Friday, 28 July 2023

කෑම ලෑම නොමිලේම ලැබිලත් “සී/ස ශ්‍රී ලංකා ක්‍රිකට් (පෞද්) සමාගමේ” ලොකු උන් ඩොලර් දීමනාවක් හදාගෙන ඒකත් දැවැන්ත ලෙස වැඩිකරගෙන..!

-දි අයිලන්ඩ් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.28, ප.ව.10.45) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) විධායක කමිටුවට මෙන්ම ඉහළ කළමනාකාරීත්ව මට්ටමේ නිලධාරීන්ට ඇමරිකානු ඩොලරවලින් ගෙවන ලද දීමනා දැවැන්ත ලෙස වැඩි කිරීම සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය (NAO) විසින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන්ගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත.

T 20 ලෝක කුසලානය සඳහා පසු ගිය වසරේ අග භාගයේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ NAO කෙටුම්පත් වාර්තාවට අනුව, SLC විධායක කමිටුව විසින් 2022 මාර්තු 15 දින පැවති රැස්වීමක දී, විධායක කමිටු සාමාජිකයින් සඳහා දෛනික දීමනා USD 700 හා USD 600 දක්වා ද, ඉහළ කළමනාකාරීත්ව මට්ටමේ නිලධාරීන් සඳහා USD 500 හා USD 450 දක්වා ද වැඩි කර ගෙන තිබේ.

විශ්මයජනක දීමනා වැඩි වීමක්..

ලෝක කුසලාන සංචාරයට පෙර කණ්ඩායම් දෙකටම 75% සහ 71% ක විශ්මයජනක දීමනා වැඩි වීමක් ලැබී ඇති බව NAO සඳහන් කර ඇත.

විධායක කමිටුව විසින් දෛනික දීමනාව USD 400 සිට 475 දක්වා ඉහළ දැමීමත් සමග තුන් වන කාණ්ඩයේ SLC සේවකයින්ට සියයට 46% ක වැඩි වීමක් ලැබී ඇත.

යුරෝපා හා ඕස්ට්‍රේලියා මෙන්ම අප්‍රිකානු සංචාරවල දී ආහාර සහ නවාතැන් ලබා නොදෙන විට පෙර කී ගෙවීම් කරනු ලැබේ.

2019 විධායක කමිටු රැස්වීමේ දී ඉහළ කළමනාකරණ කාණ්ඩයේ සිටි ප්‍රධාන විධායක නිලධාරීයා (CEO) සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා (COO) විධායක කමිටුවට මාරු කර ඇත.

ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස පත්වීම් ලැබූ වර්ෂයේ, එනම් 2019 ඔක්තෝම්බර් 18 වැනි දින පැවති විධායක කමිටු රැස්වීමේ දී පෙර කී වැඩිවීම් ප්‍රකාශයට පත් කර ඇත. හිටපු නාලන්ද ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඔහු දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියා ලෙස අඛණ්ඩව තෙවැනි වරටත් පත්ව සිටී.

අදාල වගන්තියත් සංශෝධනය කරගෙන..

ගෙවීම් හා අදාල වන වගන්තිය සංශෝධනය කර ඇති බව NAO පෙන්වා දී ඇත. 2014 මැයි 23 වැනි දින විධායක කමිටුව විසින් ගනු ලැබූ තීරණයකට අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ වෙනත් පාර්ශ්වයක් විසින් නවාතැන් පහසුකම් සපයන ලද්දේ නම්, තෝරාගත් අයට දෛනික දීමනා සඳහා හිමිකම් නොමැත. කෙසේ වෙතත්, වෙනත් සත්කාරක සමාගමක් ඔවුන්ගේ වියහියදම් දැරුව ද, USD කොන්දේසි යටතේ දෛනික දීමනා ලබා ගැනීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුව, එනම් 2019 හා 2022 දී එම වගන්තිය සංශෝධනය කර තිබේ.

විමසීමට මුඛ පූට්ටු...

NAO විසින් මතු කරන ලද විමසීම් රාශියකට ක්‍රීඩා ලේකම් තවමත් ප්‍රතිචාර දක්වා නැත. NAO විසින් 2023 ජූනි 15 වැනි දින ක්‍රීඩා ලේකම් වෙත කෙටුම්පත් වාර්තාව භාර දී ඇත.

එකී දීමනා වැඩි කිරීම්වලට අමතරව, ඕස්ට්‍රේලියානු සංචාරයට මොහොතකට පෙර, විධායක කමිටු සාමාජිකයින්ට ඇමරිකානු ඩොලර් 2,000 ක දැවැන්ත විනෝදාස්වාද දීමනාවක් සහ ඩොලර් 150 ක ජංගම දුරකථන දීමනාවක් ද ලබා දී ඇත.

ආර්ථික අර්බුදයක් පවතින වකවානුවක ඊට පටහැනි අන්දමින්...

2023 මාර්තු 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි කැබිනට් සාමාජිකයින්ට සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලබා දෙන දෛනික දීමනාවෙන් 30% ක කප්පාදුවක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක පොළඹවන තරම් ආර්ථික අර්බුදයක් පවතින වකවානුවක ඊට පටහැනි අන්දමින් SLC කටයුතු කර ඇති ආකාරය NAO විසින් විමර්ශනය කර ඇත.

යහපාලන රජය විසින් 2015 මැයි 15 දින දෛනික දීමනාව USD 530 සිට USD 371 දක්වා අඩු කර ඇති බව ද NAO විසින් ක්‍රීඩා ලේකම්වරයාට පෙන්වා දී ඇත.

ප්‍රශ්නකාරී තත්වයන් යටතේ ගුවන් ටිකට්පත් ප්‍රසම්පාදනය සඳහා දරන ලද දැවැන්ත වියදම්වලට අමතරව, විධායක කමිටු සාමාජිකයින්ට කර ඇති හදිසි ගෙවීම් ගණනාවක් NAO විසින් පෙන්වා දී තිබේ.

- 2023 ජුලි 28 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, Shamindra Ferdinando ලියූ, “Allowances in USD terms increased by over 70%, stipulation amended in favour of Sri Lanka Cricket Ex Co” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment