තායිලන්තයෙත් "උන් ඔක්කොම යාළුවෝ මල්ලි" - එකිනෙකාට මඩ නොගසා ප්‍රභූ දේශපාලනයට එරෙහිව එක්සත් සන්ධානයක් ගොඩ නැගීමේ අපේ අභියෝගය..!
-ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.24, ප.ව.11.45) මාස තුනකට අධික කාලයක් පැවැති දේශපාලන අර්බුදය නිම කරමින් තායිලන්ත ද්විමණ්ඩල පාර්ලිමේන්තුව පසුගිය අඟහරුවාදා (21) දේපළ වෙළඳාම් ව්‍යාපාරික ශ්‍රේත්තා තාවිසින් (Srettha Thavisin) තායිලන්තයේ තිස් වන අගමැතිවරයා වශයෙන් තෝරා පත් කර ගත්තේ ය. පසුගිය මැයි මස පැවැත්වූ මහ මැතිවරණයෙන් දෙවැනි ස්ථානයට පත් වූ Pheu Thai පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් පත්වූ තාවිසින්ට ද්විමණ්ඩල පාර්ලිමේන්තුවේ ඡන්ද 750 න් 482 ක් ලබා ගැනීමට හැකි විය.
තායිලන්ත තරුණයන් මෙහෙයවූ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය…
පසුගිය මැයි මාසයේ පැවැති තායිලන්ත මහ මැතිවරණයේදී පීටා ලිම්ජාරෝඑන්රත්ගේ "Move Forward" පක්ෂය ආසන 151ක් (සියයට 38.5) දිනා ගනිමින් පළමු ස්ථානයට පැමිණියේ ය. එය තායිලන්ත තරුණයන් මෙහෙය වූ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයකි. තායිලන්තය සඳහා ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළ හිටපු තායිලන්ත අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය වන පේටොංටාර්න් ෂිනවත්‍රා නායකත්වය ලබා දෙන "Pheu Thai" ආසන 141ක් (සියයට 29ක්) ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්විය. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින එම ප්‍රධාන දේශපාලන බලවේග දෙකට සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 67.5 ක් හිමිවිය. එනම් තුනෙන් දෙකකට අධික ජනතා කැමැත්ත හිමි වූයේ ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහාය.
ජනතාවගෙන් තුනෙන් දෙකක් අනුමත කළ ප්‍රතිසංස්කරණ...
එම ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලෙහි ප්‍රධාන අංගයන් වූයේ: 1) තායිලන්තයේ දරුණු ලෙස් මැජෙස්ටේ නීතිය (lese majeste law) සංශෝධනය කිරීමය. එනම් 112 වැනි වගන්තිය ලෙස ද හැඳින්වෙන මේ නීතිය යටතේ, රජුට, ඔහුගේ සමීපතම පවුලට හෝ රාජ්‍ය නායකයාට අපහාස කිරීම සහ ඔවුන් විවේචනය කිරීම වසර 3 සිට 15 දක්වා සිර දඬුවමක් ලැබිය හැකි වරදකි; 2) තායිලන්ත රාජ්‍යයට තිබෙන එරට හමුදාවේ මැදිහත්වීම්, බලපෑම අවසන් කිරීමය.
ප්‍රභූ දේශපාලන පංතිය තරුණ පීටා ලිම්ජාරෝඑන්රත්ට දොර වසයි…
මේ ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලට එරෙහිව හමුදාවට සහ රජුට, රාජාණ්ඩුවට පක්ෂපාතී හිටපු අගමැති ප්‍රයුත් චාන්-ඕචාගේ හමුදා ජුන්ටාවට අයත් සියලු පක්ෂ වලට ගත හැකි වූයේ සියයට 15ක ඡන්ද ප්‍රමාණයක් පමණි. "Move Forward", "Pheu Thai" ප්‍රමුඛ සන්ධානයට ආසන 311ක් හිමිවූ අතර ඔවුන් තම අගමැති අපේක්ෂකයා වශයෙන් තරුණ පීටා ලිම්ජාරෝඑන්රත් ඉදිරිපත් කළේ ය. එහෙත් තායිලන්ත මැතිවරණ කොමිසම, ව්‍යවස්ථාදායක අධිකරණය සහ ස්ථාපිතව ප්‍රභූ දේශපාලන පංතිය සිදු කළ කුමන්ත්‍රණයකින් පසුව පීටාගෙන් එම අවස්ථාව උදුරා ගැණින. පාර්ලිමේන්තුවේ ආසන 500 න්, 311 ක බහුතරයක් පීටාගේ සන්ධානයට හිමි වුවද අගමැති තේරීමේදී තායිලන්ත හමුදාව විසින් පත් කරන ලද සෙනෙට් මන්ත්‍රීවරු 250 සහය පීටාට නොලැබුණි. හමුදාවේ සහ රජුගේ සට්ටැඹිරාළලා වශයෙන් ප්‍රකට මේ පිරිස ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳ මාරාන්තික විරෝධයක් දැක් වූහ. පීටාගේ අගමැති අපේක්ෂකත්වය කිහිප වරක්ම ද්විමණ්ඩල පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුව ද ඒ සෑම අවස්ථාවකදීම අවශ්‍ය බහුතර ඡන්දය නොලැබිණ.
පීටාට නොලැබුණු අගමැතිධුරය තාවිසින්ට හිමි වූයේ කෙසේ ද?
පීටාට නොලැබුණු අගමැතිධුරය ඔහුගේ සන්ධානය නියෝජනය කළ Pheu Thai පක්ෂයේ ශ්‍රේත්තා තාවිසින්ට හිමිවූයේ කෙසේ ද? Pheu Thai යනු හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා නිර්මාණය කළ තායිලන්තයේ ජනප්‍රිය පක්ෂයයි. වසර 2001 සිට සෑම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකදීම ඉදිරියෙන් සිටියේ Pheu Thai පක්ෂයයි. පසුගිය මැයි මස මහ මැතිවරණ යනු ප්‍රජාතන්ත්‍රවාදී තරුණ අරගලයකි, විප්ලවයකි. පීටා ලිම්ජාරෝඑන්රත්ගේ නායකත්වයෙන් යුතු "Move Forward" පක්ෂය වැඩි ආසන ගණනාවක් දිනා ගත්තේ එම තරුණ අරගලයට නායකත්වය ලබාදීමේ ප්‍රතිඵලයක් වශයෙනි. Move Forward පක්ෂය යනු Pheu Thai මෙන් තායිලන්ත දේශපාලන දේහයේ ස්ථාපිත සාම්ප්‍රදායික පක්ෂයක් නොවේ.
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳ පොරොන්දු කුණු කූඩයට..
Pheu Thai පක්ෂයේ අගමැති අපේක්ෂකයා වශයෙන් තාවිසින් ඉදිරිපත් වන්නේ පක්ෂ දහයක සන්ධානයක අපේක්ෂකයා වශයෙනි. මේ සන්ධානයට හමුදා ජුන්ටාවට අයත් පක්ෂ දෙකක් සහ තායිලන්ත රාජාණ්ඩු ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින පක්ෂ කිහිපයක් ඇතුළත්ය. ඒ සියළු දෙනාට කැබිනට් ඇමතිධූර ලබා දීමට තාවිසින් පොරොන්දුවී සිටියි. මේ සන්ධානයට එක්වීමත් සමඟ ඔවුන් පසුගිය මහ මැතිවරණයේදී ජනතාවට ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳ පොරොන්දු කුණු කූඩයට වීසි කර ඇත. එමෙන්ම තමන්ට ඡන්දය ලබා දුන් ජනතාවට ද්‍රෝහීවී තිබේ. එහෙත් පීටාගේ "Move Forward" පක්ෂය තාවිසින්ගේ අපේක්ෂකත්වයට එරෙහිව ඡන්දය භාවිතා කළේ ය. හමුදා ගැති පක්ෂ දෙකක් සමඟ සන්ධාන ගතව සිටින තාවිසින්ට තම ඡන්දය ලබා නොදෙන බව ඔවුහු අවධාරණය කළහ. අවසානයේ තායිලන්තයේ සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලන පංතිය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වළක්වා තම ආධිපත්‍යය නව වටයකින් ස්ථාපිත කර ගෙන තිබේ. තායිලන්ත රජු සහ ඔහුගේ රාජාණ්ඩුව, හමුදාව, රාජ්‍ය නිලධාරීන්, ප්‍රභූ කොටස් මෙන්ම ෂිනවත්‍රාගේ Pheu Thai පක්ෂය ඇතුළු තායිලන්තයේ සම්ප්‍රදායක පක්ෂ නියෝජනය කරන්නේ මේ ප්‍රභූ දේශපාලන පංතියයි.
"උන් ඔක්කොම යාළුවෝ මල්ලි”
ඔවුහු නිර්ප්‍රභූන් අතට දේශපාලන බලය ඉඩ ලබානොදුන්හ. පීටා ලිම්ජාරෝඑන්රත්ගේ නායකත්වයෙන් යුතු "Move Forward" පක්ෂය සහ ඒ වටා පෙලගැසුනු ජන බලවේගය නියෝජනය කළේ තායිලන්තයේ නිර්ප්‍රභූ ප්‍රජාවයි. මේ නිර්ප්‍රභූ බලවේග අතට දේශපාලන බලය හුවමාරුව වැළැක්වීම සඳහා ප්‍රභූ පංතිය තම දේශපාලන මතවාද අත්හැර දමා එක් පෙරමුණකට ගොනු වූහ. එහි ප්‍රතිඵලය Pheu Thai පක්ෂයේ තාවිසින් සියළු ප්‍රභූ බලවේගයන්හි ආශීර්වාදයෙන් අගමැතිධුරයට පත්වීමය. වරෙක රන්ජන් රාමනායක ප්‍රකාශ කළ පරිදි “උන් ඔක්කොම යාළුවෝ මල්ලි” යන්න ගෝලීය යථාර්ථයකි.
හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ ඩීල් දේශපාලනය..
තාවිසින් නව අගමැතිවරයා වශයෙන් තෝරාගත් දිනයේම ඔහුගේ පක්ෂයේ නිර්මාතෘ සහ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා වසර පහළොවකට අධික කාලයක් ස්වයං පිටුවහලක සිට සියරට පැමිණියේ ය! හිටපු අගමැතිවරයාට ෂිනවාත්‍රාට රටින් පලායෑමට සිදුවූයේ හමුදාව ඔහුගේ ආණ්ඩුව බලයෙන් පලවා හැරීම හේතුවෙනි. ඔහුට එරෙහිව මූල්‍ය දූෂණ පිළිබඳ චෝදනා එල්ල කළ හමුදා ආණ්ඩුව, වසර අටක සිරදඬුවමක් ලබාදුන්නේ ය. සිය පක්ෂය නව ආණ්ඩුවක් පිහිටවූ දිනයේම ඔහු නැවත සියරට පැමිණෙන්නේ තායිලන්ත හමුදාව සහ රජු සමඟ ඇති කර ගන්නා දේශපාලන එකඟතාවයකින් පසුවය. සරළව පවසන්නේ නම් දේශපාලන ඩීල් එකකි. දැන් ෂිනවාත්‍රාගේ පක්ෂය, හමුදාව සහ රජු සිටින්නේ එකම දේශපාලන සන්ධානයකය. වසර ගණනාවක් පරම දේශපාලන සතුරන්ව සිටි ඔවුහු තම දේශපාලන පංතියේ ආරක්ෂා වෙනුවෙන් අද එක්වී සිටිති. මේ නව දේශපාලන මිත්‍රත්වය අනුව තායිලන්ත රජු ෂිනවාත්‍රාට සමාවක් ලබාදෙනු ඇති එරට මාධ්‍ය වාර්තා කරයි.
තායිලන්ත තරුණ අරගලය ගෝල්ෆේස් මාවතට වැටීම…
අපේ ගෝල්ෆේස් අරගලයට සිදු වූයේ ද තායිලන්තයේ තරුණයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයට සිදු වූ වින්නැහියමය. දශක හතකට අධික කාලයක් පුරා දේශපාලන බලය අත්පත් කර ගෙන සිටි ප්‍රභූ දේශපාලන පංතියට එල්ල වූ තීරණාත්මක අභියෝගය වූයේ ගෝල්ෆේස් අරගලයයි. අරගලය ජය ගෙන නව දේශපාලන බලයක් ස්ථාපිත වීම යනු නිර්ප්‍රභූ පංතියට බලය ලැබීම ය. එය වැළැක්වීම සඳහා ප්‍රභූ දේශපාලන පංතිය ප්‍රති ප්‍රහාරයක් එල්ල කළේ ය. "සමගි ජන බලවේගය, පොහොට්ටුව, එජාපය අපි ඔක්කොම එකයි. අපි එකට එක් නොවුණහොත් වෙනත් කණ්ඩායමක් බලය ගනීවි" යැයි ජනතා අරගලය ඉදිරියට යන අවස්ථාවේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිහිපවිටක්ම ප්‍රසිද්ධියේ අනතුරු හැඟවීය. ඔහු "වෙනත් කණ්ඩායමක්" යැයි නම් කරන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් හෝ විදේශ ආක්‍රමණයක් නොවෙයි. ඔහු අනතුරු හඟවන්නේ ලංකාවේ නිර්ප්‍රභූ පංතිය දේශපාලන බලය අත්පත් කර ගනීවි යන්නය. එනම් රටේ පොදු ජනතාව නියෝජනය කරන දේශපාලන බලවේගයක් රටේ බලය අත්පත් කර ගනු ඇතැයි යන භීතියයි.
ආණ්ඩුවේ මිනීමැරුම් පිළිබඳ හඬ නොනැගූ ජනතා නියෝජිතයෝ…
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යනු පොදු ජනතාගේ නියෝජිතයෝ ය. අවාසනාවකට ඔවුන් නියෝජනය නොකරන්නේ ද පොදු ජනතාව පමණි. පසුගිය වසර දෙකක පමණ කාලයේදී ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බූදයකට ගොදුරු විය. රටට බංකොලොත් බව නිළ වශයෙන් ප්‍රකාශයට පත් විය. පුරවැසියෝ ගෑස් ටැංකි පිපිරීමෙන් මිය ගියහ. ඔවුන්ගේ නිවාස විනාශ විය. දීර්ඝ කාලයක් තෙල් පෝලිම් වල සිටීම හේතුවෙන් පුරවැසියෝ ගණනාවක් අකාලයේ මිය ගියහ. මේවා සාමාන්‍ය මරණ නොව ආණ්ඩුව විසින් සිදු කළ මිනීමැරුම් ය. එසේ අසරණ වූ පුරවැසියන් වෙනුවෙන් ජනතා නියෝජිතයෝ පාර්ලිමේන්තුවේ හඬ නැගුවේ ද?
අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් තවමත් හඬන ප්‍රභූ දේශපාලන පංතිය..
පක්ෂ භේදයෙන් තොරව අදටත් අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයාගේ මරණය පිළිබඳ හොටුපෙරා ගෙන හඬා වැටෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගෑස් ටැංකි පුපුරා මියගිය එක පුරවැසියෙකු ගැන දුක්වන්නේ ද? ගෑස් පෝලිම්වල ඝාතනය කරනු ලැබූ පුරවැසියන් වෙනුවෙන් කණගාටුව පල කළේ ද? ඝාතනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා වෙනුවෙන් රුපියල් මිලියන 10 ක් එනම් රුපියල් කෝටියක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර එම මුදල අදාළ මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයන්ට ලබා දුන්නේ ය. ඒ පිළිබඳ අපේ අමනාපයක් නැත. එහෙත් නිසි ප්‍රමිතියකින් තොරව ගෑස් ටැංකි පිපිරීමෙන් සහ තෙල් පෝලිම් වල ඝාතනය වූ අහිංසක පුරවැසියන්ට අදටත් ශත පහක වන්දියක් ගෙවා නැත. ඔවුන්ගේ ජීවිතවලට වටිනාකමක් නැති ද?
මන්ත්‍රී නිවාස හැර තව නිවාස ගිනි තබා තිබේ ද?
ශ්‍රී ලංකා පාදඩ පෙරමුණේ (SLPP) සහ අනෙකුත් පක්ෂ වල නියෝජිතයෝ අදටත් මන්ත්‍රී නිවාස ගිණි තැබීම ගැන අඳෝනා නගති. ශ්‍රී ලංකා ඉතිහාසයේ ගිනි තබා ඇත්තේ මේ මන්ත්‍රී නිවාස පමණ ද? කැරලි, ප්‍රචණ්ඩ ක්‍රියා, ජාතිවාදී කෝලාහල හේතුවෙන් නිදහසින් පසුව ගත වූ කාලයේ අහිසංක පුරවැසියන්ගේ නිවාස, දේපොල ලක්ෂ ගණනින් විනාශ විය. ඒ වෙනුවෙන් බොහෝ පුරවැසියන්ට අදටත් හරිහමන් වන්දි මුදලක් ලබා දී නැත. පසුගිය කාලයේ නිසි ප්‍රමිතියකින් තොරව ගෑස් ටැංකි පිපිරීමෙන් විනාශ වූ නිවාස සඳහා අදටත් නිසි වන්දියක් ගෙවා නැත. එහෙත් මන්ත්‍රී නිවාස ගිනි තැබීමෙන් දින කිහිපයකට පසුව එම නිවාස වෙනුවට "වියත් පුර" සුපිරි නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ ය. එයට අමතරව විනාශ වූ නිවාස සඳහා රුපියල් කෝටි ගණනින් වන්දි ගෙවමින් තිබේ. අපි ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින අතර විනාශ වූ නිවාසවලට සාධාරණ වන්දියක් ගෙවිය යුතු බව තරයේ විශ්වාස කරමු. එහෙත් ආණ්ඩුවට ගිනි තැබූ මන්ත්‍රී නිවාස ගැන තිබෙන කැක්කුම සාමාන්‍ය පුරවැසියන් වෙනුවෙන් තිබිය යුතුය. ඒ සාධාරණය සාමාන්‍ය පුරවැසියාට ද ඉටු විය යුතුය.
විමල් වීරවංශ, ගම්මන්පිල ප්‍රභූ දේශපාලන වෙනුවෙන් පෙරට..
ලංකාවේ ප්‍රභූ දේශපාලන පංතියේ බලයට තර්ජනයක් එල්ල වූ අවස්ථාවේ එය ආරක්ෂා කර ගැනීමට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පාදඩ පෙරමුණ (SLPP), එජාපය, ශ්‍රිලනිප, දෙමළ ජාතික සන්ධානය, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පාර්ලිමේන්තුවේ බහුතර බලවේග එක්සත් පෙරමුණකට පැමිණියේ ය. ගෝල්ෆේස් අරගලය මර්දනය කිරීම සඳහා හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයේදී විමල්ගේ ආවේගාත්මක කථාව අසන විට ඔහු තරම් ප්‍රභූ දේශපාලන පංතිය ආරක්ෂා කිරීමට කැපවූවෙක් වෙන නොවූ බව පැහැදිලි ය! එයට විරුද්ධ කඳවුරේ ප්‍රධාන බලවේගය වූයේ ජාතික ජන බලවේගයයි. තම පක්ෂයේ මතවාදයෙන් බැහැරව සරත් ෆොන්සේකා එදා සිට අද දක්වාම පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අසරණ වූ ජනතාව වෙනුවෙන් හඬ නඟයි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටියි. එයට අමතර චම්පික රණවක, ගජේන්ද්‍ර පොන්නම්බලම් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් නිර්ප්‍රභූ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬ නඟති. එහෙත් අනෙක් බහුතරය පක්ෂ භේදයකින් තොරව හඬ නඟන්නේ තම ප්‍රභූ දේශපාලන පංතියේ අවශ්‍යතාවයන් වෙනුවෙනි. වරෙක රන්ජන් රාමනායක “උන් ඔක්කොම යාළුවෝ මල්ලි” යැයි ප්‍රකාශ කළේ මේ යථාර්ථයයි.
නිර්ප්‍රභූ දේශපාලන සන්ධානයක් ගොඩ නගමු!
පසුගිය මැයි මාසයේ තායිලන්ත මහ මැතිවරණයේ සිට අද දක්වා නිර්මාණය වූ සිද්ධීන් විශ්ලේෂණය කරන විට පැහැදිලි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් හෝ ස්ථාපිත ප්‍රභූ දේශපාලන පංතිය පරාජය කිරීම ඉතාම දුෂ්කර බවයි. ඔවුන් මැතිවරණයකින් පරාජයට පත්වුවද නිර්ප්‍රභූ පංතියට බලය ලබාදීමට සූදානම් නැත. බලය ලබානොදීමට විවිධ උපක්‍රම භාවිතා කරති. අපේ රටේ නිර්ප්‍රභූ ජනතාවට දේශපාලන බලය ලබා ගැනීමේ අරගලයේ ඉදිරියෙන් සිටින්නේ ජාතික ජන බලවේගයයි. චම්පික රණවකගේ එක්සත් ජනරජ පක්ෂය, මෙන්ම සරත් ෆොන්සේකාගේ දේශපාලනය පදනම්ව ඇත්තේ නිර්ප්‍රභූ පංතියට බලය ලබා ගැනීම සඳහාය. පෙරටුගාමීන් ඇතුළු කුඩා දේශපාලන කණ්ඩායම් ගණනාවක් ද එම අරමුණ වෙනුවෙන් දේශපාලනයේ නිරතව සිටිති. මේ රටේ දේශපාලන බලය නිර්ප්‍රභූ පංතිය අතට ලබා ගැනීම පහසු කටයුත්තක් නොවේ. එය ගෝල්ෆේස් අරගලයෙන් අප ඉගෙනගත් පාඩමයි. තායිලන්ත මහ මැතිවරණය ඒ පිළිබඳ තවත් ජාත්‍යන්තර අත්දැකීමකි. ඉදිරි මැතිවරණයකදී මේ රටේ දේශපාලන බලය නිර්ප්‍රභූ පංතිය අතට ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් සටන් කරන දේශපාලන බලවේගයන්ගේ එකමුතුවක්, සන්ධානයක් ගොඩනැගිය යුතුය. එක්සත්භාවය, සමගිය යනු දේශපාලන ශක්තියේ මූලයයි.
මඩ ප්‍රහාර හරහා සතුරා ශක්තිමත් නොකරමු..
එවැනි පුලුල් එකමුතුවක් ගොඩනගා ගන්නා තෙක් එකිනෙකාට දේශපාලන ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකිය යුතුය. එම "මඩ" ප්‍රහාරයන්හි සැබෑ වාසිය ලබා ගන්නේ ස්ථාපිත ප්‍රභූ දේශපාලන පංතියයි. පසුගිය දා එල්ල කළ "මෝල්ටා" ප්‍රහාරය මෙයට එක් නිදසුනකි. පොදු සතුරා වන ප්‍රභූ දේශපාලන පංතියට ආයුධ සපයා ඔවුන් ශක්තිමත් කර නිර්ප්‍රභූ පංතියට දේශපාලන බලය ලබා ගැනීමට නොහැකිය යන යථාර්ථය පළමුව තේරුම් ගත යුතුය. සටනට එළඹීමට පෙර සැබෑ සතුරා කවුද යන්න පළමුව තේරුම් ගැනීම ඉතා වැදගත් බව අපි මේ මොහොතේ සටහන් කරමු.
-ආනුභාවනන්ද
anubhawananda1@gmail.com
https://www.lankaenews.com/category/33

No comments:
Post a Comment