තායිලන්ත තරුණයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සිහිනය බිඳ වැටෙයි ද? හමුදා ජුන්ටාව සමඟ ප්‍රභූ පංතිය බලය අතහැර නොයෑමේ කුමන්ත්‍රණය අරඹයි..!
-ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.14, ප.ව.8.20) තායිලන්තය සිය නව අගමැතිවරයා වශයෙන් "Move Forward" පක්ෂයේ තරුණ නායක පීටා ලිම්ජාරෝඑන්රත් (Pita Limjaroenrat) තෝරාපත් කර ගැනීමට පැය කිහිපයකට පෙර එරට මැතිවරණ කොමිසම තම සුපුරුදු උපක්‍රමයක් අනුගමනය කරමින් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කළේ ය. ඒ හරහා ඔහුට අගමැතිධූරයට පත්වීමට තිබූ අවස්ථා අවමකර රටේ බහුතරයක් පසුගිය මහ මැතිවරණයේදී අනුමත කළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මකවීම වළක්වා තිබේ. තායිලන්තය මැතිවරණ කොමිසම මෙහෙයවන එරට හමුදා ජුන්ටාව මේ කුමන්ත්‍රණය තවත් ඉදිරියට ගෙන යමින් තමන් විසින් තායිලන්ත සෙනෙට් සභාවට පත් කළ රූකඩ නියෝජිතයන් 250 දෙනා පසුගිය බ්‍රහස්පතින්දා (13) පැවැති පාර්ලිමේන්තු රැස්වීමට සහභාගීවීම වළක්වා තිබේ. ඒ අනුව "Move Forward" පක්ෂයේ නායක පීටා ලිම්ජාරෝඑන්රත්ට ඡන්ද 376 සීමාවට පැමිණීමට නොහැකි විය. පීටාට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 324 කි. මේ තත්ත්වය හේතුවෙන් නව අගමැතිවරයෙකු සහ නව ආණ්ඩුවක් පත් කර ගැනීමට නොහැකි වූ අතර තායිලන්ත මිලිටරි ජුන්ටාවට අවශ්‍ය දේශපාලන අර්බූදය දැන් නිර්මාණය වී තිබේ.
තායිලන්තයේ තරුණ සිහිනය බිඳවැටෙයි ද?
පසුගිය බ්‍රහස්පතින්දා, ඊයේ (13) තායිලන්තය පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ නව අගමැතිවරයා තෝරා ගැනීමට නියමිත තිබූ අතර පසුගිය මහ මැතිවරණයේදී ආසන 151 ලබාගත් "Move Forward" පක්ෂය ප්‍රමුඛ පක්ෂ අටක් එක්ව පීටා ලිම්ජාරෝඑන්රත්ගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමින් සිටියේ ය. නව අගමැතිවරයා වශයෙන් හතළිස්දෙහැවිරිදි පීටා ලිම්ජාරෝඑන්රත් තෝරා ගැනීමට නියමිතව තිබිණි. එහෙත් එයට පැය කිහිපයකට පෙර මැතිවරණ කොමිසම මේ කුමන්ත්‍රණය දියත් කළේ පීටා ලිම්ජාරෝඑන්රත් මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමිනි. ඒ පිළිබඳ විභාග කිරීමට ව්‍යවස්ථා අධිකරණයට යොමු කර ඇති බව මැතිවරණ කොමිසම හෙළි කළේ ය. අදාළ පරීක්ෂණ සිදු කරන තුරු "Move Forward" පක්ෂයේ නායක පීටා ලිම්ජාරෝඑන්රත්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අත්හිටුවන ලෙසට මැතිවරණ කොමිසම අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
හමුදා ජුන්ටාව අත නැටවෙන මැතිවරණ කොමිසම…
තායිලන්ත මැතිවරණ කොමිසම යනු ස්වාධීන ආයතනයක් නොවේ. එය තායිලන්ත හමුදා ජුන්ටාව සහ තායිලන්තය රජු අත නැටවෙන උපකරණයකි. මෙයට පෙර ද හමුදා ජුන්ටාවට සහ රජ පවුලට අභියෝගයක් විය හැකි විපක්ෂයේ දේශපාලඥයන් සහ පක්ෂ විනාශ කිරීමට තායිලන්ත මැතිවරණ කොමිසම මැදිහත් විය. පසුගිය මහ මැතිවරණයෙන් "Move Forward" ඇතුළු ප්‍රතිසංස්කරණවාදී පක්ෂ අති විශිෂ්ට ජයක් ලැබුවද තායිලන්ත හමුදා ජුන්ටාව සහ රජු ඔවුනට ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබානොදීමේ අනතුරක් ඇති බව අපි "තායිලන්තයේ තරුණ අරගලකරුවෝ මහ මැතිවරණය ජය ගත්තේ කෙළෙසද? ජයග්‍රහණයේ රහස සහ අපිට ලැබෙන පාඩම්" ලිපියෙන් පෙන්වා දුන්නෙමු. මේ මොහොතේ ක්‍රියාත්මක වන්නේ එම කුමන්ත්‍රණයයි. තායිලන්ත හමුදා ජුන්ටාව පසුගිය මැයි මස මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගත් "Move Forward" ප්‍රමුඛ සන්ධානයට ආණ්ඩුවක් පිහිටුවීමේ අයිතිය පැහැර ගෙන ඇත.
වසර 2019 චෝදනාවක් දැන් මතුවේ…
"Move Forward" නායක පීටාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාව වන්නේ වසර 2019 මැතිවරණයට තරඟ කළ අවස්ථාවේ දී, ඔහු මාධ්‍ය ආයතනයක තමන් සතුව තිබෙන කොටස් පිළිබඳ හෙළිදරව් නොකිරීමයි. මේ චෝදනාව දැන් මතු කර ඇත්තේ පීටා අගමැතිවීම මෙන්ම ඔහුගේ පක්ෂය පොරොන්දු වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මකවීම වැළැක්වීම සඳහාය. තායිලන්ත නීතිය අනුව එම වරද සඳහා වසර තුනක උපරිම සිරදඬුවමක් සහ/හෝ බාට් 60,000 (ඇ.ඩොලර් 1,720) දක්වා දඩයකට යටත් කළ හැකිය. හමුදා ආණ්ඩුවේ නීති උපදේශක, සහ භාරකාර නියෝජ්‍ය අගමැති Wissanu Krea-ngam කියා සිටින්නේ පීටාට එරෙහි චෝදනාව අනුව මැයි මාසයේ පැවැති මහ මැතිවරණයේ ප්‍රතිඵල බල රහිත කර, නව මැතිවරණයක් පැවැත්විය හැකි බවයි! ක්‍රමන්ත්‍රණය ඉතා පැහැදිලිය!
තරුණයන් මෙහෙයවූ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය..
තායිලන්ත මැතිවරණ කොමිසම කොටස් හිමිකම පිළිබඳ නඩුව ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු, ව්‍යවස්ථාදායක අධිකරණය ප්‍රකාශ කළේ තායිලන්තයේ දරුණු ලෙස් මැජෙස්ටේ නීතිය (lese majeste law) සංශෝධනය කිරීමට "Move Forward" පක්ෂය සහ එහි නායක පීටා ලබාදුන් මැතිවරණ පොරොන්දුවට එරෙහිව පෙත්සමක් තමන් පිළිගෙන ඇති බවයි. 112 වැනි වගන්තිය ලෙසද හැඳින්වෙන මේ නීතිය යටතේ, රජුට, ඔහුගේ සමීපතම පවුලට හෝ රාජ්‍ය නායකයාට අපහාස කිරීම සහ ඔවුන් විවේචනය කිරීම වසර 3 සිට 15 දක්වා සිර දඬුවමක් ලැබිය හැකි වරදකි! පසුගිය මැයි මාසයේ පැවැති මහ මැතිවරණයේදී තායිලන්තයේ නියෝජන මන්ත්‍රණ සභාවේ ආසන 500ක් සඳහා දේශපාලන පක්ෂ ගණනාවක් තරඟ වැදුනේය. එහිදී "පීටා ලිම්ජාරෝඑන්රත්ගේ "Move Forward" පක්ෂය ආසන 151ක් (සියයට 38.5) දිනා ගනිමින් පළමු ස්ථානයට පැමිණියේ ය. එය තායිලන්ත තරුණයන් මෙහෙයවූ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයකි. තායිලන්තය සඳහා ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළ හිටපු තායිලන්ත අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය වන පේටොංටාර්න් ෂිනවත්‍රා නායකත්වය ලබා දෙන "Pheu Thai" ආසන 141ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්විය. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින එම පක්ෂය සියයට 29ක ඡන්ද ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට සමත් විය. එහෙත් අගමැති ප්‍රයුත් චාන්-ඕචාගේ හමුදා ජුන්ටාවට අයත් සියලු පක්ෂ වලට ගත හැකි වූයේ සියයට 15ක ඡන්ද ප්‍රමාණයක් පමණි. "Move Forward" ප්‍රමුඛ සන්ධානයට ආසන 311ක් හිමිව තිබේ.
හමුදා ජුන්ටාව පත් කළ සෙනෙට් මණ්ඩලය…
හමුදා ජුන්ටාව හඳුන්වාදුන් නව ව්‍යවස්ථාව යටතේ තායිලන්තයට නියෝජිතයන් 250 කින් යුතු නව සෙනෙට් සභාවක් නිර්මාණය කළ අතර මේ සෙනෙට් සභිකයන් සියළු දෙනා "රාජකීය තායි හමුදාවන්" විසින් නම් කරන නියෝජිතයෝ වූහ! අගමැතිවරයා තෝරා ගැනීමේදී ඡන්දයෙන් පත්වන නියෝජිතයන් 500කින් යුතු නියෝජිත මන්ත්‍රණ සභාව මෙන්ම හමුදා ජුන්ටාව විසින් පත් කරන සෙනෙට් මණ්ඩලය එකසේ වැදගත් ය. අගමැතිවරයා තෝරාගනු ලබන්නේ මේ ආයතන දෙකේ වැඩි කැමැත්ත ඇති නියෝජිතයා ගෙනි. අගමැතිවරයා නියෝජිතයන් 376ක ගේ අවම සහයක් ලබා ගත යුතුය. " Move Forward" ප්‍රමුඛ පක්ෂ අටේ සන්ධානයට ආසන 311ක බලයක් තිබේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා පෙනී සිටින එම සන්ධානයට හමුදාව විසින් සෙනෙට් මණ්ඩලයට පත් කළ ඇම්බැට්ටයන්ගේ සහය ලැබේ යැයි සිතිය නොහැක.
හමුදා කුමන්ත්‍රණයන්ගෙන් පිරීගිය තායිලන්තය ….
වසර 1932 දී තායිලන්තය පූර්ණ රාජාණ්ඩු ක්‍රමයෙන් වෙන්වූ අතර ඉන් පසුව ගතවූ දශක නමයක කාලයේදී එහි සිදුවූ හමුදා ක්‍රමන්ත්‍රණ ගණන දුසිමකට අධිකය. ඕනෑම සිවිල් ආණ්ඩුවක් ස්ථාවර වී ඉදිරියට යන අවස්ථාවක හමුදාව මැදිහත්වී ආණ්ඩු බලය පැහැර ගැනීම තායිලන්තයේ සාමාන්‍ය තත්ත්වයකි. හමුදාව සහ ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවේ නායකයා වන රජු පොදු ඒකකයක් වශයෙන් කටයුතු කරති. ඔවුහු රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිතවීමට ඉඩ නොදෙති. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයන්ගෙන් බලයට එන දේශපාලන පක්ෂයන්ට ආණ්ඩු බලය ලබා නොදෙති.
තායිලන්තය පාරේ යන මියන්මාරය..
මෙය තායිලන්තයේ පමණක් දක්නට ලැබෙන සංසිද්ධියක් නොවේ. හමුදාව ශක්තිමත්ව ඇති රටවල් ගණනාවක මේ තත්ත්වය දැකිය හැක. මියන්මාරය මේ සඳහා තවත් නිදසුනකි. මියන්මාරයේ කිසිදිනෙක පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවැතියේ නැත. අවුන්සාන් සුකී වසර 1988 දී National League for Democracy (NLD) නමින් අනාගමික දේශපාලන පක්ෂයක් ආරම්භ කළේ ය. එය ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂය, පකිස්ථානයේ මහජන පක්ෂය, ලංකාවේ එක්සත් ජාතික පක්ෂය මෙන් සියළු ජනවර්ග ඒකරාශී කළ දේශපාලන බලවේගයක් විය. දශක ගණනාවකට පසුව වසර 1990 දී පැවති මහ මැතිවරණයට සුකිගේ නව පක්ෂ තරඟ කළේ ය. එම මැතිවරණයෙන් NLD විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් අතර (සමස්ත ආසන සංඛ්‍යාවෙන් සියයට 81ක්) සුකී නව රාජ්‍ය නායකයා වශයෙන් තේරී පත් වූවාය.
