Friday, 7 July 2023

මාතලේ සමූහ මිනීවළ හෙළිවනවාත් සමගම ගෝටා පැරණි පොලිස් වාර්තා විනාශ කරලා..! ගෝටාගේ මිනීමරු සෙල්ලම් යළිත් එළියට..!

-ඩීබීඑස් ජෙයරාජ්ගේ වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද 

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.07, ප.ව.7.40) 2023 ජූනි 22 වැනි දින ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) ප්‍රවෘත්ති වාර්තාවක ගෝටා ලෙස සාමාන්‍යයෙන් හැඳින්වෙන, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිකාරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝටාබය රාජපක්ෂගේ නම ඉස්මතු වී තිබුණි.

එම AP වාර්තාවට අනුව, “පොලිස් වාර්තා විකෘති කළ බවට ගෝටාබය රාජපක්ෂට චෝදනා එල්ල වී තිබෙන්නේ, 1989 ලේ වැකි මාක්ස්වාදී කැරැල්ලේ උච්චතම අවස්ථාවේ දී ඔහු හමුදා නිලධාරියෙකුව සිටි ප්‍රදේශයකින් සොයා ගත් සමූහ මිනී වළ පිළිබඳ පරීක්ෂණවලට බාධා කිරීම නිසාය.

ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය ව්‍යාපෘතිය, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදීන්, සහ ශ්‍රී ලංකාවේ අතුරුදන් වූවන්ගේ පවුල් ඇතුළු ක්‍රියාකාරී කණ්ඩායම් විසින් පසු ගිය සතියේ නිකුත් කළ වාර්තාවක මෙම චෝදනාව එල්ල වී ඇත.

ගෝටාට හා උසස් පොලිස්කාරයන්ට එරෙහිව පියවර ගන්න..

ගෝටාබය රාජපක්ෂ සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිකාරයා යටතේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටිය දී "2013 දී ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයෙන් සමූහ මිනී වළවල් සොයා ගැනීමෙන් පසු කලාපයේ පොලිස් ස්ථානවල වසර පහකට වඩා පැරණි සියලුම පොලිස් වාර්තා විනාශ කරන ලෙස ඔහු නියෝග කර ඇති බව වාර්තාවේ.”

1989 දී ප්‍රචණ්ඩ මාක්ස්වාදී කැරැල්ලක් ඇති වූ කාලයේ හමුදාකාරයෙකු ලෙස ගෝටා කැරැල්ල මර්දනයට සම්බන්ධ වූ දිනය දක්වා දිව යන අතීතයක් සමූහ මිනී වළවල්වලට ඇතැයි සැක කෙරේ.

විමර්ශනවලට බාධා කළ බව කියන සිද්ධියට සම්බන්ධ ගෝටාට හා උසස් පොලිස්කාරයන්ට එරෙහිව පියවර ගන්නා ලෙස එම වාර්තාවෙන් ඉල්ලා ඇත.

චන්ද්‍රප්‍රේමත් සාක්කි කාරයෙක්...

1987 සිට 1990 දක්වා පැවති ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) දෙවන කැරැල්ලේ දී, ගජබා රෙජිමේන්තුවේ 1 වන බලඇණියේ (1GR) අණ දෙන නිලධාරියා සහ මාතලේ දිස්ත්‍රික්කයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරියා ලෙස ගෝටා පත් කරන ලද බව කවුරුත් දන්නා කරුණකි. ඔහු 1989 මැයි සිට 1990 ජනවාරි දක්වා මාතලේ දිස්ත්‍රික්කයේ රාජකාරි කළ බව වාර්තා වේ.

ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු හා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ හිටපු නියෝජිතයෙකු යයි කියන සී. ඒ. චන්ද්‍රප්‍රේම් නමැත්තෙකු ලියූ "ගෝටාගේ යුද්ධය” නමැති පොතක “ඔහු (ගෝටා) මාතලේට පත් කළේ ජවිපෙ මර්ධනය කිරීමේ වගකීම පැවරුණු දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරියා ලෙසයි,” යනුවෙන් සඳහන් වේ.

700 කට අධික පිරිසක් අතුරුදහන් කරලා.. බහුතරය සිංහලයන්...

ජවිපෙ කැරැල්ල සමයේ 1989 මැයි සිට 1990 ජනවාරි දක්වා කාලය තුළ මාතලේ දිස්ත්‍රික්කයේ රජයේ ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්, අත්තනෝමතික රඳවා තබා ගැනීම්, වධ හිංසා පැමිණ වීම් සහ අධිකරණයෙන් පරිබාහිර මරණ දඬුවම් පිළිබඳ චෝදනා රාශියක් එල්ල වී තිබේ. ඒ දිනවල අතුරුදහන් වූයේ යයි කියන 700 කට අධික පිරිසෙන් බහුතරය සිංහලයන්ය.

සිදු වී ඇති නීති උල්ලංඝනය කිරීම් සඳහා අපරාධකරුවන් ලෙස හඳුනා ගෙන ඇති බව කියන රාජ්‍ය බලධාරීන්ගේ වග වීම සම්බන්ධයෙන් ගත් කිසිදු අධිකරණමය ක්‍රියාමාර්ගයක් මෙතෙක් දක්නට නැත.

පසු ගිය වසරේ සිදු වූ සැලකිය යුතු වර්ධනයක් ලෙස, එක්සත් ජාතීන්ගේ සංවිධානයට (UN) සම්බන්ධ ආයතනවල ප්‍රධාන නියෝජිතයන් හතර දෙනෙකු විසින් 2022 නොවැම්බර් 8 වන දින ශ්‍රී ලංකාවේ ජනාධිපතිකාරයා වන රනිල් වික්‍රමසිංහට ඒකාබද්ධ ලිපියක් යැවිණ. 1989/90 මාතලේ සිද්ධීන් පිළිබඳ තොරතුරු ඇතුළත් වූ එම ලිපිය මගින් ශ්‍රී ලංකාණ්ඩුවෙන් පුළුල් ප්‍රතිචාරයක් ඉල්ලා තිබුණි.

එක්සත් ජාතීන්ගේ ලිපිය මෙන්න..

එක්සත් ජාතීන්ගේ එම ඒකාබද්ධ ලිපිය 2023 ජනවාරි 9 වන දින මහජනතාවට නිකුත් විය. ඇතැම් මූලික ලේඛනවලට අනුකූලව, UN විසින් 1989/90 දී මාතලේ දිස්ත්‍රික්කය භාරව සිටි නිලධාරියාගේ නම නැවත නිවැරදි කරන ලදී. එක්සත් ජාතීන්ගේ ලිපියේ අදාල ඡේද මෙහි පහත දැක් වේ.

- උපුටා ගැනීම -

“බලයෙන් හෝ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම; අත්තනෝමතිකව රඳවා තබා ගැනීම පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම; අනීතික, ක්ෂණික හෝ අන්තනෝමතික මරණ දඬුවම් පිළිබඳ විශේෂ වාර්තාකරු; සහ සත්‍යය, යුක්තිය, වන්දි ගෙවීම සහ නැවත සිදු නොවන බවට සහතික කිරීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ විශේෂ වාර්තාකරුවන් වන අපගේ බලතල යටතේ ඔබ ඇමතීමට ලැබීම අපට ගෞරවයකි.

1989 මැයි සහ 1990 ජනවාරි අතරතුර, මාතලේ දිස්ත්‍රික්කය තුළ දී ජවිපෙ නැගිටීම මැඩලීමට රජයේ ආරක්ෂක අංශ සිදු කළ බව කියන බලහත්කාර අතුරුදහන් කිරීම්, අත්තනෝමතික රඳවා තබා ගැනීම්, වධ හිංසා පැමිණ වීම් සහ අධිකරණයෙන් පරිබාහිර මරණ දඬුවම් සම්බන්ධයෙන් අපට ලැබී ඇති තොරතුරු අතිගරු ජනාධිපතිතුමාගේ රජයේ අවධානයට යොමු කිරීමට අපි කැමැත්තෙමු.

ලැබුණු තොරතුරුවලට අනුව, ජවිපෙ හා ලංකාණ්ඩුව අතර ප්‍රචණ්ඩත්වය උත්සන්න වූ 1989 මැයි සිට 1990 ජනවාරි දක්වා වකවානුවේ මාතලේ දිස්ත්‍රික්කයේ රජයේ ආරක්ෂක අංශ විසින් බලහත්කාර අතුරුදහන් කිරීම්, අත්තනෝමතික සහ නීති විරෝධී රඳවා තබා ගැනීම් සහ අධිකරණයෙන් බැහැර ඝාතන සිදු කළ බව කියනු ලැබේ.

