Sunday, 6 August 2023

අවුරා ලංකා විරංජිත් තාඹුගලගේ රෙදි ගැලවේ..! සීඅයිඩියට විස්තරාත්මක පැමිණිල්ලක්..! 

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.06, ප.ව.11.35) ශ්‍රී ලංකාවේ මිලියන 22.16ක් වූ ජනතාව මුලා කරමින් සිදුකෙරෙන මහා පරිමාණ ජාවාරමක් වන විරංජිත් තාඹුගල නමැත්තෙකුට අයත් අවුරාලංකා නමැති සමාගම් ජාලය පිළිබඳව හෙළි කරමින් අවශ්‍යය විමර්ශන සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ලිඛිත පැමිණිල්ලක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩීය වෙත කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබේ. එය පහත පරිදි ය.

අවුරාලංකා සමාගම යනු...

චන්දික විරංජිත් තාඹුගල නමැති පුද්ගලයෙකු විසින් හිමිකාරීත්වය දරණ අවුරාලංකා සමූහ ව්‍යාපාරය උඩවත්ත පාර, තලංගම, මාලඹේ යන ලිපිනයෙන් ලියාපදිංචි කර ඇත්තේ 2018 ජූලි මස 26 වන දාය. මෙම සමූහ ව්‍යාපාරයට තවත් විවිධ ව්‍යාපාර කිහිපයක් අයත්වේ.

අවුරාලංකා හර්.බල්ස් -  PV00202472
අවුරාලංකා එයාලයින් - ලියාපදිංචි කර නොමැත
අවුරාලංකා එන්ටර්ටේන්මන්ට්ස් -  PV00236129
අවුරාලංකා සෙකුරිටි - PV00212648
අවුරාලංකා ජෙම්ස් ඇන්ඩ් මියුසියම් - PV00212904
අවුරාලංකා කන්ස්ට්‍රක්ශන් - PV00228268
අවුරාලංකා ස්පෝර්ට්ස් - ලියාපදිංචි කර නොමැත

අවුරාලංකා ව්‍යාපාරය මූලිකවම ශ්‍රී ලංකාව තුල ප්‍රසිද්ධ වන්නේ එම සමාගමේ අවුරාලංකා එන්ටටේන්මන්ට්ස්  ආයතනය හරහා සංවිධානය කරනු ලබන සැණකෙළි මාළාවක් සහ අවුරාලංකා හර්බල්ස් ආයතනය හරහා සිදුකෙරෙන මහාපරිමාණ කෝමාරිකා ව්‍යාතියක් හේතුවෙනි.

අවුරාලංකා සමාගමේ සභාපති වන චන්දික විරන්ජිත් තාඹුගල යනු...

1979 අගෝස්තු මස 18 වෙනි සෙනසුරාදා දින නිට්ටඹුව වතුපිටිවල ප්‍රදේශයේ පදිංචි තාඹුගල අතුකෝරලලාගේ විමලසිරි සහ ගෝනාපිනූවල විතානගේ නයනා විදර්ශනී දෙදෙනාට දාව චන්දික විරංජිත් තාඹුගල උපන්නේය. මූල්‍ය අපහසුතා හේතුවෙන් පාසල් අධ්‍යාපනය 5 වන ශ්‍රේණිය දක්වා හදාරන ඔහු ඉන්පසු පිරිවෙන් අධ්‍යාපනයට යොමු වූ බව ඔහු විසින්ම පිළිගෙන ඇති කරුණු වේ. එමෙන්ම ඔහු හෙළ වෛද්‍යවරයෙක් බවත් ඔහුට ඒ පිළිබඳව උගැන්වූයේ බලංගොඩ මෛත්‍රි නායක ස්වාමීන් වහන්සේ බවත් ඔහු කියයි.

නමුත් ඔහු විසින් 2018 වන තෙක්ම රාජාංගනය සහ පහළමාරගහවැව ප්‍රදේශයන්හි කඩකාමරයක් කුලියට ගෙන එහි ගුවන්විදුලි සහ රූපවාහිනි අලුත්වැඩියා සිදුකරන අයෙක් ලෙස ක්‍රියා කර ඇත. එ පිළිබඳව ගම්වාසීන්ද සාක්ශි දරණ අතර පෞද්ගලිකව මෙහි පැමිණිලිකරුද එය හොඳින් දන්නා කරුණකි. එක්වරම ඔහු මාස කිහිපයක් පෙනී නොසිට එළියට එන්නේ චන්දික විරංජිත් තාඹුගල යන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් ලෙසිනි. මීට පෙර මොහු දෙවරක් පුරාවිද්‍යා නිධන් හෑරීම වෙනුවෙන් මීගමුව සහ අනුරාධපුර බන්ධනාගාරගතව ඇත.

එස්.එම්.චන්ද්‍රසේන නමැති දේශපාලයකාගේ නැගනියක් හා විවාහ වී සිටින මෙම තැනැත්තා, ඔහුගේ දේශපාලන උදව් මත මෙසේ කූඨ ව්‍යාපාර සිදුකරමින් රටේ මහජනතාව මුලා කිරීමට කටයුතු කරයි.

එමෙන්ම ඔහුට ඇල්සයිමර් නමැති වයසට යාමේදි මතකය නැතිවන රෝගයට අවශ්‍ය ඖෂධයක් වෙනුවෙන් ඇමෙරිකාවෙන් ලබාගන්නා ලද පේටන්ට් බලපත්‍රයක් ඇති බවද එය ඇමෙරිකන් ඩොලර් බිලියන 15 ක් වටිනා බවද ඔහුට ඒ හා සමානව වත්කම් ඇති බවද ඔහු විසින්ම පවසා ඇති වීඩියෝ විශාල ප්‍රමාණයක් සමාජමාධ්‍ය තුළ සංසරණය වේ.

අවුරාලංකා හර්.බල්ස් සමාගමෙන් සිදුකරගෙන යනු ලබන මහාපරිමාණ ඉඩම් මංකොල්ලය සහ කෝමාරිකා වගාව පිළිබඳව...

2021 වසරේ අගෝස්තු මස 30 වන දින රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් 6%ක ප්‍රමාණයක් කෝමාරිකා වගා කිරීම සඳහා අවුරාලංකා පුද්. සමාගමට ලබා දී තිබේ. හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ශ සහ හිටපු ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන විසින් ඒකාබද්ධව ඉදිරිපත් කළ කැබිනස්ට් පත්‍රිකාවක් අනුව මෙම සමාගමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 104,066 ක් වසර 30 කට දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබා දී ඇත. නමුත් ඔහු එම ව්‍යාපෘතිය වෙනුවෙන් රාජාංගනය යාය 18 ප්‍රදේශයේ අදාල ඉඩම් සකස් කිරීම ආරම්භ කරන්නේ කැබිනට් පත්‍රිකාව අනුමත වීමටත් පෙර 2020 සැප්තැම්බර් සිටය. නමුත් 2020 වසරේ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන්නෙ මුළු ආයෝජනය ඇ.ඩො.මි.375 ක් බවත් 2021 ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන්නේ මුළු ආයෝජනය ඇ.ඩො.මි.700 කට ආසන්න මුදලකටයි. (එම කැබිනට් පත්‍රිකාවල ආයෝජකයාගෙ නම, ආයෝජනය කරන්නේ කුමන ආකාරයකින්ද, ආයෝජනය කරනු ලබන මුදල් තිබෙන ගිණුම, වැනි සියළුම විස්තර අඩංගු විය යුතු බැවින්, මෙම ව්‍යාපාරය වෙනුවෙන් ඇත්තටම ආයෝජනය කරන්නා කවුද යන්න අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් සොයා රටට සහ මහජනතාවට හෙළිකළ යුතුවේ.)

(මෙම කෝමාරිකා වගාව සම්බන්ධයෙන් ඇති සාක්ශි වලින් කොටසක් සහ විස්තරාත්මක ලේඛනයක් ඇමුණුම් අංක 01 පිටුවේ අමුණා ඇත)

අවුරාලංකා සමාගමේ ආදායම් තත්වය...

