Monday, 10 July 2023

ඉන්දියන් සාගරයේ අමුතු දූපතේ 'කපුටු පාලනය' ගැන අභ්‍යන්තර කතාවක්..!

-ශාන්ත ජයරත්න හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.10, ප.ව.7.15) "කපුටා" යන අන්වර්ත නාමයෙන් හඳුන්වන්නේ කුප්‍රකට බැසිල් රාජපක්ෂ බව ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ජනයා හොඳින් දන්නා කාරණයකි. ඉහළ පෙළේ ජාත්‍යන්තරය ඔහු හඳුන්වන්නේ  Mr. 10% ලෙසය. එසේ වන්නේ ඔහු ලංකාවේ 2010න් පසු සිදුවූ සෑම ආයෝජනයකින්ම 10% ක කොමිස් මුදලක් ලබා ගැනීම නිසාය. පසුගිය අවුරුද්දේ ලංකාවේ රජය ණය ගෙවීම පැහැර හැරීමට විරුද්ධව අමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව (Hamilton Reserve Bank, USA) ගොනුකළ නඩුවේද Mr.10% යනුවෙන් ඔහු හඳුන්වා ඇත.

2019 රාජපක්ෂ රෙජීමය නැවත බලය අල්ලා ගත් දා සිට රටේ සියළු ආර්ථික හා දේශපාලන තීරණ ගැනීමට කපුටාගේ ආශීර්වාදය අවශ්‍ය විය. ගෝටාභය රාජපක්ෂ කපුටාගේ මෙහෙය වීම මත ජනාධිපති පුටුවේ කටයුතු කළේය. යම් අවස්ථා වල ගෝටාභය විසින් කපුටා මගහැර තීරණ ගැනීමට උස්සාහ කළ අවස්ථා තිබුණත් කපුටා ඒවාට ඉඩ ලබා නොදුණි.

රනිල්ව තෝරාගත්තේ ද කපුටා ය..

රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට තෝරා ගන්නේ කපුටා විසිනි. ඒ සඳහා ගෝටාභය රාජපක්ෂට උපදෙස් දුන්නේ කපුටා බව බොහෝ අය දනිති. ඉන් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපති හැටියට තෝරා ගන්නේද  කපුටාගේ උපදෙස් අනුවයි. පාර්ලිමේන්තුවේ පොහොට්ටු කණ්ඩායම සංවිධානය කොට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලබා දීමට කටයුතු කරන්නේද කපුටා ය. අරගලයේ බලපෑම හේතුවෙන් ඒ වන විට පොහොට්ටු පක්ෂයේ නායකයින්ට සැඟවී ජීවත් වීමටත්  ගමන් බිමන් යන වාහන වෙනස් කිරීමටත් සිදුවිය. කපුටා විසින් රනිල් වික්‍රමසිංහට පැවරූ එක් වගකීමක් වූයේ ඔවුන්ට දේශපාලනය කිරීම සඳහා එළි බැහීමට අවශ්‍ය අවකාශය නිර්මාණය කරදීම ය. රනිල් වික්‍රමසිංහ විසින් පොලිස් සහ හමුදා බලය යොදවා එය සපුරා දී ඇත. පොහොට්ටු පක්ෂයේ අය දැන් රට වටේ යමින් නැවත රට ගොඩනැගිය හැක්කේ ඔවුන්ට පමණක් බවත් රනිල් වික්‍රමසිංහට පවරා තිබෙන්නේ ආර්ථිකය ගොඩදැමීමේ වගකීම  පමණක් බවත් කියති. කපුටාගේ බලාපොරොත්තුව පොහොට්ටු කරුවන්ට නැවත බලය ලබා දී රටේ ඉතිරි සේසතත් කොල්ල කා ගැනීම ය.

රනිල් වික්‍රමසිංහ නටන්නේ කපුටාගේ බෙර පදයට බව අමුතුවෙන් කිවයුතු නැත. කපුටාට අවශ්‍ය ඕනෑම මොහොතක බෙර පදය වෙනස් කොට රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවෙන් බස්සවා ගෙදර යැවිය හැක. රනිල් එය හොඳින්ම දනී. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයාට ඇතත්, ඔහු එයට නොපෙළඹෙන්නේ එජාපයට තනියෙන් රජයක් පිහිටුවීමට තවමත් හැකියාවක් නොමැති බව ඔහු හොඳින්ම දන්නා නිසාය.

හොඳම උදාහරණය..

කපුටා විසින් රනිල් වික්‍රමසිංහට පවරා තිබෙන්නේ ආර්ථිකය හැසිරවීමේ කටයුතු ටික පමණි. කිසියම් කටයුත්තක්  අසාර්ථක වන විට කපුටාගේ කණ්ඩායම ඒවායේ වගකීම භාර නොගෙන ඒවායින්  ඈත් වී සිටීමට වග බලාගනී.  එයට හොඳම උදාහරණය අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහන යි. ඊට අවශ්‍ය  පාර්ලිමේන්තු අනුමැතිය ලබා දීමට කපුටා කටයුතු කලේ ය. එහෙත් එම වැඩසටහන ආරම්භයේදීම අසාර්ථක කිරීමට කපුටා සූක්ෂමව ගම් මට්ටමින් ඔහුගේ පිරිවර සංවිධානය  කලේය. මන්ද ඔහුට අවශ්‍ය දුප්පත් ජනයා ඔවුන් වටා රදවා තබාගනිමින් මැතිවරණ සමයේ යම් සන්තෝෂමක් දී ගමේ බලය රැක ගැනීමය. එම නිසා සමෘද්ධි නියාමකයන්, කෘෂි නියාමකයන්, ග්‍රාම සේවක නිළධාරීන්  වැඩසටහනින් ඉවත් කරගැනීමට කපුටා සූක්ෂමව කටයුතු කලේය. අවසානයේ වැඩසටහන අසාර්ථක වීමට ඉඩ හැර ඒ හරහා ගම තුල යම් උද්ඝෝෂණ නිර්මාණය කොට පොහොට්ටු ප්‍රාදේශීය දේශපාලකයින් ජනයා අතරට ගොස් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට උස්සාහ ගත් හ.  ප්‍රශ්නය නිර්මාණය කිරීම , එය උත්සන්න කිරීම යනාදිය ඔවුන් විසින්ම සිදුකොට පසුව ගැලවුම්කරුවන් වශයෙන් පෙනී සිටින්නේ ද ඔවුන්මය.

කපුටාගේ උත්සාහය අසාර්ථක වූ තැනක්..

ලංකාවේ දූෂණ වංචා වැලැක්වීම සඳහා නීති ගෙන ආ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කොට ඇත. ඒ සඳහා නව දූෂණ විරෝධි පනතක් සකස් විය. එහි විවිධ අඩුපාඩු ඇත. කෙසේ වෙතත් එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම දිනෙන් දින කල් ගියේය. එයට හේතුවත් කපුටාගේ ආශීර්වාදය නොලැබීම ය. දූෂණ විරෝධි නව නීති අවශ්‍යතාවයක් නැත. තිබෙන නීති හොඳටම ප්‍රමාණවත් ය. කුමන නීතියක් හෝ සම්මත වී යම් රජයක් ඒවා නිවැරැදි ආකාරයට ක්‍රියාත්මක කිරීම ආරම්භ කලහොත් කපුටා සහ ඔහුගේ රංචුවේ සිටින පොඩි කපුටන්ට වැඩ වරදින බව මහ කපුටා හොඳින්ම දනී.  කෙසේ වෙතත් , අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  බලපෑම මත අදාළ පනත පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීම පසුගිය දා සිදුවිය. පක්ෂ නායක රැස්වීමේදී එය සම්මත කරගැනීමටද එකඟ වී තිබුණි. එහෙත් විවාදය අතර තුර පනත සම්මත කිරීම පසුවට කල් තබන බව ආණ්ඩු පක්ෂ සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත සභාවට දැණුම් දුන්නේ ය. එත් සමග විපක්ෂය ප්‍රශ්න කළේ අධිකරණ ඇමැති වරයා ඒ සම්බන්ධව කුමක් ප්‍රකාශ කරන්නේ ද කියා ය. ඔහු සඳහන් කලේ පනත සම්මත කිරීමට කිසිදු බාධාවක් නොමැති බවත් මෙසේ කල්දැමීමට කිසිදු හේතුවක් තිබිය නොහැකි බව ඔහුගේ අදහස බවත් ය. එම ප්‍රකාශයත් සමග අසරණ වූ සභා නායක සුසිල් සහ අගමැති දිනේෂ්  අවසානයේ අකමැත්තෙන් පනත  ඡන්දය විමසීමකින් තොරව අනුමත කිරීමට එකඟ විය. මෙහිදී  කපුටාගේ උත්සාහය  අසාර්ථක විය.

පොලිස්පති අර්බුදය ද කපුටාගේ වැඩකි..

පොලිස්පති පත්කිරීම ප්‍රමාද වීමට හේතුවත් කපුටාගේ මැදිහත් වීමයි. ඔහුගේ තේරීම පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින අපකීර්තිමත්ම නිළධාරියා ඒ සඳහා පත්කල යුතු බවයි. පොලිස්පති චන්දන වික්‍රමරත්න විශ්‍රාම ගියේ පසුගිය මාර්තු මාසයේ 23 වන දාය. පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ පොලිස්පති තනතුර සඳහා ඇබෑර්තුව පිරවීම මෙතෙක් ප්‍රමාද වූ පළමු අවස්ථාව මෙය විය හැක.

නව පොලිස්පති වරයකු පත්කිරීමට නොහැකි වූයේ කපුටා නිර්දේශ කළ නිළධාරියාට විරුද්ධව උසාවියේ පවතින නඩු කිහිපය කි. ඒ වන විටත් උසාවියේ ඇසෙමින් තිබූ නඩු රාශියක විත්තිකරුවකු හැටියට නීතිපති වරයා ඔහුව නම් කර තිබුණි.  මේ වන විට අදාළ දූෂිත පොලිස් නිළධාරියා ඉහළ උසාවියට ඇපෑලක් ඉදිරිපත් කරමින් කොළඹ  මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුට විරුද්ධව ඇති නඩු වල විත්තිකරුවෙක් හැටියට නම් කිරීම වලක්වා ගෙන ඇත. මේ සියළු කටයුතු පිටුපස සිටින්නේ කපුටා බව දන්නෝ දනිති.

පොලිස්පති චන්දන වික්‍රමරත්න වරක් ආරක්ෂක ලේකම් වරයාට ලිපියක් මගින්  ප්‍රකාශ කළේ  2021ජනවාරි 01 වනදා සිට 2021 නොවැම්බර් 03 වන දින දක්වා  කාලසීමාවේදි පොලිස් ස්ථාන 184 කට පත්කොට තිබෙන ස්ථානාධිපති වරුන් බලයේ සිටින ප්‍රාදේශීය දේශපාලකයින්ගේ ඉල්ලීම මත පත් කළ බවකි. මොවුන් අතුරින්  නිළධාරීන් 02 කු පමණක් අවශ්‍ය සුදුසුකම් සපුරා තිබූ බව ඔහු කියයි. මොවුන්ගෙන් 120 දෙනෙකු අදාළ සම්මුඛ පරීක්ෂණය සඳහාවත් පෙනී නොසිටි බව ඔහු තවදුරටත් එම ලිපියේ සඳහන් කොට ඇත. වැඩි විස්තර සඳහා මෙම වාර්තාවට පිවිසෙන්න. https://www.themorning.lk/articles/203683

කපුටාගේ පොලිස්පති ආවොත්..

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට වී තිබෙන්නේ  පලංචියට නැග්ග වඳුරාට වූ අකරතැබ්බයට සමාන දෙයකි. කූඤ්ඤය ඇද්දෝතින් වලිගය හසුවවන බව රනිල් වික්‍රමසිංහ දනී. එමනිසා විශ්‍රාම ගිය පොලිස්පතිට ඊයේ දෙවන වරටත් මාස තුනක සේවා දිගුවක් ලබා දී ඇත. පොලිස්පති ධූරය ඉල්ලා සිටින එකී දූෂිත නිළධාරීයා කෙසේ හෝ පොලිස්පති පුටුවේ වාඩි කරවීමට කපුටාට අවශ්‍ය ය. ඒ එලඹෙන මැතිවරණ තම වාසියට හරවා ගැනීමට පොලීසියේ මැදිහත් වීම උපරිමයෙන් ලබා ගැනීමට ය. මොහු පොලිස්පති වුවහොත් කොළඹ කොටුවේ පිහිටි පොලිස් මූලස්ථානය බත්තරමුල්ල නෙළුම් මාවතේ පොහොට්ටු පක්ෂ මූලස්ථානය වෙත ගෙන යෑම නොවැළැක්විය හැකිය.

පොලිස් දෙපාර්තමේන්තුවේ සහ තම නිල ඇඳුමේ ගරුත්වය ආරක්ෂා කරගත් කීර්තිමත්  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකුම මෙම තනතුරට සුදුසුකම් ලබා සිටී. ඔවුන් ඉහත නිළධාරියාට වඩා අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම්ද සපුරා ඇත. එහෙත් , කපුටා එවැනි නිළධාරීන්ට පොලිස්පති වීමට ඉඩ දෙන්නේ නැත. මන්ද ඔවුන් දේශපාලකයින්ට අවශ්‍ය ආකාරයට පොලීසිය මෙහෙය වීමට සූදානම් නොවන බව කපුටා හොඳින්ම දනී. එම නිසා කපුටා කෙසේ හෝ ඔහුගේ සුවච කීකරු නිළධාරියා පොලිස්පති පුටුවේ වාඩි කරවා ගැනීමට සෑම බලහත්කාරයක්ම කරණු ඇත.

මැතිවරණය කල්දැමීම ද කපුටාගේ තීරණයකි..

ප්‍රාදේශීය සභා මැතිවරණය කල්දැමීම  කපුටාගේ තීරණයකි. එයට රනිල් වික්‍රමසිංහ ද එකඟ විය. මන්ද ඒ වන විට බිමේ තිබූ දේශපාලන තත්ත්වය අනුව ජාතික ජනබලවේගය ප්‍රමුඛ මාලිමාවට ගමේ බලය ලබා දීමට ජනයා සූදානමින් සිටින බව බුද්ධි අංශ රජයට වාර්තා කොට තිබුණි. එය රනිල් වික්‍රමසිංහටද අවාසියක් බව තේරුම් ගෙන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා ඇත. මැතිවරණ කොමිසම කටයුතු කලේද කපුටාගේ විධානයටය. ඊට අමතරව ස්වදේශ කටයුතු පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය කටයුතු කල ආකාරයද විහිළු සහගත ය. රජයේ මුද්‍රණලයාධිපතිනිය කටයුතු කලේ සියළු ඇඳිවත උනා දමමිණි.

නාමල් රාජපක්ෂ මේ දිනවල ප්‍රාදේශීය මට්ටමින් රැස්වීම් තබමින් ආණ්ඩුවේ අඩුපාඩු විවේචනය කරයි. ආණ්ඩුව කරන්නේ කවුද කියා ජනයා ප්‍රශ්න කළ යුතුය? රට ගොඩනැගීමට හැක්කේ පොහොට්ටුවට බවත් ඊලඟ ජනාධිපති සහ ආණ්ඩුව තීරණය කරන්නේ පොහොට්ටු පක්ෂය බවත් ඔහු කියයි. එහෙත් එම පක්ෂයේම කාංචන විජේසේකර , ප්‍රසන්න රණතුංග , මහින්දානන්ද අළුත්ගමගේ , නිමල් ලංසා , බන්දුල ගුණවර්ධන වැන්නන් කියන්නේ රට බේරා ගත්තේ රනිල් වික්‍රමසිංහ බවත් , ඔහුට වඩා සුදුස්සකු තවත් නැති බවත් ය. මෙයත් කපුටාගේ උපක්‍රමයක් විය හැක.

රට ගොඩ ගත්තා කියන්නේ අමූලික බොරුවක්; මෙන්න සාක්කි...

රට ගොඩ ගත්තා කියන්නේ IMF යාම, ණය ගෙවීම පැහැර හැර ඒ මුදල් යොදවා ඉන්ධන , ගෑස් , සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර යනාදිය ආනයනය කිරීම විය හැක. එසේ නොමැතිව, රටේ කිසියම් ආර්ථික වර්ධනයක් සිදුවූ බවක් මෑත කාලයේ පේන්නට නැත. පසුගිය දා මහබැංකුව නිකුත් කළ වාර්තා අනුව 2023 පළමු කාර්තුවේ ආර්ථිකය 11.5% කින් කඩා වැටී ඇත. ලෝක බැංකුව නිකුත් කල නවතම වාර්තාව අනුව ලංකාවේ ජනගහනයෙන් මිලියන 7 ක් දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වෙති. 2019 මිලියන 3ක් වූ දුප්පත් ජනගහනය 2022 දෙසැම්බර් වන විට (අවුරුදු තුනක් තුල ) මිලියන 4 කින් වැඩි වී ඇත. එසේනම් , රට ගොඩනැගීමට මොවුන් බලය ඉල්ලන්නේ කුමක් සඳහා ද?

ඉදිරි වසර 04 තුල අලුතින් භාහිර ණය (External Debt ) ඩොලර් බිලියන 20 ක් ලබා ගැනීමට රජයට සිදුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සකස් කොට ඇති වාර්තාවට අනුව (Gross Financing Need) පෙන්වා දී ඇත. ඉන් ඩොලර් බිලියන 13ක් ඉදිරි වසර හතර තුල ණය ගෙවීමට යොදා ගැනීමට සිදුවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9 ක ණයක් ඉදිරි වසර හතර තුල ලබා දීමට පොරොන්දු වී ඇත. මෙම ණය ලබා ගැනීම සඳහා දරණ වියදම (Cost) අති මහත් ය. රජයේ ආයතන පෞද්ගලිකරණය, ඉඩකඩම්, සහ තවත් රජයේ දේපළ කුණු කොල්ලයට විකුණා දැමීම (Fire Sale ) සේවක අර්ථසාධක අරමුදල වැනි අරමුදල් ප්‍රතිව්‍යුහගත කිරිමේ මුවාවෙන් රුපියල් ට්‍රිලියන ගණනක් කපා හැරීම හැර වෙනත් කිසිදු යහපතක් රටේ ජනයාට අත්වන්නේ නැත. එකම දෙය නම් කවදාවත් ඉටු නොවන 2048 සංවර්ධිත රටක සිහිනය පමණක් ඔබට ඉතිරි වනු ඇත.

අමෙරිකානු පුරවැසියකු වන කපුටාට තව දුරටත් ඉඩ දෙනවාද?

රටේ ජනයාට දැන් තීරණයක් ගැනීමට සිදුව ඇත. අමෙරිකානු පුරවැසියකු වන කපුටාට අවශ්‍ය ආකාරයට තවදුරටත් රටේ සියළු තීන්දු තීරණ ගැනීමට ඉඩ දෙනවාද, නැත්නම් රටේ සම්පත් හා ධනය මංකොල්ල කෑ සියළු කපුටන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ශක්තිය තිබෙන පාලනයක් බිහිකර ගන්නවාද ?

උකටලීව දෙන දේ කා වෙනදේ බලාගෙන තවදුරටත් සිටියහොත් අවසානයේ ඔබට ඉතිරි වන්නේ මුඩු බිමකි. යම් අධ්‍යාපනයක් තිබෙන රටේ ශ්‍රම බලකායට කිසියම් දායකත්වයක් සැපැයිය හැකි සියළු දෙනා රට හැර යමින් සිටිති. වෛද්‍යවරුන් , ඉංජිනේරුවන් , විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් , තාක්ෂණික ශිල්පීන් ඇතුළු ලක්ෂ ගණනක් මේ වන විටත් රට හැර ගොස් ඇත. පුරවැසියන් වන අප මෙම තත්ත්වය හොඳින්  අවබෝධ කරගත යුතුය. බංකොලොත්  වූ රට යලි ගොඩනැගීමට හැකි පාලන ක්‍රමයක් නිර්මාණය කරගැනීමට වෙනදාට වඩා වැඩි වගකීමක් අප වෙත පැවරී ඇත. ඒ සඳහා සූදානම් වෙමු.

-ශාන්ත ජයරත්න

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102

No comments:

Post a Comment