Thursday, 31 August 2023

X-Press Pearl වංචාව..! “දෙන්නාම ‘මී’ නේද කියා මී වස්සා වෙනුවට මී පැටියා ගත්තා” වගේ..!

- මීපා හිටපු සභාපතිනිය කරන හෙළිදරව්ව..

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.31, ප.ව‍.9.45) ගිලී ගිය X-Press Pearl කන්ටේනර් නෞකාවේ රක්ෂණකරුවන් විසින් ඉදිරිපත් කරන ලද ඩොලර් 878,000 (රුපියල් මිලියන 285) වන්දි පිරිනැමීම රජය පිළිගත්තේ ඇයි දැයි සාගරික පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) හිටපු සභාපතිනී දර්ශනී ලහඳපුර ඊයේ (30) ප්‍රශ්න කළාය.

කන්ටේනර් 1,486 කට අධික ප්‍රමාණයක් රැගත් යාත්‍රාව 2021 ජුනි මස මුල දී කොළඹ වරාය ආසන්නයේ දී මුහුදුබත් විය. ශ්‍රී ලංකා මුහුදේ දරුණුතම සමුද්‍ර ව්‍යසනය සිදු වූ ඒ අවස්ථාවේ ලහඳපුර MEPA සභාපතිවරිය ලෙස කටයුතු කළාය.

නොවටිනා වන්දියක් ගත්තේ ඇයි කියා පාර්ලිමේන්තු කොමිටිය සෙවිය යුතුයි...

රුපියල් මිලියන 16 ක අතිරේක ගෙවීමක් සමඟ රක්ෂණකරුවන් විසින් එම පිරිනැමීම සිදු කර ඇති බව විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යකාරයා පසු ගිය දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපති සංජය රාජරත්නම් පැහැදිලි කිරීමක් කළ යුතු බව නීතිඥ ලහඳපුර පැවසුවාය. මෙම වසරේ ජූලි මාසයේ දී සිංගප්පූරුවේ දී රක්ෂණකරුවන් සමඟ සාකච්ඡා සඳහා රජයේ නියෝජිත කණ්ඩායමකට නායකත්වය දුන් බැවින් නීතිපතිවරයා විසින් එය පැහැදිලි කළ යුතු බව ලහඳපුර කීවාය.

හිටපු MEPA ප්‍රධානියා පැවසුවේ, රක්ෂණකරුවන් විසින් ඉදිරිපත් කරන ලද දීමනාව ශ්‍රී ලංකාවේ USD බිලියන 6.2 ක හිමිකම් පෑම සමඟ සැසඳිය යුතු බවයි.

The Island නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නීතිඥවරිය කියා සිටියේ, X-Press Pearl සහ New Diamond සමුද්‍ර ව්‍යසන පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මේ වසරේ ජුනි මාසයේ දී පත් කළ 14 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු කමිටුව විසින් මෙවන් නොවටිනා වන්දියක් ලබා ගැනීම පිළිබඳව සොයා බැලිය යුතු බවයි.

ඩොලර් මිලියන 250 ක දැවැන්ත අල්ලස ගැන කොමිසම සොයා බැලිය යුතුයි...

නැව් හිමියන්ට එරෙහිව ශ්‍රී ලංකාව පවරා ඇති නඩුව අඩපණ කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 250 ක දැවැන්ත අල්ලසක් ලබා දී ඇති බව අධිකරණ අමාත්‍යකාරයා ප්‍රකාශ කර ඇති බැවින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මේ පිළිබඳව සොයා බැලිය යුතු බව ද ලහඳපුර පැවසුවාය.

X-Press Pearl කන්ටේනර් නෞකාවේ රක්ෂණකරුවන් විසින් එක්සත් රාජධානියේ ගොනු කරන ලද අලාභය සීමා කිරීමේ නඩුවෙන් මාස කිහිපයකට පසු ශ්‍රී ලංකාව විසින් වන්දි ඉල්ලීමක් සිංගප්පූරුවේ දී ගොනු කළ බව ලහඳපුර පෙන්වා දුන්නාය.

සමුද්‍රීය හිමිකම් සඳහා වගකීම් සීමා කිරීම පිළිබඳ සම්මුතිය යටතේ රක්ෂණකරුවන් විසින් පසු ගිය වසරේ පෙබරවාරි මාසයේ දී ලන්ඩනයේ වාණිජ මහාධිකරණයේ ගොනු කළ එම නඩුව පිළිබඳව ශ්‍රී ලංකාවට නිල වශයෙන් දැනුම් දුන් දී ඇත්තේ මේ වසරේ මාර්තු මාසයේ දී බව ද ලහඳපුර අනාවරණය කළාය.

මෙම සිදු වීම ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ සිදු වූ බැවින් ශ්‍රී ලංකාව නඩු පැවරිය යුත්තේ කොළඹ දී බව බොහෝ විද්වතුන් පෙන්වා දී ඇති බව ඇය පැවසුවාය. මෙම නඩුව සිංගප්පූරුවට ගෙන යාමට රජය තීරණය කර ඇත්තේ නීතිපති විසින් කරන ලද නිර්දේශය මත පදනම්ව බව ද ලහඳපුර කියා සිටියාය.

මෙම අමනකම සම්බන්ධයෙන් දැඩි අවධානයකින් ඉන්න...

“දෙන්නාම ‘මී’ නේද කියා මී වස්සා වෙනුවට මී පැටියා ගත්තා” වැනි මෙම අමනකම සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ කණ්ඩායම්වලින් ඇය ඉල්ලා සිටියාය.

රක්ෂණකරුවන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳව වැඩි දුරටත් අදහස්‌ දැක්‌ වූ ලහඳපුර පැවසුවේ, ඇය MEPA ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේ දී පිරිසිදු කිරීමේ මෙහෙයුම්වල දී දැරීමට සිදු වූ වියදම් පියවා ගැනීම සඳහා වාරික වශයෙන් රුපියල් බිලියන 1.6 ක මුදලක් සංවිධානයට ලැබෙන්නට තිබුණු බවයි. නමුත් හදිසියේම, X-Press Pearl හා සම්බන්ධ යම් ගැටළුවක් සම්බන්ධයෙන් රේගුව ප්‍රමාද වූ බව පවසමින් ගෙවීම් නතර කර ඇත.

අධිකරණ අමාත්‍යකාරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් CIABOC විසින් ඇයගෙන් ප්‍රශ්න කළ විට, ඒ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසීමේ අවශ්‍යතාවය ඇය අවධාරණය කළ බව ලහඳපුර පැවසුවාය.

- 2023 අගෝස්තු 31 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, Shamindra Ferdinando ලියූ, “Ex-MEPA boss says insurer’s offer wholly inadequate” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment