Thursday, 6 July 2023

අජාන් බ්‍රහ්මවංසෝ වෙනුවට අෂින් විරතු, ඥානසාර තෝරා ගැනීම හෙවත් දේවදත්තගෙන් බණ ඇසීමේ සිංහල බෞද්ධ ආශාව..! බදුනොගෙවන චීවර සිටුවරුන්ගේ කථා වස්තුව..!!

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.06, ප.ව.6.35) වසර 2005 අප්‍රේල් 30 වන දා Newsweek සඟරාව ආන්දෝලානාත්මක පුවතක් අනාවරණය කළේ ය. ග්වාන්ටනාමෝ කඳවුරේ සේවයේ නිරත ඇමරිකානු නිලධාරීන් පිරිසක් එහි රඳවා සිටි ත්‍රස්තවාදී සැකකරුවන් වන මුස්ලිම් ජාතික රැඳවියන්ගේ සිත් රිදවීමට සහ ඔවුන්ව මානසිකව බිඳ දැමීම සඳහා ශුද්ධ වූ කුරානය වැසිකිළියකට දමා සෝදා හැරි බවයි. මේ සිද්ධිය පදනම් කර ගනිමින් මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වෙසෙන රටවල් ගණනාවක ඇමරිකානු විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සහ විරෝධතා ඇවිළිණි. එම ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් පහළොස් දෙනෙකුගේ  ජීවිත අහිමි විය.

ඔබේ ආගමේ ශුද්ධ වූ ග්‍රන්ථය වැසිකිළියක සෝදා දැමුවහොත්..

ග්වාන්ටනාමෝ කඳවුරේ සිදු වූ එම නින්දා සහගත, අපකීර්තිමත් සිදුවීමත් එයට ප්‍රතික්‍රියා වශයෙන් නිර්මාණය වූ ප්‍රචණ්ඩ විරෝධතා පිළිබඳ ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදියෙක් එරට ආගමික ප්‍රධානීන්ට පොදු ප්‍රශ්නයක් යොමු කළේ ය. "ඔබේ ආගමේ ශුද්ධ වූ ග්‍රන්ථය වැසිකිළියක සෝදා දැමුවහොත් ඔබ කරන්නේ කුමක්ද?" යන්න එම පොදු ප්‍රශ්නය විය. මේ ප්‍රශ්නය බටහිර ඕස්ට්‍රේලියාවේ සර්පන්ටයින් හි බෝධිඤාන ආරාමයේ වැඩ වෙසෙන බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංසෝ නාහිමියන්ට ද එම මාධ්‍යවේදියා යොමු කළේ ය. "යමෙක් බෞද්ධ ශුද්ධ වූ ග්‍රන්ථයක් ගෙන එය මගේ වැසිකිළියට දැමුවහොත්, මම මුලින්ම කරන්නේ ජලනල කාර්මිකයෙකු ඇමතීමයි.” යන්න අජාන් බ්‍රහ්මවංසෝ නාහිමියන්ගේ පිළිතුර විය.

පිළිම, ගොඩනැගිලි, ග්‍රන්ථ, පූජකයා යනු ආගම නොවෙයි….

මාධ්‍යවේදියා සිය සිනහව නැවැත්වූ පසු නාහිමියෝ තම පිළිතුර මෙසේ පැහැදිලි කළහ. “ග්‍රන්ථය යනු ආගම නොවේ. පිළිම, ගොඩනැගිල්ල හෝ පූජකයා ද ආගම නොවේ. මේවා බහාලුම් (containers) පමණි. ග්‍රන්ථය අපට උගන්වන්නේ කුමක්ද? පිළිමය නියෝජනය කරන්නේ කුමක්ද? පූජකයන් තුළ තිබිය යුතු ගුණාංග මොනවාද? මේ ‘අන්තර්ගතය’ (contents)යි. අපට තවත් ග්‍රන්ථ මුද්‍රණය කළ හැකිය, තවත් පන්සල් ගොඩනගා ගත හැකිය ... නමුත් අන් අයට සහ අපට ඇති ආදරය හා ගෞරවය නැතිවී එය ප්‍රචණ්ඩත්වයට යටත් කළ විට මුළු ආගම ම වැසිකිළියේ සෝදා හැර තිබේ"

ගෞතම බුදුන්ගේ දහම සොයාගත් බ්‍රිතාන්‍ය ජාතිකයා…

බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංසෝ නාහිමියන්ගේ පිළිතුරේ පදනම ගෞතම බුදුරජාණන්වහන්සේගේ දර්ශනයයි. බුදු වදනයි. ඒ ගෞරවනීය බුද්ධ පුත්‍රයෙකුගේ විග්‍රහයකි.  අජාන් බ්‍රහ්මවංසෝ නාහිමියන් පිළිබඳ යළි කථාබහක් අප රට තුළ පසුගිය දා නිර්මාණය විය. ඒ උන්වහන්සේ  පසුගිය මැයි 31 වැනිදා විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ බලධාරීන්ගේ නොසැළකිල්ල හේතුවෙන්  පැය දොළහක පමණ කාලයක් එහි රැඳී සිටීම සිදුවීම නිසාය. බලධාරීහු මේ සිද්ධිය පිළිබඳ  විමර්ශනයක් ආරම්භ කළහ. මේ විමර්ශනය පිළිබඳ දැනගත් අජාන් බ්‍රහ්මවංසෝ නාහිමියෝ තමාට කටුනායක ගුවන් තොටුපළේදී මුහුණදීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව කියා සිටියහ.  

පලිගැනීම, වෙෙරය වෙනුවට සමාවදීම, ආදරය මෙෙත්‍රිය, කරුණාව ප්‍රගුණ කරන්න...

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති දේශනයකදී උන්වහන්සේ පෙන්වා දුන්නේ තමාට කටුනායක ගුවන් තොටුපළේදී මුහුණ දීමට සිදුවූ සිද්ධිය  වැනි සුළු සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම වෙනුවට සිදුකළ යුත්තේ මෙවැනි අත්වැරදීම් සිදු කිරීම මග හරවා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීම බවය. දඬුවම්දීමට වඩා අවශ්‍ය වන්නේ සමාවදීම බව පැවසූ අජාන් බ්‍රහ්මවංසෝ නාහිමියෝ  "මිනිසුන්ට වැරදි කිරීමට ඉඩ දෙන්න, මා දුටු එක් දෙයක් නම් ඔබ මිනිසුන්ට වැරැද්දක් කිරීමට ඉඩ දෙන විට ඔවුන් වැරදි කිරීමට බිය වීමයි. එමගින් ඔවුන් අතින් සිදු වන වැරදි  ප්‍රමාණය  අඩුවෙනවා” යැයි පැවසූහ. දඬුවම්දීම, පලිගැනීම, වෙෙරය වෙනුවට සමාවදීම, ආදරය මෙෙත්‍රිය, කරුණාව ප්‍රගුණ කළ යුතු යන්න  අජාන් බ්‍රහ්මවංසෝ නාහිමියන්ගේ පණිවිඩයයි. එය ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධර්ම මාර්ගයයි.

රොහින්ග්‍යා සරණාගතයන්ට මූල්‍යාධාර …

වසර 2015 මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන්ට එහි "ථේරවාදී බෞද්ධයන්" එල්ල කළ ප්‍රහාර ජාත්‍යන්තර අවධාරණයට ලක් විය. මේ ප්‍රහාර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සදාචාරාත්මක රටවල් දැඩිව හෙළා දැක්කේ ය (රුසියාව සහ චීනය මේ ප්‍රහාර හෙළා දැක්කේ නැත. ඔවුහු එම ප්‍රහාර මෙහෙයවූ මියන්මාර් හමුදා ජුන්ටාවේ නායකයන් ඉලක්ක කර ගනිමින් සම්බාධක පැනවීමට ද විරුද්ධ වූහ). රොහින්ග්‍යා සරණාගත අර්බුදය හේතුවෙන් බංග්ලාදේශයේ අවතැන් වූ අනාථ දරුවන්ට මූල්‍ය ආධාර කිරීම සඳහා බටහිර ඕස්ට්‍රේලියාවේ බෞද්ධ සංගමය ඉදිරිපත් විය. ඒ වෙනුවෙන් පැවැති උත්සවය ඇමතූ අජාන් බ්‍රහ්මවංසෝ නාහිමියෝ "ඔබ කුමන ජාතියක හෝ ආගමක වුවත්, අපි සෑම විටම එකිනෙකා ගැන බලනවා. සියලුම ආගම්, සහෝදර සහෝදරියන් වගේ නිසා අපි එකිනෙකා ගැන සොයා බලනවා. එබැවින් ප්‍රචණ්ඩත්වය සහ අවිශ්වාසය පහව ගොස් කරුණාව, ආදරය සහ එකිනෙකාට උපකාර කිරීම ජයගත හැකියි" යැයි අවධාරනය කළහ.

අෂින් විරතුගේ දේවදත්ත බණ ඇසූ සිංහල බෞද්ධයෝ….

අපේ රටේ සිංහල බෞද්ධයන් අජාන් බ්‍රහ්මවංසෝ නාහිමියන්ගේ බුද්ධ දර්ශනය වෙනුවට තෝරා ගත්තේ මියන්මාරයේ අෂින් විරතුගේ දේවදත්ත ධර්මයයි. අෂින් විරතු යනු මියන්මාරයේ කුප්‍රකට  "969 Movement" නම් වර්ගවාදී ආගම්වාදී ප්‍රචණ්ඩ සංවිධානයේ නායකයාය. මියන්මාරයේ මුස්ලිම් ඇතුළු සුළු ජනවාර්ගික කොටස් සංහාරය කිරීම සඳහා ජනතාව උසිගැන්වීම පිළිබඳව ඔහු කුප්‍රකටය. අනෙකුත් ප්‍රජාවන්ට කෙරෙහිව ආගමික වෛරය පැතිරවීමේ චෝදනාව මත ඔහුගේ ෆේස්බුක් පිටුව පවා තහනම් කෙරිණි. අෂින් විරතුගේ කුප්‍රකට  "969 Movement" සංවිධානය යනු ගලගොඩඅත්තේ ඥානසාරගේ බොදු බලසේනාව වැනි වර්ගවාදී, ආගම්වාදී ම්ලේච්ඡ සංවිධානයකි. ඥානසාරගේ ආරාධනයෙන් අෂින් විරතු බොදු බලසේනා සංවත්සරය රැස්වීමක් ඇමතීමට ලංකාවට පැමිණියේ ය. එක වර්ගයේ කුරුල්ලෝ එකට වසති.

මියන්මාර් හමුදා ජුන්ටාවේ සුරතලා…

වසර 2013 සැප්තැම්බරයේ දී අෂින් විරතුගේ වර්ගවාදී, ආගම්වාදී දේශනා තහනම් කිරීමට මියන්මාරයේ බෞද්ධ මහනාහිමිවරු පියවර ගත්හ. එයට අමතරව ඔහුගේ ම්ලේච්ඡ සංවිධානය ද තහනම් කෙරිණි. එහෙත් අෂින් විරතු තම සංවිධානයේ නම "Patriotic Association of Myanmar" (Ma Ba Tha) ලෙස වෙනස් කරමින් නැවත කරළියට පැමිණියේ ය. ඔහු මියන්මාර් හමුදා ජුන්ටාවේ ප්‍රධාන ආධාරකරුවෙක් සහ විශ්වාසවන්තයෙක් විය. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණු දින සිට මියන්මාරය නිළ සහ නොනිළ වශයෙන් පාලනය කරන්නේ එරට හමුදාවයි. අෂින් විරතු යන බෞද්ධ භික්ෂුව එම මිලිටරි රාජ්‍ය බලයේ කොටස්කරුවෙකි.

ජුන්ටාව බලය අතහැරීම ප්‍රතික්ෂේප කරයි…

වසර 2015දී  පැවති මහ මැතිවරණයෙන් අවුන්සාන් සුකීගේ National League for Democracy (NDL) නම් අනාගමික පක්ෂය සමස්ත ආසන සංඛ්‍යාවෙන් සියයට 86ක් ජය ගෙන බලය ලබා ගත්ත ද පූර්ණ සිවිල් පාලනයක් ස්ථාපිත කිරීමට නොහැකි විය. හමුදා ජුන්ටාව ආරක්ෂාව, කර්මාන්ත සහ වෙළෙඳ ඇතුළු මර්මස්ථාන අතහැරීමට සූදානම් නොවීය. එබැවින්  සියල්ලට ඉහළින් හමුදා ජුන්ටාව විය.

හමුදා ජුන්ටාව වෙනුවෙන් අෂින් විරතු මුස්ලිම් ජනතාවට එරෙහිව සටනට..

සුකීගේ NDL පක්ෂය බලයට පත්වූ පළමු දිනයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් පාලනයක් මියන්මාරයේ ස්ථාපිත වීම වැළැක්වීමට හමුදා ජුන්ටාව සංවිධානාත්මක ක්‍රමන්ත්‍රණයක් දියත් කළේ ය. එහි ප්‍රධාන කොටස්කරුවෙකු වූයේ අෂින් විරතු සහ ඔහුගේ වර්ගවාදී ම්ලේච්ඡ සංවිධානයයි. නව ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ අෂින් විරතු නව වටයකින් මුස්ලිම් ඇතුළු මියන්මාරයේ සුළු ජාතිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය දියත් කළේ ය. ඒ සඳහා බෞද්ධයන් උසිගැන්වීය. හමුදා ජුන්ටාවට අවශ්‍ය වුයේ රට තුළ අස්ථාවරත්වයක් ඇති කර සිවිල් පාලනය දුර්වල කිරීමය. අෂින් විරතුට මුවාවූ හමුදා ජුන්ටාව රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ඝාතනය කරමින් ඔවුන්ව මියන්මාරයෙන් පලවා හැරීම ආරම්භ  කළේ ය.

සුකී "විදේශිකයන් වෙනුවෙන් යහන්ගත වන ගණිකාවක්"...

අෂින් විරතුගේ වර්ගවාදී දේශන සහ බෞද්ධයන් උසිගැන්වීමට  ගන්නා උත්සාහයන් සුකීගේ ආණ්ඩුව හෙළා දැක්කේ ය. එයට ප්‍රතිචාර දැක්වූ අෂින් විරතු සුකිගේ ආණ්ඩුව බලයෙන් පහ කරන බවට තර්ජනය කළේ ය. මියන්මාරයේ බෞද්ධයන් බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරන්නේ නම් හමුදා ජුන්ටාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ ආකාරයෙන් වන්දනාමාන කළ යුතු බව ඔහු කියා සිටියේ ය. අෂින් විරතු පැහැදිලිව මියන්මාර සමාජය බෙදා වෙන් කළේ ය. හමුදා ජුන්ටාව යනු මියන්මාර් බෞද්ධයන්ගේ "සැබෑ" ආරක්ෂකයා ය. සුකී සහ ඇගේ ආණ්ඩුව යනු "බටහිර කුමන්ත්‍රණ" ක්‍රියාත්මක කරන  මියන්මාර් බෞද්ධයන්ගේ පරම සතුරා ය. මේ ප්‍රහාරය කොපමණ ඉදිරියට ගියේ ද යත් වරෙක ඔහු සුකීට "විදේශිකයන් වෙනුවෙන් යහන්ගත වන ගණිකාවක්" යැයි චෝදනා කළේ ය. මියන්මාරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත Yanghee Lee මහත්මියට ද ගණිකාවක් සහ බැල්ලියක් (bitch) යැයි අපහාස කළේ ය. (එහෙත් අවසානයේ සුකී තම කිරි කලයට ගොම හලා ගත්තා ය. තම ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සඳහා  රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ඝාතනය කළ හමුදා නිළධාරීන් වෙනුවෙන් පෙනී සිටියා ය. (ඒ වරදට ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ලෝක ප්‍රජාව ඇයට කිසිදිනක සමාව නොදෙනු ඇත)

හමුදා ජුන්ටාවේ පිහිටෙන් වසර එකහමාරක් පුරා වරෙන්තු සහිත විරතු නිදහසේ ..

අවසානයේ, වසර 2019 මැයි මාසයේ අෂින් විරතුගේ අවලාද, අපහාස සහ තර්ජන සම්බන්ධයෙන් අධිකරණය ක්‍රියාත්මක විය. ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය ආරක්ෂක අංශවලට නියෝග කළේ ය. එහෙත් හමුදා ජුන්ටාව අත තිබූ පොලීසිය සහ ආරක්ෂක අංශ ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටියේ ය. වසර එකහමාරක් පුරා වරෙන්තු සහිත නිදහසේ කටයුතු කිරීමට අෂින් විරතුට හැකි විය. වසර 2020 මියන්මාර මහ මැතිවරණයට සතියකට පෙර ඔහු යැංගෝන් පොලිසියට භාර විය. මහ මැතිවරණයෙන් සුකීගේ NDL පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් නමුත් හමුදා ජුන්ටාව සිවිල් ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට ඉඩ ලබානොදී ක්‍රමන්ත්‍රණයකින් බලය අත්පත් කර ගත්තේ ය. අවුන්සාන් සුකී ඇතුළු NDL නායකයන් සිය ගණනක් අත්අඩංගුවට ගැනිණි. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව යුධ අපරාධකරුවන් සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධකරුවන් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කරනු ලැබූ මියන්මාර් හමුදා ජුන්ටාවේ සාමාජිකයෝ නව හමුදා ආණ්ඩුවේ ප්‍රධානීන් බවට පත්වූහ!

විරතුට නිදහස සමඟ මියන්මාරයේ ඉහළම සම්මානය…

වසර 2021 සැප්තැම්බරයේදී, විරාතුට එරෙහි චෝදනා සියල්ල හමුදා ජුන්ටාව විසින් නිෂ්ප්‍රභා කර ඔහුව නිදොස් කර නිදහස් කළේ ය. ඉන්පසුව, හමුදා ජුන්ටාව ඔහුට මියන්මාරයේ ඉහළම ගෞරවය වන තිරි ප්‍යාංචි (Thiri Pyanchi) පිරිනම ලදී! අෂින් විරතු යනු වසර දෙකකට පෙර ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අවුන් හ්ලේන්ග් විසින් මෙහෙයවන ලද නීතිවිරෝධී හමුදා කුමන්ත්‍රණයෙන් පසුව සිවිල් පුරවැසියන් 3,500ක් ඝාතනය කර, තවත් 22,000ක් දේශපාලන සිරකරුවන් වශයෙන් රඳවා ගෙන සිටින මිනීමරු හමුදා ජුන්ටාවේ ප්‍රධාන ආධාරකරුවෙකු සහ නායකයෙකි.

බොදු බලසේනාව කොළඹ සිටි රොහින්ග්‍යා අනාථයන් පාරට ඇද දැමූ අන්දම…

බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංසෝ නාහිමියන් රොහින්ග්‍යා අනාථයන්ට උපකාර කරන විට අපි ඔවුන්ව පන්නා දැමුවෙමු. එක්සත් ජාතීන්ගේ සරණාගත සංවිධානයේ  (UNHCR) අනුග්‍රහය යටතේ කොළඹ ආරක්ෂා නිවසක සිටි රොහින්ග්‍යා අනාථයන් එම නිවසින් බලහත්කාරයෙන් පන්නා දැමීමට ඥානසාරගේ බොදු බලසේනා සංවිධානය කටයුතු කළේ ය. මේ නින්දා සහගත ක්‍රියාව විවේචනය නොකළ සිංහල බෞද්ධයෝ බහුතරයක් එදා ඥානසාරලාට විසිල් ගැසූහ. අෂින් විරතු මෙන්ම ගලගොඩඅත්තේ ඥානසාරගේ බොදු බලසේනාවද රාජ්‍යය සමඟ ඝෘජුව ගණුදෙනු කළ යාන්ත්‍රනයකි. මුස්ලිම් ඇතුළු සුළු ජාතික කණ්ඩායම්වලට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදාහැරීම කණ්ඩායම් දෙකේම පොදු අරමුණ විය. ඥානසාර, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දකුණු අත විය. බොදු බලසේනාවේ "ගිහි අනුශාසක" මෙන් කටයුතු කළේ ගෝඨාභය රාජපක්ෂය. මුස්ලිම් ජනතාවට එරෙහි අලුත්ගම ප්‍රහාරයට නායකත්වය දුන්නේ මේ කණ්ඩායම් ය. එදා අලුත්ගම ප්‍රහාරයට පැමිණි කණ්ඩායම් මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරමින් වෙඩි තැබුවේ ස්වයංක්‍රීය මැෂින් තුවක්කු උපයෝගී කර ගනිමිනි. ඒ පිළිබඳ, එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වූ රාවුෆ් හකීම් ප්‍රසිද්ධියේ චෝදනා කළේ ය. එහෙත් කිසිවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත!

හෝමාගම උසාවියේ ඥානසාර "ජාතිය" අමතයි..

ගලගොඩඅත්තේ ඥානසාර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට කඩාවැදී යකා නැටුවේය. නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥයාට අපහාස කළේ "පොන්xx" කියමිනි. ඔහු එදා හෝමාගම අධිකරණයේ සිට "ජාතිය" ඇමතුවේය. අවසානයේ ඔහුට අධිකරණයට අපහාස කිරීම පිළිබඳව සිරදඬුවම් නියම විය. එහෙත් මෙෙත්‍රීපාල සිරිසේනගේ "ජනාධිපති" සමාව යටතේ නිදහස් විය! ඉදිරියේ දී අෂින් විරතුට මෙන් දේශයේ ඉහළම සම්මානය ද ඔහුට හිමිවිය හැකිය!

ධර්මාශෝක බුදු දහම සහ ගෞතම බුදුන්ගේ දහම…

බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංසෝ නාහිමියන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ දහමේ පදනම වන මෙෙත්‍රිය, කරුණාව, මුදිතාව, සමාවදීම ප්‍රගුණ කරන විට අෂින් විරතු, ගලගොඩඅත්තේ ඥානසාර ඇතුළු කණ්ඩායම් වෙෙරය, ක්‍රෝධය, පලිගැනීම, ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරන්නේ මන්ද? එයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ධර්මාශෝක රජුගේ බුදු දහම සහ ගෞතම බුදුරජාණන්වහන්සේගේ දර්ශනයේ වෙනසයි.

රාජ්‍ය මතවාදයක් බවට පත්වූ "නව" බුද්ධාගම…

දේවානම් පියතිස්ස රජ දවස ශ්‍රී ලංකාවට මෙන්ම ඒ අවට රාජ්‍යයන්ට ලැබුණ බුදු දහම කුමක් ද? සැබවින්ම එය ධර්මාශෝක රජුගේ රාජ්‍ය අනුග්‍රහයෙන් ගොඩනැගුන ආගමකි. මේ පිළිබඳ මහාචාර්ය ජයදේව උයන්ගොඩ වසර 1991 "මාවත" සඟරාවේ ජූනි කලාපයට "ශ්‍රී ලංකාවේ ථෙරවාදී සම්ප්‍රදාය සහ එහි බුද්ධි නිර්මාණය" නමින් ලිපියක් එක් කළේය. එය මෑතකදී  එළිදැක්වූ,   ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සංස්කරණය කළ "ලංකාවේ නව ප්‍රති-ජාතිකවාදී චින්තනයේ දස වසක් - පළමු වෙඵම" ග්‍රන්ථයට ද ඇතුළත් කර තිබේ. සිංහල බෞද්ධාගම, රාජ්‍ය බලය හා සෘජුව සම්බන්ධ වන්නේ අද ඊයේ සිට නොවෙයි. එය ආරම්භ වන්නේ දේවානම්පියතිස්ස රජ දවස සිටය. "දේවානම් පියතිස්ස රජුගේ කාලයේදී ලංකාවට හඳුන්වා දෙන ලද බුද්ධාගම කුමක් ද යන්න කෙටියෙන් විමසා බලමු. එය බුදුන්වහන්සේ විසින් දේශනා කරනු ලැබූ ආගමික, දාර්ශනික හා සදාචාරාත්මක ඉගැන්වීම් පමණක් නොවේ, ධර්මාශෝක රජුගේ පාලනය යටතේ රාජ්‍ය මතවාදයක් බවට පත්වූ බුද්ධාගම ද වෙයි.

බෞද්ධ භික්ෂුව පාලකයන් ගෙන් යැපෙන ඇම්බැට්ටයෝ බවට පත්වීම..

ගණනාථ ඔබේසේකර සහ රිචර්ඩ් ගොම්බ්‍රිච් මෑතකදී ලියා ඇති Buddhism Transformed නම් කෘතියේ විග්‍රහකර ඇති පරිදි, බුදුදහම භාජනය වූ පළමු වැදගත් පරිවර්තනය නම් ධර්මාශෝක රජු යටතේ සිදුවූ මෙම වෙනස්වීම ය. බුදුදහම හුදෙක් නිර්වාණය නිෂ්ඨා කරගත් පුද්ගල විමුක්ති දහමක් පමණක් නොව, රාජ්‍ය පාලනය සමඟ සෘජුව සම්බන්ධ වු මතවාදීමය බලවේගයක් බවට පත්වූ පසුබිමක් තුළ එය ලංකාවේ නිළ වශයෙන් හඳුන්වා දෙන ලද්දේ ද රාජ්‍යය සමඟ බැඳුණු සම්බන්ධතා ජාලයක් තුළය" (පිටු 142). මේ සිංහල බෞද්ධාගම, සංඝ සමාජය සහ රාජ්‍ය පාලකයා අතර පැවැති සුවිශේෂ ලක්ෂණ කිහිපයක් මහාචාර්ය උයන්ගොඩ ගෙනහැර දක්වයි. ඒ අතර: (1) බුද්ධාගම සහ රාජ්‍ය බලය අතර බිහිවූ සෘජු සම්බන්ධතාව (2) සංඝ සමාජයේ නායකත්වය හා පාලන ප්‍රභූන් අතර සන්ධානය සහ ඒ හරහා විහාරාරාමික ඉඩම් හිමි පංතියක් සංඝ සමාජය වෙතින් බිහිවීම (3) රාජ්‍ය බලයට සම්බන්ධ කටයුතුවලට සංඝ සමාජයේ ප්‍රභූතන්ත්‍රය කෙළින්ම මැදිහත්වීම, යන ලක්ෂණ ප්‍රධාන වෙයි.

නිර්වාණ වෙනුවට රාජ්‍ය බලය සහ දේපල කළමනාකරනය ඉදිරියට..

එවකට සිටි නායක සංඝයන් වහන්සේ සහ පාලන තන්ත්‍රය මෙහෙයවූ රජුන් අතර පැහැදිලි සන්ධානයක් පැවැතියේ ය. නායක සංඝයා රාජ්‍ය පාලනයට ඝෘජුව ම දායක විය. රජු සහ ඇමැතිවරුන් තමන්ට හිතවත් භික්ෂූන්ට ඉඩම් ලබාදුන් අතර ඒ හරහා ඉඩම් හිමි සංඝ සමාජයක් නිර්මාණය විය. ථේරවාදී සංඝයාවහන්සේගේ මූලික අරමුණ නිර්වාණය අත්පත්කර ගැනීම වුවද සිංහල බෞද්ධාගමේ ප්‍රමුඛත්වය ලැබුණේ නිර්වාණ ගමන්මගට වඩා රාජ්‍ය බලය සහ දේපල කළමනාකරනයට ය.

පාලකයන් සමඟ අත්වැල් බැඳ ගත් "V8 නිකාය"

වෙඬරුවේ උපාලි, මුරුත්තෙට්ටුවේ ආනන්ද, කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත, මැදගොඩ අභයතිස්ස, ගලගොඩඅත්තේ ඥානසාර, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස , මාගල්කන්දේ සුදන්ත, බෙන්ංගමුවේ නාලක, ඇල්ලේ ගුණවංශ, සමන්ත භද්‍ර, කිරුළපන ධම්මවිජය, වලවාහැංගුණවැවේ ධම්මරතන මේ රාජ්‍ය බලය සහ දේපල කළමනාකරනයට නිදසුන්ය. "V8 නිකාය" නමින් කුප්‍රකට මේ කණ්ඩායමේ නම් ලැයිස්තුව දීර්ඝ ය.

"මම බදු නොගෙවන සිටුවරයෙක්" වනවාසී රාහුල කියයි..

නිර්වාණය අත්හල සිංහල බෞද්ධාගම සම්බන්ධයෙන් නිර්භීත පැහැදිලි කිරීමක් පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ පසුගියදා යූටියුබ් නාලිකාවකට ප්‍රකාශ කළහ. බෞද්ධ දර්ශනය යැයි තමන් විශ්වාස කරන්නේ ගිහියෙකු වුවත් පැවිද්දෙකු වුවත් සැප විඳීම බව උන්වහන්සේ පෙන්වා දෙති.  ජනතාව විසින් සම්පත් ගොඩ ගසමින් භික්ෂුන් නම් බදු නොගෙවන සිටුවරු ගොඩ නගමින් සිටින බවත් තමන් ද ඒ ආකාරයේ සිටුවරයෙකු බවත් වනවාසී රාහුල හිමියෝ හෙලි කළහ. රාජ්‍ය බලයට සහ දේපල කළමනාකරනයට සම්බන්ධ "V8 නිකාය" අයත් වන්නේ ද බදු නොගෙවන සිටුවරු ගොඩටය.

අසංස්කෘතික මුග්ධ "අලුත් සල්ලිකාර" පංතිය..

මේ සිටුවරුන් ගොඩනඟන්නේ ලංකාවේ අලුතින් බිහිවී සිටින අසංස්කෘතික මුග්ධ "අලුත් සල්ලිකාර" පංතියයි. අයථා ක්‍රම මගින් සහ දේශපාලන සම්බන්ධතා හරහා ඉතා විශාල ධනස්කන්ධයක් කෙටි කාලයක් තුළ ඒක රාශීකර ගෙන  ඇති මේ පංතියට එම මුදල් සංස්කෘතික ලෙස වියදම් කර ජීවිතාස්වාදයක් ලබා ගැනීමට තරම් දැනුමක්, අවබෝධයක්  නැත. එබැවින් ඔවුහු වනවාසී රාහුල හිමියන් ඉතා නිවැරදිව හෙළි කළ පරිදි  චීවරධාරී බදු නොගෙවන සිටුවරුන් පිරිසක් තම මුදලින් බිහිකරමින් සිටිති. මේ චීවරධාරී සිටුවරු පිරිස රාජ්‍ය බලයට සහ දේපල කළමනාකරනයට සම්බන්ධවී, ගිහි ලෞකික සැප උපරිමින් භුක්ති විඳිමින් මෝඩ සිංහල බෞද්ධයන්ට අල්පේච්ඡ  ජීවිතයේ වටිනාකම කියා දෙති!

මෝඩ සිංහල බෞද්ධයෝ මේ චීවරධාරී සිටුවරුන් ඉදිරියේ වැඳ වැටී සාධුකාර දෙති. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධකර ගෙන නිර්වාණ මාර්ගයට ප්‍රවිශ්ටවීමට අධිෂ්ඨාන කරන ගෙන ඇති බෞද්ධයෝ බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංසෝ වැනි සැබෑ බෞද්ධ පුත්‍රයෝ සරණ යති. වෙනස එයයි. ඔබ ඉදිරියේ පැහැදිලි මාර්ග දෙකක් විවෘතව පවතියි. අපට කළ හැක්කේ විචාර බුද්ධිය භාවිතාකර නිවැරදි තෝරා ගැනීම සිදු කරන ලෙසට ඔබෙන් ඉල්ලා සිටීම පමණි.

ප.ලි.

මේ ලිපිය අවසන් කරමින් සිටින අතරේ ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ වූ කුරානය පිලිස්සීමේ සිද්ධියක් ස්වීඩනයෙන් වාර්තා විය. අන්තවාදීන්ගේ මෙවැනි කාලකණ්ණි "ගොන් පාට්" ආගමික සංහිඳියාව, නිදහස අගයන සියලු දෙනා දැඩිව හෙළා දැකිය යුතුය. වාසනාවකට ලොව පුරා මුස්ලිම් ජනතාව මේ සිද්ධියට මෙවර ප්‍රචණ්ඩව ප්‍රතිචාර දක්වා නැත. එමගින් අහිංසක ජීවිත රාශියක් ආරක්ෂාවී ඇති අතර අන්තවාදීන්ගේ අරමුණු ද පරාජය වී තිබේ.

-ආනුභාවනන්ද

anubhawananda1@gmail.com

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

No comments:

Post a Comment