Wednesday, 5 July 2023

සයිමන්ගේ ප්‍රඥා මාර්ගික ක්ෂීර සාගරය කළඹන ජැක්සන්ගේ සැබෑ ශ්‍රද්ධා මාර්ගය ගැන සම්මානිත මහාචාර්ය සුනිල් දැනුවත්ද?

-අජිත් ගලප්පත්තිගේ සිනමා විචාරය

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.05, ප.ව.10.50) අද අප මේ ගෙවා දමමින් සිටින යුගයෙහි යමක එහි මූල වස්තුවට වඩා වඩාත් ඉස්මතු වන්නේ එම වස්තුවෙහි අනුකරණයයි. යමක් අන් වේශයක් ගැනීම යනු එහි ව්‍යාජාරූඪයක් හුවා දැක්වීමකි. ලාංකික සමාජ දේහය තුළ එනම් එහි මුඛ්‍ය මෙහෙයුම් පද්ධතිය වන දේශපාලනය, ආගම තූළද බලවත්ව ඇත්තේ ව්‍යාජ වේශයෙන් පෙනී සිටින්නන්ය. මෙම  වෙස් වලාගත් තැනැත්තා 'විඩම්බකයා' යනුවෙන් හැඳින්වෙයි. 'ක්ෂිර සාගරය කැළඹිණ' චිත්‍රපටයේ ජැක්සන් ඇන්තනී පෙනී සිටින අධිරජු එවැනි විඩම්බකයෙකි. අනෙකකුගේ වේශයෙන් පෙනී සිටිමින් විඩම්බනය කරන්නා වූ අනුකාරකයෙකි. මෙම අනුකරණය යනු ව්‍යාජනය කර ගැනීමක් හෙවත් ව්‍යාජ රූපනයක් වෙයි.

විඩම්බනය..

සයිමන් නවගත්තේගම 'ක්ෂිර සාගරය කැළඹිණ' නවකතාව තුළ පවසන්නේ ව්‍යාජිත බොරුව මිථයාභාසයක් වන තරමයි. මෙහි අධිරාජයා විඩම්භකයකු බවට පත් වන්නේ එක් තීරණාත්මක අවස්ථාවක තමාටම එරෙහි වෙමිනි. එහි අරමුණ මේ ව්‍යාජ අධිරාජයාට හදිසියේම තමා තුළ සිටින සැබෑ මිනිසා හමුවන්නට සිතක් පහළ වීමය. ඔහු තම අධිකාරී බල ප්‍රාසාදයෙන් පලා ගොස් මහ පොළොවට මුසු වෙයි. පලා යන පාලකයා යනු නූතන සමාජ දේශපාලනයෙහි එක් ඵලයකි. සයිමන්ගේ නවකතාව සුනිලූන්ගේ චිත්‍රපටයක් ලෙස සර්වකාලීන වන්නේත්, ජැක්සන් මෙවන් තිරරචනාවක් ලියමින් අවස්ථානුකූල වන්නේත් මෙම විඩම්බනය හෙවත් අනෙකකුගේ වෙසින් පෙනී සිටින රැවටිල්ල සහ එහි විනෝදය තුළය.

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න සිය අභිනව සිනමා කටයුත්ත නම් කොට ඇත්තේ ඊට පාදක වූ මුල් නිර්මාණයෙහිම නාමයෙනි. එනම් ඒ කෘතහස්ත සයිමන් නවගත්තේගම මීට වසර 34 කට උඩදී ලියූ 'ක්ෂීර සාගරය කැළඹිණ' නම් නවකතාවෙහි ඒ බරසාර නාමයෙනි. මෙය සුනිලුන්ගේ  විසිතුරු සිනමා කෘති පෙළෙහි ඉහළින්ම තබා පහළ සිට ඒ දෙස බලන්නට සිත් විය.

බැබැළෙන අධිරාජයා කව්ද?

