දියානු සංචාරයට පෙර දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ උතුරේ දෙමළ දේශපාලන පක්ෂ වල නායකයින්ට  13+ පරණ ගුලිය ඇඹරීමට ගොස් අමාරුවේ වැටුණු බවක් පේන්නට තිබුණි. ඒ බව සුමන්තිරන් මහතා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයකින් පැහැදිලි විය. එහිදී ද සිදුවූයේ ඊට පෙර රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා ඔවුන්ට ලබා දී තිබූ පොරොන්දු අමතක වී තිබීම විය හැක. එහෙත් ද්‍රවිඩ පක්ෂ නායකයින්ට ඒවා මතක තිබුනේ ය. ඔවුන්ට නම් ඇම්නේසියා නැහැ වගේ පෙනුණේ ය.

මේ දිනවල පොහොට්ටු නායකයින් රට වටේ යමින් ඔවුන් නිදොස් වීමට උස්සාහ කරති. එහෙත් ඔවුන් කළ හොරකම් සම්බන්ධ නඩු උසාවියේ මේ වන විටත් ඇසෙමින් පවතී.  එජාපයේ හැරිසන් සහ වජිර අබේවර්ධන වැනි නායකයින් කියන්නේ සජබේ වටේ සිටින්නේ හොරු බවයි. එහෙත් හැරිසන්ලාට වජිර අබේවර්ධනලාට විවිධ මහාපරිමාන වංචා දූෂණ චෝදනා එමට ඇත. ඔවුන්ට මෙන්ම ඔවුන් වටා එකතු වී සිටින සමහරුන්ට ඇම්නේසියා හේතුවෙන් සියල්ල අමතක වී ඇත.

කළ යුත්තේ කුමක්ද ?

රටේ සමහර ජනයාටද බොහෝ දේ අමතක ය. මන්ද, ඔවුන්ට ඇම්නේසියා රිට්ට්‍රොග්‍රේඩ් රෝගය වැළඳී ඇති බව ඔවුන් නොදන්නා නිසාය. මෙම රෝගය වැළඳී නැති ජනයා කළ යුත්තේ කුමක්ද ?

ඔබ ඉදිරියේ තබන පොරොන්දු ඉඳුරාම ඉටු කරන බව ශපථ කරන ව්‍යවස්ථාවෙන්ම  වගවෙන (Accountable ) රිට්‍රොග්‍රේඩ් ඇම්නේසියා රෝගය වැළඳී නැති පාලකයන් පිරිසක් රට කරවීම සඳහා තෝරා ගැනීමය ඒ සඳහා පෙළ ගැසෙමු . සූදානම් වෙමු. ඔවුන් වටා හිට ගනිමු.

-ශාන්ත ජයරත්න

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102

No comments:

Post a Comment