Friday, 14 July 2023

මහින්දාගමනයේ සිට මහින්ද චින්තනය දක්වා..!   

-ජයශ්‍රී ප්‍රියලාල් ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.14, ප.ව.9.10) ලිපියේ මාතෘකාව තරමක් කුතුහලයට හේතුවන බව හොඳාකාරව වටහාගනිමින් ඓතිහාසික පොසොන් උත්සවය සමරණ ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් සිල් සමාදන්වී සැදහැත් සිතින් කල්ක්‍රියා කරන වකවාණුවක, මහින්දාගමනයෙන් ලක් දෙරනේ ඇතිවූ සමාජීය, ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික පුනරුදය සියළු ශ්‍රී ලාංකේයන්ට ඉදිරියට පවත්වාගෙන යාමේ අභියෝගයන් හරිහැටි හඳුනාගැනීමට පොළඹවන අදහස් කිහිපයක් සටහන් කරතැබීමට මෙම ලිපිය යොදා ගන්නෙමි.

ලංකාවට පැමිණි ශ්‍රේෂ්ඨතම රාජ්‍ය තාන්ත්‍රිකයා..

ලක් දෙරණට පැමිණි ශ්‍රේෂ්ඨම රාජ්‍ය තාන්ත්‍රිකයා කවුරුන්ද යන්න යමෙක් මෙම ලියුම්කරුගෙන් ප්‍රශ්න කළහොත්, එයට දෙන පිළිතුර ඉඳුරාම අනුබුඳු මිහිඳු මහා රහතන් වහන්සේ බව ප්‍රකාශ කිරීමට මැලි නොවෙමි. 

ලක්දෙරණේ රාජ්‍යපාලනයට අවශ්‍ය මූලික රාජ්‍ය තාන්ත්‍රික මූලධර්ම පරිචය (Code of Conduct for Rulers), ස්ථාපනය කිරීමට වැඩම කරවූ සුවිශේෂී රාජ්‍ය තාන්ත්‍රිකයා අන් කවරෙකු වත් නොව අනුබුඳු මිහිඳු මහා රහතන් වහන්සේය. ක්‍රි.පූ. 307 වැනි කාලවකවාණුවක ඔවැනි සම්මුතීන් පැවතුනාද යන්න, විසි වෙනි ශත වර්ෂයේ මානව හිමිකම් ප්‍රඥ්ප්තිය ඔස්සේ රාජ්‍ය තාන්ත්‍රය හසුරුවන්න දඟලන අයවළුන් ප්‍රශ්න කිරීමට පෙළැඹවෙන බව නොඅනුමානය.

බුදු දහමේ හරය ගොඩනැඟී ඇත්තේ චතුරාර්ය සත්‍ය මතය. අනෙක බුද්ධ ධර්මය විද්‍යානුකූලව පැහැදිලි කරනුයේ සිත (මනස) සහ ධාතු (පදාර්ථයන්) අතර පවතින සංකීර්ණ ක්‍රියාවලියයි. මෙම සංසිද්ධීන් වර්තමානයේ කරුනු කාරනා හදාරන්නන් ගේ පහසුව පිණිස ඉංග්‍රීසී භාෂාවෙන් නිර්වචනය කළ හැක්කේ, Buddhism is the teaching about the complex relationships and transitions between MIND and MATTER යනුවෙනි. සොබා දහම යනුවෙන් අද බොහෝදෙනාගේ අවධානයට සහ සාකච්ඡාවට භාජනය වන කරුනු කාරනා විමර්ශණය කිරීමේදි අවබෝධ වනුයේ සොබා දහම යනු මෙම ධර්මයේ ස්වභාවය යන්නයි. එහෙත් බුදු දහමේ හරය වන චතුරාර්ය සත්‍ය අකාලික බව තේරුම් ගත්තද, වර්තමානයේ අප සියළු දෙනාම මුහුණ දෙන පරම සත්‍ය හෝ සාපේක්ෂ සත්‍ය විවිධ රාජ්‍ය පාලනයන් උඩු යටිකුරු කර සමස්ථ දේශපාලනයම බරපතල කඩා වැටීමකට ලක් කර ඇත.

මෙම විකාශය පිලිබඳ ගැඹුරින් අධ්‍යයනයක් කිරීමට කාලය එලෑඹ තිබුනද එම කටයුත්ත මෙම සටහනේ ලියා නිමකළ නොහැක. එම අධ්‍යයනය  විද්‍යානුකූල පදනමකින් ඓතිහාසික කරුනු නිවැරදිව පරිශීලනය කොට වැඩි දෙනෙකුගේ දැනුම, අවබෝධය වැඩි කරනු වස් යම් පුරාවිද්‍යාත්මක පසුබිමකින් ශාස්ත්‍රීය පරියේෂණ වලට අදාල විද්වතුන් පෙළැඹවීම ඉලක්ක කරගනිමින් මෙම ලිපිය ඉදිරිපත් කරමි.

බුදු දහමේ ව්‍යාප්තියට අශෝක මහා අධිරාජ්‍යාගේ දුරදර්ශී වැඩ පිළිවෙල..   

මිහිඳු මහා රහතන් වහන්සේ සහ සංඝමිත්තා තෙරණිය අශෝක අධිරාජ්‍යාගේ දරුවන් බව ඉන්දීය ඉතිහාසයේ නිශ්චිතව සඳහන් නොවෙතත් ලංකාවේ ඉතිහාස කතා රචකයෝ  සඳහන් කරති. ඒ අනුව බුද්ධ ධර්මය විවිධ දේශයන්ට ප්‍රචලිත කරවීමට නොයෙක් රහතුන් වහන්සේලා පත්කළ ද, ලක්දෙරනේ බුදු දහමේ ව්‍යාප්තකරවීමේ කටයුත්ත සිය දරුවන් දෙදෙනා ලවා කරවීමට අශෝක අධිරාජ්‍යා තෝරාගැනීමට යම් විශේෂ ලැදියාවක් තිබෙන්නට ඇත. ඒ අනුව ගත් කල මිහිඳු මහා රහතන් වහන්සේ සහ සංඝමිත්තා තෙරණිය ලක්දෙරණට සපැමිණි පලමු විශේෂ රාජ්‍ය තාන්ත්‍රික ධූතයන් දෙදෙනා ලෙස ගිණිය හැකිය. 

මහාචාර්ය රාජ් සෝමදේවයන් සඳහන් කරනුයේ දේවානම් ප්‍රිය යන උපසර්ග නාමය යොදාගනිමින්, සිය අසල්වැසි රාජ්‍යයේ පාලකයා තමන් අනුගමනය කරන රාජ්‍ය පාලන පරිචයට අනුකූල කරගැනීමට යොදාගත්  උපායක් විය හැක. ඒ අනුව කටයුතු කරමින් ලක්දෙරනේ පාලකයා වූ තිස්ස රජු දේවානම්පියතිස්ස යනුවෙන් යලිත් රාජාභිෂේක වූ බව මහාචාර්ය සෝමදේවයන්ගේ මතයයි. මෙකී පෙළැඹවීමෙන් අනතුරුව බුදු දහමේ ව්‍යාප්තියට සුදුසු පරිසරය සකස්වූ අතර මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ පිරිස මහින්දාගමනයෙහි නිරතවූහ. දෙවනුව සංඝමිත්තා තෙරණින් වහන්සේගේ වැඩමවීම සිදුවිය.   

අශෝක අධිරාජ්‍යා යොදාගත් සන්නිවේදන උපක්‍රම..

වර්තමානයේ තොරතුරු තාක්ෂණික විප්ලවයන්ගේ වැඩිදියුණුවීමත් සමඟ තොරතුරු අසුරු සැනින් ඔබ අතැති සුහුරු උපකරණය මත දිස්වූවද, ක්‍රි.පූ. සිව්වැනි ශතවර්ෂයේ පැවැති තත්වයන් පිලිබඳව තක්සේරුවක් නොකර වඩාත්ම පලදායී සංනිවේදන මාධ්‍ය තෝරාගැනීමට අශෝක අධිරාජ්‍යා කටයුතු කිරීමම, ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය විදහාපාන කදිම සාක්ෂියක් ඉතිරි කර ඇත.

සිය අධිරාජ්‍ය සිසාරාම අශෝක අධිරාජ්‍ය විසින් සියපාලන ක්‍රමවේදයේ මූලධර්ම පාලිතයන්ගේ දැනගැනීම පිණිස පාලන තන්ත්‍රය මෙහෙයවන්නන් විනයගරුක කරවිමට ආඥාවන් තිස්තුනක් ටැම්ලිපි, සහ ස්තම්භ ලිපි මාධ්‍යයන්ගෙන් තනවා ඇත. මීට ශතවර්ෂ 25 ට පෙර ප්‍රශස්ත රාජ්‍ය තාන්ත්‍රික පරිචය කෙසේ වියයුතුද යන්න ගලේ කොටා තැබීමට තරම් දූර දර්ශීවීම ආසියාවේ නියම ආශ්චර්ය බව ලොවට හඬගා කීමට කාලය දැන් පැමිණ ඇත. මන්ද 21 වැනි ශතවර්ෂය ආසියානු ප්‍රගමනයේ යුගය බව හඳුනා සියළුම ආසියානුවන් එක්ව කටයුතු කිරීම ප්‍රමුඛතාවයක් වන නිසාය.

මෙකී ලිපි බොහොමයක් බ්‍රහ්මීය අක්ෂර වලින් නිමවා ඇති අතර ගාන්ධර්ව දේශයට ආසන්න තක්ෂිලා ප්‍රදේශයේ පිහිටා ඇති කරෝශ්ථි ස්ථම්භ ලිපිය කොටා ඇත්තේ ග්‍රීක සහ ඇරමික් අක්ෂර වලිනි. එය ඉතාමත් උපායමාර්ගික කටයුත්තකි, සේද මාවත ඔස්සේ චීන දේශයට ගමන්කළ වෙළඳ නඩ භාවිතකළ භාෂාවෙන් සිය ආඥාවන් සහ පාලන මූලධර්ම සටහන් කර තැබීම සිය පණිවිඩයන් සූක්ෂමව චීන අධිරාජ්‍යා දැනුවත් කරවීමට යොදාගැනීමකි. පාඨකයාට කියවීම සහ ‍තේරුම් ගැනීමට පහසු ආකාරයට ලේඛණ මාධ්‍ය යොදාගැනීම යහපත් සන්නිවේදන කටයුත්තකි.

ජේම්ස් ප්‍රින්සෙප් නම් බ්‍රිතාන්‍ය ජාතික විද්වතා 1839 දී  බ්‍රහ්මීය අක්ෂර කියවා අර්ථදැක්වීමට සමත්වීමත් සමග අශෝක අධිරාජ්‍යා විසින් පනවන ලද ආඥාවන් වල අන්තර්ගතය කියවා තේරුම් ගැනීමට වර්තමාන පරීක්ෂකයන්ට අවස්ථාව උදාව ඇත. එහෙත් අශෝක ටැම් සහ ස්ථම්භ ලිපි සියල්ල කියවා සම්පූර්ණ විමර්ශණයක් දැනට කර නොමැති බව මෙම ලියුම්කරුගේ විශ්වාසයයි. එම විමර්ශණාත්මක පර්යේෂණ ගැඹුරු අධ්‍යනයන් සඳහා විද්වතුන් යොමුවිය යුතු බව මෙම ලියුම්කරුගේ මතයයි.

