ලංකාවට වසර 75 ක් ගියාට දකුණු අප්‍රිකාවට ගියේ 30 යි..! මැන්ඩේලාගේ "දේදුනු" රාජ්‍යය ලෝකයේ දූෂිතම රට බවට පත් කළ හැටි..! රටේ ධනයෙන් දහයෙන් එකක් හොරා කෑ ජනාධිපති සූමා රාජපක්ෂලා පරදවයි..!
-ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.සැප්.02, ප.ව.10.30)
මිනීමැරුම්, අපරාධ, අල්ලස්, විරැකියාව, දරිද්‍රතාවය අතින් දකුණු අප්‍රිකාව ලෝකයේ අංක එකට..
දකුණු අප්‍රිකාව යනු වර්තමානයේ ජීවත්වීමට අහිතකර ලෝකයේ භයානකම රටකි. මිනීමැරුම්, සොරකම් , පැහැරගෙනයෑම් ඇතුළු සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් අප්‍රිකානු මහද්වීපයේ රටවල් අතරින් අංක එකට පත්වී ඇත්තේ දකුණු අප්‍රිකාවයි. වසර 2023 අපරාධ දර්ශක ශ්‍රේණිගත කිරීම අනුව, දකුණු අප්‍රිකාව අප්‍රිකානු මහද්වීපයේ භයානකම රට වූ අතර, සෝමාලියාව, නයිජීරියාව සහ ඇන්ගෝලාව ඔවුනට පසුපසින් සිටියි.
ලෝකයේ ඉහළම මිනීමැරුම් අනුපාතය…
දකුණු අප්‍රිකානු ජාතිකයෙකු අද සිය රටේ දී ඕනෑම මොහොතක ඝාතනයවීමට ඇති සම්භාවිතාවය සියයට පහකි. ආරක්ෂක අධ්‍යයන ආයතනය (Institute of Security Studies) පසුගිය මාර්තු මාසයේදී නිකුත් කරන ලද වාර්තාවකට අනුව, මේ වන විට ලෝකයේ දෙවන ඉහළම මිනීමැරුම් අනුපාතයක් වාර්තා වන්නේ දකුණු අප්‍රිකාවේ ය. ඔවුන් දෙවැනි වන්නේ ජැමෙයිකාවට පමණි. මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ දකුණු අප්‍රිකාවේ බහුලව දක්නට ලැබෙන අතර එය පසුගිය කාලය පුරා ශීඝ්‍ර වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ. වසර 2012-13 කාලයේ දකුණු අප්‍රිකාවේ සිදුවූ මිනීමරුම් සංඛ්‍යාව 16,213ක් වූ අතර එය වසර 2022-23 දී 27,272ක් දක්වා ඉහළ ගියේ ය. වර්ධනය සියයට 68 කි. සුදු ජාතිකයන්ගේ වර්ණභේදවාදී පාලන යුගයේ පවා මිනීමැරුම්, අපරාධ පැවැතියේ වර්තමාන තත්ත්වයට වඩා ඉතා පහළ මට්ටමකය.
අප්‍රිකාවේ ධනවත්ම නගරය…
19 වන සියවසේ අගභාගයේ සිට වර්ණභේදවාදී යුගය දක්වා අප්‍රිකාවේ ධනවත්ම නගරය වූයේ ජොහැන්නස්බර්ග්ය. එහි පිහිටා තිබූ රන් ආකර ඒ ආශ්චර්යට හේතු විය. වසර 1994 දී බලයට පැමිණි විසිවන සියවසයේ ජනප්‍රියම දේශපාලන සිරකරුවා වූ නෙල්සන් මැන්ඩේලා දකුණු අප්‍රිකාවේ ආර්ථික ඩයිනමෝව බවට පත් කර ගත්තේ ජොහැන්නස්බර්ග්ය. එහෙත් දශක තුනකට පසුව අද ජොහැන්නස්බර්ග් යනු දරිද්‍රතාවය, විරැකියාව, අපරාධ, මිනීමැරුම් වලින් ගිලී ගිය නගරයකි. මිලියන පහක ජනගහනයෙන් අඩකට වඩා විරැකියාවෙන්, නිවාස නොමැතිකමින් සහ දරිද්‍රතාවයෙන් පීඩා විඳිති. ඔවුහු අද එදාවේල සපයා ගැනීමට අතට අසුවන දෑ සොරකම් කරති. මෝටර් රථ කොටස් සිට විදුලි උප පොළවල කේබල්, යකඩ වැනි කළු කඩයේ විකිණිය හැකි සෑම දෙයක්ම සොරා ගනිති. ඔවුන්ට ජීවත්වීමට නිවාස නොමැත. අත්හැර දමන ලද ජොහැන්නස්බර්ග්හි රජයේ කාර්යාල ගොඩනැගිලි පාතලේ මැරයන් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඒවා නිවාස නොමැති දුගී පවුල්වලට කුලියට දෙති.
දසදහස් ගණනක් පදිංචි වී සිටි එම පැරණි ගොඩනැගිලි බොහොමයක විදුලිය, ජලය හෝ මූලික සනීපාරක්ෂක පහසුකම් නොමැත. මේවා මිහිපිට අපායන්ය. පසුගිය අගෝස්තු 30 වන දා ජොහැන්නස්බර්ග්හි මෙවැනි ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් හැත්තෑ හතර දෙනෙක් අවාසනාවන්ත ලෙස මිය ගියහ. ඒ අතර කුඩා දරුවන් දොළොස් දෙනෙකි.
විනාශ වූ රන් අගනගරය ජොහැන්නස්බර්ග්…
පසුගිය දශක තුනක කාලය පුරා නගරයේ විදුලිය, ජලය, මාර්ග ඇතුළු යටිතල ව්‍යුහ පහසුකම් බිඳ වැටී තිබේ. දකුණු අප්‍රිකාව පුරා පැතිර පවතින විදුලි කප්පාදුව ආර්ථික මර්මස්ථානක් වන ජොහැන්නස්බර්ග් නුවරට දැඩිව බලපා තිබේ. යටිතල ව්‍යුහ පහසුකම් බිඳ වැටීම මෙන්ම අනාරක්ෂිත පරිසරය හේතුවෙන් බොහෝ ව්‍යාපාර ආයතන ජොහැන්නස්බර්ග් නගරයෙන් ඉවතට ගොස් තිබේ. හිටපු නගරාධිපති Mpho Phalatse ට අනුව ජොහැන්නස්බර්ග් නගරයේ විදුලිය, ජලය, සනීපාරක්ෂාව සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඇ. ඩොලර් බිලියන 16.3 ක් අවශ්‍ය නමුත් ඒ සඳහා නගරයට ප්‍රතිපාදන නැත. ජොහැන්නස්බර්ග් යනු දකුණු අප්‍රිකාව නම් අසමත් රාජ්‍යයේ හරස්කඩකි.
අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නිසි ආර්ථික කළමනාකරණයකින් තොර දූෂිත පාලනය...
දකුණු අප්‍රිකාව, සුදු වර්ණභේදවාදී පාලනය පැවති වකවානුවටත් වඩා පසුගිය දශක තුනක කාලය පුරා අන්ත අගාධයකට ඇද වැටී ඇත්තේ මන්ද? පිළිතුර, අප්‍රිකානු ජාතික කොන්ග්‍රස ආණ්ඩුවේ නිසි ආර්ථික කලමනාකරණයකින් තොර දූෂිත පාලනයයි.
දකුණු අප්‍රිකානු රජයට අයත් විදුලි බල සමාගම වන එස්කොම් (Eskom) නිදසුනකට ගනිමු. දකුණු අප්‍රිකාවේ මිලියන 60 ක ජනතාව අද දිනකට පැය දොළහක විදුලි කප්පාදුවකට යටත්ව සිටිති. එයට මූලික හේතුව වන්නේ Eskom හි දුර්වල කළමනාකාරිත්වය සහ දූෂිත ගණුදෙනුය. Eskom අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ දේශපාලන ආධාරකරුවන්ගෙන් පුරවා තිබේ. ඔවුනට ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ මෙලෝ අවබෝධයක් නැත. වැඩි වන විදුලි ඉල්ලුම ඉලක්ක කර ගනිමින් බලාගාරයන්හි ධාරිතාව ඉහළ නොදැමීම, බලාගාර සහ බෙදාහැරීම් පද්ධති නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් රටට අවශ්‍ය විදුලි ඉල්ලුම සැපයීමට Eskom විදුලි සමාගමට නොහැකිවී තිබේ. ශීත සෘතුවේ ඉල්ලුම වැඩිවීමත් සමඟ තත්ත්වය වඩාත් නරක අතට පත්වෙයි. දෙෙනික විදුලි කප්පාදුව හේතුවෙන් කර්මාන්ත, වෙළෙඳ, වාණිජ ක්ෂේත්‍රයන්ට විශාල පාඩුවක් සිදුවෙයි. දකුණු අප්‍රිකානු රජයේ තක්සේරුවට අනුව විදුලි අර්බුදය හේතුවෙන් ආර්ථිකයට දිනකට සිදු වන පාඩුව ඇ. ඩොලර් මිලියන 50 කි! මේ විදුලි අර්බූදය වාර්ෂික ආර්ථික වර්ධන අනුපාතය සියයට දෙකකින් පහතට ඇද දමයි.