මෙම කාල සීමාව තුළ දී, මාතලේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරියා ලෙස රජය විසින් ගජබා රෙජිමේන්තුවේ 1 වන බල ඇණියේ අණ දෙන නිලධාරියා යොදවා ඇති අතර, එහි දී ඔහු බුද්ධි අංශ ඇතුළු දිස්ත්‍රික්කයේ යොදවා තිබූ සියලුම ආරක්ෂක අංශ පාලනය කළ බව වාර්තා වේ.

1989 සිට, කැරැල්ල අතරතුර සහ ඉන් පසුව සිදු වූ බව වාර්තා වූ මානව හිමිකම් කඩ වීම් විමර්ශනය කිරීම සඳහා රජය විසින් විමර්ශන කොමිෂන් සභා පිහිටුවන ලදී. මාතලේ දිස්ත්‍රික්කයේ ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්, වධ හිංසා පැමිණ වීම්, අධිකරණයෙන් පරිබාහිර ඝාතන සහ අත්තනෝමතික සහ නීත්‍යානුකූලව රඳවා තබා ගැනීම් සම්බන්ධයෙන් කොමිෂන් සභා වෙත පැමිණිලි ලැබී ඇත.

ලැබුණු තොරතුරු පෙන්වා දෙන්නේ ඔහුගේ පාලනය යටතේ පැවති ආරක්ෂක අංශ (බොහෝ සෙයින්ම “ගජබා රෙජිමේන්තුව”) ප්‍රධාන අපරාධකරුවන් ලෙසය., එවකට 350,000 ක පමණ ජනගහනයක් සිටි කුඩා මාතලේ දිස්ත්‍රික්කයේ පැවැති ප්‍රචණ්ඩත්වයේ තරම ගැන කොමිෂන් සභා වාර්තාවලින් සිතා ගත හැකිය.

1989 මැයි සිට 1991 ජනවාරි දක්වා කාලය තුළ සිදු වූ පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් විවිධ කොමිෂන් සභා හතරක් විසින් විමර්ශන සිදු කළ බව වාර්තා වේ.

මාතලේ දිස්ත්‍රික්කයේ බලහත්කාර අතුරුදහන්වීම් 1,041 ක් පිළිබඳව කොමිෂන් සභා විසින් ලේඛන ගත කර ඇති අතර, ඉන් සිද්ධීන් 700 කට වැඩි ප්‍රමාණයක් සිදු වී ඇත්තේ 1989 මැයි සිට 1990 ජනවාරි දක්වා කාලය තුළය.

චෝදනා එල්ල වූ අපරාධකරුවන් 24 ක් නමුත් උන්ව සඟවලා...

මාතලේ දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදන් කළ බවට චෝදනා එල්ල වූ අපරාධකරුවන් 24 දෙනෙකුගේ ලැයිස්තුවක් ද කොමිසම් විසින් සම්පාදනය කර ඇත. කෙසේ වෙතත්, මෙම ලැයිස්තුව කිසි විටෙකත් ප්‍රකාශයට පත් නොකළ අතර, 2030 දක්වා බලාත්මකව පවතින රජයේ රහස්‍ය නියෝගයක් යටතේ සඟවා තබා ඇති බව වාර්තා වේ.

ඔහුගේ (ගෝටාගේ) අණ යටතේ සිටි, විවිධ රැඳවුම් කඳවුරුවල සේවය කළ බවට වාර්තා වූ, හමුදා සහ පොලිස් නිලධාරීන් මෙන්ම “කුප්‍රකට වධකාගාර” ලෙස හඳුන්වන පාසල් සහ ආගන්තුක නිවාස ද එම ලැයිස්තුවට ඇතුළත්ය.

රැඳවියන් අත්තනෝමතික හා නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම සහ (ලිංගික වධ හිංසා ඇතුළු) වධ හිංසා සිදු කිරීම පිළිබඳ අවස්ථා ද කොමිසම විසින් ලේඛන ගත කර තිබේ. කොමිෂන් සභා වාර්තාවල සඳහන් වූයේ, ගම්මානවල මිනිසුන් මුරපොලවල්වල නතර කර රඳවා තබා ගෙන හෝ වටලා හෝ සමූහ වශයෙන් අත්අඩංගුවට ගෙන රාජ්‍ය ආරක්ෂක අංශවලට අයත් යැයි හඳුනා ගත් නිලධාරීන් විසින් අංක තහඩු නැති රජයේ වාහනවලින් පැහැර ගෙන යන ලද බව එකල බොහෝ දෙනෙකු දැන සිටි කාරණයක්ව පැවැති බවයි. එලෙස රඳවා තබා ගෙන පැහැර ගෙන ගිය පිරිස්‍ අතර මාතලේ දිස්ත්‍රික්කයේ ගම්මානවල තරුණයන් සහ පිරිමි ළමුන් ද විය.

දිවි ගලවා ගත් හිටපු රැඳවියන් සාක්කි දුන්නා..

මාතලේ දිස්ත්‍රික්කයේ විජය විද්‍යාලීය හමුදා කඳවුරේ සහ වෙනත් රැඳවුම් ස්ථානවල හමුදා හෝ පොලිස් අත්අඩංගුවෙන් දිවි ගලවා ගත් හිටපු රැඳවියන්ගෙන් ද සාක්ෂි එකතු කරන ලදී. සිරකරුවන් "උඩු යටිකුරු කර එල්ලා තැබීම" සහ "මිරිස් දුම් ආඝ්‍රාණය කිරීමට බල කිරීම" ඇතුළුව ඇස් බැඳ පහර දුන් බවට රැඳවියෝ සාක්ෂි දුන්හ.

1989 සැප්තැම්බර් මාසයේ දී අත්අඩංගුවට ගෙන දින 40 ක කාලයක් විජය විද්‍යාලීය හමුදා කඳවුරේ රඳවා තබා ගෙන සිටිය දී අමානුෂික ලෙස වධ හිංසාවට ලක් වූ වින්දිතයකුගේ එක් විශේෂිත සිද්ධියක් කොමිෂන් සභාවක ලේඛන ගත විය. මෙම කාල සීමාව තුළ අත්තනෝමතික හා නීති විරෝධී ලෙස රඳවා ගෙන අත්අඩංගුවේ තබා ගෙන සිටි සිවිල් වැසියන්ට අනීතික ලෙස මරණ දඬුවම ලබා දීම පිළිබඳ සාක්ෂි ද කොමිෂන් සභා විසින් එක්රැස් කරන ලදී. විපතට පත් වූවන්ගේ මිනිස් සිරුරු පිට්ටනිවල දැමූ හෝ පාලම් මත ප්‍රදර්ශනය කළ අවස්ථා ද තිබී ඇති බව චෝදනාවල සඳහන් වේ.

චුදිතයන්ට නඩු නෑ, දිගටම තනතුරුවල..

එහෙත් චූදිත අපරාධකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කර හෝ නඩු පවරා නොමැති අතර චූදිතයන් දිගින් දිගටම රජයේ තනතුරු දරමින් සිටින බව ද වාර්තා වේ.

මෙම චෝදනාවල නිරවද්‍යතාවය පූර්ව විනිශ්චය කිරීමට අප අකමැති වුව ද, 1989 මැයි සහ 1990 ජනවාරි අතර රජයේ ආරක්ෂක අංශ විසින් මාතලේ දිස්ත්‍රික්කයේ සිදු කරන ලදැයි කියනු ලබන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම්, වධ හිංසා කිරීම්, අධිකරණයකින් නොවන මරණ දඬුවම් සම්බන්ධයෙන් ද, මෙසේ මානව හිමිකම් කඩ කළ අපරාධකරුවන්ට එරෙහිව වග වීමේ හෝ අධිකරණමය ක්‍රියාමාර්ග නොමැති වීම පිළිබඳව ද අපගේ දැඩි කනස්සල්ල පළ කරන්නෙමු.

පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටින අතරතුර, චෝදනා කරන ලද උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගකිව යුතු ඕනෑම පුද්ගලයෙකුගේ වග වීම විමර්ශනය කිරීම සහ සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

1. Aua Baldé - බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ ප්‍රධාන වාර්තාකරු
2. Mumba Malila - අත්තනෝමතික රඳවා තබා ගැනීම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ උප ප්‍රධානී;
3. Morris Tidball-Binz - අනීතික, ක්ෂණික හෝ අන්තනෝමතික මරණ දඬුවම් පිළිබඳ විශේෂ වාර්තාකරු
4. Fabian Salvioli - සත්‍යය, යුක්තිය, වන්දි ගෙවීම සහ නැවත සිදු නොවන බවට සහතික කිරීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ විශේෂ වාර්තාකරු

- උපුටා ගැනීම අවසන් -

මාතලේ දිස්ත්‍රික්කයේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල මර්දනය කිරීම සම්බන්ධයෙන් වැදගත් කරුණු තුනක් එක්සත් ජාතීන්ගේ පෙර කී ලිපියෙන් ඉස්මතු කර ඇත.

එක්සත් ජාතීන් මතුකළ වැදගත් කරුණු මෙන්න..

ප්‍රථමයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ බලහත්කාර අතුරුදහන් කිරීම් පිළිබඳ සිද්ධීන් 1,041ක් විමර්ශන කොමිෂන් සභා හතරක් මගින් ලේඛන ගත කර ඇත. මෙයින් 700කට වැඩි ප්‍රමාණයක් සිදු වී ඇත්තේ ගෝටා ප්‍රධාන හමුදා නිලධාරියා ලෙස සිටිය දීය.

දෙවනුව, විවිධ රජයන් විසින් විවිධ කාලවල දී පත් කරන ලද ශ්‍රී ලංකා කොමිෂන් සභා හතරක් විසින් මාතලේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට සම්බන්ධ යැයි කියන අපරාධකරුවන් 24 දෙනෙකු හඳුනා ගෙන ඇත. මේ සම්බන්ධයෙන් කිසිවකුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවට තොරතුරු නොමැත.

තෙවනුව, මාතලේ "අතුරුදහන් කිරීම්" සඳහා වගකිව යුතු යැයි කියනු ලබන අයගේ නම් සහ තනතුරු 2030 දක්වා බලාත්මක වන රජයේ රහස්‍ය නියෝගයක් යටතේ තබා ඇත. මෙය ආයතන ගත දණ්ඩ මුක්තියේ ඇති ‘මහන්තත්වය’ ලෝකයට කියා පෑමකි!

කලින් ප්‍රකාශ කළ පරිදි ප්‍රසිද්ධියට පත් කර ඇති එක්සත් ජාතීන්ගේ ලිපියේ ගෝටාබය රාජපක්ෂගේ නම සඳහන් නොවේ. කෙසේ වෙතත්, 1989 මැයි සිට 1990 ජනවාරි දක්වා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් 700 කට අධික සංඛ්‍යාවක් සිදු වූ මාතලේ දිස්ත්‍රික්කය භාර ප්‍රධාන සම්බන්ධීකරණ හමුදා නිලධාරියා වූයේ ගෝටා බව කවුරුත් හොඳින්ම දන්නා කාරණයකි.

සී. ඒ. චන්ද්‍රප්‍රේමගෙන් හෙළිවන ඇත්ත කතාව..

කෙසේ වෙතත්, මාතලේ දිස්ත්‍රික්කයේ ගෝටාගේ "විධාන" භූමිකාව සහ එක්සත් ජාතික පක්ෂ රජය විසින් ඔහුට එවැනි වගකීමක් භාර දීමට හේතු වූ කරුණු කාරණා පිළිබඳව සී. ඒ. චන්ද්‍රප්‍රේම නමැත්තාගේ "ගෝටාගේ යුද්ධය" නමැති පොතක සඳහන් වේ. පහත දැක්වෙන්නේ එහි “ජවිපෙ දෙවැනි කැරැල්ල” නමැති 28 වැනි පරිච්ඡේදයේ 173, 174 හා 177 පිටුවලින් ගත් කරුණුය.

- උපුටා ගැනීම -

“1989 මැයි 1 වැනි දා කර්නල් විමලරත්න බ්‍රිගේඩියර් නිලයට උසස් වීමත් සමග ගජබා රෙජිමේන්තුවේ 1 වැනි බල ඇණියේ අණ දෙන නිලධාරියා ලෙස ගෝටා පත් කෙරිණ. වඩමාරච්චි මෙහෙයුමේ දී ඔහු දැරූ තාවකාලික විධානය මෙන් නොව මෙය දැන් ස්ථිර පත්වීමකි.”

“මෙම උසස් වීමත් සමග ජවිපෙ මර්දනය කිරීමේ කාර්යය භාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරියා ලෙස ඔහු මාතලේට පත් කෙරිණ. වසර එක හමාරකට ආසන්න කාලයක් ත්‍රිකුණාමලයේ සිටි පළමු ගජබා බල ඇණිය ඔහු මාතලේට ගෙන්වා ගත්තේය. ගෝටාගේ හමුදා ඒකකයේ අණ දෙන නිලධාරීන් අතර ලුතිනන්වරුන් වන ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස් හා සුමේධ පෙරේරා ද විය. (මේ තිදෙනාම පසුව ජෙනරාල්වරුන් බවට පත් වූ අතර, ශවේන්ද්‍ර හමුදාපති ද විය).

“ගෝටා මාතලේ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස පත් කරන විට එම ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන් විසින් ආණ්ඩුවේ ප්‍රබලයෙකු වූ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේරත්නට පැමිණිලි කර තිබුණේ, ගෝටා මහින්ද රාජපක්‍ෂගේ සහෝදරයෙකු බවත් ඔහු ගැන විශ්වාසයක් නැති බවත් කියමිනි”.

“ඒ වන විට වසර 12 කට පසු නැවත පාර්ලිමේන්තුවට පැමිණ සිටි මහින්ද රාජපක්ෂ, එජාප ආණ්ඩුව ජවිපෙ කැරැල්ල සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය දැඩි ලෙස විවේචනය කළ එක් අයෙකි.”

“ඒ වන විට බ්‍රිගේඩියර් විමලරත්න ඒකාබද්ධ මෙහෙයුම් විධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා විය. මාතලේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස පත් කරන්නේ කවුරුන් ද යන්න තීරණය කළ යුත්තේ රජය බව ඔහු රන්ජන් විජේරත්නට පවසා ඇත. කෙසේ වෙතත් ගෝටා මාතලේ 1 වන ගජබා බල ඇණියේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන බවත්, ඔහු සිය රාජකාරිය වෙනුවෙන් කැප වී කටයුතු කළ දක්ෂ නිලධාරියකු බැවින් ඔහු බල ඇණි අණ දෙන නිලධාරී තනතුරෙන් ඉවත් කළ නොහැකි බවත් විමලරත්න විසින් පෙන්වා දී තිබිණි.”

“ගෝටා වඩමාරච්චියේ සටන් කළ බව විජේරත්නට පැහැදිලි කර දුන් බි‍ග්‍රේඩියර් විමලරත්න ගෝටාගේ අනෙකුත් මෙහෙයුම් පිළිබඳ විස්තර ද ලබා දී තිබුණි. ගෝටා තනතුරෙන් ඉවත් නොකළ යුතු බවට විජේරත්න එකඟ වී තිබුණි.”

“පසුව විජේරත්න මාතලේට පැමිණි අතර, ගෝටා ඔහු වෙනුවෙන් සම්මන්ත්‍රණයක් සංවිධානය කර ජවිපෙ ත්‍රස්තවාදීන්ට එරෙහිව දිස්ත්‍රික්කය ආරක්ෂා කර ගැනීමට තමන් කරන්න යන දේ පැහැදිලි කළේය.”

'වැඩේ' කර ගෙන යන්න...

“සම්මන්ත්‍රණයෙන් පසු විජේරත්න ගෝටාට පැවසුවේ ඔහු මහින්ද රාජපක්ෂගේ සහෝදරයෙකු නිසා ප්‍රදේශයේ දේශපාලනඥයන් ඔහුට අකැමැති නමුත් ඔහුගේ අණ දෙන නිලධාරියා පවසන්නේ ඔහු හොඳ හමුදා අණ දෙන නිලධාරියෙකු බවයි. “මට ඔබ වෙනස් කරන්න අවශ්‍ය නැහැ, ඔබ වැඩේ කර ගෙන යන්න, කවුරු හරි දේශපාලකයෙකුග‍ෙන් ඔබට කරදරයක් වුණොත් මට කියන්න,” යයි විජේරත්න වැඩි දුරටත් පැවසීය.”

"ගෝටා මාතලේ දිස්ත්‍රික්කය භාර ගැනීමෙන් පසු උපාය මාර්ගික වශයෙන් වැදගත් සෑම ස්ථානයකම හමුදා භට පිරිස් යොදවා තිබුණි."

“ජවිපෙ දෙවැනි කැරැල්ල අවසන් වන තුරුම ගෝටා මාතලේ ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරියා ලෙස සිටියේය. 1990 ජනවාරි මාසයේ දී ඔහු මාස තුනක නිවාඩුවක් සඳහා ඉල්ලුම් කර ඔහුගේ පවුල බැලීමට එක්සත් ජනපදයට ගියේය.”

- උපුටා ගැනීම අවසන් -

- 2023 ජුනි 24 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, D. B. J. Jeyaraj ලියූ, “Gotabaya Rajapaksa and the Matale District JVP Insurgency” නම් ලිපිය සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment