Saturday, 16 September 2023

සමාජ පරිවර්තනයක ආරම්භය සමූපකාරය වෙන්න බැරිද?

-ශාන්ත ජයරත්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.16, ප.ව.9.45) ජේ ආර් ජයවර්ධන රජය විසින් 1977 දී හඳුන්වා දුන් විවෘත ආර්ථිකය අපිට අහිමි කළේ රටේ සම්පත් පමණක් නොවෙයි. අපි අතර තිබුණ සාමූහිකත්වය, අන්‍යෝන්‍ය අවබෝධය හා සමානාත්මතාවය යනාදි හර පද්ධතීන් පවා යලි ගොඩ ගත නොහැකි තරමට අපිට අහිමි කොට ඇත . ඒ වෙනුවට අපිට පුරුදු කොට තිබෙන්නේ සෑම විටම තරඟකාරිත්වය, පුද්ගලික අභිවෘද්ධිය, සහ ලාභය පිළිබඳ විශ්වාසය තැබීමටයි. එහි ප්‍රතිවිපාක අද අපි හොඳින් භුක්ති විඳිමින් සිටින බව අමුතුවෙන් කිව යුතු නැත.

වෙළෙඳපොළ ක්‍රමය තුල අයුක්තිය හැර කිසිවක් නැත....

වෙළෙඳපොළ ක්‍රමයට යා හැකි උපරිම දුර මේ වන විට ගොස් තිබෙන බව ලෝකයේ දියුණු රටවල් අවබෝධ කරගෙන දසක දෙකකට  ආසන්න ය. එහෙත්,  ලංකාවේ බොහෝ දේශපාලකයින්, සමහර මත පලකරන්නන් මෙන්ම රටේ සමහරක් ජනයා මේ යථාර්ථය තවම තේරුම් ගෙන නැත. දේශපාලකයන් වෙළෙඳපොළට මානුෂීය මුහුණුවරක් දෙන බව කලකට පෙර කීවා මතකය. තවත් සමහරුන් මේ දිනවල කියන්නේ සමාජ මුහුණුවරක් දෙන බව කි. වෙළෙඳපොළකට කවර මුහුණක් ඇලෙව්වත් අවසානයේ ප්‍රතිඵලය එකකි. එය අන් කිසිවක් නොව ලාභය යි. ඒ තුල අයුක්තිය හැර අන් කිසිවක් නැත.

දැනට දින දෙකකට පෙර කුරුණෑගල අඹන්පොල ප්‍රදේශයේ සමූපකාර සුපිරි වෙළෙඳසැලක් (Coop City) විවෘත කළ අවස්ථාවක ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරනවා දුටිමි. එහි එක් ඡායාරූපයක් පිළිබඳ මුහුණු පොතේ තිබූ කමෙන්ටු කිහිපයක් මෙම ලිපිය ලිවීමට මා පෙළඹවිය.

යම් පරිශීලකයෙක් එක්තරා රාක්කයක දියර 'විම්' බෝතල් අසුරා තිබෙන ආකාරය පිළිබඳ සටහනක් ‍යොදා තිබුණි . කනගාටුව එය ලියූ මහත්මයා එම ඇසුරුම් ක්‍රමය (Stacking ) දැක තිබුණේ කොල පාට හෝ නිල් පාට නැත්නම් කොල සහ කහ මිශ්‍ර තද පාට කණ්නාඩියකින් බව ඔහුගේ සටහන කියවූ සැණින් මට අවබෝධ විය.

මෙම Coop City වෙළෙඳසැල විවෘත කොට තිබුණේ ජාතික ජනබලවේගය විසින් දැනට මාස හයකට පෙර ජයග්‍රහණය කළ මහව විවිධ සේවා සමූපකාරයෙන් වීම ඔහුට ප්‍රශ්නයක් වී තිබුණු බවක් ඔහුගේ ලිවීම තුලින්ම පේන්නට තිබුණි. අලෙවිකරණ මූලධර්ම පිළිබඳ අවබෝධයක් සහිතව උපදේශයක් හැටියට එවැන්නක් ලියා තිබුණේ නම් කෙතරම් අගනේද? එහෙත් එවැනි ආකල්පයක් සටහනින් ගම්‍ය නොවීය. හුදු අවර ගනයේ ප්‍රකාශයක් වීම තුලම ලියන්නාගේ මනෝභාවය පෙන්නුම් කොට තිබුණි. අපේ සමාජය පත්වී තිබෙන කනගාටු දායක තත්වය එයයි. ඔහුට එහි විවේචනය කිරීමට කිසිවක් නොතිබූ තැන වීම් බෝතල් අසුරා තිබෙන ආකාරය ගැන කියා ඔහුගේ ආවේගය පිට කිරීමට උස්සාහ කොට තිබුණි . කෙසේ වෙතත්, එම සමූපකාර නිලධාරීන් අදාළ සටහන යහපත් ආකාරයට දකිණු ඇති බවට සැකයක් නොමැත.

ලංකාවේ සමූපකාරය පිළිබඳ අලුත් කතා බහක්..

ලංකාවේ සමූපකාරය පිළිබඳ අද වන වන විට සමාජයේ වැඩි කතා බහක් ඇති වී ඇත. එයට ප්‍රධාන හේතුව, වෙන කිසිදු කාලයක නොදුටු ආකාරයට දිවයිනේ මෙතෙක් පැවැත්වූ සමූපකාර නිලවරණ වලින් 99% ක්ම ජයග්‍රහණය කොට තිබෙන්නේ ජාතික ජනබලවේගයේ නියෝජිතයන් වීම නිසාය. මෙය එක්තරා ආකාරයක සමාජ පරිවර්තනයක (Game Changer) ආරම්භයක් වන්නට බොහෝ දුරට ඉඩ ඇත.

දශක කිහිපයක්ම මෙම සමූපකාර සමිති පොහොට්ටු හෝ එජාප නියෝජනය කල  අධ්‍යක්ෂ මණ්ඩල විසින් කළමනාකරණය කොට ඇත. එහෙත්, මෙවර සමූපකාර සාමාජිකයන් ජාතික ජනබලවේගයට මෙම සමිති භාර දෙන්නේ ඒවා යහපත් ආකාරයට පාලනය කරනවා දකින්නට විය හැක. නව අධ්‍යක්ෂ මණ්ඩල දූෂණය වංචාව පිටු දැක ඒවා කළමනාකරණය කරනු ඇත කියා බොහෝ අය විශ්වාසය තබාගෙන ඇත. එයට හොඳම උදාහරණය කොළඹ වරායේ සමූපකාර ග්‍රාමීය බැංකුවයි. ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය නියෝජිතයන් වසර 10 කට වැඩි කාලයක් අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නිතරගයෙන් තේරී පත්වන්නේ එම ආදර්ශය නිසා වන්නට පිළිවන. සමූපකාර දෙපාර්තමේන්තුව ඔවුන්ගේ උපදේශන වැඩසටහන් වල ආදර්ශ සමූපකාර ග්‍රාමීය බැංකුව හැටියට හුවා දක්වන්නේ වරාය සමිතිය යි.

ජාතික ජනබලවේගය බලය ලබා ගත් සමූපකාර සමිති...

පසුගිය දා සමාජ මාධ්‍ය වල අනාවරණය වූ අන්දමට ජාතික ජනබලවේගය බලය ලබා ගත් සමූපකාර සමිති මේ වන විටත් සාමාජික සුභ සිද්ධිය සඳහා විවිධ ක්‍රියාකාරකම් සිදුකොට ඇත. පැවති දූෂණ වංචා පිළිබඳ නීත්‍යානුකූලව අවශ්‍ය කටයුතු කිරීම ද ඒ අතර වන බවක් පෙන්නට තිබේ. කොබෙයිගනේ සමූපකාර සමිතියේ අවුරුදු ගණනක් සේවය කළ සාමාන්‍යාධිකාරී වරයා මේ වන විටත් දූෂණ චෝදනා රාශියකට ලක්ව රහස් පොලිස් විමර්ශනයකින් පසු බන්ධනාගාර ගත කොට ඇත. තවත් සමූපකාර වල දූෂණ චෝදනා පිළිබඳ රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබෙන බව ආරංචියි. සමූපකාරය එහි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පවත්වා ගෙන යන්නේ නම් කෙතරම් සමාජ බලගැන්වීමක් කල හැකි ස්ථානයක්ද. පසුගිය අධ්‍යක්ෂ මණ්ඩල බොහෝ සමිති වල කර තිබෙන වංචා දූෂණ නිසා ඒවා යලි ගොඩනැගීමට කාලයක් ගත වනු ඇත. කෙසේ වෙතත්, නව නිළධාරීන් ගන්නා වූ උත්සාහය අගය කරමි.

එදා ගමේ සුපර් මාකට් එක...

කුඩා කාලයේ අපේ ගමේ සමූපකාරය සිල්ලර බඩු කඩයක් පමණක්ම නොවීය. අපේ හේනේ බඩ ඉරිඟු ඇට, මුං ඇට, මෑ ඇට, කව්පි, සෝයා, වියලි මිරිස් ටික මිලදී ගත්ත තොග එක් රැස් කිරීමේ මධ්‍යස්ථානය සමූපකාරයයි. වෙළඳපලේ වී මිල පාලනය කලේ ගමේ සමූපකාරයයි. ගොවියාට අවශ්‍ය පොහොර, කෘමිනාශක, වල් නාශක, සැපයූවේ සමූපකාරයයි. සිංහල අවුරුද්දට වේ ටෙක්ස්, පූ ටෙක්ස්, තුල්ටෙක්ස් රෙදි සැපයූවේ සමූපකාරයයි. අපේ අම්මලා චීන Jumping fish චීත්ත රෙදි මිල දී ගත්තේ සමූපකාරයෙනි. පූ ටෙක්ස් පිජාමා සරං රෙද්ද කෙතරම් හයියද.  සමූපකාරය අපේ ජන ජීවිතය ශක්තිමත් කරපු, දුකට සැපට පිහිටවූ අපේ ගමේ සුපර් මාකට් එක සමූපකාරයයි. එය නැවත ගොඩ නැගෙමින් තිබීම සතුට දනවන්නකි.

සමූපකාර සංකල්පයේ මහ ගෙදර...

සමූපකාර සංකල්පයේ මහ ගෙදර වූ එංගලන්තයේ අදටත් සමූපකාර ව්‍යාපාරය ඉතා ශක්තිමත් ආයතනයකි. ඔවුන් පවත්වාගෙන යනු ලබන ගොවිපළ, සුපිරි වෙළඳසැල්, mini coops ලන්ඩනයේ පවා ඇත.ග්‍රාමීය ප්‍රදේශ වල සමූපකාර  සාමාජිකයන්ගේ චීස් නිෂ්පාදන, බේකරි නිෂ්පාදන, එළවළු, අල, කැරට් යනාදිය අලෙවි කරන ආයතනය සමූපකාරයයි. ග්‍රාමීය පිරිස් සඳහා රැකියා දස දහස් ගණනක් සපයා ඇත. කැනඩාවේ සමූපකාර ව්‍යාපාරය ඉතා ශක්තිමත්ව පවතී. 2020 දී කැනඩා සමූපකාර ව්‍යාපාරය ඩොලර් බිලියන 48.6 ක ආදායමක් උපයා ඇත. ඩොලර් බිලියන 44.3 ක වත්කම් සමූපකාරය සතුය. රැකියා 100,987 ක් සපයා ඩොලර් බිලියන 2.6 ක් වැටුප් වශයෙන් ගෙවා ඇත. https://ised-isde.canada.ca/site/cooperatives-canada/en.

ඉන්දියාවේ සමූපකාර 854,355 ක් ඇත. සාමාජිකයන් 290,060,000 ක් සිටී.

https://coops4dev.coop/en/4devasia/india

අමූල් කිරි, කේරළ කිරි ගොවි සමූපකාරය, කර්නාටක කිරි ගොවි සමාගම, ඉන්දියානු සමූපකාර පොහොර සමාගම, රටේ ජාතික ආදායමට විශාල දායකත්වයත් දෙන ආයතනයි. https://byjus.com/question-answer/what-are-cooperative-sector-industries/

අමෙරිකාවේ සමූපකාරය කෘෂිකර්මාන්තය , අධ්‍යාපනය , මූල්‍ය සේවා , වෙළෙඳ සැල් ජාල, සෞඛ්‍ය සේවා , නිවාස , රක්ෂණ , පොදු සේවා , මිල දී ගැණීමේ මධ්‍යස්ථාන දක්වා විහිදී ඇත. https://ncbaclusa.coop/resources/co-op-sectors/

ලංකාවේ සමූපකාර ව්‍යාපාරය නිවැරැදිව කළමනාකරණය කර ගන්නේ නම් ග්‍රාමීය ණය ගැති භාවය සම්පූර්ණයෙන්ම විසඳිය හැකි ය. ක්ෂුද්‍ර මූල්‍ය කාක්කන් ගෙන් දුප්පත් ජනයා මුදවා ගත හැක. ග්‍රාමීය ජනයාගේ ආර්ථික සවිබල ගැන්වීම, සංවිධානය සහ ජාතික සංවර්ධනය සඳහා මෙහෙයවීම කිරීමට හොඳම යාන්ත්‍රණය සමූපකාරය යි. දැනට ලබා ගත හැකි දත්ත අනුව 2017 වන විට 8,736,382 ක සාමාජික සංඛ්‍යාවක් සිටින, ලියාපදිංචි සමූපකාර සමිති 14,003 ක් සහිත, ඉන්  ක්‍රියාත්මක මට්ටමේ 8963 ක් තිබෙන දීපව්‍යාප්ත සංවිධාන ජාලයක් සහ විශාල සම්පත් ප්‍රමාණයක් සමූපකාරය සතු ය

https://www.coop.gov.lk/assets/files/documents/STATISTICAL REPORT 2017.pdf

සමූපකාරය නැවත ගොඩනැගීමට උරදෙන අදූෂිත, මහජන සුභ සිද්ධිය පතන, සමූපකාර මූලධර්ම ආරක්ෂා කරන අධ්‍යක්ෂ මණ්ඩල තෝරා පත් කර ගැනීම ලංකාවේ සමාජ පරිවර්තනයේ මූලාරම්භය වනු දැකීම කෙතරම් වාසනාවක් ද !!

-ශාන්ත ජයරත්න

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102

No comments:

Post a Comment