Monday, 7 August 2023

“බොරළුගොඩ සිංහයා” සිටියා නම් “බොරළුගොඩ සිඟාලයාට” කණට ගහනවා..!

-ජාතික ජන බලවේගයේ පෙත්සම් විභාගය ගැන දි අයිලන්ඩ් වාර්තාව සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.07, ප.ව.11.55) ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කළ නිර්භීත සටන් නිසා “බොරළුගොඩ සිංහයා” යන නාමය දිනා ගත් පිලිප් ගුණවර්ධන සිටියා නම්, තම පුත්‍රයා වන [“බොරළුගොඩ සිඟාලයා” යන නාමය දිනා ගත්] දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යකාරයාගේ ජනතා ඡන්ද අයිතිය අහිමි කිරීමේ උත්සාහය කිසිසේත් අනුමත නොකරන බව නයිජල් හැච් පසු ගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසීය. 

ආණ්ඩුව ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අනුග්‍රහය දක්වන මූලික අයිතිවාසිකම් පෙත්සමට සහය දක්වන උසස් නීතිඥ කණ්ඩායමකට ඔහු නායකත්වය දෙමින් සිටී.

මැතිවරණය නොපවත්වා සිටීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන මෙන්ම පළාත් පාලන ආයතන මැතිවරණ ප්‍රඥප්ති උල්ලංඝනය වනවා පමණක් නොව, ඡන්ද බලය සඳහා ජනතාවට ඇති මූලික අයිතිය ද අහිමි වී ඇති බව හැච් අධිකරණයට පෙන්වා දුන්නේය.

මැතිවරණ නොපවත්වන ලෙස බොරළුගොඩ සිංහයාගේ පුත්‍රයා ජනාධිපති නීතීඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය. මැතිවරණ නොපැවැත්වීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව නගන තර්කවල කිසිදු හරයක් නැත. ජනතාවට යුක්තිය ඉටු කිරීමට අධිකරණය මැදිහත් විය යුතු අතර, පෙත්සමට අවසර දිය යුතුය.

බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් කුමාර මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පෙත්සම පවත්වා ගෙන යාම සඳහා අවසර ලබා දෙන ලදී.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ 2023 මාර්තු 14 වැනි දාය.

විනිසුරුවරු විරෝධතා ප්‍රතික්ෂේප කරති...

ජාතික මැතිවරණ කොමිෂන් සභාව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර නොමැති නිසා විභාග කිරීමට නඩුවක් නොමැති බැවින් පෙත්සම නිෂ්ප්‍රභ කළ යුතු යයි නීතිපතිවරයා මුලික විරෝධතා මතු කළේය.

දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යකාරයා වෙනුවෙන් පෙනී සිටි ෆයිස් මුස්තාෆා ප්‍රකාශ කළේ මැතිවරණය පැවැත්වීමේ කාරණය දැන් තිබෙන්නේ පාර්ලිමේන්තුවේ බවයි.

පෙත්සමේ පවත්වා ගෙන යාමේ ‍හැකියාව සම්බන්ධයෙන් නීතිපතිවරයා හා මුස්තාෆා විසින් මතු කරන ලද මූලික විරෝධතා දෙකම නිෂ්ප්‍රභ කළ විනිසුරු මඩුල්ල විසින් පෙත්සම විභාගයට ගැනීමට දින නියම කෙරිණ.

නීතිපති දෙපාර්තමේන්තුවේ සිනහ උපදවන තර්ක.. 

නඩුව විභාග කළ දින දෙකකත් පැය නවයක කාල සීමාවකින් පසු, නීතිපතිවරයා නියෝජනය කරන වගඋත්තරකරුවන්ට එරෙහි මෙම නඩුව පවත්වා ගෙන යාමට නීතිපතිවරයා විරුද්ධ වූයේ, මැතිවරණ කොමිසම එහි සියලුම සාමාජිකයන්ගේ අදහස් විමසීමකින් තොරව මැතිවරණය සඳහා දින නියම කර ඇති බවත්, මැතිවරණය සඳහා අරමුදල් නොමැති බවත් යන කාරණා පදනම් කර ගෙනය.

මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි සාලිය පීරිස් කියා සිටියේ, නීතිපති දෙපාර්තමේන්තුවේ සිනහ උපදවන තර්ක ඇසීමෙන් තමන් ලැජ්ජාවට පත්වන බවයි. මැතිවරණය සඳහා මුදල් නිදහස් කළහොත් මැතිවරණය පැවැත්වීමට හැකි තත්ත්වයක කොමිසම සිටින බවට පසු ගිය සහ වත්මන් මැතිවරණ කොමිෂන් සභා දෙකේම සාමාජිකයින් තමාට උපදෙස් දී ඇති බව ඔහු පැවසීය.

අග්‍රාමාත්‍යකාරයා වෙනුවෙන් පෙනී සිටි ෆායිස් මුස්තාෆා තර්ක කළේ ජාතික ආර්ථිකයේ අස්ථාවර තත්ත්වය හේතුවෙන් මැතිවරණ කල් දැමීමට අවශ්‍ය වූ බවයි.

නයිජල් හැච්ගේ කණ කිස් කන උත්තරය..

හැච් සිය පිළිතුරු ඉදිරිපත් කිරීමේ දී නීතිපතිවරයාගේ සහ මුස්තාෆාගේ තර්කවලට ප්‍රතිවිරුද්ධව අදහස් දක්වමින් කියා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නොබියව සටන් කළ නිසා ‘බොරළුගොඩ සිංහයා’ යන නාමය ලබා ගත් පිලිප් ගුණවර්ධන සිටියා නම්, මැතිවරණ නොපැවැත්වීම වෙනුවෙන් පෙනී සිටින තම පුතාගේ [අවලම්] ක්‍රියාව අනුමත නොකරන බවයි.

නීතිපතිවරයා සහ මුදල් අමාත්‍යකාරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන පෙනී සිටියේය. මැතිවරණ කොමිසම වෙනුවෙන් සාලිය පීරිස් ද අග්‍රාමාත්‍යකාරයා වෙනුවෙන් ෆයිස් මුස්තාෆා ද පෙනී සිටියහ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, සුනිල් හඳුන්නෙත්ති හා වෛද්‍ය නිහාල් අබේසිංහ යන NPP පෙත්සම්කරුවන් වෙනුවෙන් නයිජල් හැච්, ශාන්ත ජයවර්ධන, සුනිල් වටගල හා එස්. ඉලංගගේ මෙනවිය පෙනී සිටියහ. 

නඩුව ඔක්තෝබර් 2, 4, 9, හා 10 යන දිනවල විභාගයට ගැනීමට දින නියම විය.

- 2023 අගෝස්තු 6 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, “Boralugoda lion would never have approved non-holding of elections” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68 

1 comment: