Friday, 28 July 2023

ළමා අපචාරයට දඬුවම් ලැබ ජීවිත කාලයටම ළමයින් සමඟ කටයුුතු තහනම් කළ නායක භික්ෂුවක් මෙන්න ලංකාවේ ළමයි සමඟ වැඩ..!

-සේ පියවර්ධන ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.28, ප.ව.11.20) එක්සත් රාජධානියේ ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වරදකරු වූ ප්‍රමුඛ බෞද්ධ භික්ෂුවක් ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් සමඟ අඛණ්ඩව කටයුතු කිරීම ළමා අයිතිවාසිකම් ආරක්ෂකයින්ගේ කෝපයට හේතු වී තිබේ.

ගම්පහ පහළගම විද්‍යාරවන්ද පිරිවෙනේ මහානායක පහළගම සෝමරතන හිමියන්ගේ මෙම ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් ප්‍රමුඛ පෙළේ ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවා තිබේ.

තේම්ස් බෞද්ධ විහාරයේ මහා නායක පදවිය දැරූ පහළගම සෝමරතන හිමියන්ට 1970 දශකයේ ලන්ඩන් නුවරදී බාලවයස්කාර දැරියන්ට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල විය.

2012 දී, ඔහු විසින් ආරම්භ කරන ලද පන්සලක් වන සෙල්ස්ඩන්හි ඩල්වර්ටන් පාරේ පන්සලේදී වයස අවුරුදු දහයට අඩු ගැහැණු ළමයෙකුට ලිංගික කෙළෙසීම් හතරක් සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පසු, එක්සත් රාජධානියේ අයිල්වර්ත් ක්‍රවුන් අධිකරණය විසින් මෙම භික්ෂූට වසර 7ක සිර දඬුවමක් නියම කරන ලදී.

80 දශකයේ මැද භාගයේදී ක්‍රොයිඩන් හි විහාරස්ථානයකදී සිදු වූ දෙවන ලිංගික අපයෝජනයක්  සම්බන්ධයෙන් ද උන්වහන්සේට චෝදනා එල්ල විය.

ජීවිතාන්තය දක්වා දරුවන් සමඟ කටයුතු කිරීම තහනම්..

එම අපයෝජනයන් සිදුවී වසර ගණනාවකට පසුව, අයිල්වර්ත් ක්‍රවුන් අධිකරණයේ නඩුව විභාග වූ අතර එහිදී සෝමරතන හිමියන් විහාරස්ථාන දෙකේදීම බාලවයස්කාර දරුවන් අපයෝජනය කළ බවට වූ චෝදනාව  ප්‍රතික්ෂේප කළේය. භික්ෂුව ක්‍රොයිඩන්හි චෝදනා වලින් නිදහස් කරන ලද නමුත් සෙල්ස්ඩන්හි පළමු අපයෝජනයන්ට වරදකරු විය. 2013 ජූනි 28 වැනි දින රාජකීය අධිකරණයේදී සෝමරතන හිමියන් තම වරද අවලංගු කරන ලෙස කළ අභියාචනය ප්‍රතික්ෂේප කරන ලදී. නමුත් අධිකරණය ඔහුගේ සිර දඬුවම වසර 6 දක්වා අඩු කළ නමුත් තීන්දුව වෙනස් කළේ  නැත. එම තීන්දුවත් සමඟ සෝමරතන හිමියන්ට ජීවිතාන්තය දක්වා දරුවන් සමඟ වැඩ කිරීම තහනම් කෙරුණු අතර බ්‍රිතාන්‍ය ලිංගික අපරාධකරුවන්ගේ ලේඛනයෙහි ඔහුගේ නම ජීවිතාන්තය දක්වා ලියාපදිංචි කරන ලදී.

"ඔබ ඔබේ ආගම පාවා දීලා.." විනිසුරු දුන් කණ කිස් කන තීන්දුව..

සෝමරතන හිමියන්ට දඬුවම් නියම කරමින් විනිසුරු පිලිප් මැතිව්ස් සිය අදහස් දැක්වීමේදී මෙසේ පැවසීය.

"යහපත් චරිතයක් ඇති මිනිසෙකු ලෙස ඔබ ශ්‍රී ලංකාව තුළ කළ යහපත් ක්‍රියාවන් ලෙස ඉහළ ස්ථානවල සිටින මිනිසුන්ගෙන් ලැබෙන උපහාරයන් මම කියවා ඇත්තෙමි. නමුත් අපයෝජනයය කරන විට  ඔබ 30 හැවිරිදි වියේ පසුවූ නිසා, ඔබ බොළඳ සහ නොමේරූ යැයි පැවසිය නොහැක.  ඔබ කරන්නේ කුමක්දැයි ඔබ නොදැන සිටියාය යන්නද පිළිගත නොහැක."

"ඔබ සම්පූර්ණ පසුතැවිල්ලක් පෙන්නුම් කර නැති අතර මේ සියල්ල දරුණු වැරැද්දක්  නොවන බව විශ්වාස කිරීමට ඔබ ඔබේ මහජනතාව දිරිමත් කර ඇත. ඔබ ඔබේ සහෝදර භික්ෂූන් වහන්සේලාට දොස් කියන්න පවා ඇඟිල්ල දිගු කළේය."

"මෙය ඔබේ ආගම පාවා දීමක්, මේ රටේ බෞද්ධ ප්‍රජාවට ද්‍රෝහිකමක් සහ එකල ඔබට ප්‍රබල ආධාරකරුවන් වූ දැරියගේ දෙමාපියන්ට ද්‍රෝහී වීමකි. ඔබ කළ දේවල සම්පූර්ණ බලපෑම කිසි විටෙකත් ඔබට දැනගත නොහැක."

"දරුවන් සමඟ වැඩ කිරීමට ඔබ නුසුදුසු බව මම නියෝග කරමි. 2003 ලිංගික අපරාධ පනතේ 104 වැනි වගන්තිය යටතේ ඔබගෙන් සිදුවන බරපතළ ලිංගික හානියකින් මහජනතාව හෝ විශේෂිත මහජනතාව ආරක්ෂා කිරීම අවශ්‍ය බවට මා සෑහීමකට පත් වන අතර, පහත සඳහන් කොන්දේසි යටතේ මම ලිංගික අපරාධ වැලැක්වීමේ නියෝගයක් කරමි."

"ඔබට පළමුව වයස අවුරුදු 16ට අඩු ඕනෑම දරුවෙකු සිටින ස්ථානයේම දැනුවත්ව වාසය කිරීම, දෙවනුව, එම දරුවාගේ රැකවරණය සඳහා වගකිව යුතු දෙමාපියන් හෝ වෙනත් පුද්ගලයෙකු නොමැති නම්, වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු සමඟ කිසියම් සංවාදයක, ක්‍රියාකාරකම්වල යෙදීම සහ එවැනි සංවාදයක් හෝ ක්‍රියාකාරකමක් අධීක්ෂණය කිරීම ඔබට තහනම්ය. තෙවනුව, වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු සමඟ සම්බන්ධතා හෝ සන්නිවේදනයට සම්බන්ධ වීමට ඉඩ ඇති, ගෙවන ලද හෝ ස්වේච්ඡාවෙන් කරන ඕනෑම කාර්යයක් භාර ගැනීමෙන් ඔබ වළක්වමි."

සෝමරතන නාහිමි මේ වන විට ශ්‍රී ලංකාවේ විද්‍යාරවන්ද පිරිවෙනේ විහාරාධිපති ලෙස වැඩ වාසය කරති.

ලංකාවෙදිත් පැමිණිලි ලැබිලා...

ළමාරක්ෂක සන්ධානයේ සම කැඳවුම්කාරිය වන ආචාර්ය තුෂ් වික්‍රමනායක ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් කියා ඇත්තේ  සෝමරතන හිමියන් දිගින් දිගටම දරුවන් සමඟ කටයුතු කිරීම විනිසුරුවරයාගේ නියෝග හිතාමතා උල්ලංඝනය කිරීමක් බවයි. වරදකරු වූ ළමා ලිංගික අපරාධකරුවෙකුගේ ආගමික වරප්‍රසාදවලට පෙර, අවදානමට ලක්විය හැකි දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස එම සන්ධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි තිබේ.

“මෙම හිමිනම දරුවන් සමඟ දැනුවත්ව හා සෘජුව වැඩ කරන බැවින්, එය විනිසුරුවරයාගේ නියෝග හිතාමතා උල්ලංඝනය කිරීමක් බව අපි විශ්වාස කරමු. මෙම භික්ෂුවට එක්සත් රාජධානියේ පමණක් දරුවන් සමඟ වැඩ කිරීම තහනම් බව විනිසුරුවරයා සඳහන් කර නැත. 'මේ භික්ෂුවගේ ක්‍රියාකලාපය පිළිබඳව අපට පැමිණිලි කිහිපයක් ලැබී තිබෙනවා,' ඇය වැඩිදුරටත් පැවසා තිබේ.

1991 දී එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව අනුමත කළ පරිදි ළමා ලිංගික අපරාධකරුවෙකුට දරුවන් සමඟ දිගටම වැඩ කිරීමට  ඉඩ නොදිය යුතු බව ආචාර්ය වික්‍රමනායක  කියා සිටී.

-ඩේලි මිරර් පුවත්පතෙහි පල වූ Prominent monks actions stir outcry නම් ලිපිය ඇසුරෙන් සකස් කරන ලද්දේ

-සේ.පියවර්ධන

No comments:

Post a Comment