ඉහත දක්වා ඇති කිසිදු ව්‍යාපෘතියක් තවම ආරම්භ කර නැති අතර වසර 2කට අධික කාලයක් ගත වූවද තවම එකදු කෝමාරිකා පැලයක්වත් මෙම ආයතනය මඟින් සිටුවා නොමැත. මෙම සමාගමට වෙනත් ආදායම් ලබන මාර්ගයක් පෙනෙන්නේද නැති අතර, ආයතනයේ සභාපති වන විරංජිත් තාඹුගල නමැත්තාගේ අධිසුඛෝපභෝගී ජීවන රටාව පිළිබඳව විශාල ගැටළුවක් පැන නැගී තිබේ. ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය මත ඊට යටත් ඕනෑම පුරවැසියෙක් තමන්ගෙ වත්කම් උපයන්නේ කෙසේදැයි ඉදිරිපත් කිරීමට හැකියාව තිබිය යුතුය. නමුත් අදාල සභාපතිවරයාට එසේ ඉදිරිපත් කිරීමට කිසිදු ආදායම් මඟක් නොමැත.

(අදාල ව්‍යාපාරිකයාගේ ආදායම් ලබන අකාරය සහ ඔහුට මුදල් ලැබෙන ආකාරය පිළිබඳව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් සොයා රටට සහ මහජනතාවට හෙළිකළ යුතුවේ.)

අවුරාලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගලට ඇති බව පැවසෙන පේටන්ට් බලපත්‍රය පිළිබඳව...

විරංජිත් තාඹුගල යන පුද්ගලයා කිහිප වරක්ම පවසා ඇත්තේ ඔහුට ඇල්සයිමර් නමැති රෝගයට ලබාදෙන ඖෂධයක් වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් ඇති බවයි. එය ඇ.ඩො. බිලියන 15 ක් වටින බවත් ඔහුට එම වත්කම් විකුණා රටේ ණයෙන් අඩක් ගෙවීමට හැකි බවත් ඔහු විසින්ම පවසා ඇත. නමුත් මේ වන විටත් ලෝකයේ කිසිම රටකින් එවැනි රෝගයක් වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් ලබා දී නොමැති අතර, වැදගත්ම කරුණ වන්නේ ලොව සුප්‍රකට වයි-ෆයි සඳහා ඇති පේටන්ට් බලපත්‍රය ද වටින්නේ ඇ.ඩො.බිලියන 1.6 ක් නිසාවෙනි. මොහු විසින් දිගින් දිගටම එම පේටන්ට් බලපත්‍රයක් පෙන්වා ඔහු හෙළ වෛද්‍යවරයෙක් බවත් පැවසීම නිසා බහුතරයක් දෙනා ඔහුට ඩොක්ටර්/වෛද්‍යතුමා යනුවෙන් අමතයි.

(අදාල ව්‍යාපාරිකයාගේ වංචා සහගත පේටන්ට් බලපත්‍රය සහ ඔහුගේ ව්‍යාජ හෙළ වෛද්‍යකම පිළිබඳව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් සොයා රටට සහ මහජනතාවට හෙළිකළ යුතුවේ.)

අවුරාලංකා සමාගමේ කොමාරිකා ව්‍යාපෘතියට විරෝධයක් ලැබීමත් සමඟ ඔහු විසින් සිදුකරගෙන යනු ලබන මහාපරිමාණ සැණකෙළි...

අවුරාලංකා සමාගම විසින් සිදුකරගෙන යනු ලබන ව්‍යාජ කෝමාරිකා ව්‍යාපෘතිය හමුවේ මහජනතාවගේ විරෝධය එල්ලවීමත් සමඟ ඔහු එයින් මිදීම සහ එම විරෝධය මකාලීම සඳහා තෝරාගනු ලබන්නේ හරි අපූරු උපක්‍රමයකි. කොරෝනා වසංගත තත්වයේදී වැඩියෙන්ම පීඩාවට පත් ප්‍රාසාංගික කලාකරුවන් ඔහුගේ ඉත්තන් විය. ඒ අනුව ප්‍රථමයෙන් 2022 ජූනි මස රාජාංගනය යාය 18 ප්‍රදේශයෙන් ආරම්භ කළ මහපරිමාණ සැණකෙළි පැවැත්වීම වසරක් තුල සැණකෙළි මාලාවක් විය.

1. 2022 මැයි - රාජාංගනය යාය 18 (ආරම්භය දින 04 ක සැණකෙලියක්)
2. 2022 ජූනි - රාජාංගනය යාය 18
3. 2022 ජූලි - පදවිය
4. 2022 අගෝස්තු - කහටගස්දිගිලිය
5. 2022 ඔක්තෝම්බර් - ගල්නෑව
6. 2022 නොවැම්බර් - නිට්ටඹුව මාතලාන
7. 2022 දෙසැම්බර් - ඇහැළියගොඩ
8. 2023 මාර් තු - ගාල්ල තවලම
9. 2022  මැයි - තිස්ස වීරවිල
10. 2023 ජූලි  -රාජාංගනය යාය 18

මෙසේ දින 10 සිට දින 20 දක්වා වසරක් තුල සැණකෙළි 9 ක් පවත්වමින් එක් සැණකෙළියකට කෝටි 200 කට අධික මුදලක් වැය කරමින් සිදුකරන්නේද කූඨ ව්‍යාපාරයකි. කෝමාරිකා වගාවට එල්ල වන විරෝධය මැකීමට සහ ජනතාව තමා වෙත නැඹුරු කරගැනීම වෙනුවෙන් අදාල පුද්ගලයා සංවිධානය කෙරූ සියළුම සැණකෙළි වෙත එන ලක්ශ සංඛ්‍යාත ප්‍රේක්ශකයන් සඳහා බත් දන්සැලක්ද සූදානම් කර තිබුනි. මෙහි ඇතුල්වීම නොමිලේ සිදු වූවත් එක් සැණකෙළියකින් ඔහු මිලියන 100 කට ආසන්න මුදලක් ආදායම් ලෙස ලබාගනී. ඒ පිළිබඳව පහතින් දක්වා තිබේ.

එක සැනකෙළියක පමණක් කෙළිය..

ජූලි මස පැවැත්වූ දින 20 ක රාජාංගනයේ සැණකෙළියේ ආදායම් තත්ව පරීක්ෂා කළහොත්,

* විනෝද ක්‍රීඩා (සූදූ ක්‍රීඩාව) -  වෙළඳකුටි ලබාදෙන්නේ එකක් එක් දිනකට රු 100,000 ක මුදලකටය. වෙළඳකුටි එම අංශයෙන් 20 ක් ලබාදේ. ඒ අනුව දින 20ක සැණකෙළියේ විනෝද ක්‍රීඩා වෙළඳකුටි ආදායම රු මිලියන 40 කි.

* අයිස්ක්‍රීම් සහ නූඩ්ල්ස් වෙළඳකුටි සඳහා අවමය වශයෙන් සැණකෙළිය පුරාවටම මිලියන 6-8 අතර මුදලක් ලබාගනී.

* කැන්ටීන් (ආපනශාලාව) ලබාදෙන්නේද මිලියන 5කට අධික මුදලකටය.

* රථගාල් ලබාදෙන්නේ සැණකෙළිය පුරාවටම මිලියන 10කටයි.

* ක්‍රීඩාංගනය තුලට ඇතුල්වීමට ප්‍රවේශපත් නිකුත් නොකරන නමුත්, ක්‍රීඩාංගනය තුල රු.200 ක ටිකට්පතක් විකිණීම මඟින් අවසන් දින දිනුම් ඇදීමෙන් බයික් සහ වෙනත් විදුලි උපකරණ ලබාදෙන බව පවසයි. සාමාන්‍යයෙන් සැණකෙළියක් පුරාවටම එම ටිකට්පත් අවමය 200,000 කට එහා විකිණේ. ගාල්ල තවලම සැණකෙළියේ රු.200 ටිකට්පත් එක දිනෙක 100,000 කට එහා විකීණී ඇත. එහි සාමාන්‍ය ආදායම මිලියන 40 කි.

මේ ප්‍රධාන වෙළඳකුටි ලබාදීමෙන් ලැබෙන ආදායම් පමණක්වේ.

මෙකී ආදායම් එකතුව ලෙස ගත්කල මිලියන 101ක් වේ. මෙම කිසිදු මුදලකට මෙම තැනැත්තා විසින් බදු ගෙවීමක් සිදුනොකරයි.

සංගීත කණ්ඩායම් ඇන්දීම..

මෙකී සැණකෙළි කලාවේ පෙරළිය සිදුවන්නේ 2023 ජනවාරි සිටය, සාමාන්‍යයෙන් සංගීත කණ්ඩායමක් සැණකෙළියක් සඳහා අයකරන මුදල මෙන් විශාල ගුණයක් මුල් කාලයේ ගෙවා සංගීත කණ්ඩායම් වල සිත් දිනා ගන්නා විරංජිත් තාඹුගල යන පුද්ගලයා, ලංකාවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් 40 කට ආසන්න ප්‍රමාණයකට මෙම පුද්ගලයා විසින් ලක්ෂ ගණනක වැටුපක් ගෙවා ලබාගත් 'මෝක්ශ ප්‍රසාද්' නමැති නිවේදකයෙක් හරහා අමතා අදාල අවුරාලංකා සමාගම සමඟ ගිවිසුම් ගතවීමට ආරාධනා කර ඇත. එයින් සංගීත කණ්ඩායම් 20 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට කිහිප වරකට ගිවිසුම්ගතව ඇත. ඔහු විසින් අදාල සංගීත කණ්ඩායම් වලට ප්‍රසංග පැවැත්වූවත් නැතත් මාසිකව මිලියන 1 සිට මිලියන 5.6 දක්වා ගෙවීමටත් අදාල ගිවිසුමෙන් පසු ඕනෑම ප්‍රසංගනයක් සඳහා අදාල සංගීත කණ්ඩායම් සම්බන්ධකරගත හැක්කේ අදාල අවුරාලංකා ආයතනය හරහා බවත් සඳහන් ගිවිසුම් අත්සන් කෙරිණී. සංගීත කණ්ඩායම් 20 කට මාසිකව රුපියල් මිලියන 5.6 තෙක් ගෙවීමට මොහුට කොපමන ආදායමක් තිබුය යුතුද? පිළිතුර සෙවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ යුතුවේ.

අදාල සංගීත කණ්ඩායම් සාමාන්‍ය සංවිධායකවරුන් වෙන් කිරීමකදී අවුරාලංකා සමාගම හරහ වෙන්කරගතයුතු නිසාවෙන් සිදුකල සොයා බැලීමකදී අණාවරනය වන්නේ පෙර ලක්ශ 2-4 දක්වා අලෙවි වූ සංගීත කණ්ඩායම් දැන් අලෙවිකරන්නේ මිලියන 2-4 අතර මුදලකට බවයි. එපමණ මුදල් ගෙවා අදාල සංගීත කණ්ඩායම් ලබාගැණීමට කිසිදු සංවිධායකවරයෙක් ඉදිරිපත් නොවන අතර අදාල ගිවිසුම්ගත කණ්ඩායම් පසුගිය මාස කිහිපයටම සහභාගී වී ඇත්තේ අවුරාලංකා සැණකෙළි වලටම පමණී.

(කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරමින් කලකරුවන් ට යොදා තමන්ගේ කෝමාරිකා ව්‍යාපෘති මගඩිය වෙනුවෙන් නැගෙන මහජන හඬ වසන්නේ අවුරාලංකා සමාගමෙ කුමන අරමුණකින්ද? මසකට මෙපමණ මුදල් වියදම් කිරීමට ඔහුට ආදායම් ලැබෙන්නේ කෙසේද? මොහුගේ යටි අරමුන කුමක්ද? යන්න අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හෙළිකර අදාල පුද්ගලයන්ට නඩු පැවරිය යුතුය.)

විරංජිත් තාඹුගල විසින් පොලිස් ස්ථානාධිපතිවරුන්ට තර්ජනය කිරීම සහ ඔහුට  ලැබෙන විශේෂ වරප්‍රසාද...

2023 ජූලි මස පවත්වන ලද රාජාංගනය සැණකෙළියට දිගින් දිගටම ප්‍රදේශයේ ජනතාවගෙන් ලද විරෝධය හමුවේ රාජාංගනය පොලීසියේ ස්ථානාධිපතිතුමා විසින් එය දින 14 කට සීමා කොට ශබ්ධ විකාශන බලපත්‍ර ලබා නොදීමට තීරණය කළේය. අනතුරුව අදාල විරංජිත් තාබුගල නැමැත්තා විසින් ස්ථානාධිපතිතුමාට මරණ තර්ජන කර “තමුසෙගෙ පටිය මම ගලවනවා” යනුවෙන් ප්‍රකාශ කර සිටීමත් සමඟ අදාල නිළධාරියා විසින් නොච්චියාගම අධිකරණයට කරුණු වාර්තා කොට ඇත. ඒ අතරතුර පෙර විශේෂ වරප්‍රසාද ලද විරංජිත් තාඹුගල පැමිණෙන්නේ සාමාන්‍ය ලෙසිනි. මහේස්ත්‍රාත්තුමාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ තාඹුගල හට ඇප ලබාදීමට ද එස්.එම්.චන්ද්‍රසේන නමැති හිටපු ඇමති වරයා හවුල්ව ඇත. පොලීසියේ ඉහල නිළදරුවෙක්ට මෙසේ තර්ජනයක් සිදුකොට නිදහසේ ව්‍යාපාරික කටයුතු කරන තාඹුගල ලද විශේෂ වරප්‍රසාදය පිළිබඳව ද අපරාධ පරීක්ශන දෙපාර්තමේන්තුව සොයා බැලිය යුතුවේ. මන්ද එක රටක් එක නීතියක් යන පාඨය හුදෙක් මැතිවරණ රැස්වීම් වලට සීමා නොවිය යුත්තක් බැවිනි.

අවුරාලංකා සමාගම විසින් සිදුකරන කලාකරුවන් ඇපයට තැබීම...

මේ වන විට අදාල සමාගමේ විරංජිත් තාඹුගල නමැති සභාපතිවරයාට ලබෙන විරෝධය හමුවේ ඔහුගේ ඇමගිල්වූ කලාකරුවෝ මාධ්‍ය ඉදිරියට පැමිණ ඔහුට පක්ෂපාතී ප්‍රකාශ කරමින් ඔහුගේ ව්‍යාපාර සිදුකරගෙන යාමට ඉඩ දෙන ලෙසත් ඔහු නැතිවුවහොත් තමන්ට ආදායම් නොලැබෙන බවත් කියති. එය විරංජිත් තාඹුගල නමැත්තාගේ කූඨ උපක්‍රමයකි.  අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මේ පිලිබඳව විමර්ශන සිදුකරද්දී කලාකරුවන් යයි කියාගන්නා අයගේ විරෝධයක් එල්ල කිරීමද  තාඹුගල විසින් කරවන්නක් බැවින් අදාල විරෝධතා නොසලකා ඇත්ත රටට මහජනතාවට හෙළිකිරීම ස්වාධීන අපරාධ පරීක්ශන දෙපාර්තමේන්තුවක වගකීමකි.

අවුරාලංකා සමාගමට මුදල් ලැබීම පිළිබඳව විශේෂ හෙළිකිරීමක්...

මෙම සමාගමට මුදල් ලබාදෙනු ලබන්නේ ඇමෙරිකාවෙ ජීවත් වෙන වෛද්‍ය වෝල්ටර් ජයසිංහ නැමැත්තා විසිනි. අවුරා ඉන්ටර්නැෂනල් සමාගමේ හිමිකරු වන ඔහුගේ කළු සල්ලි මෙසේ සුදු කෙරෙමින් ලංකාවේ සැණකෙළි පවත්වන භූමි කිහිපයකම නිධන් හෑරීම විරංජිත් තාඹුගල විසින් සිදුකර ඇත. සැණකෙළි පවත්වද්දී රාත්‍රියේ දී ගම් වල සිටින තරුණ තරුණියන් නගරයට යන බැවින් ඔහුගේ කණ්ඩායම් ගම්වැදී රහසිගතව නිධන් හැරීම සිදුකර තිබේ.  

විටෙක ප්‍රසිද්ධියේම විරංජිත් තාබුගල පවසන්නේ වෝල්ටර් ජයසිංහ තමාගේ දෙවෙනි පියා බවයි. ඔහු නිසා තමන්ගේ ව්‍යාපාර සිදුකරන බවය. එම වීඩියෝව ද සමාජමාධ්‍ය තුලම තිබේ.

විරංජිත් තාඹුගල පිළිබඳව සුවිශේෂී හෙළිකිරීමක්...

විරංජිත් තාඹුගල නමැති පුද්ගලයා විසින් ගමන් ගනු ලබන්නේ මිලියන 70 කට අධික රේන්ජ් රෝවර් මාදිලියේ වාහන දෙකකිනි. මීට අමතරව පෞද්ගලික ආරක්ශකයින් ගමන් ගන්නා ඩිෆෙන්ඩර් රථ 4 ක් ඇත. සමහරක් ගමන් යන්නේ සෙනෝක් සහ තවත් ආයතනයකින් ගමන් යාම සඳහා පමණක් මුදල් ගෙවා ලබාගන්නා හෙලිකොප්ටරයක් මඟිනි. ඔහුගේ අවුරාලංකා එයා ලයින් සමාගමට කිසිදු හෙලිකොප්ටරයක් නැති අතර, ජනතාව මුලාකරමින් සිටින්නේ එවැනි සුඛොපභෝගී ජීවන රටාවක් පෙන්වමිනි. (මෙසේ කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරන නමුත් ඔහු කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව දිවිගෙවන්නේ කෙසේද යන්න සහ අපරාධ පරීක්ශන දෙපාර්තමේන්තුව විමර්ශනය කළ යුතුය. තවද මොහු කෝටි 100-200 කට අධික මුදලක් මාසිකව වියදම් කරන්නේ නම්, වහාම මොහුගේ ආදායම් බදු ගොනු පරීක්ෂාකළ යුතුවේ) මන්ද ඔහුගේ නිධන් හෑරීමේ සාක්ශිද මේ වන විට අදාල ගම්වල සිටින පුද්ගලයන් හරහාම රටට හෙලිවෙමින් තිබෙන නිසා ය.

මේ අනුව ඉහත දක්වා ඇති කරුණු සහ ඇමුණුම් වල සඳහන් කරුණු සලකා බලා අදාල විමර්ශන කටයුතු සිදුකොට මෙහි සත්‍යතාව රටට හෙළිකර, අදාල පුද්ගලයන්හට නඩු පැවරීම සිදුකරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු. තවද මොහුගේ මුදල් වලට යට වී ශ්‍රී ලාංකේය ජනතාව මුලා කරන මොහු පසුපස ඇති දේශපාලන හස්තය පිළිබඳව ද හෙළිකිරීම සලකා බලන ලෙසත් ඉල්ලා සිටිමු. මන්ද මෙ පිළිබඳව සමාජමාධ්‍ය හරහා කතා කළ අප හට මේ වන විටත් මොහුගෙන් මරණ තර්ජන පවා ලැබී ඇති අතර සත්‍යතාව දැනගැනීමට සහ මෙහි වැරදිකරුවන් නීතිය ඉදිරියට ඉදිරිපත් කරන ආකාරය මුළු රටම බලා සිටින නිසාය.

(ලිඛිත පැමිණිල්ල අවසන්)

No comments:

Post a Comment