Wednesday, 9 August 2023

තෙල් සංස්ථාවේ හොර කල්ලියේ තෙල් හොරෙක් රට පැනලා, හොරාගෙ ඉල්ලා අස්වීමේ ලියුම හොරාගෙ ගෑණි හරහා ඇවිල්ලා...!

-දි අයිලන්ඩ් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.09, ප.ව.11.40) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) කාලයක් තිස්සේ සිදු වූ දැවැන්ත පාඩුවක් සම්බන්ධයෙන් විමර්ශනයට භාජනය වී සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විදේශ ගත වීමෙන් පසු ඉල්ලා අස්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පෙරේදා (7) The Island සමග පැවසීය.

‘අවුට්ටර්න් ලොස්’ (හෙවත් බොර තෙල් නැව පොම්ප කළ ප්‍රමාණය සහ සපුගස්කන්ද පිරිපහදුවට ලැබුණු ප්‍රමාණය අතර වෙනස) සම්බන්ධයෙන් විමර්ශනයට භාජනව සිටියේ වාණිජ හා සැපයුම් දාමයට වගකිව යුතු හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරයාය.

ලැබුණු තෙල් ප්‍රමාණය සඳහා නොව, බිලේ සඳහන් ප‍්‍රමාණය සඳහා සැපයුම්කරුවන්ට මුදල් ගෙවීමට සිදු වීමෙන් එවකට ණය බරින් මිරිකී සිටි CPC විසින් දැවැන්ත පාඩුවක් දරා ගත් බවත්, එය වසර ගණනාවක් තිස්සේ සිදු වෙමින් පවතින බවත් ආරංචි මාර්ග සඳහන් කළේය. 

තෙල් සංස්ථාව අනාවරණය කළ විශාල පාඩුවලට වගකිව යුතු කිසිවකු පිළිබඳ නිසි ලෙස විමර්ශනය කර නොමැති බව තතු දත් ආරංචි මාර්ග පැවසීය. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ CPC විසින් දැන් සම්පූර්ණ වරද හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරයා වෙත පටවනු ඇති අතර, එමගින් ඔහුගේ සහචරයින්ට නීතියෙන් ලිස්සා යාමට හැකි වනවා ඇත. 

අදාල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරයා පිළිබඳ විමර්ශන සිදු වෙමින් පැවතියේ නම්, ඔහු රටින් පිට වීමට අවසර ලබා ගත්තේ කෙසේ දැයි ආරංචි මාර්ග විමසා සිටියේය.

වෘත්තීය සමිති ආරංචි මාර්ග පැවසුවේ, මෙතරම් තීරණාත්මක වැදගත් තනතුරක් දරන ජ්‍යෙෂ්ඨ සේවකයෙකුට නිසි පරිදි රාජකාරි භාර නොදී සේවයෙන් ඉල්ලා අස් වීමට නොහැකි බවයි. කිසිදු තත්වයක් යටතේ මෙම වංචාව එක් පුද්ගලයෙකු විසින් සිදු කළ හැක්කක් නොවන බව ආරංචි මාර්ග සඳහන් කරයි. එබැවින් වගකිව යුතු සියලුම පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් අවශ්‍ය වේ.

තවත් විමසුමකට පිළිතුරු දෙමින් ආරංචි මාර්ග ප්‍රශ්න කර සිටියේ, අදාල ජ්‍යෙෂ්ඨ සේවකයා තම ඉල්ලා අස්වීමේ ලිපිය ඔහුගේ බිරිඳ හරහා එවූයේ කෙසේ ද යන්නයි. 

දැනට කැනඩාවේ සිටින්නේ යයි විශ්වාස කරන එම නිලධාරියාට පවතින විමර්ශනයට සහාය වීම සඳහා නැවත පැමිණෙන ලෙස දන්වන්නේ ද යන්න ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ විදුලිබල හා බලශක්ති අමා ත්‍යාංශය විසින් පැහැදිලි කළ යුතුව ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කළේය.

- 2023 අගෝස්තු 8 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, “Corruption probe: Top CPC official flees abroad” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment