ලංකාව බංකොලොත් වීමට හේතු සොයන තේරීම් කාරක සභාවට ඔත්තුවක්..! පුළුවන්නම් සොයාපල්ලා..!
-ශාන්ත ජයරත්න ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.07, ප.ව.6.00) ලංකාව බංකොලොත් වීමට හේතු සොයා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට ගරු කතානායක වරයා විසින් සාගර කාරියවසම් (පොහොට්ටු මහ ලේකම් ) මන්ත්‍රී වරයාගේ සභාපතිත්වයෙන් විශේෂ තේරීම් කාරක සභාවක් (Parliamentary Special Select Committee) ඊයේ(06) පත්කළ බව මාධ්‍ය හරහා දකින්නට ලැබුණි.
හොරාගෙන්ම පේන ඇසීමක්..
මහ බැංකු බැදුම්කර වංචාව සිදුවූ අවස්ථාවේ එවකට විපක්ෂයේ බලපෑම මත වර්තමාන ජනාධිපති වරයා විසින්ද එජාප නීතීඥ කණ්ඩායමේ ගාමිණී පිටිපනගේ සභාපතිත්වයෙන් සහ පක්ෂයේ තවත් නීතීඥ මහත්වරුන් දෙදෙනකුගෙන් යුත් කමිටුවක් පත්කළා ඔබට මතක ඇති. එම කමිටුව සහ ඊයේ පත්කල කමිටුව අතර එතරම් වෙනසක් නැති බව කිව යුතුය. මෙය හරියට හොරාගේ අම්මාගෙන් පේන අසනවා වෙනුවට හොරාගෙන්ම පේන අසනවා වැනිය .
ලංකාව බංකොලොත් වීමට හේතු රාශියක් බලපා ඇත. එහෙත් , ඉන් ප්‍රධාන තැනක් ගන්නේ වංචා සහ දූෂණ , ගජමිතුරුවාදය , සහ නීතියේ අවභාවිතාවයි. නව කමිටුවේ කටයුතු ආරම්භයේදීම ඔවුන්ගේ අවධානය සඳහා පසුගිය වකවානුවේ සිදුවූ වංචා සහ දූෂණ කිහිපයක් පහත දක්වා ඇත. මේවා සම්බන්ධව කිසිදු විධිමත් විමර්ශනයක් සිදුකොට වගකිව යුතු කිසිවෙක් නීතියෙන් දඬුවම් ලබා නැත. එමනිසා මෙම කමිටුව විසින් වත් මේවා සම්බන්ධව අවධානය යොමු කොට කිසියම් නිර්දේශයක් ඉදිරිපත් කරන්නේ නම් වඩාත් යෝග්‍ය වෙයි. කමිටුවේ පහසුව සඳහා අවශ්‍ය වැඩි විස්තර ලබා ගැනීමට මේ සම්බන්ධව පලවු මාධ්‍ය වාර්තාවන්හි දිගු (Links) සියල්ල ලබා දීමටද මම උස්සාහ කරමි.
අවධානයට දහයක්..
1. මහබැංකු බැදුම්කර වංචාව හරහා සිදුවූ දූෂණය - රුපියල් බිලියන 10.058. එහෙත් මෙහි පාඩුව තවත් අවුරුදු ගණනක් යනතුරු දැරීමට සිදුව ඇත. https://www.veriteresearch.org/wp-content/uploads/2018/05/VR-Insight_Central-Bank_s-30-yr-Bond-Debacle-What-is-the-Loss_-1.pdf
2. රාජපක්ෂ පවුලේ සාමාජිකයන් 2004-2014 කාල සීමාවේ ලංකාවෙන් පිටමං කළ ඩොලර් බිලියන 19 ක මුදල. මෙය ඩොලර් බිලියන 56ක් බව අමෙරිකානු ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත වරක් වාර්තා කොට තිබුණි . https://economictimes.indiatimes.com/news/international/world-news/rajapaksa-family-totally-responsible-for-lankan-crisis/articleshow/90714561.cms
3. ආනයන සහ අපනයන කරුවන් විසින් විදේශ රටවල රඳවා ඇති ඩොලර් බිලියන 36 කට වැඩි රටට ලැබිය යුතු ආදායම නොලැබීම. https://www.sundaytimes.lk/220710/news/exporters-importers-shift-rs-13-2-trillion-overseas-via-dodgy-invoicing-488561.html
4. රාජපක්ෂ ආණ්ඩුවේ ඩොලර් මිලියන 2 ක එයාබස් ගනුදෙනුවේ වංචාව සහ ගිවිසුම අවලංගු කිරීමේ දී වු රනිල් වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුවේ වූ ඩොලර් මිලියන 115.7 (රුපියල් බිලියන 17) වංචාව https://www.newsfirst.lk/2020/02/22/airbus-scam-unravels-political-deals-between-mr-and-rw/
5. නිරුපමා රාජපක්ෂ සහ තිරුනඩේෂන් ගේ පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව් කළ ඩොලර් මිලියන 160 හොරකම. https://www.icij.org/investigations/pandora-papers/
6. පිරමිඩ් විල්මා සමාගම විසින් සිදුකළ රුපියල් බිලියන 16.7 සීනි බදු වංචාව සහ එම සමාගම මගින්ම සිදුකල බිලියන 10 කට වැඩි පොල්තෙල් ආනයන බදු වංචාව. https://ceylontoday.lk/2022/11/07/ird-told-to-prepare-report-on-recovering-rs-16-7b/
7. මහජන බැංකුවේ රුපියල් බිලියන 54 ක ණය නොගෙවා පැහැර හැර ඇති දේශපාලනඥයන් සහ කූඨ ජාවාරම් කාරයන් ගේ ගණුදෙනු. https://www.themorning.lk/articles/204526
8. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2022 දෙසැම්බර් 31 වන දිනට එකතු කර නොගත් රුපියල් බිලියන 904 ක බදු නොගෙවා පැහැර හැරීමට සම්බන්ධ ව්‍යාපාරිකයන්.
https://www.parliament.lk/en/committee-news/view/3233?category=33
9. ගෝටාභය රාජපක්ෂ රජය විසින් 2019.11.26 වන දින බදු කපාහැරීමට ගත් තීරණය හේතුවෙන් සිදු වු රුපියල් බිලියන 1300කට වැඩි රජයේ ආදායම අහිමි වීම.
https://www.newsfirst.lk/2019/11/27/cabinet-announces-massive-tax-cuts/
10. චීන කාබනික පොහොර වංචාව සහ ඉන්දියානු නැනෝ දියර පොහොර වංචාව හරහා සිදුකල ඩොලර් මිලියන 8කට වැඩි දූෂිත ගණුදෙනු. ඒ හරහා අනෙකුත් කෘෂි නිෂ්පාදන වලට කල හානිය
https://www.hindsight.tisrilanka.org/fertilizer-issue/
ඉහත දක්වා තිබෙන්නේ ලංකාව බංකොලොත් වීමට බලපෑ දූෂිත ගණුදෙනු වලින් කිහිපයක් පමණි. එය හරියට අයිස් කන්දේ මුදුන (tip of the iceberg) මෙනි. මීට අමතරව රාජ්‍ය ආයතන වල සිදුවන දූෂිත ප්‍රසම්පාදන වංචා, දේශපාලකයින්ගේ සහ ඉහළ රාජ්‍ය නිළධාරීන්ගේ දූෂණ රට බංකොලොත් වීමට විශාල වශයෙන් බලපා ඇත. විශේෂයෙන්ම ඉන්ධන සහ ගල් අඟුරු ආනයනය, මාර්ග සංවර්ධන අධිකාරිය හරහා කල මහාපරිමාන දූෂණ, ඖෂධ ආනයනය හරහා සිදුකල වංචා , සහ රජයේ ව්‍යවසායන් පෞද්ගලිකරණය කිරීම මුවාවෙන් සිදුකල වංචා සහ දූෂණ රට බංකොලොත් වීමට හේතු වූ බව කිව යුතුය.
ඊට අමතරව , රට බංකොලොත් වීමට හේතු සෙවීමට පෙර කමිටු සභාපති වරයාගේ සමාගම් හරහා සිදුකල ගණුදෙනු සහ තේරීම් කමිටුවට පත්වී සිටින සමහර සාමාජිකයන් දේශපාලනයට පිවිසෙන විට ඔවුන් සතුව තිබූ වත්කම් සහ මේ වන විට ඔවුන් දේශීයව සහ විදේශීයව මිල දී ගෙන තිබෙන වත්කම් පිළිබඳ සොයා බැලුවහොත්, රට බංකොලොත් වීමට හේතු සොයාගැනීම අපහසු නොවේ. කමිටුව මහජන අදහස් කැඳවන්නේ නම්, ඕනෑ තරම් සාක්ෂි සහිතව තොරතුරු ලබා දිය හැක.
කමිටු වලින් කරන්නේ වැරදි කරුවන් නිවැරැදි කිරීමයි..
මෙවැනි තේරීම් කමිටු වලින් සිදුවන්නේ වැරදි කරුවන් නිවැරැදි කිරීම හැර අන් කිසිවක් නොවේ. ඒ සඳහා සාමාජිකයන් පත්කරන ආකාරයෙන්ම එය මනව පැහැදිලි වේ. රට බංකොලොත් කිරීමට වගකිව යුත්තන් විසින්ම හේතු සෙවීම කෙතරම් විහිළුවක් ද? ජනයා මේවාට හිනාවෙනු ඇත.
මෙවැනි දූෂිත දේශපාලකයින් සහ ඔවුන් ආරක්ෂා කරන නිළධාරීන් නීතිය ඉදිරියට ගෙන ඒමට නම් සැබෑ ජනතාවාදී රජයක් බිහිකර ගත යුතුය. ජනතාවට වගවෙන රජයක් ගොඩ නගා නැගීම පුරවැසියන් වන අපට වෙනදාට වඩා වගකීමක් දැන් ඇත. ඒ සඳහා නොපවාම සූදානම් වෙමු.
-ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
https://www.lankaenews.com/category/102

No comments:
Post a Comment