Saturday, 15 July 2023

අර්බුදයේ වින්දිත ජීවිත ගැන ලංකාවේ මිනිස්සුන්ට සහකම්පනයක් නැත්තේ ඇයි..? ජාන විකෘතියකට ලක්වෙලාද? 

-ශාන්ත ජයරත්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.15, ප.ව.11.00) පෙරෙයිදා අවුරුදු 21 ක් වයසැති රූමත් තරුණ දියණියක් පේරාදෙණිය රෝහලේදී අකාලයේ මියගියේ ඇයට ලබා දුන් එන්නතක් විෂ වීමෙන් බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් පවා චෝදනා කරනවා මාධ්‍යයේ දුටිමි. ඊයේ පානදුර රෝහලේදී තවත් තරුණ රෝහල් සේවකයකු කැනියුලරයක් ආසාදනය වී මියගොස් ඇති බව අසන්නට ලැබුණි. මීට පෙරද තරුණ ගුරුවරියක් රාගම රෝහලේදී මියගියේ ද නිර්වින්දන ඖෂධයක් විෂවීමෙන් බව ප්‍රකාශ විය. ඊට පෙර අක්ෂි සැත්කම් කළ රෝගීන් තවත් දස දෙනෙකුට වැඩි පිරිසකගේ ඇස් අන්ධ වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගෙන තිබුණි. තවත් කුඩා දරුවන් , ගැබිණි මව්වරුන් සැලකිය යුතු පිරිසක් ඖෂධ විෂ වීමෙන් මේ වන විට අකාලයේ මිය ගොස් ඇත. මෙයින් පැහැදිලි වන්නේ කුමක්ද ?

රටේ පවතින අර්බුදයේ ප්‍රකාශනය මෙය බව ලංකාවේ බොහෝ පිරිසකට නොතේරීම කනගාටුදායක ය. ලංකාවේ සිටින පුද්ගලයන් මෙන්ම විදේශ වල සිටින සමහර ලාංකිකයන් ද (ආරේ ගුන නෑරේ) කිසියම් පුද්ගලයකු දේශපාලන සාකච්ඡාවක කළ ප්‍රකාශයක් හෝ චීවරධාරියකු කාන්තාවක් සමග නිදි වැදපු සිද්ධියක් හෝ, කවුරුන් හෝ කිවූ රේල් පෙට්ටියක් හෝ ඇම්බියුලන්ස් එකක් අල්ලා ගෙන ඒ පිළිබඳ රස කරමින් දින ගණන් මුහුණු පොතේ කොටමින් සිටිති. තමාට හෝ තම පවුලේ සමීපතමයෙකුට රෝගාබාධයක් වී රෝහලකට ගොස් බෙහෙතක් විෂ වී මියෑදෙන තුරු ඔවුන්ට මෙහි බරපතළ කම නොතේරේ.

එක බෙහෙතකින් ගැහූ ගැහිල්ල රු.කෝටි 50 කට වැඩියි..

පවතින ආර්ථික අර්බුදය පාවිච්චි කරමින් සෞඛ්‍ය ඇමැති වරයාගේ සෘජු මැදිහත් වීමෙන් ගුණාත්මක බවින් අඩු ඖෂධ ඉංදියාවේ නිෂ්පාදන සමාගමකින් ඉතා ඉහළ මිල ගණන් වලට ආනයනය කර ඇති බව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වරයා කැඳවූ සාකච්ඡාවකදී ඊයේ හෙළිදරව් විය. එක්තරා ඖෂධයක් ආනයනය කිරීම හරහා වංචා කොට ඇති මුදල පමණක් රුපියල් මිලියන 500 කට වැඩි බව සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයෙක් එහිදී  ප්‍රකාශ කරනවා දුටිමි. තවත් විශාල වශයෙන් ඖෂධ සහ උපකරණ මේ අන්දමින් ඉතා ඉහළ මිල ගනන් වලට ගෙන්වා රුපියල් බිලියන ගණනින් දේශපාලකයින් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) නිළධාරීන් වංචා කොට තිබෙන බව එහිදී තවදුරටත් හෙළිදරව් විය. 

කසාය බිවූ ගොළුවන් වගේ ඉන්න පුළුවන් ද?

ගෙන ආ බාල ඖෂධත් තිබේ නම් , ඒවා ගෙන්වූ පුද්ගලයන් හඳුනා ගෙනත් ඇත්නම් , ඔවුන් ගෙන්වූ ඖෂධ වල ගුණාත්මක භාවය අඩු බව පර්යේෂන වලින් තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පැමිණ  ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡා පවත්වා ඔවුන්ම පිළිගන්නේ නම්, ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි? අමාත්‍යවරයා තවදුරටත් ධූරයේ තබාගැනීමට ජනාධිපති වරයා කටයුතු කරන්නේ ඔහු එතරම් මෙම තනතුර සඳහා අත්‍යාවශ්‍ය පුද්ගලයෙක් ද? රටේ ජනයාට මේවා ප්‍රශ්න නොවේද? එහෙත්, ඔවුන් සිටින්නේ කසාය බිවූ ගොළුවන් සේ ය.

අවම වශයෙන් තමා විසින් සිදුවූ වරදක් බව පිළිගනිමින් දේශපාලකයින් කෙසේ වෙතත් ඖෂධ පාලන අධිකාරීයේ සභාපති මහාචාර්ය වරයා හෝ ප්‍රධාන විධායක නිළධාරි වෛද්‍ය වරයා සිය තනතුරු වලින්  ඉල්ලා අස් වීමට තරම් වත් වෘත්තීය සදාචාරයක් ඔවුන්ට නැත්තේ ඇයි? රටේ ජනයා මෙන්ම ඔවුන් ද නිර්වින්දනය වී තිබෙනවා ද ?

මෙයින් ඔබලාට පැහැදිලි වන්නේ, දේශපාලකයින් පමණක් නොව ඔවුන් වටා ගොනු වී සිටින දූෂිත වෘත්තිකයන් පවා මෙම ජාවාරම් වලට සෘජුව සම්බන්ධ බව පමණක් නොව ඔවුන්ට පවතින රජයේ ඉහළින්ම අවශ්‍ය පූර්ණ ආරක්ෂාව හා රැකවරණය ලැබෙන බව නොවේද? මේවා ඔබ අනුමත කරනවාද ?

සෑම අර්බුදයක්ම පාලකයන්ට ධන උල්පතකි..

ආපදා ධනවාදයේ (Disaster Capitalism ) ලක්ෂණය මෙයයි. සෑම අර්බුදයක්ම පාලකයන්ට ධන උල්පතකි. ආපදා ධනවාදය පවතින විට වැසියා නිර්වින්දනය වන බව නව ලිබරල්වාදයේ පියා වන  මිල්ටන් ෆ්‍රීඩ්මාන් (Milton Friedman) කියයි. ලංකාවේ ජනයා දැන් නිර්වින්දනයවී ඇත . නැතහොත් , පාලකයා විසින් උවමනාවෙන්ම ඔවුන් නිර්වින්දනය කොට ඇත. රටේ සිදුවන්නේ කුමක්ද කියා වැසියාට නොදැනේ. වැසියාට සූප්පු කරමින් සිටීමට යමක් පාලකයා විසින් ලබා දී ඇත. එයින් ඔවුන් සංතෘප්ත වී සිටින ස්වභාවයක් පේන්නට ඇත. 

ඉංදියාවේ සිට ලංකාවට තෙල් නලයක් සහ ගෑස් නලයක් එලීමට කාංචන විජේසේකර ඇමැති වරයා සහ ඉන්දියානු තානාපති වරයා ප්‍රමුඛ නියෝජිතයන් පිරිසක් සාකච්ඡා කරනු දුටිමි. එය උතුරේ සිට කොළඹ දක්වා ගෙන ඒම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. එහෙත් ලංකාවේ කිසිවෙක් ඒ සම්බන්ධව වචනයක් හෝ කතා නොකරයි. මෙයද ආපදා ධනවාදයේ ලක්ෂණයකි. බල සම්පන්න රටවල් ආර්ථික වශයෙන් කඩා වැටුණු කුඩා රාජ්‍යන් තම අණසකට යටත් කොට ආර්ථික ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන්නේ ඔය ආකාරයට ය.

කිව්ව කියලා ලියලා තියාගන්න... 

යම් නුදුරු දිනෙක ලංකාවේ ඉන්ධන සහ ගෑස් ඒකාධිකාරය ඉන්දියාව හිමි කරගන්නා බව ලියා තබාගන්නා ලෙස මම ලංකාවේ ජනයාට කියමි. තෙල් සහ ගෑස් නලයේ කරාමය වසනකන් ලංකාවේ සංවේදනයක් නැති ජනයාට නොතේරෙනු ඇත. බලයට එන්නට බලාපොරොත්තු වන දේශපාලන පක්ෂ පවා මෙම අවධානම නොදකිනවාද ? කාංචන විජේසේකර සහ ඔහු වටා සිටින ලංකාවේ ඉන්ධන මාෆියාව කවදා හෝ විත්ති කූඩුවට නැංවිය යුතුය. එහෙත් කනගාටුව ඒ වන විට රටට වන්නාවු හානිය වී හමාරය. 

ඉන්දියාව නේපාලයට කළ දේ අපට නොකරයිද?

නේපාලයට මුහුදු මාර්ග නොමැත. (Landlocked Country ) සියළු සැපැයුම් මාර්ග වැටී තිබෙන්නේ ඉන්දියාව හරහාය. 2015  සැප්තැම්බර් 23 වන දා  ඉන්දියානු රජය කිසියම් දේශපාලන හේතුවක් නිසා නේපාලයට වැටී ඇති සියළු ගොඩබිම් සැපැයුම් මාර්ග අවහිර කළේ ය. මෙම මාර්ග ඔස්සේ සාමාන්‍යයෙන් දිනකට ඉන්ධන ට්‍රක් රථ පමණක් 300 ක් නේපාලයට ඇතුළු වේ. ඉන්දියාව  මාස 06 ක් මෙම මාර්ග වසා තැබූ අතර නේපාලය තුල මානව සංහාරයක් ඇති විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී ඉතා අමාරුවෙන් එය විසඳන ලදි. ඉන්දියානු රජය කලාපයේ තම බලය එදා පාවිච්චි කළේ එලෙසයි. ඔවුන් ලංකාවට ඒ දේ නොකර සිටීද? නේපාලයේ ඇති වූ තත්ත්වය මෙම ලිපියෙන් කියවන්න. https://www.theguardian.com/global-development/2015/nov/18/nepal-border-blockade-india-threatens-future-un-unicef

යුක්‍රේන යුද්ධය ආරම්භ වීමත් සමග බටහිර රටවලට ගෑස් සැපයූ නල මාර්ග වසා දැමීමට රුසියාව කටයුතු කළේය. https://www.reuters.com/business/energy/france-accuses-russia-using-gas-weapon-war-2022-08-30/ එයට හේතු වූයේ එම යුරෝපීය රටවල් යුක්‍රේනයට යුධ ආධාර සැපැයීම යි. රුසියාවේ ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රංශය, ජර්මනිය වැනි රටවල් විශාල ගෑස් හිඟයකට මුහුණ පෑ අතර මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගියේය. විදුලි බල සැපැයුම සීමා කිරීමට සිදු විය. අමෙරිකාව අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඔවුන්ගේ සමාගම් හරහා ගෑස් සහ ඉන්ධන සැපැයීමට කටයුතු කලේ ය. අදටත් එය එලෙසම සිදුවේ. අමෙරිකාව සැම විටම යුද්ධයක් නිර්මාණය කරන්නේ ඔවුන්ගේ ව්‍යාපාරික සැලැස්මක්ද සහිතවය. ලංකාවේ අරගලය පවා අමෙරිකානු (CIA) සංවිධානය සහ ඉංදියාවේ රෝ (RAW) ඒකාබද්ධව නිර්මාණය කරන්නේ ඔවුන්ගේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා යි. ඒ ආපදා ධනවාදයයි. නයෝමි ක්ලේන් (Naomi Klein)  ඇගේ කම්පනවාදය (Shock Doctrine)  පොතේ මෙය හොඳින් පැහැදිලි කොට ඇත. 

ලංකාවේ අර්බුදය ඉන්දියාවට වසන්තයක් වී ඇත...

ලංකාවේ අර්බුදය ඉන්දියාවට වසන්තයක් වී ඇත. ඒවාගේම, ලංකාවේ දේශපාලකයින්ට, සමහර දේශපාලන පත්වීම් ලද ඉහළ නිල තල දරන්නන්ට වගේම තෝරාගත් ජාවාරම් කාරයන් ටද මෙය ඉතා සුන්දර  වසන්තයක් වී ඇත. කොවිඩ් වසංගතය වූ අවස්ථාවේ ඇන්ටිජන් කට්ටල ආනයන මගඩිය , නිරෝධායන ජාවාරම, වැනි දෑ පොහොට්ටු ආණ්ඩුවට සම්බන්ධ යම් ප්‍රබල ජාවාරම් කාරුවන් කිහිප දෙනෙකුට  මැණික් ඉල්ලමක් විය. කාබනික පොහොර ගණුදෙනුව, සහ  දේශීයව කාබනික පොහොර නිෂ්පාදනය කිරීම මුවාවෙන් ගෝනි වලට රොන් මඩ, සහ ගල් කැට මිශ්‍ර  පස් පුරවා විකිණීම මගින් මිලියන ගණනින් වංචා කල ජාවාරම් කරුවන් සහ දේශපාලකයින්ට ගෝටාභයගේ කාබනික සිහිනය ධන නිධානයක් විය. සෑම ව්‍යසනයක්ම පාලකයන්ට මෙන්ම ඔවුන් වටා සිටින ජාවාරම් කරුවන්ට මඩිය තර කර ගැනීමට අවස්ථාවක් උදාකර දී ඇත. එහෙත් ලංකාවේ බොහෝ මිනිසුන්ට ඒවා නොදැනේ. නොතේරේ. එසේ නැත්නම්  ඔවුන්ට ඒවා නොවැදගත් දේවල් ය. 

ලංකාවේ බොහෝ මිනිසුන්ට සහකම්පනය නැත්තේ ඇයි?

ලංකාවේ බොහෝ මිනිසුන්ට සහකම්පනය නැත්තේ ඇයි? ඔවුන් ආත්මාර්තකාමිත්වය, පෞද්ගලික වාසිය වෙනුවෙන් රටේ සම්පත් කොල්ල කෑමට ඉඩදී තම දේශපාලන පක්ෂය හෝ තමාගේ නායකයා කුමක් කලත් එය නිවැරැදියි කියන මතවාදයේම එල්ලී සිටීමට තරම් පුරුදු වී තිබෙන්නේ ඇයි? අහිංසක ජීවිත බිලි ගන්නා බාල ඖෂධ ගෙන්වා කොමිස් කුට්ටි ගසාකන දේශපාලකයින් හා නිළධාරීන් ගැන වගේ වගක් නැතිව සිටින්නට තරම් පිරිහුණු මනෝභාවයක් ඔවුන්ට ඇති වීමට හේතුව කුමක්ද? 

ජාන පරිනාමයේ විකෘතියක්...

මාගේ පෞද්ගලික නිගමනය ඓතිහාසිකව  ලාංකිකයාගේ ජාන පරිනාමයේ කිසියම් සැලකිය යුතු විකෘතියක් සිදු වී ඇති බවයි. එවන් සමාජයක් නිවැරැදි මාර්ගයට ගැනීම එතරම් පහසු නොවන බව සියලෝම අවබෝධ කරගැනීම වටී.

-ශාන්ත ජයරත්න

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102

No comments:

Post a Comment