මෙම චිත්‍රපටය තුළින් සැබවින්ම ඉස්මතුව බැබැළෙන අධිරාජයා කව්ද? චිත්‍රපට විශාල සංඛ්‍යාවක් තැනූ අධ්‍යක්ෂවරයාද, විවිධ තිරපිටපත් ලියා ඇති තිරරචකයාද? නවකතාකරුවා නොලියූ දෙබස් පවා ලියාගනිමින් මෙහි ප්‍රධාන චරිතය රඟන විශිෂ්ට නළුවාද? එසේත් නොවේ නම් මුල් කෘතියෙහි නිමැවුම්කරු වන අසමසම සයිමන්ද? මෙම ගැටළු විසඳාගත් පසු මතුවන අනෙක් ප්‍රශ්නය වන්නේ සිනමාවේදීත්, ඉන් පිටත පියවි ලෝකයේදීත් රජ චරිත සමග සුලබව ගැවසුණු මෙම විශිෂ්ට නළුවා විසින් තම රඟපෑම වෙනුවෙන්ම ලියාගන්නා තිරනාටකය තුළ ව්‍යංගාර්ථවත් වන අධිරාජයා යනු සැබවින්ම කව්ද යන්නයි.

සයිමන් මුලින්ම ලීවේ තිර රචනයකි..

කෙසේ වෙතත් මෙය නවකතාකරුවාගේ නූතනවාදී ප්‍රකාශන අධිකාරීත්වයේ බල මහිමයෙන් බලගැන්වෙන යෝජිත රූපාවලියකි. එනම් එය යෝජිත මට්ටමෙහි පවතින රූප මෙහෙයුමකි. නවකතාව ඇසුරු කළ අපට සිතෙනුයේ ඉන් තව දුරටත් සිනමා කෘතියක් සෑදිය හැකි බවයි. සයිමන් ජීවත්ව සිටියදී මෙම නවකතාව චිත්‍රපටගත කළ යුතු සුදුසුම සිනමාකරුවා ලෙස ඔහු යෝජනා කළ ධර්මසිරි බණ්ඩාරනායක පවා නිර්ලෝභී නිහතමානීත්වයෙන් තීන්දු කර ඇත්තේ ඊට වඩාත්ම සුදුසු සිනමාකරුවා තමා නොවිය හැකි බවයි. සයිමන් මුලින්ම ලියනු ලැබුවේ තිරරචනයකි. එය සිනමාවට පෙරළන සිහිනය සැබෑ කළ හැකි සිනමාකරුවකු හමු නොවූ නිසා ඔහු එය නවකතාවකට හරවා ජනගත කළේය.

සංවාදවලින් 90%ක්ම ජැක්සන්ගේ, සයිමන්ගේ 10% යි..

සුනිලූන්ගේ 'ක්ෂිර සාගරය කැළඹිණ' චිත්‍රපටය සයිමන්ගේ අපූූර්ව ප්‍රකාශනය හා එහි ආලෝකයෙන් බැබළෙන සිනමා පරිවර්තනයකි. සයිමන්ගේ නවකතාවෙහි අද්විතීය ආලෝකයෙන් කැළඹෙන ජැක්සන් ඇන්තනී ලියන තිරරචනය චිත්‍රපටයෙහි කැපී පෙනෙයි. අනෙකකුගේ අධ්‍යක්ෂණ මෙහෙයුමටත් වඩා ස්වකීය රංගන අධිකාරීත්වය උදෙසා ජැක්සන් ලියා ගනු ලබන මෙම තිරරචනයෙහි ලියැවී ඇති සංවාදවලින් 90%ක්ම ජැක්සන්ගේ බව සිනමාකරුවාම කියයි. තිරරචනයෙහි සයිමන්ගේ දෙබස් ඇත්තේ 10%කි. මෙම චිත්‍රපට තුළ ජැක්සන්ගේ අධිකාරීත්වය කෘතියෙන් පිටස්තරව අතිබිහිසුණු දේශපාලන ශ්‍රද්ධාවක් පෙන්නුම් කරයි.

මෙම තිරරචනයෙහි සයිමන්ගේ පරිකල්පනය නවකතා මාධ්‍යයේ සිට විචිත්‍ර වූ සිනමා මාධ්‍යයට පෙරලන්නේ ජැක්සන් ඇනිතනීගේ එබඳු වූ තිරරචනයයි. සයිමන් විසින් ජැක්සන් කළඹවා ඇති තරම ඉන් හැඟෙයි. දෙදෙනාම විසින් සුනිලූන් කළඹවන තරම 'ක්ෂීර සාගරය කැළඹිණ' යනුවෙන් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය වෙයි. මෙම නවකතාවෙන් කැළඹුණු කිහිප දෙනෙකුම සයිමන්ගේ ප්‍රඥා මාර්ග චින්තාවේ ඉහළ ඵලයක් වන මෙම නවකතාවට සුදුසු සිනමා රූප මවන්නට උත්සාහ කළහ. අවසානයේ ශ්‍රද්ධා මාර්ගයෙන් හෝ එය සඵල කරගන්නේ විචිත්‍ර චිත්‍රපටකරණයෙහි නිපුණ සුනිලූන් ය.

නිරූපිත අධිරාජයාට නමක්, ගමක් හෝ කාලයක් නැත..

මෙම චිත්‍රපටය සුනිලූන් මෙතෙක් චිත්‍රපටගත කළ ඉතිහාස කතා වලට වඩා වෙනස් වන්නේ මෙය මහාවංශයේ හෝ ජාතක පොතේ නැති රජ කෙනෙකු සොයා යන නිසාය. මෙහි නිරූපිත අධිරාජයාට නමක්, ගමක් හෝ කාලයක් නැත. එබැවින් එය අපගේ නිවහල් සිතිවිලි වලට අනුබලයකැයි සිතිය හැකිය. එසේ කාලය සහ දීපයක් ගැන සඳහන් නොවේ යැයි කීමෙන්ම ව්‍යංගවත් වන්නේ කිසියම් නිශ්චිත කේන්ද්‍ර ගතවීමක් මෙහි ඉඟි කරන බවය. මහාවංශයෙහි එන රජවරුන්ගේ අතිශයෝක්තිමය ප්‍රබන්ධ කතා සත්‍යය යැයි අදහන පොදු ජනයා සනසනු පිණිස සිනමා රූපය අවභාවිතයට ගත් විසිතුරු චිත්‍රපට සමූහය ආදායම් වාර්තා පොතේ මිස ඉතිහාස පොතේ ලියැවී නැත. 'කුසපබා', 'යශෝධරා', 'උප්පලවන්නා' වැනි මෙම මහාචාර්යවරයාගේ චිත්‍රපටි ගැන වුවත් වසර ගණනාවකට පසු යළි සිහි ගන්වන්නේ පවා ඔහුගේ මෙම අභිනව චිත්‍රපටය අලෙවි කරන දැන්වීම්වල පමණි. ඉතිහාස පොත්වල ලේඛනාරූඪ මවාපෑම් තුළ හුදී ජනයා කළඹවන සුළු ප්‍රබන්ධ එකී කතන්දර විලසයෙන්ම සිනමා රූපය තුළ ප්‍රතිප්‍රබන්ධවන විට නැගෙන බොරු ආටෝපය මෙම චිත්‍රපටය අවම වී ඇත්තේ මුල් නවකතාවෙහි ගැඹූරු ව්‍යංගාර්ථ හේතුවෙනි.

අපි ක්ෂීර සාගරයට බහිමු...

මෙම ප්‍රතිප්‍රබන්ධ විසිත්ත සිනමාවේ ආටෝපකරණය සරලව වටහා ගත හැකි අතුරු කාරණයක් ද මතක් කර ගනිමින්ම අපි ක්ෂීර සාගරයට බහිමු.

සම්මානිත මහාචාර්ය සුනිල්ද ඇතුළුව හමුදා ලොක්කන්,දොස්තරවරු වැනි සිනමාවට බැහැර ක්‍රියාකාරීන් තම නම ඉදිරියෙන් ඇති සිනමාවට අදාල නැති එකී සිය පට්ටම් නාම චිත්‍රපටියේද විදහා පාමින් රසිකයා කළඹන්නේ ඇයි? එම අතුරු කාරණය මෙම චිත්‍රපටය අරභයා මෙවෙලෙහි අප මතු කරනුයේ හේතු ඇතිවය. එනම් සුනිල් ආරියරත්නගේ මෙම සිනමා කෘතිය වෙනයම් විශේෂණ හැඳුනුම්පත් පෙන්වා පොදු ජනයා බය කළ යුතු නැති තරමට ඉහළ තැනක තිබෙන නිසාය. පෙර අප ඇසුරු කළ ඔහුගේ විසිතුරු ව්‍යාපෘතිවල මෙන් මෙවර ඔහු එලෙස ප්‍රදර්ශනකාමීව හඬ නැගිය යුතු නැත. නිර්මාණයට නිදහසේ හඬ නගන්නට ඉඩදී නිර්මාණකරුවා පසෙකට වී බලා සිටිය හැකි නම් රසිකයා නිර්මාණකරුවා සොයනු ඇත. එවිට ගිණූම් පොත් අභිබවා ඉතිහාස පොතේ ඔහු  සිනමාවේදියකු ලෙස සටහන් වනු ඇත. පළමු චිත්‍රපටය ප්‍රදර්ශනය වන්නටත් පෙර කෙටි කලක් තුළ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටිකරුවා ලෙස මෙම සම්මානිත මහාචාර්යවරයා තබා ඇති වාර්තාව නොසළකා ඉවත ලෑ හැකි ඉඟියක් 'ක්ෂීර සාගරයෙහි' ඇත.

'අරගලය ඉවර නැත'

'ක්ෂීර සාගරය කැළඹිණ' චිත්‍රපටයෙහි වස්තු විෂය සයිමන් වචන ගලපන ප්‍රේමදාස යුගයට සේම සුනිලූන් ඊට රූප සොයන රාජපක්ෂ යුගයටත් මැනවින් ගැලපෙයි. මෑත කාලීන දේශපාලන අරගලය සමග සබැඳෙන ප්‍රබල චින්තාවක් මෙම වස්තු විෂයයෙහි වේ. එම යුග දෙක අදාල පාලකයින්ගේ නම්වලින් අප හඳුන්වන්නට පෙළඹෙන්නේ ද එැබැවිනි. එම ව්‍යංගාර්ථ දෙස ඇඟිල්ලෙන් ඇන පෙන්වන ප්‍රදර්ශනාත්මක සටන් පාඨද මෙම චිත්‍රපටයෙහි ඇතැම් තැනකින් මතුවනු දිටිමි. 'අරගලය ඉවර නැත' යනුවෙන් වූ මෙහි වෙළෙඳ ප්‍රචාරක පාඨ පමණටම එම දෙබස්ද කලා කෘතියෙන් බැහැරට  ගොස් ගෝල්ෆේස් අරගල බිමෙහි නවතියි. අරගලය කාලීන වන විට නිර්මාණය සර්වකාලීන බව ඊටත් වඩා මෙහි තේමාව බලවත්ය.

වර්තමාන යුගයෙහි යථාර්ථයත් එහි ප්‍රතිබිම්භයත් වෙන් කොට හඳුනාගැනීම දුෂ්කරය. යථාර්ථයෙහි පිළිබිඹුව නැතහොත් අනුකරණය යථාර්ථයට වඩා ප්‍රබල සත්තාවක් බවට පත්ව තිබේ. එය අධියථාර්ථයයි. යථාර්ථය එහි පිළිබිඹු වන්නේ යථාර්ථය අභිබවමිනි. සයිමන්ගේ නූතනවාදී පරිකල්පන ලීලාව කාලීන හා සර්වකාලීන වන්නේ එය පුද්ගල මනසත්, සමාජ කලබැගෑනියත් පිළිබිඹු කරන නිසාය. පාලකයාගේ විකෘති මනස තුළින් සමාජ යථාර්ථයේ ප්‍රකෘතිය දැකීම සඳහා මෙම කෘතිය බල කරයි.

ස්වාත්ම විකාර පුද්ගලයා..

වෙනත් අයකු තමා සමග තදාත්ම්‍ය කොට ගැනීම අද බරපතල ස්වාත්ම විකාරයකි. මෙම කතාවේ ජැක්සන් රූපනය කරන අධීරාජයා යනු තමා ගැනම වූ මානසික අපිළිවෙලක පසුවන්නෙකි. තම ස්වීයත්වය තමා තුළම ඇති වන මානසික අපිළිවෙල බරපතල පුද්ගලික හා සමාජමය ගැටළු ඇති කරයි. මෙම චිත්‍රපටයෙහි ව්‍යංගාර්ථවත් කරන්නේ එම ස්වාත්ම විකාර පුද්ගලයා සහ ඔහු නිර්මාණය කරන සමාජයයි.

'ආත්ම පරවාදය' නොහොත් 'අහනම්‍යවාදය'..

මෙම අධිරාජයා (ජැක්සන් ඇන්තනී) තමන්ටම එරෙහි අරගල කරමින් තමා අසිහියෙන් ජීවත් වූ මායා ලෝකයෙන් පලා යයි. එසේ පලා ගොස් තමාට එරෙහිව අරගල කරන කැරලිකරුවන් අතරට එකතු වෙයි. වෙනත් පුද්ගලයකු තමා හා තදාත්ම්‍ය කොට ගැනීමෙන් ඇතිවන සම්බන්ධතාව තුළ එම පුද්ගලයා අහංකාර හැඟීම්වලින් අන්ධ වීමේ ඵල විපාක මෙහි පෙන්නුම් කරයි. මෙම නවකතාකරුවා රාජ්‍ය සේවකයකු ව සිටි ප්‍රේමදාස යුගයේ සහ මෙම සිනමාකරුවා රාජ්‍ය සේවකයකු වන රාජපක්ෂ යුගයේද මිනිසුන්ගේ සමාජ සම්බන්ධතා පාලනය වූයේ එකී අහංකාරමය හැඟීම් වලිනි. මෙම පුද්ගල හා සමාජ තත්ත්වය විග්‍රහ වන්නේ 'ආත්ම පරවාදය' නොහොත් 'අහනම්‍යවාදය' යනුවෙනි.

මෙම චිත්‍රපටය ඇරඹෙන්නේ දැවැන්ත උකුස්සකුගේ ග්‍රාපිත රූපයක් මත නාමාවලිය තැබීමෙනි. කුඩා කුරුළු මිනිසුන් දඩයම් කරන දැවැන්ත පක්ෂියකු වැනි පාලකයාගේ ආක්‍රමණශීලී පිළිවෙත දකින්නට ප්‍රේක්ෂකයා පෙර සූදානම් කරන්නාක් වැනිය. එය උකුසු ඇස් ඇති ප්‍රකර්ෂකාමී ප්‍රේක්ෂකයින්ට කරන බලකිරීමකි. පිටස්තරයකුගේ දෘෂ්ටියෙන් දැවැන්ත රජමාලිගයක් දුර රූපයකට ගන්නා තැනින් චිත්‍රපටය ඇරඹෙයි. එතැන් සිට එම පිටස්තර නිරීක්ෂකයා හෙවත් ප්‍රේක්ෂකයා බල තේජසින් වියරුව සිටින අධිරජයාගේ මන්මත් කුටිය වෙත කැඳවාගෙන යයි. සිනමා රූපයේ බලවන්තකම සහ ඉන්ද්‍රජාලික බලය නිසා ප්‍රකර්ෂකාමී අපටද මෙම කාමලෝලී අධිරාජයාගේ  කාමෝත්සවයට ඇතුළු වන්නට අවසර ලැබෙයි. සුරාමතින් සහ බලාධිකත්වයෙන් මත්ව අසිහියෙන් සිටින අධිරාජයා පියවි සිහියට පැමිණ තම මාලිගයෙන් පිටව පලායන දෙස එකී රජගෙයි සිට අපි බලා සිටින තැනින් චිත්‍රපටය නිම වෙයි. ජැක්සන්ගේ තිරරචනාවෙහි අධිරාජයා පලා යන්නේ යන්නටම නොව යළි එනු පිණිසය.

චිත්‍රපටයේ ආරම්භක හා අවසන් ජවනිකා යුග්මය..

අසිහියෙන් දිවිගෙවූ රජු පියවි සිහියට පැමිණ තම මාලිගයෙන් පැන යන්නේ අප එහි තබා බව මෙම අවසන් රූප රාමුවෙහි ගැඹුරු අර්ථයයි. චිත්‍රපටයේ ආරම්භක හා අවසන් ජවනිකා යුග්මය සිනමාත්මක රූපීය බලයෙන් පොහොසත්ය. එම රූප දෙපළ මැද ගොනු කෙරෙන විචිත්‍ර රූපාවලිය සිනමාවටත් වඩා සිනමාකරුවාගේ සුපුරුදු ප්‍රේක්ෂකාරයට හිතකර වන පරිදි තීන්දු වෙයි. එම සුපුරුදු රූප විලාසයට බාධාවක් වනුයේ තිරරචකයා ඔහුටම කියා තිරරචනා කරගන්නා විලාසය සහ මුල් නිර්මාණයේ හිමිකරු ඔහුටම කියා අනුගමනය කරන මායායථාර්ථවාදී නූතන ප්‍රකාශන විලාසයයි.

