Wednesday, 2 August 2023

මිනිසුන් තුන් වේල කන්න බැරිව ඉඳිද්දී ඇමති බානක් ‘ජරාව’ කන්නම තටමයි..!

-දි අයිලන්ඩ් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.02, ප.ව.11.00) යහමින් ‘ජරාව’ කෑ හැකි හදිසි විදුලි මිල දී ගැනීම් යළි සැලසුම් කෙරෙමින් පවතී, එය සාධාරණීකරණය කිරීම සඳහා [කුප්‍රකට] ඇමති බානක් දැඩි උත්සාහයක නිරතව සිටින බවට විදුලි පාරිභෝගික සංගමය චෝදනා කරයි.

කාංචන විජේසේකර විදුලිබල හා බලශක්ති අමාත්‍යකාරයා සහ මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යකාරයා හදිසි විදුලි මිල දී ගැනීම් සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටින බවට විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික ඊයේ (1) චෝදනා කළේය.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධම්මික කියා සිටියේ, සමනලවැව ජලාශයේ ජල මට්ටම පිළිබඳව අමාත්‍යකාරයන් දෙදෙනා විසින් සඳුදා දින මහජනතාවට කරන ලද ප්‍රකාශ යනු [මහා පරිමාණයෙන්] ජරාව කෑමට හැකි විදුලිය මිල දී ගැනීමේ ව්‍යාපෘතියකට මග පෑදීමක් බවයි.

දකුණේ විදුලිය විසන්ධි නොකළහොත් අවශ්‍ය පරිදි කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නිකුත් කළ නොහැකි තරමට ජල මට්ටම පහත බැස ඇති බව විජේසේකර අමාත්‍යකාරයා කියා සිටියේය.

ඉන්දීය සහල් අපනයන තහනම හමුවේ, වී අස්වැන්න අඩු වීම විනාශකාරී විය හැකි බැවින් ප්‍රතිවිපාක නොතකා ගොවීන්ට ජලය ලබා දිය යුතු බවට අමරවීර අමාත්‍යකාරයා අනතුරු ඇඟවීමක් කළේය.

කුඩා, අඩු වියදම් බලාගාර ඉදි කිරීමට රජය කිසි විටෙක උනන්දුවක් නොදැක්වූ බවට චෝදනා කළ ධම්මික, පෞද්ගලික අංශයෙන් මිල අධික විදුලිය මිල දී ගැනීම සඳහා අදාල පාර්ශව නැඹුරු වී සිටින බව පැවසීය. 2016 වසරේ සිට සෑම විදුලිබල අමාත්‍යකාරයෙකුම පාරිභෝගිකයින් මත විශාල බරක් පැටවෙන හදිසි මිල දී ගැනීම්වලට යොමු වූ බවත්, වත්මන් තත්වයේ කිසිදු වෙනසක් නැති බවත් ධම්මික චෝදනා කළේය.

දිස්ත්‍රික්ක පහකට පැය හතරක් පහක් දක්වා විදුලිය විසන්ධි කිරීමට සිදු වන බවට විජේසේකර අමාත්‍යකාරයා කළ අනතුරු ඇඟවීම ඔවුන්ගේ නින්දිත ව්‍යාපෘතිය සාධාරණීකරණය කිරීමක් යයි ධම්මික පැවසීය.

රජය හදිසි විදුලි මිල දී ගැනීම් සිදු කළහොත් නැවත විදුලි ගාස්තු ඉහළ යනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.

- 2023 අගෝස්තු 2 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, Anuradha Hiripitiyage ලියූ, “Lucrative emergency power purchases planned again” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment