Friday, 18 August 2023

බෙන්තොට පොලිසියේ බේබදු පොලිස්කාරයන් සංගීත සංදර්ශනයකට පැන කළ මෘග ප්‍රහාරයෙන් අයෙකුගේ හිස පැලී මැහුම් 24 යි..! කැකිල්ලේ නඩු අනුව ගුටි කෑ අහිංසකයන් හිරේ..! (Video)

-LeN ආරක්ෂක වාර්තාකරු ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.19, පෙ.ව‍.2.00) බෙන්තොට පැවැති සංගීත සංදර්ශනයකදී බීමතින් නැටූ බෙන්තොට පොලිසියේ පොලිස් කාරයන් පිරිසක් එහි සිටි ගම්වාසීන්ට අතිශය මෘග අන්දමින් පහර දී දැන් වරද ගම්වාසීන්ට පවරා ඔවුන් අත් අඩංගුවටද ගෙන අම්මට සිරි අන්දමේ බොරු නඩුවක් ද පවරා තිබේ.

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.  

පසුගිය අගෝස්තු 13 වැනි දින රාත්‍රී බෙන්තොට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ සැණකෙළියක් සහ සංගීත ප්‍රසංගයක් පවත්වා තිබේ. සංගීත සංදර්ශනය නැරඹීම සඳහා අවට නගර ගම්වාසී බොහෝ පිරිසක් පැමිණ සිට ඇති අතර සංගීත සංදර්ශනයේ දී තරුණ තරුණියන් නටද්දී බෙන්තොට පොලිසියේ රාජකාරි සේවයේ යෙදී සිටි නිලධාරීන් ද නැටුමට හවුල් වී ඇත. එහි එක් නිලධාරියෙක් සිවිල් ඇඳුමින් සට ඇති අතර ඔහු අයිපී. රාජපක්ෂ ලෙස හඳුනාගෙන තිබේ. මේ රාජපක්ෂයා හොඳටෝම බීමත්ව සිට ඇත. මධ්‍යම රාත්‍රිය පසුවෙද්දී නටමින් සිටි නගර ගම්වාසී තරුණ තරුණියන්ට නැටීම නවත්වන ලෙස පවසා පන්නා දමා ඇති අතර එහිදී තරුණ තරුණියන් ඒ මන්දැයි පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබේ. එහිදී සුපුරුදු පොලිස් මෘග කම ඉදිරියට ගත් බේබදු පොලිස් නිලධාරීන් නගර ගම්වාසී තරුණ තරුණියන්ට පහර දීමට පටන් ගෙන තිබේ. ඒ අතරින් පෙර කී සිවිල් ඇඳුමින් සිටි අයි. පී. රාජපක්ෂ ඉතාමත් නින්දනීය අන්දමින් තම හෙල්මටයෙන් තරුණයන්ට පහර දෙනු වීඩියෝ දර්ශන රාශියක් සටහන්ව තිබේ. මේ අන්දමින් ක්‍රීඩාංගනයේ සිටි සියලුම දෙනාට පන්න පන්නා බැටන් පොලු වලින් සහ හෙල්මට් වලින් පහර දුන් අතර අහසට වෙඩි තබා ද තිබේ.

නිකම් හිටිය අයව පොලිසියට ගෙන ගොස් දණගස්වා ගහලා..

පොලිස් කාරයන්ට ද තුවාල සිදුව තිබේ. එක් වීඩියෝවක දැක්වෙන්නේ පහර දෙන අයි පී රාජපක්ෂම තම බීමත්කම නිසාම සිරුර පාලනය කර ගත නොහැකිව ඇද වැටෙන ආකාරයයි.

කිසිදු ක්‍රියාවකට සම්බන්ධ නොවූ අයවද පසුව පොලිසියට රැගෙන ගොස් දණ ගස්වා බරපතල පහර දී අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කර ඇත.

ඔලුවට මැහුම් 24 යි..

මෙකී මෘග පොලිස් ප්‍රහාරයෙන් ජයනාත් විජේරත්න සිරිමාන්න නමැති විවාහක පුද්ගලයෙකුගේ හිස පැලී හිසට මැහුම් 24 ක් දැමීමට තරම් බරපතල තුවාල සිදුව තිබේ. ඔහු දැනට රෝහල් ගත කර ඇත.  මෘග පොලිස් ප්‍රහාරයට ලක්ව හිසට මැහුම් 24 ක් ද දමා සිටින ජයනාත් විජේරත්නව ද සැකකරුවෙකු ලෙස අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබේ.

නීතිය වෙනුවට අවනීතිය..

පොලිස් මෘග ප්‍රහාරය ගැන නීතිය ක්‍රියාත්මක වනවා වෙනුවට නීතිය අවනීතිය කොටගත් බෙන්තොට පොලිසිය වෙනත් අහිංසකයන් පිරිසක් දැන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

ඒ පිරිස අතර දිනේෂ් නුවන්, ජයනාත් විජේරත්න සිරිමාන්න, චමිල් ඉරේෂ් සිරිමාන්න, කසුන් චාමර, විමුක්ති ජීවන්ත, යෙෂාන් කාවින්ද, සුදේෂ් ටෙක්ෂාන්, අජිත් ජයසේකර යන අය වෙති.

සැබෑ අපරාධකාර පොලිස් කාරයන් මෙන්න..

ජනතාව කිසිදු ප්‍රචණ්ඩත්වයක නොසිටිය දී බෙන්තොට පොලිසියේ බීමත් පොලිස් නිලධාරීන් සිදුකළ මෘග ප්‍රහාරය පිළිබඳ වීඩියෝ රැසක් ඇති අතර මෙහිද එක් වීඩියෝවක් දැක්වේ. ඒවා අනුව ලංකා ඊ නිව්ස් හඳුනාගෙන ඇති පරිදි මෘග ප්‍රහාරය එල්ල කළ පොලිස් කාරයන් අතර අයි.පී. රාජපක්ෂ, සාජන් පියසෝම, සාජන් සුරංග, ට්‍රැෆික් පොලිස් ගමගේ, ට්‍රැෆික් පොලිස් ගුණවර්ධන යන අය වෙති. නමුත් සැබෑ වරදකරුවන් වූ මොවුන් නිදැල්ලේ ය.

-LeN ආරක්ෂක වාර්තාකරු විසිනි

පොලිස් මෘග ප්‍රහාරයේ වීඩියෝවක් පහතින්



No comments:

Post a Comment