මෑතකාලීන බල කැළඹිලි සමඟ ගැට ගැසුණු දේශපාලන යථාර්ථය සමග මෙම මිත්‍යා ප්‍රබන්ධ වෘත්තාන්තය මැනවින් සැසෙඳයි. එම ව්‍යංග ගැලපීම ඇඟිල්ලෙන් ඇන පෙන්වන දෙබස් ඛන්ඩද ජැක්සන් හෝ සුනිලුන් මෙහි තැනින් තැන ඔබ්බවා තිබීමෙන් කෘතිය අතිසරල කෙරෙයි. එම බලහත්කාරී දෙබස් ඛන්ඩ සහ ප්‍රදර්ශනාත්මක පාඨයන් චිත්‍රපටයෙන් දුරස්වී සිනමාකරුවාගේ සුපුරුදු විසිතුරු චිත්‍රපටි හැඩයට හා ඒ වෙත භාවාත්මකව ඒකරාශී වූ පොදු ජනයා සනසනු පිණිස විය හැකිය. අසිහියෙන් මාලිගාවේ රැඳෙන්නේද, එසේත් නැතහොත් පියවි සිහියෙන් පලා යන්නේද යනුවෙන් මෙහි අධිරාජයා පවසන්නේ අපට අපවම පෙන්වමිනි. අසිහියෙන් අප අකමැති තැනක වුව විසිය හැක. පියවි සිහියෙන් අප සිහින මවන තැනකට පළා යා හැකිය.

මිත්‍යා මහ රජාණෝ..

මෙම අධිරාජයා මහාවංශ ඉතිහාසකරණයෙහි සිටින්නකු නොවේ. නවකතාකරුවා මහාවංශ රාජ විස්තරයේ ප්‍රබන්ධාත්මක අතිශයෝක්තිය අතික්‍රමණය කරයි. රාවණ රාජාධිරාජයා පිළිබඳ තකිකාව සමග බැඳී ඇති මිත්‍යා ප්‍රබන්ධ වලට සයිමන්ගේ යොමුවීම මෙම අධිරාජයා තුලින් ද විද්‍යමාන වෙයි. උත්කර්ෂයට නංවන ලද මහින්දාගමනයට පෙර ලක්දිවවාසීන්ගේ අවබෝධය සොයා යන්නට සයිමන් දැක්වූ උනන්දුව ජැක්සන් රඟපාන මෙම අධිරාජයා තුළින් ඉඟි වෙයි. මෙම මිත්‍යා මහ රජාණෝ නූතන දේශපාලන, සමාජ හා පුද්ගල හැඩය සමග මනාව ගැලපෙයි. ජාතක පොත හා මහාවංශය මත මෙතෙක් කල් බහුලව නැවතී සිටි සිනමාකරුවාට ඒ විසිතුරු රූප ලෝකයෙන් මිදීමට සයිමන් පිහිට වෙයි. සිනමා මායා රූපයට ක්ෂිර සාගරය නව මානයක් පෙන්වයි. පොදු ජන වින්දනය හා උසස් රස වින්දනය අතර උභතෝකෝටික වන සිනමා වියවුලට විසඳුමක් මින් යෝජනා වෙයි. සිනමාකරුවා මේ අන්ත දෙක හමුවෙහි අභියෝගාත්මක වන ආකාරය අවධාරණයට ගත යුතුය.

මෙම චිත්‍රපටයෙහි එන ආධීරාජ්‍යයයේ නායකයා තමන්ට එරෙහි ජන අරගලයේද නායකයා වෙයි. එසේ වීම මෙහි නාටකීය බව තීව්‍ර කරයි. රජමාලිගයත් මහ පොළොවත් යන අන්ත දෙක තුළ ආඛ්‍යානය ගොඩ නැගෙන මෙහි කැමරා අධ්‍යක්ෂණය ශික්ෂණයෙන් යුතුය. නවකතාකරුගේ හිතුවක්කාර ප්‍රකාශනය තරම් අපූර්ව නැත. විප්ලවීය නැත. සම්ප්‍රදායිකය. එම රූපාවලිය සංස්කරණය කරන විලාසයද සංයමශීලීය. එසේ ශික්ෂණය වනුයේ මුල් නවකතාව හා සයිමන්ගේ ඉන්ද්‍රජාලික ප්‍රකාශනය ද නොතකමිනි. පොදු ප්‍රේක්ෂකයාට අවනත වෙමිනි.

ජැක්සන්ගේ අධිරංගනය..

ඉතිහාස ප්‍රබන්ධකරණයට අදාල මායා යථාර්ථ විලාසය හා සිනමාවට ආවේනික කතන්දර හැඩය මෙම චිත්‍රපටයේ රූප ගොඩනැංවීමේදී සැලකිලිමත් වී තිබේ. ජැක්සන්ගේ අධිරංගනය අධිරාජයාගේ කල්පිත බව විසින් ඉල්ලා සිටින්නකි. රජු අවසිහියෙන් පියවි සිහියට පිවිස සිටින ඇතැම් තැනක චරිතය යටපත් වී සුපුරුදු ජැක්සන් ඇන්තනී පෙනෙන තැන්ද හමුවෙයි. අධිරජු මෙන් පෙනීසිටින ජැක්සන්ට තමා කවුදැයි අමතකවීම ගැඹුරු අවලෝකන උපදවයි.

වින්දනාත්මක සිනමාවේ මායා රූපී ප්‍රකාශනය..

පුරම්භිකාව සේ රඟන උදාරි වර්ණකුලසූරියගේ රංගනය තාත්විකය. මන්ද යත් මායා ලෝකයක පියවි සිහියෙන් හා භාවාතිශයව ජීවත්වීමේ අභීයෝගයට මේ පුරම්භිකාව මුහුණ දෙන නිසාය. හේමාල්ගේ නිරූපනය ප්‍රමාණික වන්නේ කැරලි නායකයකු ලෙස ඔහු වඩාත් යථාර්ථවාදී හැසිරීමක සිටින නිසාය. මෙහි පුරාකෘතික කල්පිත කතාව සත්‍ය වර්තමානය සමග බද්ධ කරන බැරූරුම් චරිතය මේ කරලිකරුවාය. සුනිල් ආරියරත්නට පෙර මෙම නවකතාව සිනමාවට නඟන්නට සිතා සිටි ආනන්ද අබේනායක කැරළිකරුවා ලෙස තෝරාගෙන සිටි ජැක්සන් ඇන්තනී මෙහි අධිරජුගේ චරිතයට පරිවර්තනය වීම පුදුමයක් හෝ අහඹුවක් ලෙස ගත යුතු නැත. ජැක්සන් කැරලිකරුවා වන චිත්‍රපටයෙහි අධිරජු වන්නට සිටියේ ගාමිණී ෆොන්සේකාය. ගාමිණීගේ සිනමා සක්විති රජ ප්‍රතිරූපය කෙලෙසුණේද බලකාමී දේශපාලන වේදිකාවට ගොඩවීම නිසාය. 'අරගලය අවසන් නැත' මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටරයක වූ වැකියකි. 'අධිරාජයාට එරෙහිව අධිරාජයා' යනුවෙන්ද වැකියක් විය. එම වැකි යුගලම හැම රජෙකුටම සහ එම රජවරු තනන්නට තම රාජාසන පාවා දී සිහසුනෙන් පලා ගියවුන්ටද කදිමට වලංගු වෙයි.

මෙම සිනමා කෘතිය නූතන රජකතා චිත්‍රපට විලාසයට නිසි මග පෙන්වන්නකි. පැරණි පුරාකෘතික පරිකල්පන ශෛලිය සිනමා රූප මායාව සමග ගලපන්නේ කෙසේද යන්නට විසඳුමකි.

කෘතහස්ත සයිමන් සක්‍රීය වූ තම මායා යථාර්ථවාදී නූතන ප්‍රකාශනය සම්මානිත මහාචාර්ය  සුනිලූන් සක්‍රීය වන වින්දනාත්මක සිනමාවේ මායා රූපී ප්‍රකාශනය සමග මැනැවින් සැසැඳෙයි. එය මහාවංශය හා ජාතක පොත අතික්‍රමණය කරන්නකි.

-අජිත් ගලප්පත්ති






No comments:

Post a Comment