බදු ගසා වෘත්තිකයන්ට රට එපා කළ මෝඩයා දැන් ඔවුන්ට රස්සාව දෙන රටවල්වලින් වන්දි ඉල්ලන්නත් හදනවා..!
-නිව්ස් වයර් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.05, ප.ව.9.30) විදේශ රටවල් ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන් බඳවා ගැනීම් පිළිබඳ ප්‍රශ්නය මීළඟ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) රැස්වීමේ දී මතු කළ යුතු බවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකාරයා යෝජනා කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවක දී, ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් බඳවා ගැනීම සඳහා විදේශ රටවලින් වන්දි ඉල්ලා සිටින ලෙස ද ජනාධිපතිකාරයා යෝජනා කළේය.
එක්සත් රාජධානිය වැනි රටවල වෛද්‍යවරුන් එරට හැර යන බැවින් ශ්‍රී ලංකාවෙන් වෛද්‍යවරුන් බඳවා ගැනීමට ඒ රටවල්වලට සිදු වී ඇති බව ජනාධිපතිකාරයා පැවසීය.
සමහර විදේශීය රාජ්‍ය ද ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් බඳවා ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දී මතු කළ යුතු බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
අම්මට සිරි යෝජනාවක්..
“එය දේශගුණික විපර්යාසවල දී අපට ඇති වන පාඩුව හා හානියට සමානයි. ඔබේ මිනිසුන් යනවා, එය අපේ වරදක් නොවේ. එක්කෝ ඔබේ ක්‍රමය වෙනස් කර ඔබේ වෛද්‍යවරුන්ට හොඳට ගෙවන්න, නැති නම් ඒ වෙනුවට බඳවා ගන්නා අපේ වෛද්‍යවරුන් වෙනුවෙන් අපට වන්දි ගෙවන්න,” යයි ජනාධිපතිකාරයා පැවසීය.
ශ්‍රී ලංකාවට සුදුසු පුද්ගලයින් පුහුණු කිරීම සඳහා වෛද්‍ය, ඉංජිනේරු ඇතුළු විවිධ පීඨවලට සපයන අරමුදල් වෙනුවට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හුවමාරු කළ හැකි යයි ජනාධිපතිකාරයා යෝජනා කළේය.
වත්මන් වෛද්‍ය ආඥා පනතේ පවතින අඩුපාඩු සපුරාලීම සහ එමගින් යහපත් සෞඛ්‍ය සේවාවක් ලබා දීම සහ පුරවැසියන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීමේ අරමුණින් මාස හයක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කරන ලෙස ද ජනාධිපතිකාරයා මෙහි දී උපදෙස් දුන්නේය.
නව වෛද්‍ය පනතක්..
ජනාධිපති මාධ්‍ය අංශය පවසන පරිදි, වෛද්‍ය ආඥාපනතේ විධිවිධාන පරීක්ෂා කර සුදුසු ප්‍රතිපාදන සහිත නව වෛද්‍ය පනතක් සකස් කිරීම සඳහා සෞඛ්‍ය ලේකම්, නීති කෙටුම්පත් සම්පාදක, හා වෛද්‍ය සභාවේ සභාපතිගෙන් සමන්විත ඉහළ මට්ටමේ කමිටුවක් පත් කර ඇත.
කඩිනම් වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා වෛද්‍ය සැපයුම් වෙනුවෙන් රු. බිලියන 30 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා අනුමත කර ඇති අතර එය ඉදිරි මාස තුන සඳහා ප්‍රමාණවත් වේ.
ඖෂධ බෙදා හැරීම සහ ඉන්වෙන්ටරි කළමනාකරණය වැඩිදියුණු කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර, සති දෙකකට පෙර පැවති රැස්වීමේ දී සාකච්ඡා කළ පරිදි පවතින ඖෂධ සහ ඒවා රෝහල් අතර බෙදා හැරීම පිළිබඳ කාලීන තොරතුරු ලබා දීමට ඔන්ලයින් ක්‍රමවේදයක අවශ්‍යතාව ද ජනාධිපතිකාරයා අවධාරණය කළේය.
ගුණාත්මක ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා සරල සහ විනිවිද පෙනෙන ක්‍රමයක් සකස් කිරීම සඳහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ. කේ. සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ද පත් කෙරිණ.
- 2023 අගෝස්තු 4 වන දින NewsWire වෙබ් අඩවියේ පළ වූ, “Compensation to be sought from countries taking Sri Lankan doctors” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,
- ආනන්ද
https://www.lankaenews.com/category/68

No comments:
Post a Comment