Friday, 25 August 2023

වීරයන් අවශ්‍ය දේශය අවාසනාවන්තය...! වඳුරන් ඇවිත් ගෙඩි කඩා දෙන තෙක් ගහ දිහා බලාගෙන සිටින ජනතාවක් ඊටත් වඩා අවාසනාවන්තය..!

-දි අයිලන්ඩ් කතුවැකියක් සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.25, ප.ව‍.10.25) දූෂණය, නාස්තිය සහ ආර්ථික අවභාවිතය නිසා කියා නිම කළ නොහැකි දුක් විඳිමින් සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ හදවත්වලට සතුටක් ඇති වූයේ අවසානයේ දී විදේශීය දේශපාලකයන් දෙදෙනකු හෝ නීතියට කොටු වී ඇති බව ඇසීමෙනි.

තක්ෂින් ෂිනවත්‍රා අත් අඩංගුවට...

වසර 15 කට පසු ආපසු සිය රට පැමිණි, තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා අඟහරුවාදා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරයට ගෙන යන ලද්දේ, ඔහුගේ ආධාරකරුවන් විශාල ප්‍රමාණයක් රතු වස්ත්‍රයෙන් සැරසී වීරයකු පිළිගැනීම සඳහා බලා සිටිය දීය.

ෂිනවත්‍රා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ පක්ෂයේ අපේක්ෂක ශ්‍රේත්තා තාවිසින් නව අගමැති ලෙස පත් කිරීම සඳහා කයිරාටික ගනුදෙනු හා නීතිමය තර්ක විතර්ක මධ්‍යයේ තායිලන්ත පාර්ලිමේන්තුව රැස්ව තිබිය දීය.

ඇලිසොන්-මැඩුවකේට එරෙහිව..

එදිනම, එක්සත් රාජධානියේ දී, නයිජීරියාවේ ගුඩ්ලක් ජොනතන් ආණ්ඩුවේ ප්‍රමුඛ සාමාජිකයෙකු වූ හිටපු තෙල් ඇමතිනී ඩියෙෂානි ඇලිසොන්-මැඩුවකේට එරෙහිව අල්ලස් චෝදනා නැගිණ. ඇය ජීවත් වූ එක්සත් රාජධානියේ දී සිදු කෙරෙන විමර්ශනයක් සඳහා ඇයගේ ඩොලර් මිලියන ගණනක් වටිනා වත්කම් අත්හිටුවා ඇත.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන පරිදි, එක්සත් රාජධානියේ ජාතික අපරාධ ඒජන්සියේ (NCA) ජාත්‍යන්තර දූෂණ ඒකකය විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි මත පදනම්ව ඇලිසන්-මැඩුවෙකේ අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

පුදුමය දනවන කරුණකි. එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ඇයට සම්බන්ධ ඇමරිකානු ඩොලර් මිලියන 53 ක වත්කම් ද අය කර ගෙන ඇත.

කුතුහලය නම්, විදේශීය නායකයින් නීති විරෝධී ලෙස උපයා ගත් ධනය ගැන සොයා බැලීම සහ ඒවා නැවත ලබා ගැනීම පිළිබඳ විශේෂඥයින් වන බටහිර කල්ලි, ඔවුන්ගේ භූ දේශපාලන න්‍යාය පත්‍ර ඉදිරියට ගෙන යාමට බාධාවක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ දේශපාලකයන් විසින් අයථා ලෙස උපයා ගෙන ඇති විදේශ වත්කම් සොයා ගැනීමට අපොහොසත් වීමයි.

බටහිර රහස් පොලිස්කාරයන්ට වඩා ලංකාවේ තක්කඩියන් දක්ෂද?

ඒ කියන්නේ, බටහිර රහස් පොලිස්කාරයන්ට වඩා ලංකාවේ තක්කඩියන් දක්ෂ බව ද?

එජාපය ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවේ මුල් අවධියේ දී, ශ්‍රී ලංකාවෙන් සොරා ගත් වත්කම් සොයා ගැනීම සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) පිහිටුවීම සඳහා ඇතැම් බටහිර ආණ්‌ඩුවල සහාය ලබා ගන්නා බවට රනිල් වික්‍රමසිංහ අගමැතිකාරයා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිකාරයා කටමැත දෙඩූ හැටි ඔබ සිහියට නගා ගන්න.

2015 දී වික්‍රමසිංහ-සිරිසේන තකට-තක බානට රටේ බලය අල්ලා ගැනීමට හැකි වූයේ, මෙරටින් සොරකම් කළ ධනය ආපසු ගෙන එන බවටත්, දූෂිතයින් සිර ගෙවල්වලට දක්කන බවටත් ගාම්භීර ප්‍රතිඥා දෙමින් ඔවුන් ගෙන ගිය වැඩදායී දූෂණ විරෝධී මෙහෙයුම නිසාය.

බටහිර විමර්ශන කණ්ඩායම්වල හැකියාව, බලපෑම් සහ සම්පත් අනුව සිතා බලන විට ඔවුන් ගත් උත්සාහය අසාර්ථක වී ඇතැයි සිතිය නොහැක. ශ්‍රී ලංකාවෙන් සොරකම් කළ වත්කම් පිළිබඳ අවශ්‍ය සියලු තොරතුරු ඔවුන් විසින් එක්රැස් කර ගෙන තිබේ. එහෙත් ශ්‍රී ලාංකීය මහජනතාවට යුක්තිය ඉටු වන බව සහතික කිරීම සඳහා ඒවා හෙළි කිරීම වෙනුවට, ඔවුන් එම තොරතුරු භාවිතා කරන්නේ ශ්‍රී ලංකාවේ දූෂිතයන් බ්ලැක්මේල් කිරීම සඳහා දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය.

මීට වසර කිහිපයකට පෙර බටහිර විරෝධී කයිවාරු ගසමින් ගර්ජනා කළ දේශප්‍රේමී යැයි කියා ගත් දේශපාලකයන් අද මුමුණමින් සිටින්නේ ඇයි දැයි එයින් තේරුම් ගත හැකිය.

රාජපක්ෂලා සිර ගත කරන බවට පාරම් බෑ රනිල් දැන් ඒ වලව්වේ දොරටුපාලයා ය...

සිරිසේන 2018 දී රාජපක්ෂලාගේ පස්ස සෝදා ජාම බේරා ගන්නට බැලුවේය.

අල්ලස, දූෂණය, බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ විවිධ අපරාධ සම්බන්ධයෙන් රාජපක්ෂලා සිර ගත කරන බවට පාරම් බෑ රනිල් වික්‍රමසිංහ, දැන් සිය ජනාධිපති සිහිනය සැබෑ කර ගන්නට මග පෑදූ රාජපක්ෂ වලව්වේ දොරටුපාලයාය!

නරකම දෙය නම්, ඔහු උජාරුවෙන් වාඩි වෙන කැබිනෙට්ටුවේ සිටින සමහර අමාත්‍යකාරයන් [ඔහු වැනිම] පට්ට දූෂිතයන් වීමය.

ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය අමාත්‍යකාරයා අඟහරුවාදා මාධ්‍ය හමුවට එක් වෙමින් කොළඹ වරායේ ප්‍රශ්න ගත ඉඩම් ගනුදෙනුවක් ඇතුළු මෙගා ජාවාරම් කිහිපයක් හෙළිදරව් කළේය. ජේවීපිය ද ඒ ගැන ඇස් කන් පියා ගෙන සිටින බව ඔහු පැවසීය.

ජපාන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විසින් එල්ල කරන ලද අල්ලස් චෝදනාවක් හේතුවෙන් ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිකාරයාගේ නියමය මත කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ නිමල් සිරිපාල ද සිල්වා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යකාරයාට ගැලවී යාම සඳහා මග විවර කළේ වික්‍රමසිංහ ජනාධිපතිකාරයාය.

දූෂණයට එරෙහි මහා සටන්කරුවා යයි තමන්ම හංවඩු ගසා ගන්නා ජේවිපිය..

අල්ලසට හා දූෂණයට එරෙහි මහා සටන්කරුවා යයි තමන්ම හංවඩු ගසා ගන්නා ජේවිපියට භාණ්ඩාගාර බැඳුම්කර මගඩිය සිදු කළ දූෂිත යහපාලන රෙජීමයට මුක්කු ගැසීම සඳහා කිසිදු චකිතයක් තිබුණේ නැත. එහි හිටපු සගයන් චෝදනා කරන්නේ හෙළි නොකළ අරමුදල් විශාල ප්‍රමාණයක් ඔවුන් විසින් ද විදේශයන්හි ආයෝජනය කර ඇති බවටයි!

වීරයන් අවශ්‍ය දේශය අවාසනාවන්තය..

වීරයන් අවශ්‍ය දේශය අවාසනාවන්තය කියා බ්‍රැක්ටියානු කියමනක් තිබේ. සෑම වාචාල දේශපාලකයෙකු තුළින්ම වීරයකු හෝ වීරියක දැකීමේ නැඹුරුවක් ශ්‍රී ලාංකිකයන්ට ඇත.

ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වීම කෙතරම් ද යත්, ඔවුන් වරක් ප්‍රතික්ෂේප කළ කසිකබල් දේශපාලකයන් කෙරෙහිම නැවත බලාපොරොත්තු තබා ගනිති.

ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ කෙරෙහි ඔවුන් දැඩි කලකිරීමකට පත්වීම ස්වභාවිකය.

රට පාලනය කිරීම නවකයින්ට පැවරීමේ විනාශකාරී අත්හදා බැලීම නැවතත්..

ඔවුන්ගෙන් සමහරෙක් රට පාලනය කිරීමේ කාර්යය නවකයින්ට පැවරීමේ විනාශකාරී අත්හදා බැලීම නැවත අත්හදා බැලීමට පවා සූදානම්ව සිටිති.

වැස්සකටවත් ප්‍රාදේශීය සභාවකටවත් ගොස් නොතිබුණු ගෝටාබය රාජපක්ෂ නමැත්තා ඔවුන් විසින් ජනාධිපති ධූරයට ඔසවා තැබුවේ, ඌ ආර්ථික ආශ්චර්යයන් සිදු කරනු ඇතැයි යන අපේක්ෂාවෙනි. නමුත් ඌ රට බංකොලොත් කළේය.

සුරුට්ටු කඩයක්වත් කර අත්දැකීම් නැති නමුත් ජාතික ආර්ථිකය උඩු යටිකුරු කළ හැකි යයි කියන, සමහර යල්පිනූ කොමියුනිස්ට් සටන් පාඨවල එල්ලී සිටින, තමන් ගැන උජාරුවෙන් සිතන රැඩිකල් රැළකට ඔවුන්ගෙන් ඇතැමෙක් දැන් සහාය දක්වති. ශ්‍රී ලාංකිකයන් මෙලෙස රට හැර යාම පුදුමයක් නොවේ; ඔවුන්ගේ නික්ම යාම කෙන්යාවේ මසායි මාරා වල් හරකුන්ගේ සංක්‍රමණයට සමානය.

වඳුරන් ඇවිත් ගෙඩි කඩා දෙන තෙක් ගහ දිහා බලාගෙන...

ශිනවත්‍රා සහ ඇලිසන්-මඩුකේට අත් වූ ඉරණමම තම දූෂිත නායකයින්ට අත්වනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් යාඥා කරමින් සිටිය යුතුය. වඳුරන් ඇවිත් ගෙඩි කඩා දෙන තෙක් ගහ දිහා බලා ඉන්නවා වාගේය!

- 2023 අගෝස්තු 24 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, “If wishes were horses …” නම් කතු වැකිය සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment