කොරෝනා වසංගතය වසන්තයක් කර ගත් ඇමැතියෙකු ඇතුළු නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් 54 කට සිර දඬුවම්..! මෙහේ නොවෙයි, වියට්නාමේ වියට්නාමේ..!
-අල්ජසීරා වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.06, ප.ව.7.10) කොරෝනා වසංගතය අතරතුර වියට්නාම් වැසියන් සිය රට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් හා අදාල දූෂණ චෝදනා සම්බන්ධයෙන් එරට පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් වැරදිකරුවන් වී ඇත.
රටේ විශාලතම අල්ලස් නඩුවක දී වරදකරුවන් වූ හිටපු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයකු ඇතුළු නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් 54 දෙනෙකුට වියට්නාම් අධිකරණයක් විසින් සිර දඬුවම් නියම කර තිබේ.
Covid-19 වසංගතය අතරතුර වාණිජ ගුවන් ගමන් නොමැති විට “ගලවා ගැනීමේ ගුවන් යානා” මගින් ආපසු සිය රට බලා යාමට අපේක්ෂා කළ විදේශ ගතව සිටි වියට්නාම් පුරවැසියන්ගෙන් මුදල් ගැරූ කූට වැඩපිළිවෙලකට සහභාගී වීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් හා සමාගම්කාරයන් ඇතුළු 54 දෙනෙකු සිකුරාදා (28) වරදකරුවන් වූ බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.
ආණ්ඩුවේ දූෂණ විරෝධී ව්‍යායාමය කොතෙක් උත්සන්න වී තිබේ ද යන්න මෙම නඩු විභාගයෙන් සිතා ගත හැකි අතර, ඒ යටතේ නිලධාරීන් සිය ගණනක් පිළිබඳව විමර්ශන පවත්වා ඇත. ඒ අතර සිටින ජනාධිපති න්ගුයෙන් ෂුවාන් ෆුක් සහ නියෝජ්‍ය අගමැතිවරුන් දෙදෙනෙකු ඇතුළු බොහෝ දෙනෙකුට ඉල්ලා අස් වෙන ලෙස බල කෙරී ඇත.
කාර්යාලයේදීම පගාව ගත් බව පිළිගත් ඇමැතියාට වසර 16 ක සිර දඬුවම්..
"ලබා ගෙන ඇති අල්ලස් මුදල් අතිශයින්ම විශාලයි..., ඒවා සිවිල් සේවකයෙකුගේ සාමාන්‍ය ආදායමට වඩා අති විශාලයි," යනුවෙන් නඩු තීන්දුවේ සඳහන් විය.
වරදකරුවන් වූ අයගෙන් රාජ්‍ය නිලධාරීන් 25 දෙනෙකු ඩොලර් මිලියන 7.4 (ඩොං බිලියන 175) දක්වා අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වී ඇති බව රජයේ පුවත් පත වන VTC වාර්තා කරයි.
ඔවුන් අතරින්, හිටපු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ටු ආන් ඩන්ග් ඩොලර් 908,000 (ඩො බිලියන 21.5) ක අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් වැරදිකරු වූ බව VTC පවසයි.
ආපසු ගෙන්වා ගැනීමේ ගුවන් සේවා සපයන්නන්ගේ ලැයිස්තුවට සමාගම් එකතු කිරීම වෙනුවෙන් බොහෝ විට හැනෝයි විදේශ අමාත්‍යාංශයේ පිහිටි ඔහුගේ කාර්යාලයේ දී තමාට අල්ලස් මුදල් ලැබුණු බව ඩන්ග් උසාවියේ දී පිළිගත්තේය. ඔහුට වසර 16 ක සිර දඬුවමක් නියම විය.
ගුවන්ගමන අවසාන වූ වහාම පගාව ලැබිලා...
කොරෝනා වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා වියට්නාමය 2020 මුල දී ලෝකයට වසා දැමුණු අතර, රටවල් හා පළාත් 60 ක සිට පුරවැසියන් සිය රටට ගෙන ඒම සඳහා කුලී ගුවන් ගමන් 800 කට ආසන්න ප්‍රමාණයක් සංවිධානය කෙරුණි.
නිල සහ සමාජ මාධ්‍ය වාර්තාවලට අනුව, සිය රටට ආපසු යාමේ දී, සංකීර්ණ ක්‍රියා පටිපාටි සහ අධික ගුවන් ගමන් ගාස්තු සහ අධික නිරෝධායන ගාස්තුවලට මුහුණ දීමට වියට්නාම් ජාතිකයන්ට සිදු විය.
ගුවන් ගමන් අවසන් වූ වහාම තමාට අත්පිට මුදල් ලැබුණු බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඩන්ග් උසාවියට පැවසීය.
මං බබා...
“ඒ වෙලාවේ මම හිතුවේ නැහැ මං වරදක් කළා කියලා... මං හිතුවේ වියට්නාම පුරවැසියන් පිටරට ඉඳලා ගෙන්වා ගැනීම සඳහා මං සමාගම්වලට පහසුකම් සලසනවා කියලා විතරයි," යනුවෙන් ඩන්ග් පැවසීය.
එනමුත් නඩු තීන්දුවෙන් ප‍්‍රකාශ වූයේ, හිටපු රාජ්‍ය නිලධාරීන් ඔවුන්ගේ බලතල මෙන්ම කොරෝනා වසංගතය ද “පුද්ගලික ලාබය සඳහා” අනිසි ලෙස භාවිතා කර ඇති බවයි.
එම වැඩපිළිවෙල නිසා “රාජ්‍ය අංශයේ හා රාජ්‍ය ආයතනවල කීර්තිය හෑල්ලූවට ලක් වුණා,… සමාජය තුළ කෝපයක් ඇති වුණා, මිනිසුන්ගේ විශ්වාසය පළුදු වුණා”, යයි තීන්දුවේ සඳහන් විය.
විත්තිකරුවන් "බරපතල දඬුවම් ලැබිය යුතුයි", යනුවෙන් අධිකරණය පැවසීය.
පගාව දුන් අයටත් සිර දඬුවම්...
රාජ්‍ය නිලධාරීන් අට දෙනෙකුට අල්ලස් දුන් බව කියන ව්‍යාපාරික කාන්තාවක් වන හොවෑන්ග් ඩියු මෝ නඩු විභාගය අතරතුර මෙසේ කීවාය: “[විදේශ අමාත්‍යාංශයේ] කිසිවෙකු ඔවුන්ට මුදල් දෙන ලෙස මගෙන් ඉල්ලා සිටියේ නැහැ. ඒත් අනුමැතිය සහ අවසරය සඳහා අපි ඔවුන්ට අල්ලස් දෙන්න ඕනෑ බව මං දැනගෙන හිටියා, ගුවන් ගමන් නියමිත වේලාවට කර ගැනීමට හැකි වන්නේ එතකොටයි,"
ඇයට වසර හතක සිර දඬුවමක් නියම විය.
වසංගතයේ උච්චතම අවස්ථාව වන විට යුරෝපීය රටක බෝඩිමක සිටි තම නව යොවුන් වියේ දියණිය නැවත වියට්නාමයට ගෙන්වා ගැනීම සඳහා ඩොලර් 12,000 ක් පමණ වියදම් කිරීමට සිදු වූ බව හැනෝයි මවක් Agence France-Presse සමග පැවසුවාය.
"මගේ මුදල් වියදම් වූයේ කෙසේ ද යන්න හෝ එම නිලධාරීන් අතර එය බෙදී ගියේ කෙසේ ද යන්න ගැන මං දන්නේ නැහැ," ඇය නිර්නාමිකව පැවසුවාය.
“මං දන්නවා මට ඒ සල්ලි ආපහු ලැබෙන්නේ නැහැ කියලා. නමුත් ඇත්තටම මේ නිලධාරීන්ට ඔවුන් කළ වැරදි වැඩවලට දැඩි දඬුවම් දිය යුතුයි.”
- 2023 ජුලි 28 වන දින Aljazeera වෙබ් අඩවියේ පළ වූ, “Vietnam jails former officials and diplomats in mass bribery trial” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,
- ආනන්ද
https://www.lankaenews.com/category/68

No comments:
Post a Comment