මාසයකට ඇ.ඩො මිලියන 55 ක දූෂණ සිදුවන රාජ්‍ය විදුලි බල සමාගම..
නිසි කළමනාකරණයකින් තොර Eskom රාජ්‍ය විදුලි බල සමාගමේ සමස්ථ ණය ප්‍රමාණය ඇ. ඩොලර් බිලියන 23 කි. පසුගිය පෙබවාරි මාසයේ දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මහජන ගිණුම් කාරක සභාව ඉදිරියට කැඳවනු ලැබූ Eskom හි ප්‍රධාන විධායක නිළධාරියා වන Andre de Ruyter සඳහන් කළේ තම ආයතනය තුළ එක් මාසයක සිදුවන මූල්‍ය දූෂණයන්හි අවම වටිනාකම ඇ. ඩොලර් මිලියන 55ක් බවයි. තම සමාගමට රටේ බලශක්ති අර්බුදයට ප්‍රමාණවත් විදුලි බලයක් නිෂ්පාදනය කිරීමට නොහැකි බව පැවසූ ඔහු සමාගමේ ණය ප්‍රමාණය දරා ගත නොහැකි මට්ටමින් ඉහළ යමින් පවතින බව හෙළි කළේ ය. මේ අතර Eskom හි සමස්ථ ණය ප්‍රමාණය වන ඇ. ඩොලර් බිලියන 23 ගෙවා දැමීමට රජය උත්සාහ කරමින් සිටියි. එහෙත් Eskom වැනි දූෂිත, අකාර්යක්ෂම ආයතනයක් ප්‍රතිව්‍යුහගත නොකර එහි ණය ගෙවාදැමීම මගින් පමණක් ආයතනය යළි ගොඩගැනීමට නොහැකි බව දකුණු අප්‍රිකානු ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
තබෝ ම්බෙකිගේ ආර්ථික වැඩපිළිවෙළ…
වසර 1994 දී සියයට 62කට වඩා ජනවරමක් ලබාගත් නෙල්සන් මැන්ඩේලා රටට ඉදිරිපත් කළ මූලික ආර්ථික වැඩපිළිවෙළ වූයේ "රැකියා උත්පාදනය, ආර්ථික වර්ධනය සහ සම්පත් යළි බෙදාහැරීම" ය. මේ ආර්ථික වැඩපිළිවෙළහි නිර්මාතෘ වූයේ ඔහුගේ නියෝජ්‍ය ජනාධිපති වශයෙන් කටයුතු කළ ආර්ථික විශේෂඥයකු වූ තබෝ ම්බෙකි ය. (Thabo Mbeki). ජනාධිපති මැන්ඩේලා සිය ආර්ථික වැඩපිළිවෙළ ජය ගැනීම සඳහා කැපවී කටයුතු කළේ ය. නව විදේශ ආයෝජන දකුණු අප්‍රිකාවට ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කළේ ය. නෙල්සන් මැන්ඩේලා ජනාධිපතිධූරයට පත්වී වසර දෙකක් යන විට දකුණු අප්‍රිකාවේ ආර්ථික වර්ධනය සියයට හතර ඉක්මවා ගියේ ය. ව්‍යාපාර විශ්වාසය තහවුරු විය. ආර්ථික සම්බාධක ඉවත් කිරීමෙන් පසු විදේශ ආයෝජන ගලා ආවේ ය. ආර්ථික සෞභාග්‍යය පිළිබඳ නව බලාපොරොත්තු නිර්මාණය විය.
පළමු දශකයේ ආර්ථික වර්ධනය…
එහෙත් නෙල්සන් මැන්ඩේලා තුළ දේශපාලන බල තණ්හාවක් නොවූ අතර පළමු ධූර කාලය අවසානයේ එනම් වසර 1999දී විශ්‍රාම ගියේ ය. ඔහුගේ නියෝජ්‍ය ජනාධිපති තබෝ ම්බෙකි ජනාධිපතිධූරයට පත්විය. වසර 1994-2004 දක්වා වූ පළමු දශකය තුළ උද්ධමනය සියයට 14 සිට 5 දක්වා පහත වැටුණි. අයවැය හිඟය සියයට 8 සිට 1.5 දක්වා අවම කර ගැනීමට හැකි වූ අතර පොළී අනුපාත සියයට 16 සිට 9 දක්වා අඩු විය. නව රජය අධ්‍යාපන, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් වෙනුවෙන් විශාල වශයෙන් ආයෝජන කළේ ය. පළමු දශකයේ ආර්ථික වර්ධනයේ සාමාන්‍ය සියයට 3.2 කි. යම් යම් සීමාකම් සහිතව වුවද මේ ආර්ථික පුනර්ජීවනය තබෝ ම්බෙකිගේ පාලන කාලය අවසන් වූ වසර 2008 සැප්තැම්බර් දක්වා පැවතුණි.
ජනාධිපති තබෝ ම්බෙකිට එරෙහි වමේ විරෝධය ..
වසර 1994 දී නෙල්සන් මැන්ඩේලා, තබෝ ම්බෙකි ඇතුළු කණ්ඩායම දකුණු අප්‍රිකාවට හඳුන්වාදුන් වෙළෙඳ පොළ ආර්ථිකයට අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ "වාම ජාතිකවාදී" කණ්ඩායමේ කැමැත්තක් නොවීය. එම වැඩ පිළිවෙල "නව ලිබරල්" ආර්ථික ප්‍රතිපත්ති වශයෙන් ඔවුහු විවේචනය කළහ. විශේෂයෙන් එම ආර්ථික වැඩ පිලිවෙල නිර්මාණය කළ තබෝ ම්බෙකි මේ කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය විය. තබෝ ම්බෙකි ජනාධිපතිධූරයට පත් වූ පසුව මේ පක්ෂ අභ්‍යන්තර අරගලය තීව්‍ර විය. අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ "වාම ජාතිකවාදී" කණ්ඩායමේ නායකත්වය ගත්තේ ජනකාන්තවාදී නායකයෙකු වන ජේකබ් සූමා (Jacob Zuma) ය. මේ අභ්‍යන්තර බල අරගලය හේතුවෙන් තබෝ ම්බෙකිට වසර 2008 සැප්තැම්බරයේ දී ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට පක්ෂය නියෝග කළේ ය.
"දකුණු අප්‍රිකාවේ රාජපක්ෂ" බලය අත්පත් කර ගනියි..
දේශප්‍රේමය වෙනුවෙන් පපුවට ගසා ගන්නා මහින්ද රාජපක්ෂ වර්ගයේ ජනකාන්තවාදී නායකයෙකු වන ජේකබ් සූමා වසර 2009 දී ජනාධිපතිධූරයට පත් විය. දකුණු අප්‍රිකාවේ නූතන.ආර්ථික, සාමාජීය සහ දේශපාලන බිඳ වැටීම ආරම්භ වන්නේ ජේකබ් සූමාගේ ආගමනය සමඟිනි. වසර 2009 සිට 2018 දක්වා වූ සූමාගේ පාලන කාලය දකුණු අප්‍රිකානු ඉතිහාසයේ දූෂිතම පාලන කාලය ලෙසින් සැළකෙන අතර ඔහු එම කාලයේදී ඇ ඩොලර් බිලියන 34 ක් එනම් රටේ දළ දේශීය නිෂ්පාදයෙන් දහයෙන් එකක් හොරා කෑවේය.
ජේකබ් සූමා ඇ ඩොලර් බිලියන 34ක් හොරා කයි…
දේශපාලන මැරකම් සහ දූෂණයන් සම්බන්ධයෙන් ඔහුට දීර්ඝ ඉතිහාසයක් තිබේ. දකුණු අප්‍රිකාවේ වාර්ගික සහ ආර්ථික බෙදීම් සිය බලය තහවුරු කර ගැනීම සඳහා නින්දා සහගත ලෙස යොදා ගන්නා සූමාව හඳුන්වන්නේ "දකුණු අප්‍රිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්" වශයෙනි. වසර 2005දී ඔහුට දූෂණ චෝදනා එල්ල වූ අතර එම සිද්ධිය හේතුවෙන් ඔහුව නියෝජ්‍ය ජනාධිපතිධූරයෙන් නෙරපා හරින ලදී. එම වසරේම ඔහු සිය පවුලේ මිතුරෙකුගේ දියණියක දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබීය. එහෙත් පක්ෂ අභ්‍යන්තර දේශපාලන කැරැල්ලක් හරහා සිව් වසරකින් ජනාධිපතිධූරය ඩැහැ ගැනීමට සූමා සමත්විය.
ලෝකයේ දූෂිතම රට බවට පත් වූ මැන්ඩේලාගේ රට..
