Saturday, 16 September 2023

නීතියක් නොමැති, වංචා දුෂණ සපිරි රටක අයිතිවාසිකම් අහිමි දෙවන පන්තියේ පුරවැසියන් ලෙස නිවටව අප ජීවත්විය යුතු ද? එක්වෙමු! එරෙහි වෙමු!! ජය ගනිමු!!!

-සිවිල් සංවිධාන, වෘත්තිය සමිති හා සමාජ ක්‍රියාකාරී එකමුතුව

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.16, ප.ව.10.45) ජනාධිපති ප්‍රකාශ කරන්නේ ඔහු පිළිගන්නේ ව්‍යස්ථාදායකයේ තීරණ පමණක් බවයි. ආණ්ඩුව විසින් ජනතාව පෙළන විට සහනයක් පතා යා හැකි එකම තැන වන අධිකරණයට ගියත් එම තීන්දු තමන්ට හිතකර නොවේ නම් ආණ්ඩුව එම තීරණ පයිසෙකට වත් තකන්නේ නැත.

ව්‍යවස්ථාදායකය මෘග කොටි රැලක් මෙන්  ආණ්ඩුවට අහිතකර තීන්දු දෙන අධිකරණයේ විනිසුරුවරුන් දෙස බලා සිටිති. ඒ එවන් තීන්දුවක් දුන්නොත් එම විනිසුරුවරුන් පාර්ලිමේන්තුවට ගෙන්වා දඬුකඳේ ගසන්නටය. එසේම ආගමන විගමනයෙන් පැහැදිලි වාර්තා ලබා දී තිබියදීත් පරදේශක්කාර කාන්තාවක් ජනතා පරමාධිපත්‍යය දරාගෙන සිටින උත්තරීතර පාර්ලිමේන්තුවේ රාජ්‍ය ඇමති ධුරයක් ද හොබවමින් ප්‍රීතිමත් කාලයක් ගත කරමින් සිටී.

ආණ්ඩුව ආර්ථිකය ශක්තිමත් කරගෙන යනවා කීවාට ඒ සම්පුර්ණයෙන්ම බොරුවකි. රටේ ව්‍යාපාර දිනෙන් දින කඩාවැටෙමින් පවතී. දිනපතා පෞද්ගලික අංශයේ සේවකයින් සියගණනින් මහපාරට වැටෙමින් පවතී. ඇඟලුම් ක්ෂේත්‍රයේ කඩා වැටීම 25% කි. රටේ ජනතාවට ගෙවිය යුතු බිල් ගෙවා ගන්නටත් ආපසු ණයක් ගතයුතුව ඇත.  බැංකු හා ලිසිං ණය ගත්තවුන්ගෙන් 40% පමණ ඒවා ගෙවීමට නොහැකිව හූල්ලමින් සිටිති. රටේ ජනතාව  ජීවිතය ගැට ගසාගන්නට සිය රත්රන් බඩු උගස් තබා කෝටි 68,000/- පමණ ණයට ගෙන ඇත්තේ කළ හැකි අවසාන විසඳුම ලෙසයි. වංචා දුෂණ, රටේ දේපල විකුණාගෙන කෑම්, අනවශ්‍ය රාජ්‍ය වියදම් කිසිම ආකාරයකින් අඩුවක් වී නැත.

රටේ දරුවන්ගෙන් 1/3 මන්ද පෝෂණයෙන් පෙලෙන බව කියන්නේ ජාත්‍යන්තර වාර්තා ය. දොස්තරවරු, විශ්ව විද්‍යාල ආචාර්යවරු, ඉංජිනේරුවරු ආදී සියලුම පුහුණු වෘත්තිකයින් වැඩි කළ බදු ගෙවා ගත නොහැකිව රට හැර යති. රජයේ ආරෝග්‍ය ශාලා වැහෙමින් පවතී. රජයේ රෝහල් වල පමණක් නොව රටේම අත්‍යාවශ්‍ය බෙහෙත් නැත. ලෙඩක් හැදුනොත්  ඇමති කෙහෙළිය පවසා ඇති පරිදි මල්ශාලාව හරහා එළියට එන්නට ජනතාවට පහසුකම් ලබාදී ඇත.  

කරුණු එසේ හෙයින් අපි ආණ්ඩුවට බල කර සිටින්නේ,              

⋆බෙලහීන කළ නීතියේ ආධිපත්‍යය රටේ නැවතත් ස්ථාපිත කරනු.!
⋆වංචා දුෂණ කරන්නට දෙන දේශපාලන සහය නවත්වා ඒවා තුරන්කිරීමට කටයුතු කරනු.!
⋆අනවශ්‍ය පරිදි සිදුකරන රාජ්‍ය මුදල් නාස්තිය වලක්වනු.!
⋆විශ්‍රාමිකයින්ගේ ජීවත්වීමේ මග, EPF අරමුදල ආරක්ෂා කරනු.!
⋆දිනාගත්  කම්කරු අයිතීන් උදුරා ගන්නා යෝජිත නව කම්කරු පනත අකුලා ගනු.
⋆නැවත ගෙන එන ප්‍රති ත්‍රස්ත පනත විසි කරනු.!
⋆ලාභ ලබන රජයේ ව්‍යාපාර පුද්ගලීකරණය කිරීම නතර කරනු.!
⋆රටේ කොටස් විකිණීමේ අපරාධය නවත්වනු.!
⋆යෝජිත විශ්ව විද්‍යාල වාර්තා යෝජනාවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල විනාශකිරීම නවතනු.!
⋆දරාගත නොහැකි ලෙස වැඩි කළ අසාධාරණ බදු අඩු කරනු.!
⋆රජය මුදල් වියදම් කර ආරම්භ කළ හා අධිකරණයෙන් පවත්වන ලෙස නියෝග කළ පලාත්පාලන මැතිවරණය පවත්වනු.!

ආණ්ඩුවක් පවත්වාගෙන යා යුත්තේ රටේත් රටේ ජනතාවගේත් සුභ සිද්ධිය උදෙසායි. ආණ්ඩුවේ පවතින පාලනයෙන් මේ කිසිම දෙයක් සිදුනොවෙන බව අපට ඉතාම පැහැදිලිය. ආණ්ඩුව නිවැරදි ක්‍රියා මාර්ග නොගන්නේ නම්,

ජනතාවගේ ශක්තිය පෙන්වීමේ අවස්ථාව නැවතත් උදාවී ඇත.
එක්වෙමු! එරෙහි වෙමු!! ජය ගනිමු!!!

-සිවිල් සංවිධාන, වෘත්තිය සමිති හා සමාජ ක්‍රියාකාරී එකමුතුව

⋆නීතියේ ආධිපත්‍යය සඳහා වූ නීතිඥයෝ
⋆පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය වෘත්තිය සමිති බල මණ්ඩලය
⋆නිදහස් සිතිවිලි සංසදය
⋆විකසිත ලංකා තිරසර සංවර්ධන පදනම
⋆ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය
⋆අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය
⋆පුනරුදය ව්‍යාපාරය
⋆සමස්ත ලංකා කළමනාකාර සේවා නිලධාරීන්ගේ සංගමය
⋆තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය
⋆ලංකා ගුරු සංගමය
⋆මහනුවර පුරවැසි හවුල
⋆එක්සත් වෙළඳ හා සමුපකාර සේවක සංගමය
⋆නීතියේ ආධිපත්‍යය සුරැකීමේ ජාතික ව්‍යාපාරය

No comments:

Post a Comment