සුකී මැතිවරණය ජයග්‍රහණය කිරීමේ වරදට නිවාස අඩස්සියට..
එහෙත් මියන්මාර් හමුදා ජුන්ටාව බලය අත්හැරීම ප්‍රතික්ෂේප කළේ ය. ඔවුහු මැතිවරණ ප්‍රතිඵල අවලංගු කළහ. අවුන්සාන් සුකීව අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියේ තැබීය. වසර 1990 සිට 2010 දක්වා ඇය නිවාස අඩස්සියේ පසුවූවාය. දිගුකාලීන ජාත්‍යන්තර බලපෑම් හේතුවෙන් දශක දෙකකට පසුව බලය අතහරින බව හමුදා ජුන්ටාව ප්‍රකාශ කළේ ය. එහෙත් ජුන්ටාව, මහ මැතිවරණයෙන් බලයට පත්වන කණ්ඩායමට සම්පූර්ණයෙන් බලය පැවරීමට සූදානම් නොවීය. ඒ අනුව වසර 2010 දී පැවති මැතිවරණ වර්ජනය කිරීමට සුකීගේ NDL පක්ෂය තීරණය කළේ ය. හමුදා ජුන්ටාවේ රූකඩ පක්ෂය වූ Union Solidarity and Development Party (USDP) එම මැතිවරණය ජයග්‍රහණය කළේ ය. වසර 2012 පැවති අතුරු මැතිවරණ සඳහා සුකිගේ පක්ෂය ආසන 45ක් සඳහා තරඟ කළ අතර එයින් 43ක් ජය ගත්තේ ය. සුකී විපක්ෂ නායිකාව බවට පත් වූවාය. ඉන් පසුව ඇය මියන්මාරයේ සිවිල් පාලනයක් ස්ථාපිත කිරීම සඳහා හමුදා ජුන්ටාව සමඟ සාකච්ඡා කරමින් එකඟතාවයක් ඇති කර ගැනීමට උත්සාහ ගත්තාය.
සියල්ලට ඉහළින් හමුදා ජුන්ටාව..
එහෙත් හමුදා ජුන්ටාව ආරක්ෂාව, කර්මාන්ත සහ වෙළෙඳ ඇතුළු මර්මස්ථාන අතහැරීමට සූදානම් නොවීය. මේ තත්ත්වය යටතේ වසර 2015දී පැවති මහ මැතිවරණයෙන් අවුන්සාන් සුකීගේ National League for Democracy (NDL) පක්ෂය සමස්ත ආසන සංඛ්‍යාවෙන් සියයට 86 ක් ජය ගෙන බලය ලබා ගත්ත ද පූර්ණ සිවිල් පාලනයක් ස්ථාපිත කිරීමට නොහැකි විය. හමුදා ජුන්ටාව ආරක්ෂාව, කර්මාන්ත සහ වෙළෙඳ ඇතුළු මර්මස්ථාන අතහැරීමට සූදානම් නොවීය. ජුන්ටාවේ රූකඩයක් වූ USDP පක්ෂය අන්ත පරාජයකට පත් විය. එහෙත් සියල්ලට ඉහළින් හමුදා ජුන්ටාව වූ අතර ඔවුන් සිවිල් පාලනයක් ස්ථාපිත වීමට ඉඩ නොදුන්නේය. වසර 2020 නොවැම්බර් මැතිවරණයේදී සමස්ත ආසන ප්‍රමාණයෙන් සියයට 86ක් ජය ගැනීමට සුකීගේ පක්ෂය සමත් විය. හමුදාව වෙනුවෙන් පෙනී සිටි පක්ෂ අන්ත පරාජයකට මුහුණ දුන්නේ ය. එහෙත් හමුදා ජුන්ටාව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබානොදී කුමන්ත්‍රණයක් හරහා බලය අත්පත් කර ගත්තේ ය. වසර 1990 දී මෙන් මැතිවරණ ජයගත් වරදට සුකී ඇතුළු NDL නායකයන් දහස් ගණනින් අත්අඩංගුවට ගෙන තිබේ.
තායිලන්තයේ යළිත් හමුදා කුමන්ත්‍රණයක්?
පසුගිය වසර දාහතක කාලය තුළ තායිලන්තයේ හමුදා කුමන්ත්‍රණ දෙකක් සිදුවී ඇති අතර ඒ අවස්ථා දෙකේදීම හමුදාව බලය අත්පත් කර ගත්තේ රට තුළ "දේශපාලන අස්ථාවරත්වයක්" නිර්මාණයවී ඇති බව කියමිනි. එම දේශපාලන අස්ථාවරත්වය නිර්මාණය කිරීමට දායක වූයේත් එම හමුදා ජුන්ටාවයි. මෙවර ද වාදනය කරන්නේ එම පැරණි තැටියයි. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බලයට පත්වූ දේශපාලන පක්ෂවලට ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබානොදී ඒ හරහා දේශපාලන ව්‍යාකූලත්වයක් සහ රටපුරා විරෝධතා මතුවීමට පරිසරය නිර්මාණය කරන්නේ හමුදා ජුන්ටාවයි. ඒ අර්බූදකාරී තත්ත්වය උපයෝගීකර ගනිමින් ඔවුන් ඕනෑම මොහොතක යළි බලය පැහැර ගනු ඇත.
ප්‍රජාත්‍රන්ත්‍රවාදී ජනතා විප්ලවයට එරෙහිව ප්‍රභූ පංතියේ ප්‍රති විප්ලවය…
"Move Forward" පක්ෂය ප්‍රමුඛ පක්ෂ අටේ සන්ධානය පෙනී සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙනි. එම වැඩපිළිවෙළේ ප්‍රධාන ප්‍රකාශකයා වූයේ තරුණ නායක පීටා ලිම්ජාරෝඑන්රත් ය. හමුදාකරණය අවම කිරීම, රජුගේ බලපෑම පාලනය කිරීම, මධ්‍යයට කේන්ද්‍රවී ඇති බලය විමධ්‍යගත කිරීම එම ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලේ ප්‍රධාන අංග විය. මෙය සෘජුවම තායිලන්ත හමුදාව, රජ පවුල සහ දේශපාලන ප්‍රභු පංතිය දශක නමයකට අධික කාලයක් පුරා භුක්තිවිඳි බලයට එල්ල වන තර්ජනයකි, අභියෝගයකි, ප්‍රහාරයකි. අති බහුතරයක් තායිලන්ත ජනතාව මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පසුගිය මැයි මස මහ මැතිවරණයෙන් අනුමත කළ ද ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට තායිලන්ත ප්‍රභූ පංතිය සටනකින් තොරව ඉඩ දෙන්නේ නැත. දේශපාලන ප්‍රභූ පංතිය එම සටන දැන් ආරම්භ කර තිබේ. ඔවුන් සාමකාමී ලෙස වේදිකාවෙන් බැස යෑමට සූදානම් නැත. බොහෝවිට "Move Forward" පක්ෂය තහනම් කර එහි නායක පීටා ලිම්ජාරෝඑන්රත්ව සිරගත කළ හැකිය. මැයි මස පැවති මැතිවරණය අවලංගු කර නව මැතිවරණයක් කැඳවිය හැක. මේ සමඟ ඇති වන "සමාජ, දේශපාලන අස්ථාවරත්වය" සමහන් කිරීමට තායිලන්ත හමුදාව යළි රටේ පාලනය අත්පත් කර ගැනීමේ විශාල සම්භාවිතාවක් තිබේ. මෙය තායිලන්තය, මියන්මාරය, පකිස්තාන ඇතුළු රටවල් ගණනාවක භාවිතා කළ සුපුරුදු ක්‍රියාමාර්ගයි. ප්‍රභූ දේශපාලන පංතියේ සහ හමුදාවේ පැරණි සූත්‍රයයි. තායිලන්ත තරුණයන් නායකත්වය ලබාදුන් ප්‍රජාත්‍රන්ත්‍රවාදී ජනතා විප්ලවයට එරෙහිව ප්‍රභූ පංතියේ ප්‍රති විප්ලවය දැන් ආරම්භවී තිබේ.
-ආනුභාවනන්ද
anubhawananda1@gmail.com
https://www.lankaenews.com/category/33

No comments:
Post a Comment