Monday, 21 August 2023

නාමල්ගේ ලක්ෂ 26 ක විදුලි බිල අයකර නොගෙන දුප්පතාගේ විදුලිය විසන්ධි කරන්නට ගිය විදුලි සේවකයන්ට බලු කූඩුවේ පිට ලෑල්ලකින් පහර දීලා..! 

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.21, ප.ව‍.10.10) 2019 දී පැවැති නාමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් දින 3 ක් සඳහා රුපියල් ලක්ෂ 26 ක් තරම් වූ විදුලි බිලක් 2023 දක්වා ද අය කර නොගත් විදුලි බල මණ්ඩලය යළිත් වතාවක් සාමාන්‍ය ජනයාට උහුලා ගත නොහැකි තරම් සියයට පනහක් තරම් ඉහළ අගයකින් විදුලිය ගාස්තු වැඩි කර තිබියදී ඒවා ගෙවා ගත නොහැකි ජනතාවගේ විදුලිය විසන්ධි කිරීමට යෑමෙන් ජනතාවගෙන් පහර කන තත්ත්වයට ජනතා කෝපය ඉහළ නැංවී ඇත.

එවැනි සිදුවීමක් අද(21)  තලාව ජයගඟ ප්‍රදේශයෙන් වාර්තා විය. එම ප්‍රදේශයේ  නිවසක විදුලිය විසන්ධි කිරිමට ගිය විදුලි සේවකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට ගෙහිමියා විසින් බලු කූඩුවේ තිබූ පිට ලෑල්ලකින් පහර දී තිබේ.

කැකිරාව විදුලි අධිකාරී බලප්‍රදේශයට අයත් තලාව ජයගඟ ප්‍රදේශයේ එකී නිවසේ විදුලිය විසන්ධි කිරීම සදහා පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක සේවකයින් දෙදෙනෙක් අද දහවල් කාලයේ පැමිණ ඇත. නිවසට පැමිණි මොවුන්, නිවසේ විදුලිය විසන්ධි කිරීමට අවශ්‍ය  බව පවසා ඇත. එවිට නිවසේ සිටි මව සහ පුතා විසින් තම නිවසේ විදුලිය  විසන්ධි  නොකරන ලෙසත් අද පඩි දවස බැවින් අද දිනයේම හිඟ විදුල බිල ගෙවා දමන බවත් දැනුම් දී ඇත.

ගෙහිමියන්ගේ කන්නලව්ව ඇහුවේ නෑ..

ගෙහිමියන් එසේ කන්නලක් කළ ද විදුලිය විසන්ධි  කිරීමට ආ පුද්ගලයින්  පවසා ඇත්තේ, ඔවුන්ට ඉහලින් ඇවිත් තිබෙන නියෝග නිසා  විදුලිය විසන්ධි  කිරීම අනිවාර්යෙන්ම කළ යුතු බව‍යි. ඒ අනුව ඔවුන් නිවසේ, විදුලිය  විසන්ධි කිරීමට උත්සාහ දැරීමේදී, තමන්ගේ කීම නොඇසීම ගැන උරන වූ  නිවසේ පුද්ගලයෙකු, විසින් අසල තිබූ බලු කූඩුවේ වහලය උඩ තිබූ ලෑල්ලකින් විසන්ධි කිරීමට තැත්කළ පුදගලයාට පහර දී ඇත. පහර දීමේ දී ලෑල්ල කැඩී යාම නිසා ඔහු නිවසේ තිබූ සවලක් ද රැගෙන පහර දීමට පැමිණීම නිසා සේවකයන් දෙදෙනාම  ස්ථානයෙන් පළා ගොස් තලාව පොලිසිය වෙත පැමිනිල්ලක් දමා තලාව රෝහලට ප්‍රතිකාර  ගැනීම සඳහා ඇතුලත් වීමටත් ක්‍රියා  කර ඇත. පසුව ගෙහිමි පුද්ගලයින් ද ගෙහිමි කාන්තාවට විදුලි සේවකයන් පහර දුන් බව පවසමින්  එකී කාන්තාවද තලාව රෝහලේ ප්‍රතිකාර ගැනීම සඳහා ඇතුලත්ව ඇත.

නාමල් රාජපක්ෂලා වැනි බලවතුන්ගේ මිලියන ගණන් විදුලි බිල් අයකර ගන්නේ නැතිව දුප්පතාගේ විදුලි බිල අහස පොළොව නුහුලනා ප්‍රමාණයකින් වැඩි කර විදුලිය කපන්නට ද යන විදුලි බල මණ්ඩලයේ සහකම්පනයක් නැති නිලධාරීන්ට මේවා යස පාඩම් ය.

-තිසර සමල්ගේ වාර්තාවක් ඇසුරිනි

No comments:

Post a Comment