සිය දශකයක පාලන කාලයෙන් පසුව එනම් වසර 2018 දී ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වන මට්ටමට පත් වන විට සූමා දකුණු අප්‍රිකාව ලෝකයේ දූෂිතම රට බවට පත් කළේ ය. වසර 2018 ලෝක බැංකු ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ දූෂිතම රට වූයේ දකුණු අප්‍රිකාවය..! ජනාධිපති සූමා සිය මූල්‍ය දූෂණ සඳහා යොදා ගත්තේ කුප්‍රකට ගුප්තා ව්‍යාපාරික පවුලය. වසර 1993 දී දකුණු අප්‍රිකාවට සංක්‍රමණය වන අජේ සහ අතුල් ගුප්තා සොහොයුරෝ ක්‍රමයෙන් පුළුල් ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනඟා ගත්හ. බලශක්ති, ඉදිකිරීම්, රන්, දියමන්ති ආකර, මාධ්‍ය ඇතුළු සෑම ප්‍රධාන ව්‍යාපාරික අංශයේම ආධිපත්‍යය දැරූ ගුප්තා සහෝදරයෝ ජනාධිපති සූමාගේ "දකුණු අත" වශයෙන් ප්‍රකට වූහ. ඔවුහු විදුලිය, දුම්රිය, පතල් කැනීම් ඇතුළු රජයේ කොන්ත්‍රාත් ලබා ගත්හ. සූමාගේ ජනාධිපති ධුර කාලය තුළ තිරය පිටුපස දැවැන්ත බලයක් ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට හැකි විය. ඇතැමෙක් ගුප්තා සහෝදරයන් දකුණු අප්‍රිකාවේ "ඡායා රජය" ලෙස හැඳින්වූහ. සූමාගේ ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරු පත් වූයේ ගුප්තා සහෝදරයන්ගේ අවශ්‍යතාව සහ අනුදැනුම ඇතිව යන්න ප්‍රසිද්ධ රහසකි!
සූමාට සහ ගුප්තා සහෝදරයන්ට එරෙහි රටපුරා විරෝධතා…
වසර 2017 දී නිරාවරණය වූ ඊ මේල් පණිවිඩ මගින් ජනාධිපති සූමා ගුප්තා සහෝදරයන් සමඟ එක්ව දකුණු අප්‍රිකාවේ ජාතික ධනය ඇ. ඩොලර් මිලියන ගණනින් හොරකම් කළ ආකාරය කරලියට පැමිණියේ ය. මේ සමඟ ජනාධිපති සූමාට සහ ගුප්තා සහෝදරයන්ට එරෙහිව රටතුළ විරෝධතා මතු විය. තමාට එරෙහි දූෂණ චෝදනා ප්‍රතික්ෂේප කළ සූමා තවදුරටත් සිය බලයේ රැඳී සිටීමට උත්සාහ ගත්තේ ය. එහෙත් අවසානයේ පක්ෂ අභ්‍යන්තර විරෝධතා හේතුවෙන් වසර 2018 මාර්තු මාසයේ සූමාට ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු විය. ඔහුගේ නියෝජ්‍ය ජනාධිපති ලෙස කටයුතු කළ සිරිල් රමෆෝසා ජනාධිපතිධූරයට පත් විය. ධූරයෙන් ඉවතවීමෙන් පසුව සූමාට එරෙහිව ආයුධ ගණුදෙනුවක් පිළිබඳ දූෂණ චෝදනා ගොනු කෙරෙනි. සිරිල් රමෆෝසා, සූමාගේ දශකයක පාලන කාලය තුළ සිදු වූ අල්ලස්, දූෂණ, අකාර්යක්ෂමතාව පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා අධිකරණ බලතල සහිත අගවිනිසුරු රේ සොන්ඩෝ (Ray Zondo)ගේ සභාපතීත්වයෙන් යුතු විශේෂ කොමිසමක් (Zondo කොමිසම) පත් කරන ලදී. සූමා කොමිසම ඉදිරියේ දින තුනක් පෙනී සිටි අතර ඉන් පසුව එය ඉදිරියේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කළේ ය. සූමාගේ මේ තීරණය අධිකරණයට අපහාස කිරීමක් බව තීරණය කළ දකුණු අප්‍රිකානු ව්‍යවස්ථා අධිකරණය සූමාට මාස පහළොවක සිරදඬුවමක්, වසර 2021 ජූනි 29 වන දා නියම කළේ ය.
