අපි කොහේද මේ යන්නේ?
-උසස් පෙළ සිසුවෙකුගෙන් වැඩිහිටියන්ගේ ඇස් අරවන ලිපියක්
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.07, ප.ව.11.30)
එපමණක් දේ මට අවැසි නැත.
මට බලන්නට යා නොහැකි තැනෙක,
ඇය ව සිහසුනෙක තබනු ඇත්තේ ඔවුන් ය.
රෑ කල පැමිණිවිට,
කිසිකලෙ ඇය ව නළවන්නට මට නොහැකි වනු ඇත.
එහෙයින්,
මගේ සිඟිත්තිය, ඔවුන් ලවා රැජිනක් කරවීමට
මට අවශ්‍ය නැත.”
ගේබ්‍රියෙල් මිස්ට්‍රල් කිවිඳියගේ ඉහත කවිය මා උපුටා ගත්තේ, අ.පො.ස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය විෂයට නිර්දේශිත කවි අතරිනි. මුල් ම වරට මේ කවිය කියවූ මට හැඟුණේ, ඒ මව දැඩි ආත්මාර්ථකාමී ගැහැණියක බවයි. සාමාජයට අනුව හැඩ ගැසෙන්නට තම දියණියට උදව් නොකරන ඒ මව ආත්මාර්ථකාමී තැනැත්තියක නොවන්නේ ද? අවාසනාවකට මෙන්, මට මේ පැදි පෙළ ඉගැනීමට තිබුණේ 11 ශ්‍රේණියෙහි ද අවසන් වාරයේ ය. කවියේ නියම අර්ථය, සමාජයට අනුව නොව, තමාට අනුව විවිධ රැළිවලට හසු නොවී ජීවිතය ජය ගත යුතු ආකාරය බව අවසන් වාරයෙහි නිවැරැදිව කවි පෙළ රස විඳීමට ඉගෙන ගත්තේ උපකාරක පන්තියේ ගුරුවරයාටත් පාසලේ ඉගැන්වූ ගුරුතුමියටත් පින්සිදු වන්නට ය. එය කෙතරම් ප්‍රබල වීද යත්, මා ම, මා තුළින් අසාගත් පැනය වූයේ "මා කෙතරම් සමාජයේ වහලෙකු වී ඇත් ද?" යන්නයි . මා සිතනා අයුරින් මා සමග එම විෂය ඉගෙන ගත් මිතුරන්හට ද එය හොඳින් වැටෙහෙන්න ඇතැ’යි සිතමි. එය ඇත්තෙන් ම, මට ද උසස් පෙළට විෂය තෝරා ගැනීම වැනි සමහර තෝරා ගැනීම්වලට බලපෑම් කළ අතර ම, උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණවලට සහභාගී වීම හා තවත් බොහෝ දේවල්වලදී පසුතැවිල්ලක් ද නිර්මාණය කළේ ය. කෙසේ වුව ද, සාමාන්‍ය පෙළ පාසල් අවධිය අවසන් වීමට පෙර එවැනි සිතුවිල්ලක් ඇති වීම ඇත්තෙන්ම මගේ වාසනාවක් යයි හැඟේ.
සියල්ලන්ම ඉගැන්වූ සිහිනය..
