Monday, 14 August 2023

වසරකට ඩොලර් බිලියන 10-12 ක් උපයා ගැනීමට අපේ වෘත්තීය අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙසේ විය යුතුද?

-ශාන්ත ජයරත්න අලුත් මානයක් හෙළිකරයි 

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.15, පෙ.ව‍.2.15) ලංකාවේ වෘත්තීය අධ්‍යාපනයට දිගු ඉතිහාසයක් ඇත. මරදාන ටෙක්නිකල් කොලීජිය ආරම්භ වන්නේ 1893 වැනි කාලයක දීය. මා සාමාන්‍ය පෙළ සමත් වී උසස් පෙළ පංති ආරම්භ කරන තුරු ලගු ලේඛනය (Pitman) සහ යතුරු ලියනය සහතික පත්‍ර පාඨමාලාවක් හැදෑරුවේ බදුල්ල තාක්ෂණික විද්‍යාලයේය. ඒ දැනට අවුරුදු 45කට පෙරය. එම පාඨමාලාව අදටත් පැවැත්වේ. අද යම් ශිල්පියෙකුට මෙම NVQ3 සහතිකය ලබා ගැනීමෙන් පසු රැකියාවක් සොයා ගැනීම එතරම් අපහසු නොවනු ඇත.

සම්පත් දායකයින් විශාල පිරිසකගේ දායකත්වයෙන් අප විසින් පසුගිය කාලයේ විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ලංකාවට උචිත දස අවුරුදු  අධ්‍යාපන ප්‍රතිපත්තියද ඇතුළුව ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කළ අතර එහි එක් වැදගත් කොටසක් වන වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තියේ පදනම පිළිබඳව ඔබව දැණුම්වත් කිරීම මෙම ලිපියේ අරමුණ යි.

වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ සැකසු ප්‍රතිපත්ති රාමුව..

එහිදී, වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ සැකසු ප්‍රතිපත්ති රාමුව නිර්මාණය වන්නේ වාර්ෂිකව දේශීය රැකියා වෙළෙඳපොළ අවශ්‍යතා සැපිරීමට අමතරව, ගෝලීය රැකියා වෙළෙඳපොළ අභිමුඛ වෘත්තීය නිපුණතා අභිවර්ධන පුහුණු අවශ්‍යතාද සැළකිල්ලට ගනිමිනි. මෙම ප්‍රතිපත්තිය සකස් කිරීමේ දී  අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන  ක්ෂේත්‍රයේ අපගේ දැණුම, පලපුරුද්ද හා අත්දැකීම් වලට අමතරව ලංකාවේ මිනිස් බල පුහුණු ආයතන, ලෝකයේ විවිධ සංවිධාන සහ පර්යේෂණ ආයතන විසින් නිකුත් කොට ඇති වාර්තා හා පර්යේෂණ පත්‍රිකා රාශියක් ද සැලකිල්ලට ගත්තෙමු.

දේශගුණික විපර්යාස පිළිබඳ විශාල රැකියා වෙළඳ පොළක්..

ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය ගත් කල ලෝකයේ සිදුවන නව ප්‍රවනතා අනුව විශාල වෙනස් කම් රාශියකට ලක් කළ යුතුය. උදාහරණයක් හැටියට දේශගුණික විපර්යාස (Climate  Change ) පිළිබඳ මුළු ලෝකයේම අවධානය මේ වන විට යොමු වී ඇත. ඒ හරහා දේශීයව මෙන්ම විදේශීයව විශාල රැකියා වෙළෙඳපොළක් නිර්මාණය වෙමින් ඇත. මෙම වෙළෙඳපොළින් කොටසක් අත් පත් කරගැනීම සඳහා ලංකාවේ වෘත්තීය පුහුණු ආයතන හෝ විශ්වවිද්‍යාල කෙතරම් සූදානම් ද?

දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතිය (Paris Agreement) යටතේ ලෝකයේ රටවල්  ජාතික මට්ටමින් ක්‍රියාත්මක කල යුතු එකඟතා (Nationally Determined Contributions NDCs) හයක් ඇත. ඒවා නම් විදුලිය , ප්‍රවාහනය , කර්මාන්ත , කසල කළමනාකරණය, වන වගාව සහ කෘෂිකර්මාන්තය  යනාදිය යි. ඒ සඳහා සෑම රටක්ම අනුගමනය කළ යුතු ක්‍රමවේද, අත්කර ගත යුතු දර්ශක සහ ඉලක්ක රාශියක් ඇත. ලංකාවේ රජයත් මීට අදාළ යම් යම් කටයුතු සිදු කළත් මෙහිදී ඔබගේ අවධානය යොමු කරන්නේ මේ හරහා ඇති වන විවිධ වෘතීයමය රැකියා අවස්ථා ලබා ගැනීමට අපගේ තරුණ තරුණියන්ට අවශ්‍ය  නිපුණතා අඩුපාඩු (Skill Gaps) සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය පුහුණුව හා පලපුරුද්ද ලබා දීමට මෙම ප්‍රතිපත්තිය තුල ඇති අවකාශය පැහැදිලි කිරීම යි.

කිසිවෙක් අවධානය යොමු කර නෑ..

පැරිස් සම්මුතියට අදාළ ඉහත කරුණු හය ආශ්‍රිතව විශාල රැකියා ප්‍රමාණයක් දේශීයව මෙන්ම ගෝලීයවත් නිර්මාණය වෙමින් ඇත.  එහෙත් ලංකාවේ තාක්ෂණික පුහුණු ආයතන  (Technical Colleges) හෝ විශ්වවිද්‍යාල මේ සම්බන්ධව නිසි අවධානයක් යොමු කොට අවශ්‍ය පුහුණු පාඨමාලා හඳුන්වා දීමට ප්‍රමාණවත් ලෙස  කටයුතු කොට තිබෙනවා ද කියා සැක සහිතය. උදාහරණයක් හැටියට, ලංකාවේ දිගුකාලීන විදුලි ජනන සැලැස්ම අනුව (Long Term Power Generation Plan ) 2030 දී රටේ විදුලි අවශ්‍යතාවයෙන් 70% ක් සැපැයීමට බලාපොරොත්තු වන්නේ පුනර්ජණනීය බල ශක්තියෙනි. මෙය දේශගුණික විපර්‍යාස සම්මුතියට අනුකූලව ලංකාවේ රජය විසින් ගෙන ඇති තීරණයකි. මේ හරහා කෙතරම් පුහුණු ශ්‍රමිකයන් සඳහා රැකියා අවස්ථා නිර්මාණය වෙයිද? එහෙත් ඒ පිළිබඳව කිසිවෙක් අවධානය යොමු කරන බවක් පේන්නට නැත.

යෝජිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමේදී අප  අනුගමනය කරන ක්‍රමවේදය වෙනස් වන්නේ මෙසේය . උදාහරණයක් හැටියට අප විසින් විදුලි බල මණ්ඩලය හෝ මෙම කටයුතු වලට සම්බන්ධ වෙනත් පෞද්ගලික හෝ රජයේ ආයතන වලින් කල් වේලා ඇතිව  විමසා ඔවුන්ට අවශ්‍ය ශ්‍රමිකයන් කවුද , කොපමණද , අදාළ ශ්‍රමිකයන්ගෙන් බලාපොරොත්තු වන කුසලතා කවරේද යන්න විමසා ඒ අනුව පුහුණු පාඨමාලා සකස් කොට රැකියා  වෙළෙඳපොළට අවශ්‍ය පිරිස් සූදානම් කිරීම යි. රටේ තිබෙන තාක්ෂනික පුහුණු ආයතන තරුණ තරුණියන් බඳවා ගැනෙන්නේ මෙවැනි පාඨමාලා සඳහා ය. අනෙකුත් ක්ෂේත්‍ර වලදී සිදුවන්නේත් එවැනි ක්‍රමවේදයකි.

ජපානයේ යුරෝපයේ විශාල ශ්‍රම වෙළෙඳපොළක්...

ජපානයේ වැඩිහිටි ප්‍රජාවේ සීඝ්‍ර ඉහළ යාම තුල විශාල ශ්‍රම වෙළෙඳපොළක් නිර්මාණය වෙමින් ඇත. එහි කොටසක් ලබා ගැනීමට ලංකාවට හැකිය. ඒ සඳහා අදාළ අංශ හෝ තානාපති කාර්යාල වලට සැලකිය යුතු  වැඩකොටසක් කළ හැක. යුරෝපයේ සාත්තු සේවකයින් (Care Givers) සඳහා විශාල ඉල්ලුමක් ඇත. ඒ සඳහා අවශ්‍ය වෘත්තීය පුහුණුව සහ ජාත්‍යන්තරව පිළිගන්නා සහතික ලබා දීමට අවශ්‍ය කටයුතු රජයේ මැදිහත් වීමෙන් කළ හැක. අධ්‍යාපනය ලබා දීම රජයේ වගකීමක් වන අතරම එය සැමට ලබා දෙනවාට අමතරව අධ්‍යාපනයේ සම අවස්ථා ලබා දීමටද රජය කටයුතු කළ යුතුය.

මේ වාර්තා කියවන්න...

SLYCAN Trust නැමැති දේශගුණික විපර්‍යාස පිළිබඳ දේශීය පර්යේෂණ ආයතනයක් මෑතක ඉදිරිපත් කළ වාර්තාවකට අනුව ලංකාවේ පුනර්ජණනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් තාක්ෂණික ශිල්පීන්  (Technicians) 1650 ක, සහ තාක්ෂණික සහකාර වරුන් (Technical Assistants)1,100 ක හිඟයක් තිබෙන බව ප්‍රකාශ කරයි. තවද  ඉදිරියේදී ඇති වන ව්‍යාපෘතීන් සඳහා  තාක්ෂණික ශිල්පීන් 5,300 ක සහ තාක්ෂණික සහකාර වරුන් 2,900 ක අවශ්‍යතාවක් තිබෙන බව ඔවුන්ගේ වාර්තාවේ කියති. මේ එක් උදාහරණයක් පමණි.

https://www.ft.lk/columns/Building-competencies-for-a-just-transition-Climate-change-and-TVET/4-751708

ජාත්‍යන්තර පුනර්ජණනීය බලශක්ති ඒජන්සිය (International Renewable Energy Agency (IRENA) විසින් 2021 නිකුත් කළ වාර්තාවකට අනුව (පිටුව 54) 2030 වන විට ලෝකයේ පුනර්ජණනීය බලශක්ති ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා මිලියන 37.8 ක් ද, 2050 වසර වන විට එය මිලියන 43.4 දක්වා ද වැඩි වන බව පෙන්වා දී ඇත. අපගේ සැලසුම් සකස් කිරීමේ දී මේවාද සැලකිල්ලට ගෙන ඇත.

https://www.irena.org/-/media/Files/IRENA/Agency/Publication/2021/Oct/IRENA_RE_Jobs_2021.pdf

මීට අමතරව ගෝලීය ආර්ථික සමුළුව (Global Economic Forum ) 2023 මැයි මස නිකුත් කල Future of Jobs වාර්තාව අනුව 4වන කාර්මික විප්ලවයට අදාළව (4th Industrial Revolution) ඉදිරි දශක කිහිපයේ ගෝලීය රැකියා ඉල්ලුම පිළිබඳ නවතම දත්ත ඉදිරිපත් කොට ඇත. අපගේ වෘත්තීය අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කිරීමේ දී මෙම තොරතුරුද ප්‍රයෝජනවත් විය .

යෝජිත වෘත්තීය අධ්‍යාපන ප්‍රතිපත්තියට අදාළ ඉලක්ක ගත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී දැනට ක්‍රියාත්මක වෘත්තීය පුහුණු වැඩසටහන් සහ ආයතන විශාල පරිවර්තනයකට ලක් කිරීමට සිදුවනු ඇත.

වෘත්තීය පුහුණු ආයතන අතර නිසි කළමණාකරණයක් සම්බන්ධීකරණයක් නෑ..

ලංකාවේ වෘත්තීය අධ්‍යාපන දෙපාර්තමේන්තුවට (Department of Technical Education) අයත් තාක්ෂණික ආයතන 33 ක් රට පුරා තිබේ. මින් 31 ක් ආරම්භ වී තිබෙන්නේ ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමටත් පෙරය. ඊට අමතරව උසස් තාක්ෂණික ආයතන (ATIs) 19 ක් ද ඇත. ඒවගේම, ජාතික අධුනිකත්ව සහ කර්මාන්ත පුහුණු ආයතන රාශියක් ද (NAITA) රට පුරා ඇත. වෙනත් රජයේ ආයතන වලට අනුබද්ධ වෘත්තීය පුහුණු ආයතනද සිය ගණනක් තිබේ. උදාහරණයක් හැටියට විදේශ රැකියා සඳහා යවන්නන්ගේ පුහුණු ලබා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුබද්ධ වෙනම පුහුණු ආයතන රාශියක් පිහිටුවා ඇත.  මීට අමතරව තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (Tertiary and Vocational Education Commission) විසින් අනුමත කරන ලද රජයේ සහ පෞද්ගලික පුහුණු ආයතන 2281 ක් ලංකාවේ පළාත් නවයේම පවත්වා ගෙන යයි. මෙම කටයුතු පරිපාලනය කිරීම සඳහා විවිධ ආයතන ඇති අතර ඒවා සමහරක් අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් වන අතර තවත් සමහරක් වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට ගැසට් කොට ඇත. ඒවා අතර නිසියාකාර  කළමනාකරණයක් හෝ සම්බන්ධීකරණයක් නැත. එකම කටයුත්ත විවිධ ආයතන විවිධ මට්ටමින් කිරීම හේතුවෙන් මෙම ආයතන ප්‍රශස්ත ආකාරයට ප්‍රයෝජනයට නොගනී. මෙම ආයතන  පවත්වාගෙන යාම සහ නඩත්තුව සඳහාද විශාල මුදලක් වාර්ෂිකව වැය කිරීමටද සිදුව ඇත.  ආයතන හා පරිපාලන ඒකක රාශියක් නඩත්තු කිරීම හරහා සිදුවන නාස්තිය , ප්‍රමාදය, දූෂණය , සම්බන්ධීකරණ දුර්වලතා, ඇගැයීම් සහ තත්වපාලන ප්‍රශ්න  (Quality Control Issues ) මග හරවා ගැනීම සඳහා එක් පූර්ණ බලැති ස්වාධීන නියාමන අධිකාරියක් යටතට මෙම ආයතන සියල්ල ගෙන ඒමේ අවශ්‍යතාවක් මෙම ප්‍රතිපත්තිය යෝජනා කරයි.

දේශීය හා ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් සපයා වාර්ෂිකව ඩොලර් බිලියන 10-12 ක්...

දේශීය හා ජාත්‍යන්තර  ශ්‍රම වෙළෙඳපොළට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් නිර්මාණය වන්නේ මෙම අධිකාරිය යටතේ පාලනය වන  ආයතන හරහා ය. රටේ පවතින කර්මාන්ත , ඉදිකිරීම් සමාගම්, පරිඝණක සේවා සපයන ආයතන, හෝ වෙනත්  ඕනෑම ආයතනයකට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් අවශ්‍ය පමණින් මෙම අධිකාරිය හරහා ලබා ගත හැක. සියලු  ශිල්පීන් ජාත්‍යන්තරව පිළිගත් ඩිප්ලෝමා , උසස් ඩිප්ලෝමා සහතික ලාභීන් වන අතර අවශ්‍ය වන්නේ නම් ඔවුන්ට උපාධිය හා පස්චාත් උපාධිය දක්වා වුවද අධ්‍යාපනය ලබා දීමට රජය කටයුතු කරයි.

තානාපති සේවය හරහා විදේශීය රටවලට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් සැපැයීමට අවශ්‍ය ගිවිසුම් ගත වීම්, අවම මූලික වැටුප් තල, සුබසාධන කටයුතු, රැකියා සුරක්ෂිත භාවය තහවුරු කිරීම,  යනාදිය පිළිබඳ කටයුතු සියල්ල මෙම අධිකාරියේ පාලනයට යටත් වේ. මෙම යෝජිත වෘත්තීය අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුල වාර්ෂිකව ඩොලර් බිලියන 10-12 අතර ආදායමක් ආරම්භක වසර තුන ඇතුලත උපයා ගැනීමට අවශ්‍ය ඉලක්ක සපයා ඇති අතර ඉන් ඉදිරියට ආදායම තවදුරටත් ඉහළ නංවාගැනිම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මෙම ප්‍රතිපත්තිය තුල පෙන්වා දී ඇත.

-ශාන්ත ජයරත්න

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102

No comments:

Post a Comment