අල්ලස, දූෂණයට එරෙහි ජනතා කැරැල්ල …
මේ සිරදඬුවමත් සමඟ, ජූලි 9 සිට 18 දක්වා දකුණු අප්‍රිකාවේ KwaZulu-Natal සහ Gauteng පළාත්වල ඇති වූ සිවිල් නොසන්සුන්තාවයක් නිර්මාණය විය. ව්‍යාපාරික ස්ථාන, බැංකු, වෙළෙඳ සැල් මංකොල්ලකෑම්, රජයේ ආයතන ගිනි තැබීම් සිදු වූ අතර මෙයට සම්බන්ධවූවන් සූමාගේ ආධාරකරුවන්ට වඩා විරැකියාවෙන්, දරිද්‍රතාවය සහ ආර්ථික පීඩාවෙන් පසුවූ දකුණු අප්‍රිකානු සමාජයේ දිළිඳු ජන කොටස්ය. මේ ප්‍රචණ්ඩ කැරැල්ල වෙළඳසැල්, බැංකු, කර්මාන්තශාලා සහ තැපැල් කාර්යාල ඇතුළු ව්‍යාපාර හතළිස් දහසක් විනාශ කර දැමීය. එය ආණ්ඩුවේ දූෂණ, වංචා සහ දිළිඳු ජන කොටස් නොසළකා හැරීම පිළිබඳ ජනතා අරගලයකි. එහිදී ජීවිත 330ක් විනාශ වූ අතර සිදු වූ හානියේ වටිනාකම ඇ. ඩොලර් බිලියන 3.4 ක් බවට ඇස්තමේන්තු කර තිබේ. අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ දූෂණ සූමාට පමණක් සීමාවී නැත. එය කොන්ග්‍රසය බලය අත්පත් කරගෙන සිටින පලාත් ආණ්ඩු, පලාත් පාලන ආයතනන්හි මෙන් රාජ්‍ය ආයතන වලද පොදු තත්ත්වයකි. අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නායකයෝ ඉහළ සිට පහළට රාජ්‍ය දේපල අවභාවිතා කරති. අල්ලස්, කොමිස් ගනිති. ඔවුන්ගේ දිළිඳු සාමාජිකයන් එදා වේල සොයා ගැනීමට සටන් කරන විට සෑම මට්ටමකම කොන්ග්‍රස් නායකයෝ කුමාර ජීවිත ගෙවති.
ජනාධිපති සූමා යටතේ, ආණ්ඩුව සංවිධානාත්මක අපරාධ කල්ලියකට සමානය…
වසර තුනක් පුරා ක්‍රියාත්මක වූ Zondo කොමිසම පිටු 5000කින් යුතු සිය අවසාන වාර්තාව පසුගිය වසරේ ජූනි මාසයේ දී නිකුත් කළේ ය. මේ වාර්තාව මගින් හිටපු ජනාධිපති සූමා, ගුප්තා සහෝදරයන් සමඟ එක්වී දකුණු අප්‍රිකාව දශකයකට ආසන්න කාලයක් හොරා කෑ අන්දම හෙලිකර තිබේ. දකුණු අප්‍රිකානු රාජ්‍ය දේහය තුළ අල්ලස, දූෂණය, ඥාති සංග්‍රහ සහ අකාර්යක්ෂමතාවය මුල් බැස ඇති ආකාරය පැහැදිලි කරන මේ වාර්තාව එම තත්ත්වයෙන් ගැලවීමට නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර කරයි. හිටපු ජනාධිපති සූමා යටතේ, "ආණ්ඩුව සංවිධානාත්මක අපරාධ කල්ලියකට සමාන" වූ බව වර්තමාන ජනාධිපති සිරිල් රමෆෝසා මේ Zondo කොමිසම් වාර්තා භාර ගනිමින් පැවසුවේ ය. කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවට ද ඔහු පොරොන්දු විය. කොමිසම් වාර්තාව මගින් සූමාගේ නියෝජ්‍ය ජනාධිපති වශයෙන් කටයුතු කළ වර්තමාන ජනාධිපතිවරයාගේ භූමිකාව ද දැඩිව විවේචනය කර තිබේ. "The Judicial Commission of lnquiry into Allegations of State Capture, Corruption and Fraud in the Public Sector including Organs of State" හෙවත් "Zonda" කොමිසමේ වාර්තාවට මෙතැනින් පිවිසිය හැක https://www.statecapture.org.za/site/information/reports. මේ කොමිසමේ අවසාන වාර්තාව භාරදී පසුගිය ජූනි 23 වන දාට වසරක් ගත වුවද කොමිසමේ නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක කර නොමැති බව අගවිනිසුරු Ray Zondo පසුගිය දා රජයට චෝදනා කළේ ය.
ලෝකයේ ඉහළම විරැකියා අනුපාතය…
මේ වන විට ලෝකයේ ඉහළම විරැකියා අනුපාතය වාර්තාවන්නේ දකුණු අප්‍රිකාවෙනි. එය මේ මාසය වන විට සියයට 32.9 කි. වසර 15-24 තරුණයන් අතර විරුකියාව සියයට 64.4කි. මිලියන 18 ක පමණ ජනතාවක් යම් ආකාරයක සමාජ ආධාර මත යැපෙන අතර, එම ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලියාපදිංචි බදු ගෙවන්නන් මෙන් දෙගුණයකි. වසර 2018 දී නිකුත් කළ "Overcoming Poverty and Inequality in South Africa : An Assessment of Drivers, Constraints and Opportunities" නම්
ලෝක බැංකු වාර්තාවට අනුව දකුණු අප්‍රිකාවේ ඉහළම සියයට එක, රටේ සමස්ත වත්කම් ප්‍රමාණයෙන් සියයට 70.9ක් භුක්ති විඳිති. සමාජයේ පහළ සියයට 60ට හිමිව ඇත්තේ රටේ වත්කම් ප්‍රමාණයෙන් සියයට 7 ක් පමණි. මෙය ලෝකයේ ඉහළම ආදායම් විෂමතාවයකි. එම වාර්තාවට මෙතැනින් පිවිසිය හැක https://documents.worldbank.org/en/publication/documents-reports/documentdetail/530481521735906534/Overcoming-Poverty-and-Inequality-in-South-Africa-An-Assessment-of-Drivers-Constraints-and-Opportunities
ජනගහනයෙන් බහුතරය එදාවේල සපයා ගැනීමේ සටනේ..
පසුගිය ජූනි මාසයේ සිදු කළ Gallup සමීක්ෂණයක දී හෙළි වූයේ දකුණු අප්‍රිකාවේ මිලියන 60ක ජනතාවගෙන් සියයට 65ක් පසුගිය මාස දොළහ තුළ ජීවත්වීමට අවශ්‍ය ආහාර ලබා ගැනීමට දැඩි ජීවන සටනක නිරත වූ බවයි. රත්තරන්, දියමන්තිවල සිට ටයිටේනියම් සහ යුරේනියම් දක්වා විශාල ස්වභාවික සම්පත් තිබියදීත්, දකුණු අප්‍රිකාවට තවම අඛණ්ඩව විදුලි සැපයුමක් ලබාදීමට හැකිව නැත. අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ දශක තුනක පාලනය අවසානයේ දකුණු අප්‍රිකාවට ලබා දී ඇත්තේ අල්ලස, දූෂණය, අපරාධ, දරිද්‍රතාවය, විරැකියාවයි. මේ පසුබිමේ දකුණු අප්‍රිකානු ආර්ථිකය සහ එහි වර්ධනය බිඳ වැටෙමින් පවතී. වසර 2018 දළ දේශීය නිෂ්පාදනය සියයට 0.8 ක් වූ අතර එය 2019 දී සියයට 0.2 දක්වා අවම විය. මේ වසරේ දී එය සියයට 1.1 දක්වා වර්ධනය වනු ඇතැයි ප්‍රක්ෂේපණය කර ඇත. දකුණු අප්‍රිකාව ආර්ථික යෝධයෙකු කිරීමේ නෙල්සන් මැන්ඩේලාගේ "දේදුනු රාජ්‍ය" සිහිනය බිඳ වැටෙමින් තිබේ.
අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ බලය දියවෙයි..
වසර 2021 පැවැති පලාත් පාලන මැතිවරණයේදී දකුණු අප්‍රිකානු ජනතාව අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට අමතක නොවන පාඩමක් කියා දුන්නේ ඔවුන් සමස්ත ඡන්ද ප්‍රතිශතය සියයට 46 දක්වා අවම කරමිනි. ජනාධිපති තබෝ ම්බෙකිගේ නායකත්වයෙන් වසර 2006 පලාත් පාලන මැතිවරණයේදී සියයට 65ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් ජාතික කොන්ග්‍රසය සියයට පනහේ සීමාවෙන් පහතට ඇද දමා ඔවුන්ගේ පාලනය පිළිබඳ සිය විරෝධය පල කිරීමට දකුණු අප්‍රිකානු ඡන්දදායකයෝ කටයුතු කළහ. ඔවුනට බොහෝ පලාත් පාලන ආයතනවල බලය අහිමි වූ අතර තවත් පලාත් පාලන ආයතන ගණනාවක බලය පිහිටුවීමට කුඩා පක්ෂ සමඟ සන්ධාන ගතවීමට සිදුව ඇත. නෙල්සන් මැන්ඩේලාගේ කීර්තිමත්, විමුක්තිකාමී පක්ෂය මේ තත්ත්වයට ඇද වැටීම ඉතිහාසයේ සරදමකි!
ස්ටීව් බිකෝගේ සහකාරිය තම රට දකින හැටි…
දකුණු අප්‍රිකානු සුදු පාලකයන් විසින් ඝාතනය කළ Black Consciousness Movement හි නිර්මාතෘ ස්ටීව් බිකෝගේ සහකාරිය වන වෙෙද්‍ය මාම්පෙලා රම්ෆෙල් (Mamphela Ramphele) මෑතකදී "The New Yorker" සඟරාවට වර්තමාන දකුණු අප්‍රිකානු අර්බූදය විස්තර කළේ "දැන් ඔබට පෙනෙන්නේ ජාතියක් ලෙස අපගේ පැවැත්මේ නිරුවතයි. එය අපේ ගැටළු හෙළිදරව් කර තිබේ" යනුවෙනි. කේප් ටවුන් විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිනිය සහ ලෝක බැංකුවේ කළමනාකරණ අධ්‍යයක්ෂක වශයෙන් කටයුතු කළ මාම්පෙලා රම්ෆෙල් පෙන්වා දෙන්නේ ප්‍රශ්නය සූමා පමණක් නොවන බවයි.
“ප්‍රශ්නය ආණ්ඩු පක්ෂය, රාජ්‍යය සමඟ පටලවා ගන්නා දේශපාලන සංස්කෘතියයි. ඒ රේඛාව දැන් බොඳ වී තිබේ. සුළු ව්‍යතිරේකයක් හැර, සෑම රටකම විමුක්ති ව්‍යාපාරවල නායකයින්, රාජ්‍යය හුදෙක් තමන්ට අනුග්‍රහය දැක්වීමේ මෙවලමක් ලෙස භාවිතා කරමින් සිටියි" යැයි ඇය පෙන්වා දෙන්නීය.
අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය බෙදී යයි…
නෙල්සන් මැන්ඩෙලා ඇතුළු සටන්කාමීන් බිහි කළ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය යනු ලොව පුරා විමුක්තිකාමීන්ගේ, ප්‍රගතිශීලීන්ගේ සහ යටත්විජිත විරෝධීන්ගේ ඉමහත් ආදරය ගෞරවයට ලක් වූවකි. අද එය දූෂිත, දූර්වල අසාර්ථක විමුක්ති ව්‍යාපාරයක් බවට පිරිහෙමින් පවතියි. එය දෘෂ්ටිවාද, පංතිය, වාර්ගිකත්වය සහ පුද්ගලික එදිරිවාදිකම් මත විවිධ පැතිවලට බෙදී ගොස් හමාරය. හිටපු ජනාධිපති සූමාට සහ වත්මන් රාජ්‍ය නායකයා වන රමෆෝසාට පක්ෂපාතී කණ්ඩායම් අතර පැහැදිලි බෙදීමක් අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය තුළ දක්නට ලැබෙයි. ඉදිරි වසර කිහිපය තුළ "මැන්ඩේලාගේ පක්ෂය" යනුවෙන් හෘදයාංගමව හැදින්වූ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය පක්ෂ කිහිපයකට බෙදී යනු ඇති බව බොහෝ දකුණු අප්‍රිකානු දේශපාලන විශ්ලේෂකයන්ගේ තක්සේරුවයි.
දකුණු අප්‍රිකාව සිම්බාබ්වේ මාවතේ..
විමුක්ති ව්‍යාපාරයකින් පසුව සිම්බාබ්වේ බලය අත්පත් කරගත් රොබට් මුගාබේ එම රට ගෙන ගිය විනාශකාරී මාවතේ අවසානය ලෝකයට රහසක් නොවෙයි. ජේකබ් සූමා ඇතුළු අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ දූෂිත නායකයන් දකුණු අප්‍රිකාව යොමු කර ඇත්තේ සිම්බාබ්වේ මාවතටය. දකුණු අප්‍රිකානු සමාජ, දේශපාලන සහ ආර්ථික දේහයේ සිදු කරන දැඩි ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලකින් තොරව මේ ගමන යළි හැරවිය නොහැක. ඒ සඳහා දකුණු අප්‍රිකානු නායකයන්ට දේශපාලන ශක්තිය, ඥානය, අධිෂ්ඨානය ලැබේවා යන්න අපේ අවංක ප්‍රාර්ථනයයි. අප එසේ ප්‍රාර්ථනය කරනුයේ නෙල්සන් මැන්ඩේලා සහ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය වර්ණභේදවාදී සුදු පාලනයට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරන අවධියේ අපගේ ආදරය සහයෝගය සහ ගෞරවය ඔවුනට හිමිවූ බැවිනි.
-ආනුභාවනන්ද
anubhawananda1@gmail.com
https://www.lankaenews.com/category/33

No comments:
Post a Comment