මා කුඩා කල සිට ම සහභාගී වූ උපකාරක පන්තිවල මෙන් ම පාසලේ ගුරුවරුන් ද අපට ද උපදෙස් දුන්නේ කෙසේ හෝ විභාග සමත් ව විශ්ව විද්‍යාලය සුදුසුකම් ලබා ගතයුතු බවත් ඉන් පසු ව ජීවිතය සාර්ථක වන බවත් ය. තව ද, විශ්ව විද්‍යාලය පිළිබඳ සුන්දර මතක ඔවුහු අප සමග බෙදා ගත්හ. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ, කෙසේ හෝ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හොඳින් සමත් ව විශ්වවිද්‍යාලය සුදුසුකම් ලැබීමේ ආශාවක් අප සිත් තුළ දැල්වීම ය. ඒ හැරුණ විට, වරක් පේරාදෙණිය සරසවිය නැරඹීමට අධ්‍යාපන චාරිකාවක් ද සංවිධානය වීම අප තුළ ඒ ආශාව තවත් වැඩි කිරීමට සමත් විය. එසේ ම, ඔවුන්ගෙන් අවධාරණය වූ තවත් දෙයක් නම් ගණිත හෝ විද්‍යා විෂය ධාරාවන් හැර අනික් විෂය ධාරාවන්වලින් උසස්පෙළ කිරීම වැඩකට නොමැති බව ය. සාමාන්‍ය පෙළ ලියන්නටත් පෙර උපකාරක පන්තියක සිටි අප උනන්දු කරවීමට ආ උසස්පෙළ ගණිත අංශයෙන් සමත් ව, පසුව ඉංජිනේරු පීඨයකට සුදුසුකම් ලබා තිබුණ විශ්ව විද්‍යාල සිසුවෙකු පැවසුවේ ද විද්‍යා හෝ ගණිත අංශයෙන් උසස් පෙළ නොකර, විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබීම ඵල රහිත බව ය. සියල්ලන් ම අපට ඉගැන්වුයේ අනාගතයේ අප විශ්ව විද්‍යාලයන් තුළ ගත කරන සුන්දර ජීවිතය හා අනාගතයයේ කරන රැකියාව වෙනුවෙන් සිහින දැකීමට ය.
නමුත් නව සහශ්රක අධ්‍යාපන අරමුණු..
පසු කලෙක මට දැන ගැන්මට ලැබුණ අයුරින් මේ පිළිබඳ ව ලෝකය තිබෙන්නේ ඊට හාත් පසින් ම වෙනස් තැනක ය. පසුගිය අනූව දශකයේ අවසන් භාගයෙහි නව සහශ්රක අධ්‍යාපන අරමුණු හඳුන්වා දී තිබේ. එනම්, විසි එක් වන සහශ්රකයෙහි ඉගෙන ගත යුත්තේ, (1). වැඩ කිරීම සඳහා ය. (2). ජීවිතය සඳහා ය. (3). බහුත්ව සමාජයක ජීවිත්වීම සඳහා ය. (4). තමන් තමා වීම සඳහා ය. මෙ කරුණු සතර දැනගත් තැන් පටන් මම ඒ පිළිබඳ ව කෙතෙක් දෙනා දැනුවත් ද, එම අරමුණු සපුරා ගැන්මට අපේ සමාජය යොමු වී ඇද්දැ’යි විමසිලිමත් වන්නට යොමු වීමි.
අද අපේ අධ්‍යාපන සන්ධාරයෙහි නිරත වූවන් සහශ්රක අධ්‍යාපනික අරමුණු ගැන දැන සිටිනවා ද යන්නවත් සැක සහිත ය. ගණිත විෂයයට සම්මාන සාමාර්ථයක් ලබා ගනු ඇතැ’යි අනුමාන කළ හැකි මගේ මිතුරියක් උසස් පෙළ ගණිතය විෂය දහරාව තෝරාගෙන තිබේ. ඇත්තෙන් ම, ඇය එම විෂය දහරාව තෝරා ගන්නේ ඇයි දැ’යි මා විමසිලිමත් වූ විට, ඇගේ පිළිතුර වූයේ සිය මිතුරන් සැවොම ගණිත අංශයෙන් උසස් පෙළ ට පෙනී සිටීමට අදහස් කරන බවත්, කලා වාණිජ විෂය දහරාවන්ගෙන් විභාගයට ඉදිදිරිපත් වීම පිළිගැනීමක්, අනාගතයක් මෙන් ම ඉදිරි පැවැත්මක් නැති විනාශයකට යොමු වීමක් බවය. ගණිත අංශයෙන් උසස් පෙළ සමත් නොවුව ද රැකියාවක් සොයා ගැනීම අසීරු නොවන බව ඇය ප්‍රකාශ කළා ය.
දෙමාපියන් මේවා පිළිබඳ ව අන්දෝ සංසාරයක් නොදනී..
ගණිත සහ විද්‍යා අංශයන්ගෙන් උසස් පෙළ හදාරණ මාගේ මිතුරන්ගේ ද ලොකු ම අවශ්‍යතාව වන්නේ කෙසේ හෝ වෛද්‍ය පීඨයට හෝ ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබීම ය. එසේ ම, බහුතරයක් දෙනා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබීමටත් පෙර ම උපකාරක පන්තිවලට සහාභාගී වීමට පටන් ගන්නේ ප්‍රතිඵලය කුමක් වනු ඇද්ද යන්න ගැන අනුමානයක් වත් නොමැති ව වන අතර ම, උපකාරක පන්තිකරුවන්ගේ හුදු පෙළඹවීම මත ම ය. දෙමාපියන් මේවා පිළිබඳ ව අන්දෝ සංසාරයක් වත් නොදන්නා අතර ම, මම ද ඒවායේ වරදක් ඇතැ’යි නොකියමි. මගේ වෑයම කිසියම් සන්ධාරයක හරි වැරැද්ද පෙන්වීමට වඩා සාමාන්‍ය පෙළ දක්වා පාසැල් ගොස් අපේ තාරුණ්‍ය ඊ ළඟ පියවරකට යන්නට මග පෙන්වීමක් නොමැති ව නන්නත්තාරේ ගොස් විනාශ වන්නක් බව පෙන්වීම ය. මේ විනාශය කරන්නේ, අද රටෙහි පවත්නා සංස්කෘතිය ය. මුලින් ම දැකිය හැක්කේ තුන්වන වසරේ සිට ම උපකාරක පන්තිවලට සහභාගි වූවන් ප්‍රතිඵල පැමිණීමටත් ප්‍රථම උපකාරක පන්ති වලට සහභාගී වීමෙන් වන විනාශය වළක්වා ගත හැකි එකක් බව පෙන්වා දීම ය. බොහෝ දෙනෙකු අද විෂය තෝරන්නේ තව ටික කලක් තම පෙම්වතිය සමග කාලය ගත කිරීමට ඉඩ හසරක් සොයා ගැනීමට ය. සමහර විට විෂය දහරාව තෝරන්නේ, දෙමාපියන් හෝ වැඩි මහළු සහෝදර සහෝදරියන් ය. මෙම තත්වය හැමවිට ම ජීවිත වනසා දැමෙන්නකි.
නිදහසක් ඇති කරවන ඉගෙනීමක්..
නිදහසක් ඇති කරවන ඉගෙනීමක් වන්නේ ජීවිකාව සපයා ගැනීම පිණිස ඉගෙනීමක් නොව, අර්ථවත් ලෙස ජීවිත් වීම පිණිස ඉගෙනීම යයි රූස්වෙල්ට් මොන්ටාස් පැවසූ බව මහාචාර්ය ලියනගේ අමර්කීර්ති රචනා කළ විශ්ව විද්‍යාලය යනු කුමක් ද? යන කෘතියෙහි දැක්වේ. ලොව පුරා විවිධ විශ්ව විද්‍යාලයවල ඇති විවිධ පාඨමාලා පිළිබඳ විස්තරාත්මක සඳහනක් කරන ඒ පොත ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන ද පුළුල් විවරණයකි. මගේ හැඟීම එය, උසස් පෙළ විෂයයන් තෝරා ගැනීමට පෙර සිසුන් ද උගන්වන ගුරුවරුන් ද අනිවාර්යයෙන් ම කියවිය යුතු කෘතියක් ලෙස නම් කළ හැකිබව ය.
අද බොහෝ තැන සාර්ථකත්වය යනු මුදල් ය. කෙතරම් මුදල් තිබුණ ද අසාර්ථක ජීවිත ගත කරන්නවුන් මෙන් ම, සමහර විටෙක දිවි නසා ගැනීමෙන් කෙළවර වන ජීවිත ද අපට කොතෙකුත් හමු වේ. ජීවිතය අස්ථිර බව සත්‍යක් නමුදු, කෙතරම් කලක් ජීවත් වුව ද, ජීවිතය රසවත් අත්දැකීම්වලින් මෙන් ම දැනුමෙන් පිරුණු, අන් අයට ප්‍රියමනාප, ජීවිත හරය හොඳින් දැන හඳුනා ගත් , අළුත් දෙයක් තනන, ලෝකයට වැදගත් දෙයක් තැනීමට උත්සාහ කරන චරිතයක් බිහිකිරීම කිසිසේත් ම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ ගුරුවරුන් කියාදෙන්නක් නොවේ. ජීවිතය ගැන කියා දෙන ගුරුවරුන් අතළොස්සක් සිටිය හැක නමුදු, සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් පොතපත කට පාඩම් කරගෙන ගිරවුන් වූ සිසුන් එය කෙතරම් දුරට වටහා ගන්නේ ද යන්න ද ගැටලුවකි.
මගේ අත්දැකීම ගැන කතා කළහොත්..
සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීම පිළිබඳ මගේ අත්දැකීම ගැන කතා කළහොත් විෂයන් නවයෙන් මා ප්‍රිය කළේ, ඉංග්‍රීසි සාහිත්‍ය සහ ඉතිහාසය යන විෂයන් පමණි . එම කාල චේදයන් පැමිණෙන තෙක් මා පාසැලෙහි සිටියේ නොඉවසිල්ලෙනි. එයට ප්‍රධානතම හේතුව වූයේ ඉගැන්වූ ගුරුවරියන් දෙදෙනා ය. පාඩමට මුසු කොට ඔවුහු ජීවිතයට වටිනා පාඩම් හා ජීවිතය අර්ථවත් කර ගතහැකි මාර්ග ඉගැන්වූහ. නිරතුරු ව මා, ඉතිහාසය විෂයට ලකුණු අනූව ඉක්මවා ලබාගත් නමුදු ඉංග්‍රීසි සාහිත්‍ය විෂයට එක වරකදී වත් A සාමාර්ථයක් ලබා ගැනීමට මට හැකි වී නැත. අනෙකුත් විෂයන් අටට ම A සාමාර්ථයන් ලබා තිබිය දී ඉංග්‍රීසි සාහිත්‍ය විෂයට B සාමාර්ථයක් ලබා තිබීම නිසා බොහෝ ගුරුවරුන්ගේ මෙන් ම දෙමාපියන්ගේ අදහස වුයේ ද එම විෂය අත් හැර දමන ලෙස මට පැවසීමයි. නමුදු, මගේ හිතුවක්කාරකමත්, විෂයයට ඇති ඇල්මත් නිසා ම මම එම විෂය දිගට ම හදාරමි.
සාමාන්‍ය පෙළ අනෙක් විෂයන් පිළිබඳ මට ඇත්තේ වියළි හැඟීමකි. ඉගැන්වූ ගුරුවරුන් හොඳින් ඉගැන්වුව ද, සෑම විෂයයට ම හොඳ ලකුණක් නිරතුරුව ම ගත්ත ද එම වියළී හැඟීම නැති නොවූ අතර, සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසුව මට නැවත ඒ විෂයයන් හැදෑරීමට නොවීම ගැන සැනසීමක් සිතට කාන්දු විය. එම විෂයයන් ඉගැන්වීමට පෙර, ඉතිහාසය , ඉංග්‍රීසි සාහිත්‍ය ඉගැන්වූ ගුරුවරුන් මෙන් මේ විෂය ඉගෙන ගන්නේ ඇයි දැ’යි කියා දුන්නා නම්, විෂය තුළින් ජීවිතය දකින්න උදවු කළා නම් එම විෂයන්ට මීට වඩා සංවේදී වීමට මට ඉඩ තිබිණැ’යි සිතේ.
ශ්‍රී ලංකාවේ පාසැල තුළ කිසියම් විෂයයක් ඉගෙන ගන්නේ ඇයි ද, හෝ කිසියම් විෂයයක් තුළින් ජීවිතය දකින්නේ කෙසේ දැ’යි නොවිමසෙයි. ගුරුවරුන් ද ඒ ගැන කියා දීමට මැළි වන අතර එය සිසුන්ගේ සිතීමේ හැකියාව මොට වීමට මෙන් ම අනාගතයෙහි දෙමාපියන්ගේ මැසිවිල්ලට ද හේතු වන බව පැහැදිළි ය.
මගේ දෙමාපියන් එසේ නොසිතීම භාග්‍යයක්..
මා සාමාන්‍ය පෙළ කරන සමයේ සිට ම බලාපොරොත්තු වූයේ කලා විෂය ධාරාවෙන් උසස් පෙළට මුහුණ දීමට ය. ගුරුවරුන් උසස් පෙළ පිළිබඳ ව විමසන විට මගේ බලාපොරොත්තුව නොබිය ව පැවසූ නමුත්, ඔවුන් පැවසුවේ කලා විෂය ධාරාවෙන් පළක් නොවන බවත්, වෙනත් විෂය දහරාවක් තෝරා ගන්නා ලෙසත් ය. මගේ දෙමාපියන් එසේ නොසිතීම භාග්‍යයක් වූයෙන් මම කලා විෂය දහරාවෙන් උසස් පෙළ සඳහා සූදානම් වෙමි. මට හැඟෙන පරිදි ඒ මගින් රස වින්දනාත්මක ජීවිතයක් සකසා ගැනීමට මට ඉඩ ලැබෙනු ඇත. ඔය අතර ම, තමා නොකැමැති වුවත්, ගුරුවරුන් සහ දෙමාපියන්ගේ කීම මත විද්‍යා හෝ ගණිත අංශයන්ගෙන් උසස් පෙළට සූදානම් වන අය කොතෙකුත් සිටිනු ඇත. ඒ අතරතුර ම, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ සිට ම කිසිවකුත් කිසි කලෙකත් හැකියාවන් හඳුනා නොගත්, තමාට හැකි දෙය කුමක් දැයි දැන ගැනීමට ද ඉඩක් නොලැබුණ සිසුන් ද කොතෙකුත් සිටිය හැක. නිදසුනක් ලෙස, සම වයස්කයන් තුළ ඊර්ෂ්‍යාව දැනවෙන සේ සිංහල විෂයයට අදාළ රසාස්වාදය ලියන මිතුරන් සිටින මුත්, ඔවුනට සාහිත පොත පත ඇසුරු කිරීමට මෙන් ම එම මාර්ගයෙහි දියුණු වීමට මගක් නැත.
මගේ සමවයස මිතුරන් බහුතරයේ අරමුණ වෛද්‍යවරුයෙකු හෝ ඉංජිනේරුවකු වීමට ය. බොහෝ විට එයට හේතුව වෘත්තීයට ඇති සමාජ පිළිගැනීම ඔස්සේ ඔවුන්ගේ දෙමාපියන් හෝ ගුරුවරුන්ගෙන් ලැබෙන උත්ප්‍රේරණයයි. ඉතිරි පස්දෙනාගෙන් තිදෙනකු විදේශ ගත වීමට බලාපොරොත්තු වේ. ඇත්තෙන්ම ඉතිරි දෙදෙනා හෝ එක්කෙනෙක් පමණක් තමාගේ කැමැත්ත හා හැකියාව මත ඉදිරියට යාමට තීරණය කරයි.
මට කියන්නට ඇත්තේ මෙයයි...
මට කියන්නට ඇත්තේ මෙයයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික සන්ධාරයෙහි මග පෙන්වන්නවුන් නැත. අධ්‍යාපන ඇමති හෝ ඔහුගේ කාර්ය මණ්ඩලයෙහි කිසිවෙකුත් අධ්‍යාපඥයන් නොවන බව මා කිවයුතු නොවේ. මෙනිසා, එකොළොස් වන වසර දක්වා අපි පන්තියෙන් පන්තියට ඔහේ පැමිණෙමු. එතෙක් අප කළයුත්තේ මොනවා දැ’යි නොදන්නා අතර, උපකාරක පන්තිවලින් පුරුදු කරන නිවැරදි පිළිතුර කට පාඩම් කර ගැනීම සහ එයට යටින් විභාගයෙහි දී ඉරක් ඇඳීම හැර දෙයක් අප කිසිවෙකුටත් කළ නොහැක. දැනුමක් ලබා දීමක්, සිතන්න අවශ්‍ය බවක්, සිතන ක්‍රමයක්, සිතීමේ වැදගත්කමක් කිසිවෙකුගෙනුත් අසන්නට නොලැබේ. එනිසා, මා සිතන්නේ සාමාන්‍ය පෙළ දක්වා අපට කරන්නට තිබෙන්නේ කට පාඩම් කර පොත්වල තිබුණ දේවල් උත්තර පත්‍රවල සලකුණු කිරීම හෝ ලිවීම කරන්නට තිබෙන බව ය. ඉන්පසු ව, උසස් පෙළ පන්තියට පැමිණ මොනවා කරනවාදැ’යි අපට කියා දෙන කිසිවෙකුත් නැත.
පසුගිය වසරක උසස් පෙළ කලා විෂය දහරාවෙන් දිවයිනේ ප්‍රමුඛයා වූ එක් සොහොයුරියකගේ දෙමාපියන් වෛද්‍යවරු ය. එහෙත්, ඒ දෙපළ සිය දියණියට ඇය වීමට ඉඩ හරිමින් කැමති විෂය දහරාවක ඉදිරියට යාමට මග පෙන්වා තිබුණි. ඒ හැර එසේ වන්නට භාග්‍ය සම්පන්න වූ කෙනෙකු සොයා ගත නොහැකි තරම් ය.
ලෝකයේ බොහෝ රටවල් දිනෙන් දින ඉහළට යන අතර, අප තරම් දිනෙන් දින නැති බැරිකම්වල ගිලෙන, අමානුෂික, සැහැසිකම්වලින් ජාතික දේහය කිළුටු වන රටක් ලොව තවත් නැති තරම් ය. එසේ වන්නේ, සැබවින් ම ආත්මාර්ථකාමී නොවන, අනුන් ගැන හිතන, බුද්ධිමත් තීරණ ගැනීමට පුහුණු වූ, නිර්මාණශීලි මිනිසුන් නොමැති වීම ය. එය මුල් ළමාවිය සිට කෙනෙකුට ලැබිය යුතු අයිතියකි. යල් පැන ගිය අපේ අධ්‍යාපන ක්‍රමය තුළ, පන්තියේ පළමුවැනියා වීම, තරග විභාග ලිවීම සහ සමත් වීම අතර පමණක් දෝලනය වන, කෙනෙකුගෙන් මේ ඇසෙන පෙනෙන දේවලට වඩා වෙනස් දේ බලාපොරොත්තු විය නොහැක. මේ සියල්ලෙන් පෙළෙමින් උසස් පෙළ පන්තියෙහි දී මා කළ යුත්තේ කුමක් දැ’යි මේ දිනවල සොයමින් සිටින මම නුදුරු දිනෙකදී එය සොයාගෙන ඔබ හමුවට එන්නට අදහස් කරමි.

What a great article ma brother ❤️
ReplyDeleteThis is the reality 🥲
This comment has been removed by the author.
Deleteyour analysis is exactly correct.very good article
ReplyDeleteThank you 💚
Delete