පක්ෂයකට පෙම් කිරීම තරුණියකට පෙම් කිරීමට වඩා කෙතරම් සංකීර්ණ ද..?
-ශාන්ත ජයරත්න ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.29, ප.ව.9.30) දේශපාලනය පිළිබඳ එතරම් සවිඥාණික නැති හැඟීම් මත තීරණ ගන්නා බහුතර ජනතාවක් සිටින රටක දේශපාලන පක්ෂ වලට ඔවුන්ගේ තීන්දු තීරණ ගැණීමේදි විශාල අභියෝග වලට මුහුණ දීමට සිදුවේ. එය තවත් තීවෘ වන්නේ ආගමික, වාර්ගික, සහ කුල ගෝත්‍ර වශයෙන් ජනයා බෙදී වෙන්වී සිටින රටවල ය. එවැනි ජනතාවක් සිටින රටක දේශපාලන පක්ෂයක් බලය ලබා ගැනීමට යෑමේදී ජනතාවට සංවේදී කාරණා මෙන්ම ඔවුන්ගේ සිතුම් පැතුම් තේරුම් ගැනීම වගේම යම් උපාය උපක්‍රම තේරීමද එක සේ වැදගත් ය.
සතුරා ප්‍රබල නම්, බර අවි, බිම් බෝම්බ, පැති බෝම්බ අටවා ඇති බිමක සටන් කිරීමේ දී, සතුරාට විරුද්ධව පෙරමුණු රාශියක එකවර සටන් කිරීමට යාම තුල වන හානිය අවම කරගැනීමට යම් උපක්‍රම තේරීම වැදගත් ය. ගමන් කරන මාර්ගය, යන එන වේලාව, වාහනය, ශරීර ස්වභාවය , ඇඳුම පැළඳුම වෙනස් කිරීම වැනි සරල උපායද යම් අවස්ථාවල නොසිතූ යහපත් ප්‍රතිඵල ගෙන දීමට ඉඩ ඇත.
හැඟීම් වලින් බැහැර වූ විට..
දේශපාලන පක්ෂයක් තම මුඛ්‍ය අරමුණ, අනන්‍යතාවය සහ ගමන් මග ආරක්ෂා කර ගනිමින් පෙරමුණේ සටන් කරන අතරම, යම් ආකාරයකට අදහස් හුවමාරු කරගැනීමට හෝ ප්‍රමාණවත් අවකාශයක් ඇති තවත් විකල්ප පෙරමුණු බිමේ සිටී නම් ඔවුන් සමග යම් ආකාරයක සම්බන්ධතාවයක් ඇති කරගැනීම තුල ප්‍රධාන සතුරාට ප්‍රහාර එල්ල කිරීම පහසු වනු ඇත. හුදෙකලා සටනක් පවතින විට සතුරාට අපිව පරාජය කිරීමට තිබෙන අවස්ථාව වැඩිය. එහෙත්, දැඩි භක්තියෙන් සහ හැඟීම් වලින් පක්ෂයක් කෙරෙහි බැඳී සිටින පාක්ෂිකයන්ට මෙය එක් වනම නොවැටහීමට ඉඩ ඇත. ඔවුන් සමහරෙකුට දැනෙන්නේ එය නොගැලපෙන දීගයක් ලෙස ය. එසේත් නැත්නම් තම ආදරවන්තයා හෝ වන්තිය පැහැරගැනීමට චෞරයෙක් පැමිණ ඇති බවක් වැනි හැඟීමක් ය. එහෙත් එය එසේ නොවන වග අවබෝධ කරගැනීමට හැකිවන්නේ හැඟීම් වලින් බැහැර වූ විටය.
අනතුර වේලාසන අවබෝධ කරගැනීමට..
සතුරු බලවේග විසින් මෙතෙක් පෙරමුණට කැඳවා නැති, එහෙත් කැඳවීමට වඩාත් ඉඩ කඩක් ඇති තනි තනි පුද්ගලයන් හෝ කුඩා කණ්ඩායම් සිටීනම්, ඔවුන්ව වේලාසන හඳුනාගෙන ඔවුන් සමග කිසියම් ආකාරයක දුරස්ථ සම්බන්ධයක් ගොඩ නගා ගෙන තිබීමද වැදගත්ය. ඒ හරහා සතුරාට ඔවුන්ව එකවර සටන් පෙරමුණට කැඳවා ගැනීම අපහසු වීමට ඉඩ ඇති අතර, ඔවුන් විසින් අපට කළ හැකි අනතුර වේලාසන අවබෝධ කරගැනීමට ඉඟි ලබා ගැනීමටද මේ පුද්ගලයන් සහ කණ්ඩායම් හරහා අපිට යම් අවස්ථා ලැබෙනු ඇත. මේ පිළිබඳ අවබෝධයක් නැති එහෙත් හැඟීම් මත පදනම්ව දේශපාලනය කරන පිරිස් වලට මෙය යම් ආකාරයක අපුල දනවන දර්ශනයක් විය හැක. එහෙත් දේශපාලනයේදී ප්‍රභල සතුරු කඳවුරක් පරාජය කිරීම සඳහා මෙවැනි උපක්‍රම තේරීමට සිදුවන බව අවබෝධ කරගැනීම වැදගත් ය.
කවුරුන් ඇසුරු කළත්, ඔහු හෝ ඇය සමග දීග නොයයි නම්..
දේශපාලනයේදී බලය ලබා ගැනීමට නම් මිතුරන් තවත් සමීප මිතුරන් කරගැනීමත්, සතුරන් ඔවුන් සතුරු වීමට බලපෑ හේතු අවබෝධ කරගෙන ඔවුන්ව දිනා ගැනීමටත් කටයුතු කළ යුතු ය. එසේ නොමැතිව, සතුරන් තවත් දරුණු සතුරන් බවට පත්කර ගැනීම අවාසි සහගතය. අවසානයේ ප්‍රතිඵලය තීරණය වන්නේ තමන් වෙනුවෙන් ඡන්ද පෙට්ටියට වැටෙන බහුතර ඡන්ද ප්‍රතිශතය මත ය. යම් අවස්ථාවල දැඩිව බැඳුණු පාක්ෂිකයාට මෙය අවබෝධ කරගැනීමට අපහසු ය. තමා දැඩි සේ පෙම් කරන පක්ෂය කරා අලුතින් පෙම්වතුන් හෝ වතියන් එකතු වනවාට ඔවුන් කැමති නැති වන්නට පිළිවන. සමහරෙක් හිතන්නේ තමාගේ පෙම්වතා හෝ වතිය තමාට අහිමි වනු ඇත කියා ය. එහෙත් , බලය තීරණය වන්නේ බහුතර ඡන්දය මතය. එහිදී කවුරුන් ඇසුරු කළත්, ඔහු හෝ ඇය සමග දීග නොයයි නම් , රහසින් වත් යහන් ගත නොවෙයි නම් අප කලබල විය යුතු නැත. පක්ෂය කිසිවිටෙක ඒඩ්ස් (AIDS) සාදා ගැනීමට පෙළඹෙන්නේ නැති බවට විශ්වාසය තබා ගැනීම වැදගත් ය. එම නිසා මුලින් පෙම් බැඳි පාක්ෂිකයා පස්ස හැරවීමට තරම් කලබල නොවිය යුතුය.
පොදු සතුරා වෙනදාට වඩා මෙවර ඉතා පැහැදිලි ය..
ඉදිරියට එළඹෙන්නේ ලංකාවේ අනාගතය තීරණය කරන මැතිවරණ කිහිපයකි. මෙහිදී පොදු සතුරා වෙනදාට වඩා මෙවර ඉතා පැහැදිලි ය. ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති බැලුවද එය අවබෝධ කරගත හැක. සියළු දක්ෂිණාංශික පක්ෂ සහ ඔවුන් සමග සන්ධාන ගත වී ඇති කුඩා කණ්ඩායම් සියල්ලම පාහේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට සැදී පැහැදී සිටී. වෙනත් ආකාරයකට ප්‍රකාශ කල හොත් , නිදහස් වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිපත්තිය මත පදනම් වූ දර්ශනයක් මත පිහිටා තීන්දු තීරණ ගැනීමට ඔවුන් බලාපොරොත්තු වේ. ඔවුන් විශ්වාස කරන්නේ වෙළෙඳපොළ බලවේග විසින් රටේ සියළු ප්‍රශ්න විසඳාවී කියාය. අවුරුදු 40 ක් ලංකාවේ රජයන් මෙම ක්‍රමය අනුගමනය කළෝය. එහෙත් අවසානයේ රට බංකොලොත් වී ඇත. එමනිසා මෙම ක්‍රමය තුල ලංකාවේ අර්බුදයට විසඳුම් නැති බව සැවොම අවබෝධ කරගත යුතුය.
ලංකාව වැනි කුඩා ආර්ථිකයක් සහ නොදියුණු වෙළෙඳපොළක් පවතින රටකට වඩාත් සුදුසු ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ නිෂ්පාදන ආර්ථිකයකි. එවැනි සැලසුම්ගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සූදානම් පක්ෂයකට රට ගොඩනැගීමට හැකි ය.
හැඟීම් වලින් බැහැරව, අවබෝධයෙන් සහ ඉවසීමෙන්..
රටේ දල දේශීය නිෂ්පාදිතය ඉහළ නැන්වීම, රාජ්‍ය සහ පෞද්ගලික ආයෝජන පුළුල් කිරීම, මහජනයාගේ මිල දී ගැනීමේ හැකියාව වර්ධනය කිරීම , ගෝලීය සැපයුම් ජාල වලට සම්බන්ධ වී ඉන් කොටසක් අත්පත් කරගැනීම , මානව ප්‍රාග්ධනය වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම , රජයේ ආදායම් වියදම් ප්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීම, සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රතිශතයක් ආයෝජනය කිරීම, රටේ භූමිය, පරිසරය , ජලය , ස්වාභාවික සම්පත් ආරක්ෂා කරගනිමින් තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කිරීම, ජාත්‍යන්තර සම්බන්ධතා පුළුල් කරගැනීම වැනි කටයුතු හරහා පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට අවශ්‍යයෙන්ම කල යුතු කටයුතු කඩිනම් කිරීමට හැකියාව ඇති දූෂණය පිටු දැකීමට සූදානම් විශ්වාසවන්ත රජයක් බිහිකර ගැනීමට කටයුතු කිරීම අප කාගේත් වගකීම කි. ඒ සඳහා හැඟීම් වලින් බැහැරව, අවබෝධයෙන් සහ ඉවසීමෙන් දෙවන සහ අවසන් නිදහස් සටන ජයග්‍රහණය කරා මෙහෙය වීමට අවශ්‍ය පුරෝගාමී මෙහෙවර කරා පිරිස් සංවිධානය කිරීමට එකාවන්ව කටයුතු කරමු.
-ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
https://www.lankaenews.com/category/102

No comments:
Post a Comment