Monday, 7 August 2023

ඩොලර් මිලියන 55ක කෆීර් ගැහිල්ල සහ අහසින් බිමට වැටී මිය යන අපේ තරුණ ගුවන් නියමුවෝ..!

-සොල්දාදු උන්නැහේ ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.08, පෙ.ව.5.20) දෙවන ලෝක යුද්ධ සමයේ සැලසුම්කර 1958  වර්ෂයේ දී  එන්ජිම නිෂ්පාදනය කර 1961 වර්ෂයේදී  PT 6  නාමයෙන්  චීනයෙන් නිෂ්පාදනය කරන ලද ගුවන් යානයක වත්මන් මිල ඇමරිකානු ඩොලර් මිලියන 0.75 ක් පමණ වන අතර ගුවන් නියමු පුහුණු කටයුතු සඳහා චීනයෙන් මෙරටට ගෙන්වන ලද මෙම ගුවන් යානා හයෙන් බොහොමයක්  අවාසනාවන්ත මරණ ගෙනදෙමින් මේ වන විට බිමට පත බෑවී තිබේ.

ඊයේත් උදෑසන 11.27  ට පමණ එවැනිම අවාසනාවන්ත මරණ දෙකක් සටහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පිහිටි අංක1 පියාසර  පුහුණු  පක්ෂාන්ගයේ නියමුවන් පුහුණු කිරීම සඳහා යොදා ගනු ලැබූ PT 6  වර්ගයේම ගුවන් යානයක්  කඩා වැටුණේ ආරක්ෂක ලොක්කන්ගේ රෙදි ගලවමින්ය.

ඉන් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වන වින්ග් කමාන්ඩර් තරිඳු හේරත් නම් ගුවන් නියමු උපදේශකවරයා සහ අලව්ව ප්‍රදේශයේ පදිංචි පුහුණු ගුවන් නිලධාරී ෆ්ලයින් ඔෆිසර් පෙෂාන් වර්ණසූරිය තරුණයා ජීවිතක්ෂයට පත් වූහ. පෙෂාන් වර්ණසූරිය ගුවන් යානා ඉංජිනේරුවරයෙකු ද වේ. අකාලයේ රටට අහිමි වන දක්ෂ උගත් තරුණ ජීවිත ගැන ගුවන් හමුදා ලොක්කන්ට සේම ආරක්ෂක ලොක්කන්ට වගේ වගත් නැත.

වෙනත් රටවල කෞතුකාගාර වලට පමණක් සීමාවී ඇති ඉපැරණි යානා වලින් පුහුණු කරන්නේ ලංකාවේ පමණි..

වෙනත් රටවල කෞතුකාගාර වලට පමණක් සීමාවී ඇති මෙම ඉපැරැණි ගුවන් යානා ගුවන් නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නේ ලංකාවේ පමණි. ලංකාවේ ගුවන් නියමුවන්ගේ  මරණ සහතිකය අතට දී කොමිස් සමග සුර සැප විඳින හමුදා ලොක්කන්ට, ආරක්ෂක ලේකම්ලාට මෙන්ම ජනාධිපති ආරක්ෂක උපදේශකයන්ට මේවා තවත් ඩීල් පමණි.

මෙවැනි තරුණ අකල් මරණ වලට වගකිවයුතු වියරු මිනීමරුවන් වහා නීතිය ඉදිරියට ගෙනැවිත් ඇඳිවත ඔලුවෙන් ගැල විය යුතු කාලය එළැඹී ඇතැයි සොල්දාදු උන්නැහේලාට සිතේ.

අවශ්‍යතාවයන් හඳුනා නොගෙන ජීවිතත් සමග සූදු කෙළින මෙම පජාත ආරක්ෂක ලොක්කන් ගැන වික්‍රමසිංහ සේනාධිනායකයා නොදන්නවා නම් අපි එක් ඩීල් එකක් මතක් කර දෙන්නෙමු.

නවීන පුහුණු යානා නොගෙන ඩොලර් මිලියන 55 ක අත යට ගණුදෙනුවක් කළේ කව්ද?

වසරකට එක පාරක් පමණක්  තත්පර කීපයකට පෙබරවාරි 4 නිදහස් දවසේ අහස උඩ ශබ්දයක් පමණක් ඇසෙන, ඇසට නොපෙනෙන කපීර් ගුවන් යානා හතරක් ඊශ්‍රායලය වෙතින් අලුත්වැඩියා කර ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 55 ක අත යට ගණුදෙනුවක් සිදු කළේ කව්දැයි වික්‍රමසිංහ සේනාධිනායකයා සොයා ගත යුතුය. එම්.17 වර්ගයේ ගුවන් යානාවක් අලුත්වැඩියාවට කියා තවත් ඩොලර් මිලියන ගණනක් ගසා කෑවේ කව්දැයි කියා ද වික්‍රමසිංහ සේනාධිනායකයා සොයා ගත යුතුය. එම මුදල් වලින් දශම පහක් වැයකර නවීන පියාසර  පුහුණු කිරීමේ යානාවක් මිලදී ගැනීමට කටයුතු කළේ නම් අද මෙවන් අකල් මරණ දෙකක් වළක්වා ගැනීමට තිබූ බව සක් සුදක් සේ පැහැදිලිය. මේවා හදිසි අනතුරු නොවේ. ලොක්කන්ගේ නොසැලකිල්ලෙන් සිදුකරන ඝාතනයන් ය.

හිත්පිත් නැතුව ජීවිතත් එක්ක ඩොලර් මිලියන ගණනින් ඩීල් දමන හමුදා ලොක්කන්, ආරක්ෂක ලේකම්ලා, ජනාධිපති ආරක්ෂක උපදේශකලා මිනීමැරුම් චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන දඬුවම් දීමට  වික්‍රමසිංහ සේනාධිනායකයාට හැකියාවක් ඇතැයි විශ්වාස කළ නොහැකි ය.

-සොල්දාදු උන්නැහේ

No comments:

Post a Comment