Wednesday, 30 August 2023

"Me Too" ට්‍රෝජන් කතුන් සහ කසාවත් පාපිෂ්ඨයන්..!

-ඝෝෂක පුත්‍ර ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.30, ප.ව‍.6.30) කසාවත් සළු අතර සැඟවී අධම ලෙස දැරිවියන් අපයෝජනයට ලක්කළ  ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර ධම්ම සරණ ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති විජිත නාඔටුන්නේ සිවුරුකරුවා ගැන පසුගියදා ඔස්ට්‍රේලියාවේ මෙල්බෝන්  නුවර උසාවියකින් වාර්තා විය. චෝදනාවලට පාදක වු කරුණුවල ඇති තුච්ඡ ස්වභාවය සහ එහි ඇති බරපතලකම නිසා ඒ ගැන අපගේ අවධානය යොමු විය යුතුය.

දැනට 68 හැවිරිදි වියේ පසුවන විජිත නාඔටුන්නේ 1996 සිට 2004 දක්වා කාලය තුළ ස්ප්‍රිංවේල් සහ කිංස්බරෝ හි විහාරස්ථානවල රැඳී සිටි කාලයන්හි දී තමන්ට මුණගැසුණු ළමා වින්දිතයින් තිදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට මෙල්බර්න් පොලිසිය චෝදනා කර තිබේ. වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු ලිංගිකව අපයෝජනය කිරීම සහ 16 ට අඩු දරුවෙකු ඉදිරියේ අශෝභන ලෙස හැසිරීම ඇතුළු වැරදි 13 ක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුවී තිබේ. දැනට රාමඤ්ඤ නිකායේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පදවිය දරමින් සිටින්නේ ද මොහු වීම ජුගුප්සාජනක ය.

සැකයේ වාසිය..

චෝදනා ඔප්පු වීමට පෙර ඒ ගැන පුරෝකතනයන් කිරීම හොඳ දෙයක් නොවේ. නමුදු මෙවැනි ක්‍රියාවන් කිසිම විටෙක නොසැඟවීමට ඉඩ නොතබන, දියුණු රටක පරීක්ෂකයන් අතීතයේ සිදුවු මෙවන් ක්‍රියාවක් චෝදනා සනාථ කළ හැකි වන සාක්ෂි නොමැතිව උසාවියකට කිසිසේත් ඉදිරිපත් නොකරන්නේය.  අප රටෙහි නම් මුදලෙහි හෝ දේශපාලන බලයේ පිහිටෙන් මොවුන් ගැලවී යනු නොඅනුමානය  

කසාවත් පොරවා ගත් වෘකයා..  

අද වැඩිහිටියන් වන මෙම දැරිවියන්, වසර ගණනාවකට පෙර කසාවත් පොරවා ගත් වෘකයෙකු තමන්ට කළ අපරාධය ගැන හෙලිකිරීම අතිශයින්ම අගය කළයුතු ධෛර්යවන්ත ක්‍රියාවකි. එමගින් ඇතිවූ මානසික කම්පනය වසර ගණනාවක් තිස්සේ තනිව දරා, සිහිවෙන සැමවිටකම ඇතිවෙන අති මහත් ජුගුප්සාජනක හැඟීම යටපත් කර ඉදිරිපත් වීම වචනයෙන් විස්තර කළ නොහැකි විශිෂ්ඨ ක්‍රියාවකි  

"Me Too" ට්‍රෝජන් කතුන්..

සමාජයේ පොදු යහපත තකා තමන්ගේ ආත්මාභිමානය පසෙක ලා ඉදිරිපත් වූ ඔවුනට අපගේ ඉහලම ගෞරව ප්‍රණාමය හිමි විය යුතුය. ඔවුන් ට්‍රෝජන් කතුන් ලෙස අප හඳුන්වන්නේ එබැවිනි

අන්ධයන්..

කලකට ඉහතදී, මෙවැනිම පාදඩ අපයෝජනයක් එංගලන්තයේ ලංඩන් නුවර ආරාමයක දී සිදුකොට උසාවියකින් වැරදිකරු වී හිරේ ලැග පසුව ලංකාවට පැනගත් පහලගම සෝමරතන ගැන සවිස්තරාත්මකව මෙම අඩවිය මගින් හෙළි කර තිබුණි. අභාග්‍යයක තරම, ගම්පහ ප්‍රදේශයේ ඔල මොට්ටලයන් තවමත් ඒ අපතයා අදහන්නේ හා වන්දනාවේ යන්නේ මෝඩ භක්තිය මිස අන් කවර කාරණයක් නිසාදැයි අපට නම් නොවැටහේ. තමුන්ගේ දරුවන් හා මෝඩ බිරින්දෑවුන් මොවුනට කැප කිරීම තමන්ට නිවනට යන කෙටි මගක් යයි මින් සමහරෙක් සිතුවත් අපි නම් ඉන් පුදුම නොවන්නෙමු.

සත්ව සලකුණ  

කහ කඩයකින් සිරුරෙන් අඩක් වසා, පාලි වාක්‍ය කට පාඩම් කර ජප කරමින්, ජනතාවගේ ආහාර සහ භාණ්ඩ සත්කාරයෙන් පුෂ්ඨිමත්වී, මාන්නයෙන් උදම් වී ඇති මෙවන් අපතයන් එකෙකු හෝ නොසිටින ආරාමයක් තව කෙටි කලකින් සොයා ගැනීම නොමළ ගෙයකින් අබ ඇටයක් සොයනවාට වඩා දුෂ්කර වනු නොඅනුමානය. ශ්‍රී ලංකාව තුල පමණක් නොව රටෙන් පිටත ඇති සමහර ආරමයන්ගේ තත්වයේද වැඩි වෙනසක් නොමැති බව අපගේ අවබෝධයයි . මින් සමහරක් තමුන් වෙනුවෙන් ප්‍රශස්ති ප්‍රබන්ධ කරවා ගායනා කර ගැන්ම දැන් නැගී එන නවතම  ප්‍රවණතාවයයි

අපූරු සත්වයන්..  

ලංකාවේ ප්‍රධාන පෙලේ කිසිම පුවත් පතක් මේ ගැන මොනයම් හෝ හඬක් නොනගයි. මේ පහත් පුද්ගලයන් තමන් අනුගමනය කරන ආගමට කරන අවැඩ ගැන මහානායක හිමිවරුන් කටක් හොලවන්නේ නැත. කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තිබෙන බව අප මෙන්ම දන් දුන් උදවිය ද දන්නා බව ප්‍රකට කරුණකි.    

චතුර්පිටකය..

දෙදහස් විසිදෙක වසර තුල පමණක් 50 කට ආසන්න සංඛ්‍යාවක් භික්ෂූන් සම්බන්ධ ළමා අපචාර හෝ ස්ත්‍රී දුෂණ නිසාවෙන් සිපිරිගෙයි ලගින බවත්, දෙදහසකට ආසන්න ප්‍රමාණයක් සාමනේර භික්ෂූන් ප්‍රමාණයක් සිවුරු හැර ගොස් ඇති බවත් පසුගියදා පාර්ලිමේන්තුවට වාර්තා විය. හිරේ ගිය ඉලක්කම කුඩා වුවත් මෙවැන්නන් බොහොමයක් සෑම ගමකම වාගේ  සිටින බව සාමාන්‍ය ජනතාව හොඳින් දනිති. මොවුන් ගේ ක්‍රියාවන් ගැන අවදියෙන් නොසිටියහොත්, එම ක්‍රියාවන් අලලා සත්‍ය තොරතුරු භාවිතයෙන්, මුළු  ත්‍රිපිටකයට වඩා දිග හතරවෙනි පිටකයක්ද ග්‍රන්ථාරූඨ කිරීමට තවත් සංගායනාවක් අවශ්‍ය වනු ඇත.  

මෙල්බෝන් ලාංකිකයනි..,

ඔබට ලොවටම ආදර්ශයක් දීමට අවස්ථාවක් මේ නිර්භීත දැරියන් ලබා දී ඇත. වාද විවාද පසෙක ලා භේද භින්න නොවී ඔවුන් තනි නොකර ඔවුන් හා සිට ගන්න. ඔබ මේ අපරාධය ගැන හාංකවිසියක් හෝ නොදැන සිටියා නම් ඒ ගැන ලජ්ජා විය යුතුය. අපි ඔබ දෙස ඉතා උනන්දුවෙන් බලා සිටිමු .

ආදරණීය දියණියනි,  

ඔබට සිදුවූ අපරාධය ගැන අපි ඉතා කණගාටුවට පත් වූයෙමු. පීඩාවට පත්ව ඇති ස්ත්‍රී පරපුරට ඔබ මිණි පහනකි. ඉදිරි කටයුතුවලදී ඔබට අවශ්‍ය ශක්තිය දිරිය ලැබේවා යයි අපි ප්‍රර්ථනා  කරන්නෙමු.    

අපයෝජනයට ලක්ව නිහඬව සිටින පීඩිතයනි,

මෙම වීර දැරියන්ගේ ක්‍රියාව ආදර්ශයට ගෙන ඔබට යම් අකටයුත්තක් සිදුව ඇති නම් ඒ වෙනුවට පෙරට එන්න. ඔබට එවන් සාමුහිකයක් ගොඩ නගා ගත හැක.

සමාජයක දේශපාලන ක්‍රියාවලිය අඩපන වන විට පූජක ප්‍රජාව ඉතාමත් බලවත්වන බව අමුතුවෙන් කිවයුතු නැත. අලුත් සමාජයකට ඇතුළු වී එහි යහ ගුණ උකහා නොගෙන, තමන් පැමිණි ගෝත්‍රික සමාජයේ ගති පැවතුම් ඉදිරියට ගෙන ගිය වැඩිහිටියන්ද මේ  අපරාධයට වග කිව යුතු බව අපි තරයේ විශ්වාස කරමු.  

-ඝෝෂක පුත්‍ර      

ප ලි: මෙවන් තුච්ඡ ක්‍රියාවන් එක ආගමික සංස්ථාවකට පමණක් සීමාවූ පුරුද්දක් නොවන බව කරුණාවෙන් සලකන්න.

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/87

No comments:

Post a Comment