වලව ගොවීන්ට වතුරත් නෑ.! වතුර ඉල්ලූ ගොවි නායකයන්ට මැර ප්‍රහාර..!
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.22, ප.ව.2.10) වලව ගොවි කලාපයේ මයුරපුර කොට්ඨාසයේ ගොවි නායකයින් ඉලක්කකර හඳුනානොගත් කණ්ඩායම් අමානුෂික ලෙස පහර දී සිදුකරන වධ හිංසා සම්බන්ධයෙන් පොලිසිය සහ බලධාරීහු නෑසූ කන්ව හිඳිති.
යල කන්නයේ වගාවන් සඳහා උඩවලව ජලාශයෙන් ජලය ලබාදීම කල්යාමත් සමඟ මතුවු දැඩි ජල හිඟයට සමස්ථ මයුරපුර කලාපයම මුහුණ දී සිටියි. මයුරපුර මහවැලි බල ප්‍රදේශයට අයත් ගොවි පවුල් 5300 ක් නියෝජනය කරයි. මෙම කොට්ඨාසයේ ගොවි සංවිධාන 86 ක නායකත්වය දරන ගොවි නායකයෝ පවතින උග්‍ර ජල හිඟය, වන අලි වගාවන්ට කරන හානිය හා ආර්ථික ගැටළු වලට අධික ලෙස මුහුණ දෙමින් සිටින ගොවීන් වෙත අවශ්‍ය සහායන් සඳහා මැදිහත් වෙති. උග්‍ර නියං තත්වයට නිසා වගාවට අවශ්‍ය ජලය ඉල්ලමින්, නිදහස් කර ගන්නා ජලය පීඩාවට පත් ගොවීන්ගේ ගොවි බිම් වෙත රැගෙන ඒමට ඔවුන් දරන්නේ අපමණ වෙහෙසකි. මේ අතරේ මහා පරිමාණයෙන් වගා කරමින් සිටින මුදලාලිලා හා අනවසර වගා කරුවන් ඔවුන්ගේ වගාවන් හා අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා ජලය ලබා ගැනීමට ද කටයුතු කරති. එවැනි වගා කරුවන් බොහෝ විට නීතිමය තත්ත්වයන්ට වඩා මුදල් බලය, මැර බලය හා දේශපාලන බලය යොදා ගන්නා පිරිසකි. ඒවාට විරුද්ධව කටයුතු කරන ගොවි නායකයින් ජල මංකොල්ල කරුවන්ගේ ග්‍රහණයට හා පීඩනයන්ට හසුවී සිටිති.
ඒ අනුව පසුගිය මාසක කාලයක් තුල මයුරපුර කොට්ඨාසයේ ගොවි නායකයින් දෙදෙනෙකු වෙත සිදුකරන ලද අමානුෂික ප්‍රහාරයන් මගින් එක් අයෙක් මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
පහර දීමේ සිද්ධි අංක 01.
2023-07-27 වැනි දින ප:ව: 6.00 ට කේ.ඒ .අජිත් කුමාර වන අවුරැදු 47 වු ගොවි නායකයාට, මයුරපුර කොට්ඨාසයේ බෝපැළේ වැව අසලදී නාඳුනන පිරිසක් විසින් අමානුෂික අයුරින් පහර දී මහ මග දමා ගොස් තිබේ.
පහර දීමේ සිද්ධි අංක 02.
2023-08-15 වැනි දින ප:ව: 7.00 ට පමණ ජී. කරුණාතිලක නම් වු අවුරුදු 54 වන ගොවි නායකයාට UD-60 හි, 29 වැව ආසන්නයේදී නාඳුනන පිරිසක් විසින් පොලු මුගුරු වලින් අමානුෂික ලෙස පහර දී දෑත් දෙපා කඩාහානි සිදු කර ඇත.
ඉහත පළමු සිදුවීම ගැන 2023-07-27 දිනද ,දෙවැනි සිදුවීම ගැන 2023-08-17 දිනයේදී ද වරාය පොලීසියේ පැමිණිලි කොට ඇත. එහෙත් ඒ සඳහා කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති අතර මැර බලය භාවිතා කරන පිරිස තවමත් නිදැල්ලේ පසුවෙති.
ගොවි පවුල් විශාල පිරිසක් නියෝජනය කරන මෙම ගොවි නායකයින් මුහුණ දී ඇති තත්වය ඉතාම ඛේදනීය ය.
දැනටමත් සමනලවැව මගින් ජලය උඩවලව ජලාශයට නිකුත් කොට දින 10 ක් ගත වී ඇතත් ප්‍රමාණවත් ජලය ගොවි බිම්වෙත ලැබී නැත. ඒ නිසාම ජලය බෙදා ගැනීම පිළිබඳ ගොවීන් අතර විවිධ ගැටුම් වර්ධනය වෙමින් පවතී. ගොවින්, මහා පරිමාන අනවසර වගා හිමියන් අතර ඇති විය හැකි ගැටුම් වලක්වා ගැනීමට වහා පියවර ගැනීමට මහවැලිය, කෘෂිකර්ම හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මැදිහත් විය යුතුය.
ඉහත කී අමානුෂික ප්‍රහාරයන් සඳහා වගකිවයුතු මැර කණ්ඩායම් ඉතා ඉක්මනින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි පොලිසියට බල කරමු.
මෙම අපරාධකරුවන් අත්අඩංගුවට නොගෙන නිදැල්ලේ ඉන්නට ඉඩහැරීමෙන් ගොවි නායකයින්ගේ ජීවිත අනතුරේ හෙළා තිබේ. යම් හෙයකින් අවාසනාවන්ත ලෙස ගොවි නායකයෙකුගේ ජීවිතයකට හානි සිදුවුවහොත් අපරාධකරුවන්ට නිදැල්ලේ සීටීමට හැර මුනිවත රකින පොලීසිය එහි වගකීම බාර ගත යුතුය.
(සේයාරූ වල දැක්වෙන්නේ මැර ප්‍රහාරයන්ට ලක්වූ අජිත් කුමාර සහ කරුණාතිලක ගොවි නායකයන්ය)

No comments:
Post a Comment