Thursday, 6 July 2023

බාල බෙහෙත විස වෙලා..? අක්ෂි රෝහලෙන් තවත් සැක මරණයක්..! පේරාදෙණියේ මරණය වගේමයි..!

-රවි කුමුදේශ් ලියයි 

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.06, ප.ව.9.50) කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී ඇසේ ශල්‍ය කර්මයක් කළ සිට 35 හැවිරිදි දෙදරු මවක ශල්‍ය කර්මයෙන් පසු සිහිය නොලබාම මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ කොස්ගොඩ බොරලුකැටිය දකුණ පදිංචි එච්.ජී. හිමාලි ප්‍රියදර්ශනී වීරසිංහ නමැති දෙදරු මවකි.

මියගිය කත මිට පෙර කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් ඇසට කාචයක් දමාගෙන ඇති අතර ශල්‍ය කර්මය කළ ඇසේ ඇතිවූ අසාත්මික තාවයක් හේතුවෙන් ඇය යළි එම ඇසේ ශල්‍ය කර්මයක් කිරීමට එදිනම රෝහලට ඇතුළත් වී ඇති අතර ඇය ඊයේ (5) දින ශල්‍යකර්මයකට භාජනය කර ඇත.

එසේ ශල්‍ය කර්මය සිදු කිරීමෙන් පසු ඇය සිහි නොලබාම මරණයට පත්වූ බවත්, ශල්‍ය කර්මය කිරීමට ඇයට ලබාදුන් නිර්වින්දන ඖෂධය විස වීම නිසා මෙම මරණය වන්නට ඇති බවත්, පවුලේ ඥාතීහු සැක කරති.

උද්දච්ච ප්‍රතිචාර නොදක්වා සංවේදී වූවානම්...

මීට සති දෙකකට පමණ ඉහත දී, පේරාදෙනිය ළමා රෝහලේ කුඩා දරුවෙකු මිය යෑමේ සිද්ධියට ද, 'ඇනෙස්ට්සොල්' නැමති මෙම සන්නාමය යටතේ ලබා දුන් ප්‍රොෆෆෝල් වර්ගයේ නිර්වින්දන ඖෂධයක් සැක සහිත බව දිගින් දිගටම පෙන්වා දුන් නමුත්, ඖෂධ නියාමන අධිකාරිය එම පැමිණිලි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රසිද්ධියේ බැහැර කළේය. ඔවුන්ගේ උපදෙස් අනුව සෞඛ්‍ය ඇමතිවරයා පාර්ලිමේතුවේදී පවා ප්‍රකාශ කරමින් කියා සිටියේ එම මිය යෑමට නිර්වින්දන ඖෂධයක බලපෑමක් නොවූ බවය.

කෙසේ නමුත් අවම වශයෙන් ජීවිතයක් බිලි වීමෙන් පසුව හෝ ලැබෙන පැමිණිල්ලකට උද්දච්ච ප්‍රතිචාර නොදක්වා සංවේදී වූවානම්, සමාන ඖෂධය යටතේ දෙවන මරණයක් පිළිබඳව වාර්ථාවීම වලක්වා ගැනීමට තිබූ බව අපි තරයේ විශ්වාස කරමු.

පැමිණිලි විභාග කිරීමට නිශ්චිත යාන්ත්‍රණයක් ඕනෑ...

ඖෂධ සහ වෘත්තීය භාවිතාවන් හේතුවෙන් සිදුවන හානී පිළිබඳව පැමිණිලි කිරීමට නිශ්චිත තැනක්, විමර්ෂණය  කිරීමට කණ්ඩායමක් සහ විභාග කිරීමට නිශ්චිත යාන්ත්‍රණයක් වහා ස්ථාපිත කරන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කාලාන්තරයක් තිස්සේ ඉල්ලා සිටින්නේ මෙම තත්වය වලක්වා ගැනීම උදෙසාය. අවම තරමින් ඒ සඳහා විශේෂ කමිටුවක් පිහිටුවීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රජයේ වගකීමක් වුවද, සියල්ල බැහැර කරමින් බාල ඖෂධ ගෙන්වීම සඳහා පාර කපා ගැනීම නිසා සෞඛ්‍ය සේවාව බරපතල අනතුරුදායක තත්වයකට පත්ව ඇත.

තවද පෙරාදෙණිය රෝහලේ ඇතිවූ සිද්ධියට අදාලව 2023.07.02 වැනි දින ජනාධිපතිවරයාට හා සෞඛ්‍ය ඇමතිවරයාට සිදු කරනු ලැබූ ඉල්ලීමට සමාන්තරව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැනුවත් කිරීමටත්. විද්‍යුත් තැපැල හරහා ඊට අදාල ලිපි යොමු කිරීමටත්  අපි කටයුතු කරනු ලැබූවෙමු. නීතිය ගැන අපට හසල දැනුමක් නොමැති නිසාවෙන් මහජන අර්ථසාධක නඩුකර මාර්ගයෙන් හෝ මෙම අසාධාරණය විසඳීමට හැකියාවක් පවතින්නේදැයි වැඩිදුර තොරතුරු විමසීම සඳහා අපි නීතීඥ සංගමය මුණ ගැසීමට බලාපොරොත්තු වෙන්නෙමු.

පැනික් වෙන්නත් එපා..

කෙසේ නමුත් මෙම තොරතුරු වලින් අනවශ්‍ය කලබලයකට පත් නොවන ලෙසත්, තමන්ට සැක මතුවන සෑම අවස්ථාවකදීම ඒ පිළිබඳව වෛද්‍ය සභාවට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ට සහ අවශ්‍ය වෙතොත් ළඟම ඇති පොලිසියට පැමිණිලි කර, දියුණු සෞඛ්‍ය සේවාවක් වෙණුවෙන් සක්‍රීයව කටයුතු කරන ලෙස අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

රවී කුමුදේශ්

සභාපති - සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

No comments:

Post a Comment