Monday, 10 July 2023

රනිල් තහනම් කර තියෙද්දිත් තඹුත්තේගම මහා ඉඩම් මංකොල්ලයක්..! මහ මොළකාරයා එච් කලාපෙ කළමණාකාරයා..! උගේ නැන්දම්මටත් ඉඩම් දීලා..! ඕඅයිසීටත් ඉඩම් දීලා..!

-අනුරාධපුරයේ තිසර සමල් වාර්තා කරයි

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.10, ප.ව.8.15) අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් කළාපයේ තඹුත්තේගම නගරයේ  පිහිටි වටිනා රජයේ වාණිජ ඉඩම් මහවැලි අධිකාරිය හරහා දේශපාලන හිතවතුන් අතරේ රහසිගතව බෙදා දීමට විරෝධය පළ කරමින් බෙදා දුන් ඉඩම් අහෝසි කරන ලෙස බල කරමින් තඹුත්තේගම නරගයේදී අද (10) විරෝධතාවක් පැවැත්විණි.

තඹුත්තේගම නගරයේ පිහිටි මහවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර කාර්යාලය ඉදිරිපිටිදී  මෙම විරෝධතාව පැවැත්විණි. විරෝධතාකරුවන් සටන් පාඨ කියමින්, විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින්  මෙලෙස විරෝධතාවයෙහි නිරත වූහ.

මෙම සිදුවීමට විරෝධය පළ කරමින්  පසුගිය 07 වැනි දිනද විරෝධතාවයක් පැවැත්වුණි. එදිනද සාධාරණ විසඳුමක් නොලැබුණ බව පවසමින් මෙලෙස නැවත විරෝධතාවක් පැවැත්විණි.

හෙංචයියන්ට ඉඩම් කට්ටි 300 ක් බෙදලා..

එහිදී විරෝධතාකරුවන් කියා සිටියේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහවැලි අධිකාරිය හරහා ඉඩම් බෙදා දීම පසුගිය නොවැම්බර් මස 11 වැනි දින තහනම් කර ඇති පසුබිමක වාරීමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යය රොෂාන් රණසිංහ ගේ උපදෙස් මත, පොලොන්නරුව ප්‍රදේශයේ රොෂාන් රණසිංහ අමාත්‍යයවරයාගේ ආධාරකරුවන් පිරිසකට , ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තූන් ලබා ගෙන  ඉඩම් 300 කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස බෙදා දීම සිදු කර ඇති බවයි.

එහිදී අදාළ මන්ත්‍රීවරුන් විසින් සකස් කළ ලැයිස්තූන් හී එම මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිළධාරීන්, ආරක්ෂ නිළධාරීන් මෙන්ම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා අපේක්ෂකයින් හා ඔවුන්ගේ ඥාතීන් ඇතුළු දේශපාලකයින්ගේ ආධාරකරුවන් හා මහවැලි අධිකාරියේ උසස් නිළධාරීන් හා ඔවුන්ගේ හිතවතුන් පිරිසක්  පමණක් සිටින බවත් ඉඩම් හිමිවිය යුතු ජනතාවට ඉඩම් ලබා දීමට මහවැලිය කටයුතු කර නැති බවත් විරෝධතාකරුවන් චෝදනා කර සිටියහ.

ඉඩම් ගත්තේ කූඨ ලේඛණ සකසා අසත්‍යය තොරතුරු දීලා...

මෙලෙස ඉඩම් ලබා ඇති බහුතරයක් අයදුම්කරුවන්ට මෙන්ම ඔවුන්ගේ කාලාත්‍රයාට හා දෙමාපියන්ට නේවාසික ඉඩම් හිමි හිමි පුද්ගලයින් වන බවත්, ග්‍රාම නිළධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, මහවැලි අධිකාරියේ කොට්ඨාශ කළමණාකරුවන් හා  ඒකක කළමණාකරුවන් හරහා කූඨ ලේඛණ සකස් කර අසත්‍යය තොරතුරු ලබා දී මෙම ඉඩම් ලබා ගැනීම සඳහා සැලසුම් සකස් කර ඇති බවත් වාර්ථා විය.එමෙන්ම මෙම පිරිස් අතරින් ඇතැම් පිරිස් දිස්ත්‍රික්කය තුළ හෝ පළාත තුළ පදිංචි නැති වෙනත් ප්‍රදේශවල ස්ථීර පදිංචි පුද්ගලයින් බවත් ප්‍රදේශයේ වටිනා ඉඩම්, ඉඩම් හිමි පිටස්තර පුද්ගලයින්ට ලබා දීම හරහා ඉඩම් නොමැති ප්‍රදේශයේ පුද්ගලයින්ට ඉඩම් අහිමි වන බවටත් එහිදී විරෝධතාකරුවන් චෝදනා කර සිටිති.

එච් කලාපයේ නේවාසික කළමණාකාර ඩබ්ලිව් සුගත් වීරසිංහගේ නැන්දම්මටත් ඉඩම් දීලා.. පොලිස් ස්ථානාධිපතිටත් දීලා..

"දූෂිත දේශපාලුවන් හා දූෂිත රජයේ නිළධාරීන් තඹුත්තේගම නගරයේ ඇති වටිනා ඉඩම් බෙදා හදා ගනිමින් මංකොල්ල කනවා.මේක වහාම නවත්තන්න ඕනෑ, මේක නවතන තුරු ඕනෑම සටනක් කරන්න අපි සූදානම්.අපි මේ ගැන සාකච්ජා කළාම මහවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයා පසුගිය සෙනසුරාදා මේ බෙදා දුන් ඉඩම් සංවර්ධනය කිරීම තාවකාලිකව නවත්වලා තියෙනවා.අපි කියන්නේ තාවකාලිකව නෙමෙයි ස්ථීරවම මේ ඉඩම් බෙදා දීම තහනම් කරන්න කියලා අපි කියන්නේ.තඹුත්තේගම නගරයේ මහා වටිනාකමක් තියෙන ඉඩම් මේ බෙදා දීලා තියෙන්නේ, මහවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකා ඩබ්ලිව් සුගත් වීරසිංහ තමයි මේකේ මහා මොලකාරයා, මූලිකයා. එයා දැන් එක එක සෝබන කථා කියනවා. එයා තමයි මේකට පිඹුරුපත් හැදුවේ.මේ ඉඩම් ලැයිස්තුවේ පළමුවැනියා අබේසිංහ මුදියන්සේලාගේ සුමනාවතී තලාකොළහේන නිකවැරටිය,  මේ නිකවැරටියේ කෙනාට මොකක්ද තඹුත්තේගම තියෙන ඉඩම් අයිතිය.? මේ වෙන කවුරුත් නෙමෙයි නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයාගේ නැන්දම්මා. ඒ වගේම තඹුත්තේගම  පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාටත් මේකෙන් ඉඩමක් දීලා තියෙනවා. මහවැලි අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි, ජනාධිපතිතුමනි ගේම් ගහලා මේ කරපු ඉඩම් මංකොල්ලය  නවත්වන්න. මේක නැවැත්තුවේ නැත්නම් ‌අපි මහවැලි එච් කළාපයම පාරට බස්සනවා. ඉඩම් හිමිවිය යුතු මිනිස්සුන්ට මේ ඉඩම් ලබා දෙන්න කටයුතු කරන්න" යැයි පැවසීය.

විරෝධතාවයට පැමිණි දෙනෙත් නොපෙනන යුවලක් කියා සිටියේ,

"මගේ ඇස් පේන්නේ නෑ, අපි මහවැලියෙන් ඉඩම් ඉල්ලීම් කළා, අපිට ඉඩම් දුන්නේ නෑ, අපිට ඉන්න තැනක් නෑ, අපි එක එක්කෙනාගෙන් හිඟාකාලා ජීවත් වෙන්නේ." යැයි පැවසීය.

අනතුරුව විරෝධතාකරුවන් පිරිසෙන් කීපදෙනෙකුට මහවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර ඩබ්ලිව් සුගත් වීරසිංහ සමඟ සාකච්ජාවක් ලබා දුන් අතර, එහිදී උණුසුම් තත්වයක් ඇති විය.

එහිදී විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ අදාළ ඉඩම් තුළ සංවර්ධන කටයුතු හෝ ඇතුළු වීම තාවකාලිකව නවතනවා වෙනුවට මෙම ඉඩම් බෙදා දීම අහෝසි කරන ලෙසයි.එහිදී නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයා කියා සිටියේ ඉහළ දේශපාලන අධිකාරිය හරහා හෝ අධිකරණ ක්‍රියාමාර්ග හරහා මෙම ඉඩම් බෙදා දීම නැවැත්වීමට කටයුතු කරන ලෙසත්, තමන්ට හැකි ලෙස තාවකාලිකව මෙම ඉඩම් වලට ඇතුළුවීම නවතා ඇති බව පැවසීය.

ඕනැනම් අල්ලස් දූෂනයට යන්න. මං බය නෑ...

එහිදී විරෝධතාකරුවන් කියා සිටියේ, "ඔබතුමාට ඉඩම් බෙදන්න ,තෝරන්න පුලුවන්, දැන් මේක නවත්වන්න බෑ නේද? මේ ඉඩම් බෙදා දීපු එකේ වගකීම ඔබතුමා ගන්නවාද.? සුදුස්සෝ තේරුවේ කියලා භාර ගන්නනවාද?" යනුවෙන් විමසීය.

එහිදී නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයා කියා සි‌ටියේ, "ඔබතුමන්ලා අල්ලස් දූෂණ හරි යන්න, මම සූදානම් ඒවාට මුහුණ දෙන්න. මගේ බලතල අනුව මගේ රාජකාරිය කලා. ඔබතුමන්ලා මගේ කාර්යාලය වට කරලා, මගේ ඉස්සරහා උද්ඝෝෂණය කලාට මට බෑ, ගරු ඇමතිතුමා හෝ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට තමයි මේක නවත්වන්න බලය තියෙන්නේ.එතුමලා එක්ක සාකච්ජා කරලා මේකට විසදුමක් ගන්න. මම මේ ඉඩම් සම්බන්ධයෙන් විරෝධයක් පවතින බවට මහවැලි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම්වත් කර ඔහු සමඟ සාකච්ජාවක් විරෝධතාකරුව්න ඉල්ලා සිටි බවට ලිඛිතව දැනුම් දුන්නා. තවම එතුමා දිනයක් ලබා දුන්නේ නෑ." යැයි පැවසීය.

මහවැලි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමඟ සාකච්ජාවක් නුදුරේදීම ලබා දීමට අවශ්‍යය කටයුතු සිදු කරන බවට නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයා පොරොන්දු වීම අනුව විරෝධතාකරුවන් එම ස්ථානයෙන් පිටව ගියහ.

සේයාරූ සහ වාර්තාව

තිසර සමල් අනුරාධපුරය

No comments:

Post a Comment