ලබන වසරේ සිට පාසැල් අධ්‍යාපනයේ ලොකු වෙනසක්..! වසරකට වාර විභාග එකයි..! ටියුෂන් යෑම වළක්වන්නත් අලුත් උපායක්..!
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.06, ප.ව.10.35) 2024 වර්ෂයේ සිට පළමු වසරෙන් ආරම්භ වී සියලු ශ්‍රේණි සඳහා වාර විභාග අඩු කර වසරකට එක විභාගයක් පමණක් පවත්වන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
එමෙන්ම ඉදිරියේ දී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වන සේ වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතු ව සිසුන්ට ලබා දෙන බවත් උසුලාගෙන යෑම පහසු වන පරිදි පාසල් සිසු පොත් බෑගයේ අධික බර ප්‍රමාණය අඩු කිරීම එමගින් අපේක්ෂිත බවත් ඇමැතිවරයා පවසයි. සිසුන්ගේ කශේරුකාව සෘජු ව තබාගෙන ශරීර සුවතාව ආරක්ෂා කරගැනීමට ද මෙම පාසල් බෑගයේ බර අඩු වීම බලපාන බව කී ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, දරුවන්ගේ පෝෂණය සඳහා දෙමාපියන්ට මුදල් යෙදවීමට නොහැකි වීමට ප්‍රධාන හේතුවක් වන්නේ අමතර පන්ති සඳහා අනවශ්‍ය පරිදි වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කිරීම බවයි.
මේ තත්වය වෙනස් කිරීම සඳහා 2024 වර්ෂයේ සිට පළමු වසරෙන් ආරම්භ වී සියලු ශ්‍රේණි සඳහා වාර විභාග අඩු කර වසරකට එක විභාගයක් පමණක් පවත්වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. එසේ වුවත් සෑම පාඩමක් හෙවත් මොඩ්‍යුලරයක් අවසානයේ ම තක්සේරුකරණයක් හරහා ලකුණු පරිගණක සටහන් ලෙස වාර්තාගත කර තබා වසර අවසානයේ විභාග ලකුණුවලට එකතු කරන බවත් මුල දී මෙය විභාග ලකුණු 70%ක් හා මොඩ්‍යුලර් ලකුණු 30%ක් වශයෙන් සැලකෙන නමුදු ක්‍රමයෙන් එය 50%ක් දක්වා සමාන ලකුණු පරාසයකට ගෙන එන බවත් අමාත්‍යවරයා පැවසී ය.
මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වීමේ දී පාසල් පැමිණීම, රැඳී සිටීම හා එදිනෙදා පන්තියේ වැඩ කිරීම අනිවාර්ය වන නිසා අමතර පන්ති යෑමට අවකාශයක් හෝ අවශ්‍යතාවක් පාසල් සිසුන්ට ඇති නොවන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. එමගින් දෙමාපියන්ට අනවශ්‍ය තරගයකට හසු ව අමතර පන්ති සඳහා දහස් ගණන් මුදල් වියදම් නොකර දරුවන්ගේ ආහාර පාන අවශ්‍යතා සඳහා එම මුදල් වැය කළ හැකි බවත් නිදහස් අධ්‍යාපනයේ මූලික අරමුණු මල්ඵල ගැන්වෙන්නේ එවැනි ක්‍රියාදාමයක් මගින් බවත් ඇමැතිවරයා මෙහි දී කියා සිටියේ ය.
අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළකළේ ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ හේවාගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

No comments:
Post a Comment