Tuesday, 1 August 2023

ලොතරැයි බෝඩ් එකවත් වැල් පාලමෙන් එතෙර කළොත්...!

-ඩේලි මිරර් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.01, ප.ව.11.00) ජාතික ලොතරැයි මණ්ඩලය (NLB) පිළිබඳ 2021 විගණන වාර්තාව මගින් මුදල් නාස්තිය සහ අවභාවිතය පිළිබඳ නොයෙක් අවස්ථා අනාවරණය වී ඇත. උදාහරණයක් ලෙස, වාර්තාව හෙළිදරව් කරන්නේ NLB විසින් දළ වශයෙන් රුපියල් මිලියන 400 ක් පසු ගිය වසර 7 තුළ අදාල ගොඩනැගිල්ල සඳහා කුලී ගෙවීමට නාස්ති කර ඇති බවයි.

නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම සහ උපදේශන සේවා ලබා ගැනීම සඳහා රු. මිලියන 40 ක් සඳහා අනුමැතිය ඉල්ලා ඇතත් එවැනි ගොඩනැගිල්ලක් ඉදි කර නොමැති බව එම වාර්තාවෙන් තව දුරටත් හෙළිදරව් වේ. 

නීති විරෝධී ලෙස කුලී පදනම මත ගොඩනැගිල්ලක් ලබා ගෙන 2020 මැයි සිට 2022 මැයි දක්වා රුපියල් මිලියන 20 ක් NLB විසින් ගෙවා ඇති බවට චෝදනා එල්ල වී තිබේ. කෙසේ වෙතත් මෙම ගොඩනැගිල්ල නිසි අනුමැතියකින් තොරව ඉදි කරන ලද අනවසර ඉදි කිරීමක් බව විගණන වාර්තාවෙන් තහවුරු වෙයි. මෙම ගොඩනැගිල්ලේ සැබෑ පසුබිම පිළිබඳව අමාත්‍ය මණ්ඩලය පවා දැනුවත් කර නොමැත.

උපදේශන සේවා සඳහා රු. මිලියන 20.7 ක මුදලක් ද 2016 සිට 2021 දක්වා කාලය තුළ NLB විසින් වැය කර ඇත. 

ප්‍රවර්ධන කටයුතු සඳහා මිල දී ගෙන තිබූ, රු. මිලියන 6.3 ක භාණ්ඩ හා උපකරණ ගබඩා කර තිබිය දී නොසලකා හැරීම නිසා වැඩකට ගත නොහැකි වී ඇත. 

රු. මිලියන 1.8 ක් වටිනා රන් කාසි, මාල ඇතුළු තවත් රන් භාණ්ඩ 53 ක් ජයග්‍රාහකයන්ට නොදී ලොකරවල ගබඩා කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ. 

තවත් හෙළිදරව්වක් වන්නේ ඩොලර් ෆෝචූන් ලොතරැයි පත් 30,000 න් 569 ක් අස්ථාන ගත වීමයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර සිදුවූ අලාභය අදාල පාර්ශ්වවලින් ලබා ගන්නා ලෙස එම වාර්තාව ඉල්ලා සිටී. 2016 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඉහත කී ලොතරැයි දිනුම් ඇදීම 2022 අප්‍රේල් 30 වැනි දා වන විටත් අවසන් වී තිබුණේ නැත.

2021 විගණන වාර්තාව පිළිබඳව ඩේලි මිරර් විසින් විමසන ලද අවස්ථාවේ දී, NLB ප්‍රකාශකයෙකු මෙම ලියුම්කරුට පැවසුවේ මුදල් අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳව විමසන ලෙසයි. එවිට මේ ලියුම්කරු මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ ආර්. ආර්. වීරසේකරට කතා කළේය.

විගණන වාර්තාවකින් අනාවරණය වන කරුණු කාරණාවල වග කීම NLB අධ්‍යක්ෂ මණ්ඩලය භාර ගත යුතු බව ඔහු ප්‍රකාශ කළේය.

“ලොතරැයි මණ්ඩලය සම්බන්ධයෙන් නිකුත් වූ අසත්‍ය තොරතුරු වෙතොත් ඒවා නිවැරදි කිරීමට ද NLB පියවර ගත යුතුයි. තොරතුරුවල යම් වරදක් ඇත් නම් එය නිවැරදි කිරීමට අප උපදෙස් දෙනවා. විගණනයකට තොරතුරු අවශ්‍ය වූ විට ඒවා ලබා දෙන ලෙස අපි ජාතික ලොතරැයි මණ්ඩලයට දැනුම් දුන්නා. ජාතික ලොතරැයි මණ්ඩලය අඩු කුලී ගෙවන ගොඩනැගිල්ලකට ගෙන යාමට නියමිතයි,” වීරසේකර තව දුරටත් පැවසීය.

- 2023 ජුලි 27 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, Prageeth Sampath Karunathilake ලියූ, “Latest audit reveals discrepancies at the National Lotteries Board” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment