Thursday, 31 August 2023

කෙහෙළිය කියන්නේ ලැජ්ජා බය නැති ඇවිදින මළමිනියක්..! ඔහුට එරෙහි විශ්වාසභංගය දිනවීම මන්ත්‍රීන්ගේ අත්හළ නොහැකි වගකීමක්..! (Video)

- විශේෂඥ වෛද්‍යවරු දෙපොළක් කියති

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.31, ප.ව‍.8.45) සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංගය දිනවීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාගේ වගකීම බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. අද (31) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා;

“ලබන සතියේ වර්තමාන සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගේනවා. අපට දැනට ලැබී තියෙන ආරංචිය හැටියට මෙය හය හත අට දිනවල විවාදයට ගෙන ඒමට නියමිතයි. මේ විශ්වාසභංග යෝජනාව ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් වන්නේ කොහොමද?. ලංකාවේ අද වෙනකොට ලෝකයට ඉදිරිපත් කරන්නට හැකි  සේවාවන් ටිකක් තියෙනවා නම් ඒ තමයි නිදහස් සෞඛ්‍ය සේවය හා නිදහස් අධ්‍යාපනය, මෙයින් අද වෙනකොට නිදහස් සෞඛ්‍ය සේවය වර්තමාන සෞඛ්‍ය ඇමැතිතුමාගේ ක්‍රියාමාර්ග නිසා බරපතළ ලෙස අර්බුදයට ලක්වෙලා තිබෙන තත්ත්වයක් යටතේ තමයි මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වෙලා තියෙන්නේ. ලංකාවේ මුලසිටම පැවතියේ නොමිලේ සෞඛ්‍ය සේවයක්. මේ සෞඛ්‍ය සේවය ගැන ලංකාවේ මිනිස්සුන්ගේ බරපතල විශ්වාසයක් තිබුනා. ලෝකයේ පවා විශිෂ්ට ලෙස ඇගයීමට ලක් කරලා තිබෙන සෞඛ්‍ය සේවාවක්. විශේෂයෙන්ම ඉතාමත්ම අඩු වියදමින් ඉතාමත්ම හොඳ සෞඛ්‍ය දර්ශක පවත්වාගෙන යන රටක් හැටියට ලෝකයේ විවිධ සංවිධානවල විවිධ රටවල ප්‍රශංසාවට ලක්වෙලා තිබූ සෞඛ්‍ය සේවයක් තමයි අපිට තියෙන්නේ අද වෙනකන්.

සෞඛ්‍ය ඇමැතිගේ විකාරරූපී ක්‍රියාවන් නිසා බරපතල අර්බුදයකට ලක් වෙලා..

මේ සෞඛ්‍ය සේවය පසුගිය වසරක පමණ කාලය තුල කරන ලද විකාරරූපී ක්‍රියාවන් නිසා බරපතල ලෙස අර්බුදයට ලක් වෙලා තියෙනවා. මේ විකාරරූපී ක්‍රියාවන් වලින් කිහිපයක් තමයි අද ඇතිවෙලා තියෙන මේ ඖෂධ හිඟය. ඊළඟට ඖෂධ වල තත්වය පිළිබඳව ඇතිවෙලා තියෙන අර්බුදය. තුන්වෙනුව වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්ය මණ්ඩල සෞඛ්‍ය සේවාව හැර යාමේ තත්ත්වය. මේ ප්‍රශ්න තුනටම වගකිව යුතු පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි අපගේ වර්තමාන සෞඛ්‍ය ඇමතිතුමා. ඒ වගේම මේ ප්‍රශ්න පිළිබඳව මේ රටේ රෝගීන්, මේ රටේ මහජනතාව, ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, විශේෂඥ වෛද්‍යවරුන්, සාමාන්‍ය වෛද්‍යවරුන්, විවිධ වෘත්තිකයන් සියලුම දෙනා ප්‍රශ්න නගලා තියෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ජනමතයක් ගොඩනගන්න හදලා තියෙනවා. ඒ කිසි දෙයක් ඉදිරියේ නොසැලී කිසිම ආකාරයක ලැජ්ජාවක් හෝ බයක් නොමැතිව තමන් මේ සෞඛ්‍ය ඇමති පදවියේ රැඳී සිටිනවාය කියන ප්‍රකාශය කරමින් ඉන්නවා මේ වෙනකොට අපගේ සෞඛ්‍ය ඇමතිතුමා.

සෞඛ්‍ය ඇමතිතුමා මේ සියලු අර්බුද හමුවේ මේ කිසිම අර්බුදයක් ගැන තමන්ගේ වගකීම ප්‍රකාශ නො කොට මේ කිසිම අර්බුදයකට තමන් දෙන විසඳුම ගැන ප්‍රකාශයට පත් නො කොට තමන් වැඩිදුරටත් මේ සෞඛ්‍ය ඇමැති පදවියේ රැඳී සිටිනවාය කියන එක කියමින් ඉන්නවා. මේ කරුණු උඩ තමයි එතුමාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂයට සිදුවෙලා තියෙන්නේ.

පරලොවේදී හෝ දඬුවම් ලැබේවි කියා ඇමැතිට බයක් නෑ...

මේ සෞඛ්‍ය සේවයේ ඇතිවෙලා තියෙන අර්බුදයට විසඳුම් සොයා ගැනීම සඳහා කිසිම ආකාරයක විශේෂඥ කමිටු කරන කිසිම දෙයක් ගැන මෙතුමා කල්පනා කරන්නේ නැහැ. දැන් එතුමා ඇත්ත වශයෙන් මෙතනදි වැඩ කරන්නේ කිසිම ආකාරයක ලැජ්ජාවක් හෝ බයක් නැති පුද්ගලයෙක් විදියට. ඇත්ත වශයෙන්ම ලැජ්ජා බය දෙක නැති කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන් මෙතරම් චෝදනා තිබෙද්දිත් ඒ පිළිබඳව කිසිම කනකට ගන්නැතුව වැඩ කිරීම ඉතාමත්ම අශෝභනයි. දැනට තියෙන ඖෂධ නියාමන අධිකාරී පනතේ හැටියට අපරාධ නඩුවක් ගොනු කරලා වසර තුනක සිරදඬුවමක් ලැබිය හැකි තරම් වරදක්. මේ නඩුව අද නැත්නම් හෙට නැත්නම් අවුරුදු දෙක තුනකින් නැත්නම් පහකින් හෝ දහයකින් එතුමාට විරුද්ධව පැනවෙන එක නිශ්චිතයි. ඒක පිළිබඳව එතුමා බයක් නෑ. ඒ වගේම රෝගීන්ගේ ජීවිත ගැන සලකන කොට, රෝගීන්ගේ ජීවිත වලට තමන් වගකීම තුළින් අවම වශයෙන්, පරලොවක් ගැන කල්පනා කරන කෙනෙක් නම්, එතුමා බයවෙන්න ඕන. පරලොවේදී හෝ තමන්ට මේ පිළිබඳ දඬුවම් ලැබෙනවා. දැන් මේ බය නෑ. මෙලොව හෝ පරලොව ලැබිය හැකි විපාකයන් ගැන කිසිම බයක් නැහැ.

කෙහෙළිය ඇත්තටම ඇවිදින මළ මිනියක්..

දැන් මේ විශ්වාසභංග යෝජනාව ගෙන එන තත්ත්වය තුළ ඔහු කල්පනා කරනවා ඇති පාර්ලිමේන්තුව තුළ ජයග්‍රහණයක් කර ගත්තොත්, ඒ කියන්නේ විශ්වාසභංග යෝජනාව පරාජය කර ගත්තොත් එතුමාට යම්කිසි ආකාරයක රැකීමක් තියෙනවා කියලා. රැකීමක් ඇත්තේ නැහැ. මේ වෙනකොට මේ රට තුළ ඇතිවෙලා තියෙන ජනමතය අනුව මෙතුමා දැන් ඇත්ත වශයෙන්ම දේශපාලන වශයෙන් ඇවිදින මළමිනියක් වගේ.  රට තුළ ජනතාව පැහැදිලි වෙලා තියෙනවා. මොකද ඒ ජනතාව රෝහලෙන් ඖෂධ ගන්නවා. එතනට ගියහම තේරෙන ඖෂධ නැහැ කියලා. ඒ වගේම ඒගොල්ලොන්ට තේරෙනවා ගියා ම මේ දෙන ඖෂධ වලින් කිසිම ගුණයක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ වගේම ඒ අයට තේරෙනවා මේ ඖෂධ ලබා ගැනීම නිසා ඇතිවන ප්‍රතික්‍රියාවන් වල පල විපාක. ඒ නිසා ඒ අයගේ ඥාතීන් මිය යනවා කියන දේ තේරෙනවා. ඒක ගැන මොන තරම් ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වුවත් මොනතරම් විශේෂඥ වෛද්‍ය කමිටු කියා ඒ අයව පත් කරන අයගෙන් සහතික ලබා ගත්තත් එය අනිත් පැත්තට හැර ජනමතය අනිත් පැත්තට හැරීමට එතුමාට හැකියාව නෑ."

"ජනතාව බයයි ඉස්පිරිතාලෙට යන්න" -එක්සත් ජනරජ පෙරමුණේ සාමාජික විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා

රට බංකොලොත් වෙලා තියෙන්නේ. ඒ අවස්ථාවක මුළු සමස්ත ජාතියම බලාගෙන ඉන්නේ මේ බංකොලොත් භාවයෙන් රට මුදවන ක්‍රියාමාර්ගවල පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් වන ඔබ නිරත වෙයි කියලයි. සෞඛ්‍ය ඇමැතිතුමා යටතේ මේ වෙනකොට රටේ ඖෂධ පිළිබඳව බරපතළ අර්බුදයක් ඇති වෙලා තියෙන වෙලාවක්. ජනතාව බයයි ඉස්පිරිතාලෙට යන්න. ජීවිතය ගැන බයකින් වෙච්ච වෙලාවක ඉස්පිරිතාලෙට ගිහිල්ලා ජීවිතය බේරගන්න හදපු රටක රටවැසියන්ට, ඉස්පිරිතාලෙට යන කොට දැන් බයකින් චකිතයකින් යන්න වෙලා තියෙනවා. ඒ චකිතයේ සම්පූර්ණ, ඒ චකිතයට හේතු වීමේ සම්පූර්ණ වගකීම ගරු සෞඛ්‍ය ඇමතිතුමා ගත යුතුයි. ඔහු මේ ප්‍රශ්නය හමුවේ පරාජිතයෙක්. ඒ නිසා ඔහු කලයුතු පළවෙනි කාර්යය ජනතාවගේ විශ්වාසය වැඩි දියුණු වීම සඳහා සෞඛ්‍ය පද්ධතිය ඉහළ නැංවීම සඳහා එතුමා ඉල්ලා අස්වීම කළ යුතුයි. යම්කිසි විදිහකින් එතුමා ඉල්ලා අස්වන්නේ නැතිනම් මේ සෞඛ්‍ය පද්ධතිය තවදුරටත් අර්බුදයට ලක් කරලා තවත් අරගලයක දොරටුවක් විවෘත කිරීම නැවැත්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසිය විසිහතර දෙනාට විශාල වගකීමක් තියෙනවා මේ ගරු සෞඛ්‍ය ඇමතිතුමාට විරුද්ධව තියෙන විශ්වාසභංගය ජනතාවගේ නාමයෙන් දිනවලා දෙන එක ඒ සඳහා ඔවුන් විසින් තමන්ගේ ඡන්දය නිසි පරිදි පාවිච්චි කරලා ඊට විශ්වාසභංගය ජනතාවගේ නාමයෙන් ජයග්‍රහණය කරන්න ඡන්දය දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නැතිනම් ජනතාවට ඉතාමත් පැහැදිලි පරීක්ෂණයක් වෙනවා. මොකක්ද? මේ කියන දේ කරන අය නෙවෙයි.

අඩු ගානේ ජනතාවගේ පැත්තේ හිටගන්න..

ඒ නිසා කරුණාකරලා මේ රටේ සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා මේ විශ්වාසභංගය අපේ සෞඛ්‍ය පද්ධතියේ විශ්වාසය වැඩි වෙන විදිහට ඡන්දය නිවැරදිව පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඡන්දය දීමෙන් වැළකී එහෙමත් නැත්නම් අඩු ගානේ ජනතාවගේ පැත්තේ හිටගෙන එදාට පාර්ලිමේන්තුව වර්ජනය කරලා මේ ක්‍රියාමාර්ගයට සාධාරණය ජනතාවගේ පැත්තෙන් ඉටු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා."

අදාල වීඩියෝවක් පහතින් 



No comments:

Post a Comment