ටැම් ලිපි සෙල් ලිපි සහ ස්ථම්භ ලිපි වල අන්තර්ගතව ඇත්තේ මොනවාද?

කාලිංග දේශය ආක්‍රමණය කිරීමේදී තමන් විසින් කරන ලද සැහැසි විනාශකාරී යුධ ක්‍රියාවලිය ගැන කලකිරී බුදු දහම වැළඳගෙන චණ්ඩාශෝක ධර්‍මාශෝක නමින් පුනරුදය වූ බවට ඉතිහාසය සඳහන් කර ඇත. දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව ටැම් ලිපි සෙල් ලිපි සහ ස්ථම්භ ලිපි වල කොටා ඇත්තේ බුදු දහමෙන් පෝෂනය වූ මූලධර්‍ම රාජ්‍ය පාලනයට යොදාගන්නා ආකාරය සමාජගත කරවීමටය. එම ලේඛණ වල බෞද්ධයන් අනුගමනය කරන පන්සිල් හෝ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය වැනි දේ ගැන සඳහනක් කොට නොමැත. එබැවින් ජනහිතකාමී සහ ජනතාවාදී පරාර්ථය උදෙසා රාජ්‍ය තන්ත්‍රය හැසිරවිය යුතු ආකාරය ප්‍රථමයෙන්ම ලොවට හඳුන්වාදීමේ ගෞරවය අශෝක අධිරාජ්‍යාට හිමි විය යුතුය. වර්තමානයේ යහපාලනයන් සමාජගත කරවීමට කෙකරගාන්නන්ට ඉහත සඳහන් මුලාශ්‍ර වලින් ලබාගත හැකි උපදේශණයන් අසීමිතය. ‍බුදු දහම චීන දේශයට පිවිසීමත් සමග එවකට සිටි පාලකයින් සැහැසි සහ කෲර පීඩනයන්ට පාලිතයන් ලක් නොකරීමට කටයුතු කිරීම චීනදේශයේ විශාල පරහිතකාමී පාලන තන්ත්‍රයන් හේතුවෙන් විශාල පුනරුදයක් සිදුවු බවට ඓතිහාසික සාධක ගෙනහැර පායි.  ට්ෂිංග්හුවා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වන්ග් හුයි ප්‍රකාශ කරනුයේ චීන සංස්කෘතියේ සුවිශේෂී බහු ආගමික සහ බහු ආගමික සංහිඳියාව සමාජගතවුයේ ඉන්දියාවේ සිට පැමිණි බුදු දහමේ බලපෑම හේතුවෙනි. ටැංග් රාජවංශයේ පාලන අවධියේ සිට බුදු දහම චීන දේශයේ විශාල ප්‍රගතියක් ඇතිකර තිබේ.

චරත භික්කවේ චාරිකං බහුජන සුඛාය, ලෝකානුකම්පාය, අත්තාය සුඛාය යනුවෙන් දූතියපාත සූත්‍රයේ බුදුරජානන් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ විශේෂයින් පොදුජන යහපත උදෙසා කටයුතු කරවීම සිය අනුගාමී සංඝයා වහන්සේලාට චාරිකාවේ යෙදෙමින් ධර්ම ප්‍රචාරණයේ යෙදෙන ලෙසටය. මෙකී තත්වයන්ගෙන් ඔබ්බට යමින් අශෝක අධිරාජ්‍යා බුදු දහමේ රාජ්‍යපාලනයට අදාලව පොදු ජන යහපත උදෙසා යොදාගැනීමට සම්මත පරිචයක් පාලකයන්ට හඳුන්වාදීම අරමුණු කරගනිමින් සිය පාලන කාලයේදී ටැම් ලිපි සෙල් ලිපි සහ ස්ථම්භ ලිපි වල කොටා තැබීමට කටයුතු කර තිබීම ඉතා දූරදර්ශී ක්‍රියාවක් බව තේරුම් ගත හැක්කේ වර්තමානයේ ආගම් සහ විවිධ ඇදහිලි සහ විශ්වාසයන් පාලකයින් සියබලය රැක ගැනීම උදෙසා මහජන මතය නොමඟ යැවීමට යොදාගන්නා ආකාරය දුටු විටය.

ආසියාවේ ආශ්චර්යට පූර්වාරම්බය ලබාදී ඇත්තේ දැනට සහශ්‍ර තුනකට පෙර ආක්‍රමණශීලී යුධ මානසිකත්වයකින් මහා ජන සංහාරයක් කළ, බුදු දහමේ සඳහන් මූලික සිද්ධාන්ත වලට යටත් සතර බ්‍රහ්ම විවරණ අනුව කටයුතු කිරීමට සහ රාජ්‍ය පාලන ක්‍රම වේදය වෙනස් කරවීමට මුලිකවු අශෝක අධිරාජ්‍යාගේ මග පෙන්වීම තුලින් බව සනාථ කරවීමට ඕනෑතරම් සාක්ෂි සාධක ඇත.

කුමක් හෝ දර්ශනයක් මත ගොනු නොවූ මහින්ද චින්තනය..

වර්තමානයේ රාජ්‍ය පාලකයින් සිය ආත්මාර්ථය උදෙසා දේශපාලන බලය පාලිතයින්ගෙන් සොරා ගැනීමට සංනිවේදන ක්‍රම උපායන් යොදවා ගන්නා ආකාරය කනගාටුදායකය. ඡන්ද දායකයින් සහ පුරවැසියන් තමන් වටා කැරකෙන තොරතුරු ප්‍රමාණයෙන් තුෂ්ණිම්භූතවී සිටී. ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය අන්තර්ජාලය ඔස්සේ සුහුරු තාක්ෂණික මෙවලම් ඔස්සේ සත්‍ය විකෘති කොට  දුර්මතය වැපිරවීමට යොදාගැනීම අසත්‍ය සහ අර්ධ සත්‍ය වැපිරවීම නිසා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමවේදයන්හී පොදුවේ මහජන මතය මුලාකිරීමට සමත්ව ඇත.

මහින්දාගමනයට තුඩු දුන් ඓතිහාසික තත්වය පිලිබඳ අධ්‍යනයක් කළවිට, එය චිරාත් කාලයක් රඳා පැවතීමට හේතුව සත්‍ය පදනම් කරගනිමින් පරාර්ථය පිණිස යොදාගැනීමට පෙළඹවූ නිසා බව පිලිගැනීමට හැක. එහෙත් කුමක් හෝ දර්ශනයක් මත ගොනු නොවූ එක්තරා චින්තනයක් (මහින්ද චින්තනය) ආසියාවේ ආශ්චර්ය උදාකරනු ඇති බවට විශ්වාස කරවීමට වර්තමානයේ ජනමාධ්‍ය අවභාවිතා කරමින් ජනමතය නොමග යවා සිය ගජමිතුරු කල්ලියට කරල පැහෙන තත්වයකට රාජ්‍ය පාලනය පෙලගැස්සවීම වර්තමානයේ සියළු ශ්‍රී ලාංකේයන් මුහුණපාන අවාසනාවන්ත තත්වය උදාකරදීමට හේතුකාරනා වීය.  

මෙම තත්වය වෙනස් වියයුතු අතර එය නිවැරදිව සමාජගත කරවීමට ජනමාධ්‍යවේදීන් විශාල කැපවීමක් කරමින්, ජනාතා විරෝධී අණපණත් පරාජය කරමින් විසි එක්වෙනි ශතවර්ෂයේ අභියෝග හඳුනාගෙන ඒවා නිරාකරණය කරගත හැකි නව ජවයක් සහිත නායකත්වයක් ජනසම්මතවාදීව තෝරාපත් කරගැනීමට කටයුතු කළ යුතුව ඇත. 

ජයශ්‍රී ප්‍රියලාල්

No comments:

Post a Comment