කැබිනට් තීරණ බල්ලට..! මාතර නිල්වලා ගඟ උද්‍යානය ගජයෙකුට.! මහින්දගෙ උපන්දිනයට මාතර වෙරළ උද්‍යානයෙන් පර්චස් 04 ක්..! මංගලගෙ අක්කගෙ දුවටත් මාතර කොටුවේ උසාවි ගොඩනැගිල්ලක්..!
-LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ මාතර අංශයේ හෙළිදරව්වක්
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.12, පෙ.ව.1.25) මුලු ලංකාවේම පුංචි ආණ්ඩු එසේත් නැතිනම් පළාත් පාලන ආයතන එකක් හැර සියල්ලම විසුරුවාහැර ඇත. නැතිනම් විසිරැවී ඇත. ඡන්දය පෙනෙන තෙක්මානයක නැත. ඒ අල්ලපනල්ලේ පුංචි ආණ්ඩුවල දේපලවලට මහ ආණ්ඩුවේ පෙරේත බැල්ම වැටී තිබේ.
පෙරේත බැල්මේ තරම..
රනිල් - රාජපක්ෂ ආණ්ඩුවේ විවිධ සුසංයෝග ඇත. ඒවා සියල්ලම ඒ ඒ බනිස්වලට හරියන ඒ ඒ කෙසෙල්ගෙඩි වෙති. සුපිරිම සුසංයෝගයක් වන්නේ සාගල-කංචන ඩබලයි. අරින ඇරිල්ල නහුතෙට ම ය. අත්‍යාවශ්‍යම බලකණු ටික ද ලංකරගෙන තිබේ. පසුගිය ජුලි මස 19 වන දින ජනාධිපති කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි. මුලසුනේ සිටියේ සාගල-කංචන ඩබලයි. මාතර දිස්ත්‍රික්කයේ එකම කැබිනට් ඇමති ලෙසින් කංචන වාඩිකර ගැනීම වැඩේ නියමෙටම ගැලපෙයි. දකුණේ ආණ්ඩකාර විලී ගමගේ ද සිටි අතර රාජපක්ෂ බෑණා නිපුණ රණවක ද සිටියෝය. නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රධාන නිළධාරීන් එහි පැමිණ සිටි අතර පුදුමයකට මෙන් අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ සහෝදරිය ජයන්ති ගුණවර්ධන සමරවීර ද එහි සිටියා ය.
01) මේ වන විට මාතර අධිකරණ සියල්ලම මාතර කොටුවේ සිට මාතර කොටවිල නව අධිකරණ සංකීර්ණයට රැගෙන ගොස් ඇත. දැන් මාතර කොටුවේ පැරණි අධිකරණ ශාලා සියල්ල හිස්ව ඇත. ඒවා සංචාරක කටයුතු සදහා යොදාගැනීමට නියමිත ය. නමුත් රැස්වීමට බොහෝ දිනකට කලින්ම, මංගලගේ සහෝදරිය ජයන්තිගේ දියණිය චංචලා ගුණවර්ධනට ‘ආර්ට් ගැලරියක්‘ පවත්වාගෙන යාම සඳහා මාතර කොටුවේ මහාධිකරණය තිබූ ගොඩනැගිල්ල ලබාදෙන්නට තීරණය කර ඇත.
02) මේ අතර මහින්ද රාජපක්ෂ ගේ මීළඟ උපන්දිනය යෙදෙන නොවැම්බර් ඉලක්ක කරමින් රාජපක්ෂලා වැඩ ගොඩකට අරඅඳිති. එකක් මාතර බෝධිය අසල සිට පෙරහැරක් යන්නට ය. ඒ හා සමගාමීව සිදුකෙරෙන පූජාවක් ලෙසින් මාතර පරෙවිදූව පන්සලට එහි ඉිදිරිපිට ඇති මාතර වෙරළ උද්‍යානයෙන් පර්චස් 4ක් ප්‍රදානය කිරීම එකකි. මේ වන විටත් ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරියට එම ඉල්ලීම අදාල හිමිනම විසින් ඉදිරිපත්කර ඇත. මෙම වෙරළ උද්‍යානය පාලනය සිදුවන්නේ මාතර මහ නගර සභාවෙනි. ඔවුන්ගෙන් මෙම අවස්ථාව ලබාගත නොහැකි නිසා, මාතර ප්‍රාදේශීය ලේකම්වරිය හරහා වැඩ සිදුවෙයි. ඇය උග්‍ර රාජපක්ෂවාදියෙකි.
03) මේ අතර මාතර නිල්වලා ගඟ ඉවුරේ ඉදිකිරීම් ඇරඹූ උද්‍යානය මංගල සමරවීර හිටපු ඇමතිවරයා විසින් අරඹන ලද්දකි. ඉඩම් පවරාගැනීමේ මූලික වැඩ ඇරඹුවේ ගෝටා ආරක්ෂක ලේකම්ව සිටි අවධියේය. මෙහි මුලු භූමිය අක්කර 26 කි. පළාත් පාලන ප්‍රතිපත්තිය අනුව මෙවැනි උද්‍යාන පළාත් පාලන ආයතන භාරයේ වියයුතුය. ඒ අනුව මෙහි පාලනය මාතර මහ නගර සභාවට දෙන්නට මංගල සිටි අවධියේ, නාගරික සංවර්ධන අධිකාරිය සමග ගිවිසුමක් ද ඇත. මෙම භූමියේ හෙක්ටෙයාර් 1.5 ක් පමණ නගර සභාවට අයිතිය. මෙම ව්‍යාපෘතිය ජනාධිපති ගෝටාගේ පැමිණීම සමග අතරමග නැවතුනි.
නගර සභා විසුරුවන්නට පෙර මෙම භූමිය මාතර මහ නගර සභාවට දෙන්නට කටයුතු කෙරිනි. ප්‍රසිද්ධ වෘත්තිමය පික් පොකට් කාරයෙකු වූ මාතර නගරාධිපතිවරයා එය මගහැරියේ අඩුපාඩු ඇති බව කියමිනි. ඇත්තටම ඔහුට ඕනෑවුනේ, තවත් සුප්‍රකට කප්පම්කරැවෙකු වූ දැනට සමුපකාර රක්ෂණ සමාගමේ සභාපති ඝාතනයට හවුල් බවට සැකපිට රිමාන්ඩ්ගතව සිටින , මාතර සමූපකාර සභාපති චමින්ද ගුණසේකරට මෙම උද්‍යානය ලැබෙන තැනට වැඩ කිරීමය. ආයෝජකයා වන්නට ගියේ එම චමින්ද සභාපතිය. පසුගිය නගර සභා නාමයෝජනා වලදී නගරාධිපතිවරයා නාමයෝජනා දුන්නේ එකී සමූපකාර සභාපති හා එක්ව එකම ස්වාධීන කණ්ඩායමකිනි. ඇත්තටම නගරාධිපතිට පොහොට්ටුවවත්, ඔහු ඉන්නා කොමිනිස්ට් පක්ෂයවත් නාමයෝජනා දුන්නේ නැත. මෙම සමූපකාර සභාපති රුහුණ ගුවන්විදුලිය ද ගන්නට ගියේය. සමූපකාර සභාපතිගේ හොඳම චක්ගෝලයා වරෙක ‘ලංකා ඊ නිව්ස්‘ හෙලිදරව්කළ ජඩමාධ්‍යකාරයා ක්‍රිෂාන් ජීවක ජයරුක් ය. කොසේ නමුත් උද්‍යානය දීම සිදු නොවීය.
රනිල්ගේ නියෝග සාගල බල්ලාට දමයි..
දැන් නගර සභාව මෙම උද්‍යානය භාර නොගත් බව කියමින් නාගරික සංවර්ධන අධිකාරිය පුද්ගලික ආයෝජකයෙකුට එය දීමට සැරසෙයි. මේ පිලිබඳ ලිපිය නාගරික සංවර්ධන ඇමති ප්‍රසන්න රණතුංග විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කළේ 2023 ජුනි 27 වන දිනය. 2023 ජුලි 10 දින ජනාධිපතිවරයා සිය අත්සනින්ම එම යෝජනාව ප්‍රතික්ෂේප කළ අතර නැවත නගර සභාව සමග සාක්ච්ඡාකරන ලෙස ලිඛිතවම දැන්වීය. මෙයට අදාල ලිපිය අමාත්‍ය මණ්ඩල ලේකම් විසින් 2023 ජුලි මස 18 දින පිටපත් රැසක් සහිතව නාගරික සංවර්ධන අධිකාරියට ද යවා ඇත.
එසේ තිබියදී සාගල රත්නායක ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස බරපතල වරදක් කළේය. ජනාධිපති ලිඛිත නිර්දේශය දැන දැනම ජුලි මස 19 දින රැස්වී මෙම උද්‍යානය පුද්ගලික ආයෝජකයෙකුට දීමට තීරණය කළේය. මෙම අවස්ථාවට පැමිණී නාගරික සංවර්ධන අධිකාරිය ද ජනාධිපති වරයාගේ ලිඛිත නිර්දේශය නොසලකා මෙම යෝජනාවට පක්ෂ විය.
සාගල හෝටලේකුත් මිලට අරන්...
සාගල දැනටමත් මාතර බ්‍රවුන්ස් හිල්හි පර්ල් ක්ලිප් හෝටලය ඉදිරිපිට මුහුදට මුහුණලා ඇති අඩක් නිමකළ විශාල සංචාරක හෝටලය මිළට ගෙන ඇත. එය වෙනත් නමකට ඇති බව පැවසේ. එය බලා ගන්නේ පරණ යකඩ වෙලෙන්දෙකු වන සාගලගේ ගෝලයා මහේෂ් යන අයයි.
තමන්ගේ ස්මාරක හදන බව දන්නවා නම් මංගල..
එයින් නොනැවතුන ඔවුන් 2023 ජුලි 22දින මතර ක්ෂේත්‍ර චාරිකාවකට ද එක් වූයේ මෙම ඉඩම් බැලීමටය. එයට සාගල, කංචන, පා.ම. නිපුන රණවක (රාජපක්ෂ බෑනා), නාගරික සංවර්ධන අධිකාරිය, මාතර දිසාපති සමග මංගලගේ සහෝදරිය ද එක්ව සිටියාය. මේ අතර මංගලගේ ස්මාරකයකට මංගලගේ අක්කා ජයන්ති ගුණවර්ධන සමරවීරට සනත් ජයසූරිය ක්‍රීඩාංගනය අසලින් පර්චස් 06 ක් ද දීමට එකඟ විය. (තමන්ගේ ස්මාරක හදන බව දන්නවා නම් මංගල සිය දිවි හානිකරගන්නවා නිසැකය)
මේ කරන්නේ මහා හොරකමකි. කවුරු කවුරුත් බලවතුන් එක්වී සංවර්ධනයේ නමින් මාතර වටිනා භූමිය රිසිසේ බෙදා ගැනීමකි. අදාල ලේඛණ ද මේ සමග ඇති ඉමේජ වල ඇත. මේ මජර හොරකමට මාතර ජනතාව විරුද්ධ විය යුතුය. මාතර වටිනා භූමිය බේරා ගැනීමට පෙරට ආ යුතුය.

No comments:
Post a Comment